ඒ වියළි බොරලු පාර දිගේ සුළඟ කපාගෙන වේගයෙන් ඇදී ආ ට්‍රක් රථය ඉද්ද ගැසුවාක් සේ නැවතුණේ ඇතුළේ සිටියවුන් සියල්ලන්ගේම මුවගට අමු තිත්ත කුණුහරුපයක් නංවමිනි. ඒ ආ වේගයෙන්ම පසුපසට පැදවුණු රථය කුඩා ගෙපැලක් ඉදිරියේ ගල් ගැසිණි.
සැම අතින්ම සිදුරු වූ සිලි උරයකට ජලය පිරවූවාක් සේ රථයේ සෑම පැත්තකින්ම හමුදා භටයන් පිටතට පැනගත්තේ අසුරු සැණෙකිනි. ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්ම පිටතට පිනූ යුද භටයන් ඒ කුඩා නිවෙස වට කළේ දණගසාගෙන සිය ස්වයංක්‍රීය ගිනිඅවිය නිවෙස දෙසට එල්ල කරගත් ඉරියවුවෙනි. දැන් ඒ පැල්පත සම්පූර්ණයෙන්ම දණගසාගෙන ස්වයංක්‍රීය ගිනිඅවි මානාගත් සොල්දාදුවන්ගෙන් වට වී තිබේ. කිසිවකුටත් පැන යා නොහැකිය. පිටත සිට බලන්නකුට මුළු සතුරු බළ ඇණියම මේ නිවෙසේ සැඟවී සිටිතැයි සිතෙන්නට හොඳටම ඉඩ තිබිණි.
“ඇරපියව් දොර!” එවර විධානයකි. දොර විවර වී මහලු කාන්තාවක පිටතට පැමිණීමට විධානය තෙවරක්ම දීමට හමුදා සාජන්ට්වරයාට සිදු විය.
ඊළඟ මොහොත ආශ්චර්යයකි. පිටතට පැමිණි ගැහැනිය ද පෙරළාගෙන භටයෝ එනිවෙස ආක්‍රමණය කළෝය. ඉන් පසු හමා ආයේ දැඩි කුණාටුවකි.
කුඩා කුරුබිලියක් වන් අඳුරු ගෙපැල එහෙම පිටින්ම කණපිට හැරවීමේ මෙහෙයුම ඇරඹිණි. සියලු ලොකු කුඩා භාණ්ඩ සිටි තැන වෙනස් කොට උඩු යටිකුරු කෙරිණි.
ගෙහිමියා නිවෙසේ නොසිටින රාත්‍රී කාලවල ස්වාමිදුවගේ තනි නොතනියට නිදාගැනීමට එන අසල්වැසි තරුණ දියණිය බැරි වීමකින් දමා ගිය ගවුම දුටු එක් භටයකුගේ මුහුණට වචනයෙන් විස්තර කළ නොහැකි මන්දස්මිතියක් ගලා එමින් තිබිණි. ඔහුගේ මුහුණ බලාපොරොත්තුවෙන් උතුරා යනු ඒ අඳුරේ වුව දැකගත හැකි විය. ඔහු නිමක් නැති සිහින සාගරයක ගිලෙමින් එකල මෙකල වෙද්දී සහෝදර භටයෝ නිවෙස එකම අවුල් ජාලයක් බවට පත් කිරීමේ මහා මෙහෙයුම ක්‍රියාත්මක කරමින් සිටියෝය. තවත් අපූරු විනාඩි කිහිපයක් අවසන් වන විට මෙහෙයුම සිය අවසන් අදියරට එළඹෙමින් තිබිණි.
සොයාගත් කිසිවක් නොවූ මෙහෙයුම සියල්ලන්ම අතිශය අප්‍රසන්න තැනකට තල්ලු කොට තිබිණි. දැන් එකිනෙකා නිවෙසින් එළියට පැමිණෙමින් සිටිති. සියලු දෙනාගේ මුහුණුවල බරපතළ බලාපොරොත්තු කඩවීමක ඛේදනීය රූ සටහන් ඇඳී දිලිසෙමින් තිබිණි. තරුණියගේ අත්හැර දමා ගිය ගවුම විසින් සිහින සාගරයක ගිල්වන ලද භටයාගේ මුහුණ සියල්ලන්ටම වඩා එල්ලා වැටෙමින් තිබිණි. පෝලිමේ කෙළවරින්ම පිටතට පැමිණෙමින් සිටි අණ දෙන්නාට හදිසියේම ගෙතුළ අඩ අඳුරේ ඇඳි පුටුවක වාඩි වී සිටි මහලු මිනිසා දකින්නට ලැබිණි.
