කෘතිය – කළලයක් ඉකිබිඳියි
කර්තෘ – අනුලා සිරිමතී රාජකරුණා
කර්තෘ ප්රකාශනයකි
වෘත්තියෙන් ගුරුවරියක වන කිවිඳිය සිය ගුරු ජීවිතයේදී දරුවන් මවුපියන් පමණක් නොව, අවට සමාජය ඇසුරේද අත්දැකීම් තම නිර්මාණවලට වස්තුබීජ කොටගෙන ඇති බව ‘කළලයක් ඉකිබිඳියි’ කාව්‍ය සංග්‍රහය රසවිඳීමේදී පෙනෙයි.
බිරිය විදෙස්ගත වූයේ දරුවන්ට යහපත් හෙටක් උදා කර දෙන්නය. ඇයට ගෙවෙන හැම මොහොතකම සිහි වන්නේ දරුවන් කුමක් කරනවා ඇතිද කියාය. ගැහැනියක හැම විටම පතන්නේ දරුවන්ගේ යහපතය. ඇයට ඕනෑ තමන්ටම කියා හිසට සෙවණක්ය; එමෙන්ම හැඩට අඳින්න, පලඳින්නය.
ඇය මෙලෙස ලියන්නේ එනිසාය (මාතෘකාව ‘රට ගිය බිරින්දෑගෙන්’):
‘වැරහැලි පැලැන්දු ගත දැන් දිලෙනවද
ළිපේ හාල් මුට්ටියෙ බත් ඉදෙනවද
අල්ලපු වැටෙන් ණයකට අතපානවද
බිත්තියෙ ගඩොල් බැමි ඉහළට නඟිනවද…’
තවමත් ඔරුවෙන් පාරුවෙන් එගොඩ මෙගොඩ යන ගැමියෝ අපේ රටේ දුර ඈත ගම්වල සිටිති. පාලමක් තැනීමද හීනයක් වූ, ගඟට එපිටින් පිහිටි ගම්මානවල වසන්නන් අපට හමු වී ඇත (ඒ කොහොම වුණත් ඉස්සර මෙන් දැන් ඔරු පදවන්නන් නැති තරම්ය). එහෙම ගමක තොටියා දැන් වයෝවෘද්ධය. එනිසා තම රැකියාවට සමු දෙන බව පවසන තොටියෙකි මේ. ඔහු කියන්නේ තමන් මෙන්ම දැන් ඔරුවද මහලු බවය (මාතෘකාව ‘ඔරුව සහ තොටියා):
‘ඔබ වෙතට පා සෙනේ
එගොඩ කරනෙමි
මෙගොඩ කරනෙමි
ඔබේ අත් යුහුසුලුව
වැනෙයි ඒ මේ අත
කරන්නට එගොඩ
කරන්නට මෙගොඩ
දැන් ශක්තියක් නැත මට
ඔබ ද දැන් මහලුය
මම ද දැන් මහලුය…’
ඇයගේ කවි බොහෝ සරලය; භාෂාවද සරලය; කෙනකුට කියවා පහසුවෙන් තේරුම්ගත හැකිය. එනමුදු මේ නිර්මාණ වචනාර්ථයට එපිටින් විමසා බැලිය යුතු නිර්මාණ යැයි හැඟේ.
ඉසවි