“නැගපං ට්‍රක් එකට!”
වම් අත වම් කන වටා බොකුටු කොට නිලධාරියා වෙත නැවුණු මහල්ලා තමාට ඒ වදන් නොවැටහුණුබව පෙන්වූයේ “ඈ?” යනුවෙන් මහහඬින් හඬ තළමිනි.
“ආ… උඹට ඇහෙන්නෙ නෑ නේද? යමන්කො කෑම්ප් එකට. අද මම උඹේ ඔය බීරිය සනීප කරල දෙන්නං තත්පර දෙකෙන්. බෝල්පොයින්ට් පෑන් දෙකක් විතරයි මට ඕනි ඒකට.”
“දැන් ඉතිං උඹේ කෙළි අහවරයි පුතෝ. රෑට රෑට කොල්ලො ගෙන්නගෙන පන්ති තියන එකත් ඉවරයි. රතුපාට පෝස්ටර් ඉණේ ගහගෙන කොළපාට පෝස්ටර් අත් දෙකේ තියාගෙන මහ දවල් එහා මෙහා ගිහිල්ලත් ඉවරයි. උඹලගෙ මහ එකත් ඉවරයි. උඹලගෙ විප්ලවෙත් ඉවරයි. අද රෑට උඹත් ඉවරයි.”
“නැගපිය දැන් ඉතිං ට්‍රක් එකට!”
නිහඬව ගෙවුණු තත්පර කිහිපය අවසන තට්ටම මත වේගයෙන් පතිත වූ ප්‍රධානියාගේ දෙපා විසින් ඉහළට ඔසවන ලද මහල්ලා ගුවනේ පා වී පැමිණ මිදුල මැද පතබෑවුණේ පෙරේතයකු පොළොවේ ගැසූ අන්දම සිහිපත් කරවමිනි. මිදුලේ සිටි භටයෝ සැණින් ක්‍රියාත්මක වූ අතර, මහල්ලා ඔසොවා ට්‍රක් රථය තුළට වීසි කිරීමට ගත වූයේ තත්පරයෙනුත් කොටසකි.
නිවෙසින් පිටතට බට ප්‍රධානියාගේ ඇස ගැටුණේ දොර ඇරගෙන පිටතට පැමිණි මහලු කතයි.
“ආ… උඹ පට්ට … පුළුවන් නං ආයෙත් වරෙන් තව බොරුවක් ගොතාගෙන කෑම්ප් එකට. මම උඹවත් අරූ යවන තැනටම යවනව උඹලගෙ මහ ලොකු ලොක්ක ළඟටම. පට්ට බැල්ලි! තෝ හිතන්න ඇති අපිව රැවැට්ටුව කියල. දැං දැනගනිං අපේ හැටි. අපි උඹල දිහෑ ඇහැ ගහගෙනමයි හිටියෙ. එදා ඉඳලම.”
ගැහැනිය නිහඬව කල්පනා කරමින් සිටියාය. මේ පැමිණ සිටින්නේ එදා තමන්ට උදේ කෑමත් දී වාහනයේම ගෙදරට ඇරලූ හමුදා භටයෝ නොවෙති. ඔවුන්ගේ හැඩරුව ඇයගේ මතකයේ සදා තැන්පත්ව තිබේ. ‘එතකොට මේ කට්ටිය? කොහොමද මේ ගොල්ල අප ගැන මෙච්චර හොඳට දන්නෙ…’ ඇයගේ සිතේ වද දෙන ප්‍රශ්න වැළකි.
ඊළඟ තත්පරයේ ඇසුණේ රථය පැමිණි වේගයෙන්ම ආපසු ඇදී යන ආකාරයයි. දූලි නංවාගෙන ට්‍රක් රථය නොපෙනී යනවාත් සමඟම තැන තැන දොර රෙදි අතර ජනෙල් රෙදි අතර සැඟවී තිබූ මුහුණු හිරු එළියට නිරාවරණය සඳහා සංඥාව ලැබිණි. දැන් ඇරඹෙන්නේ පශ්චාත් පැහැරගැනීමේ පරීක්ෂණයයි. එහෙත් මේ කතාවේ ආරම්භය නොවේ; අවසානයයි. මක් නිසාද යත්: ඒ ට්‍රක් රථයේ ගිය කිසිවකුත් මේ දැන් රැස් වූ සභාවේ කිසිවකුට ඉන් පසු දක්නට නොලැබුණු බැවිනි. ඔව්. ඒ කතාවේ අවසානයයි.
සෙමෙන් සෙමෙන් කන්ද නැඟගෙන ආ මහලු මිනිසා අත කවරයක දැමූ හිස් බෝතලයක් විය. එක පෙළට තනා තිබූ නිල නිවෙස් පේළියේ පළමුවැන්නට ඔහු නිදහසේ ඇතුළු වන්නට තැත් කළේය. ඒත් ඊට බාධා පැමිණිණ.
“ඒයි ලොක්කා! උඹ කොහේ යනව කියලද හිතාගෙන ඉන්නේ?”
මහල්ලාට ගොත ගැසිණි. ඒ නිල ඇඳුම දුටු තත්පරයේය. සැඟවී සිටි මුර භටයා එතැන සිටිනු මහල්ලා දැක තිබුණේ නැත.
“හාන්දුන්නෙ. මම මේ බේත් ඩිංගක් ගන්න කියල දොස්තර හාමුදුරුවො හම්බ වෙන්න.” මහල්ලා කීවේ අත තිබූ හිස් බෝතලය ද දිගු කර පෙන්වමිනි.
මහල්ලා යන්නට සිතාගෙන පැමිණි නිවෙස ඇතුළින් මහ හඬින් සිනා ඇවිළී ආවේ එසැණිනි. විහිළුවට කැමැති සාජන්ට්වරයා ඉදිරියට ආවේ අපූරු සිනාවකින් මුව සරසාගෙනමය.
“මේ ලොක්කා, මෙහෙන් බේත් ගත්තොත් තමුන්ට වෙන්නෙ මාර වැඩක්: මුත්‍රා කරන්න බැරි වෙයි; වැසිකිළි යන්ට බැරි වෙයි; අතපය කොර වෙයි; කන් ඇහෙන්නෙ නැතුව යයි; තොල-කට පුපුරයි; අඩුගානෙ පුටුවක වාඩි වෙන්නවත් බැරි වෙයි. මෙහෙන් බේත් ගන්න හුඟක් අය දැං ගිහිං තියෙන්නෙ යන්න ඕන හැම ගමනක්ම. ඒ විතරක් නෙවෙයි, උන්ට වෙන්න ඕන හැමදේමත් වෙලා තියෙන්නෙ. කොහොමත් අපි ඔය වයසෙ අයට බේත් දෙන්න කැමතිම නෑ. ඒක හින්ද අන්න අර පේන ගෙදර ඉන්න දොස්තර මහත්තයව හම්බ වෙලා බේත් ටිකක් ඉල්ලගෙන යන එකයි දෙයියනේ කියල.”
මහල්ලා සාජන්ට්වරයා කී දෙසට හැරුණා නොව විසි වී ගියේය.
“මේක හරියන්නෙ නෑ බං. අපි මෙතන ගහමු බෝඩ් එකක්.”
“මොකක් කියලද?”
“මොකක් කියලද කියන්නෙ. බේත් ගන්න එන උන් අර පැත්තටයි. කෑම්ප් එකට එන උන් මේ පැත්තටයි හැරවෙන බෝඩ් එකක්. ගෙනෙං කාඩ්බෝඩ් කෑල්ලකුයි මාකර් පෙන් එකකුයි. කාඩ්බෝඩ් එකේ එක පැත්තක ‘බේත්’ කියල ඊතලයක් ගහපං. අනෙක් පැත්තෙ ‘කේස්’ කියල ඊතලයක් ගහපං. ‘කේස්’ ඊතලේ අපේ පැත්තට හැරෙන්න කාඩ්බෝඩ් කෑල්ල ලීයක ගහපං.”
පසු දිනෙක හිමිදිරි පාන්දර වළ පයයි ගොඩ පයයි අතරේ සිටි මහල්ලකු අතින් අල්ලාගත් ගැහැනියක හමුදා කඳවුරට ඇතුළු වන්නට උත්සාහ කරනු සාජන්ට්වරයා අහම්බෙන් මෙන් දුටුවේය.
ඔවුහු දොරටුවේ සිටි මුරභටයා සමඟ වාදයක පැටලී සිටියහ.
“අන්න අරෙහට යනවා. දොස්තර මහත්තය ඉන්නෙ එතන!” මුරභටයා කෑගසයි. “අපිට ඕන හමුදාවෙ ලොකු මහත්තය මුණගැහෙන්න.” ගැහැනිය ඊටත් වඩා සැරින් කෑගසයි. මේ සියලු තර්ක මැද මහල්ලා කිසිවක් නෑසෙන සවනින් මාරුවෙන් මාරුවට එකිනෙකාගේ මුහුණු බලමින් කල්පනා කරන බවක් පෙන්වා සිටියේය. සාජන්ට්වරයා සිද්ධියට එකතු වූයේ තවත් හාස්‍යජනක තත්පරයක් ගෙවීමේ ආශාව සිතෙහි නංවාගෙනමය.
“මොකද? මුන්ටත් අපේ බේත් ඕන වෙලාද බං?” සාජන්ට්වරයා මුරභටයා දෙස බැලුවේ ඇසක්ද ඉඟි කරමිනි.
“අනේ බුදු මහත්තයෝ. මට මේ මනුස්සයව අරන් ඇවිත් ලොකු මහත්තය හම්බ වෙන්න කියල පණිවිඩයක් එවල තිබුණා.”
“කෙළිය! ආයෙමත් ආධාර පත්තරයක්. අපේ ලොක්කටත් පිස්සු. ගමේම ඉන්න අබ්බගාතයො ටික පෝලිමට ගෙනැල්ල ආධාර දෙන්න. ඒකෙනුත් කෙළවෙන්නෙ අපේ පඩි පැකට් එකටමනෙ බං.” සාජන්ට්වරයා කල්පනා කළේ මේ මිනිහාට ආධාරයක් කළ හැකි ආකාරය පිළිබඳවය.
“සල්ලි ඕන වෙන්නෙ බේත් ගන්නද? කන්න බොන්න වියදමටද?”
“අනේ නෑ හාමුදුරුවනේ. මෙන්න මේ පෙත්සමක්ද මොකක්ද ඇවිල්ල තියෙනවලු මුන්දැට විරුද්ධව.”
සාජන්ට්වරයාගේ නළල රැළි ගැසුණේ තත්පරයෙනි.
“අනේ හාමුදුරුවනේ, ගමේ උන් තරහට කරන වැඩ. මේ නාකි මනුස්සයට මොන ත්‍රස්තවාදී වැඩද මහත්තයෝ…”
“හරි හරි. පොඩ්ඩක් ඔන්න ඔතන වාඩි වෙලා හිටපල්ලකො. ලොකු මහත්තය එනකං.”
නිවෙසට ඇතුළු වූ සාජන්ට්වරයා ආපසු ආවේ ප්‍රධානියාද සමඟිනි. කතන්දරය ඇසූ ඔහුටද සිනාව නතර කරගත නොහැකි විය.
හැරමිටියෙන් යන, දෑස් නොපෙනෙන, කන් නෑසෙන මේ මහල්ලා කරන ත්‍රස්තවාදී ක්‍රියාව කුමක්දැයි ඔහුද සිතන්න ඇත. ටික වේලාවක් මහලු යුවළ දෙස බලා සිටි අණ දෙන නිලධාරියා ඇසුවේ “උදේට කෑවද?” යන්නයි. උදෑසන ආහාරය ද දී නිවෙසටම ඇරලීම ලොක්කාගේ විධානය විය. ඔවුන් පිටව ගිය පසු ප්‍රධානියා තමන්ට හිතවත් ඔත්තුකරුවන් දෙදෙනකු කැඳවූ බවත්, යමක් පැවරූ බවත් මුරභටයා විසින් සාජන්ට්වරයාට දැනුම් දුන්නද එහි කිසිම වැදගත්කමක් නොදැනුණු සාජන්ට්වරයා එතනදීද අර හාස්‍යය සහිත සිනාවම මවාගෙන ඉවතට ගියේය.
ඇත්තෙන්ම හමුදා ප්‍රධානියාගේ මොළයට වැටහුණු දේ සාජන්ට්වරයාට දැනී තිබුණේම නැත.
අජිත් කල්‍යාණ අමරසිංහ