Home » මෙදා ලුණු අස්වැන්න දේශීය ඉල්ලුමට ඉහළින්

මෙදා ලුණු අස්වැන්න දේශීය ඉල්ලුමට ඉහළින්

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
නෙත්මි පූජනී රත්නායක
වර්ෂා කාලය අව­සන් වීමත් සමඟ පුත්ත­ලම ලුණු ලේවායේ අස්වැන්න වැඩි වීම

ශ්‍රී ලංකාවේ ලුණු පරිභෝජනය ඉතා ඉහළය. 2019 වසරේ කළ ජාතික සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයකු දිනකට ලුණු ග්‍රෑම් 11.3ක් පරිභෝජනය කරන බව සඳහන් වේ. මේ නිසාම මෙරට පාරිභෝගික ජනතාවගෙන් ලුණුවලට ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමක් බව පෙනෙන්නට තිබේ. ලංකාවේ පුත්තලම කළපුවත් හම්බන්තොට කළපුවත් අතර මිදෙන විශාල ලුණු නිධියක් පවතී. කරගන් ලේවාය, පලටුපාන ලේවාය, බූන්දල ලේවාය, කොහොලන්කල හා මහා ලේවාය ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ලුණු ලැබෙන ලේවායන් වේ. මීට අමතරව තවත් ලුණු ලේවායන් අටක් ලංකාව වටේම දැනට ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අතර අලිමංකඩ, මන්තායි සහ යාපන ලේවා විශේෂය.

ලංකාවේ පවතින ලුණු ලේවාවලින් දැනට මෙට්‍රික් ටොන් 228,000ක් පමණ නිෂ්පාදනය වන අතර වාර්ෂික අවශ්‍යතාව වන්නේ මෙට්‍රික් ටොන් 120,000කි. එවැනි තත්ත්වයක් යටතේ 2024 අවසන් මාසයේදී හදිසි ලුණු හිඟයක් මතු වුයේ කෙසේ දැයි පැනයක් නැඟේ. ඒ පසුගිය සමයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වය සමඟ ඇද හැලුණු මහ වර්ෂාව නිසා ද, එසේත් නැතිනම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රසාරණය වී ලුණු අවශ්‍යතාවය තවත් ප්‍රසාරණය වූ නිසාද යන්න අවධානය යොමු කළ යුතු කරුණකි.

මෙරට ලුණු නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින් නවීන උපකරණ සහ පහසුකම් සහිතව අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව නැවත පණ ගැන්වෙන්නේ මෙවන් පසුබිමක් යටතේය. එය මේ මස 29 වැනිදා කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් අලිමංකඩදී විවෘත කිරීමට නියමිතය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික ලුණු සමාගමේ ශාඛාවක් ලෙස මෙම ලුණු කර්මාන්ත ශාලාව සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කරන අතර ‘රජ’ යන වෙළෙඳ නාමය යටතේ එම නිෂ්පාදන වෙළෙදපොළ වෙත පැමිණීමට නියමිතය. හම්බන්තොට හා පුත්තලමේ දැනට ඇති අනෙකුත් රජයේ ලුණු කර්මාන්තශාලා තුළ මෙතෙක් අඩුවක්ව පැවති ලුණු නිෂ්පාදනයේදී අයඩින් එක් කිරීමේ තාක්ෂණය හා පහසුකම් අලිමංකඩ මෙම ලුණු කර්මාන්ත ශාලාවට ලැබී තිබේ.

මෙම නවීන පහසුකම් යටතේ මේ වසරෙදී මෙට්‍රික් ටොන් 20,000ක ධාරිතාවයකින් එහි නිෂ්පාදන මෙහෙයුම් සිදු කිරීම ජාතික ලුණු සමාගමේ ඉලක්කය වී තිබේ. මෙලෙස නවීන උපකරණ සහ පහසුකම් සහිතව සංවර්ධනය කර ඇති අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව මෙරට ලුණු නිෂ්පාදනයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට සූදානම් සිටී. ඒ පිළිබඳව ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල “සිළුමිණ” සමඟ පවසා සිටියේ “මේ වන විට මෙරට වෙළෙඳ පොළෙහි අලෙවි වන අනෙකුත් ලුණු වර්ගවලට වඩා අඩුම මිලට සහ උපරිම පිරිසිදුකමකින් යුතුව ලුණු ලබාදීමට අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව මඟින් නිපදවන රජ ලුණුවලට හැකියාව ලැබෙනු ඇති බවයි”.

“උතුරු- නැඟෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසු 2010 වසරෙදි අලිමංකඩ ලුණු ලේවාය ආරම්භ කළා. ඉන් පසු 2016 වසරේදි එම ලේවායේ නිෂ්පාදන ධාර්තාව වැඩි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩ පටන් ගත්තා. එතැන් සිට පසුගිය අවුරුදු කිහිපය පුරාම එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වූණා. 2023 වසරේ මැද භාගයේදී කර්මාන්ත ශාලාවේ වැඩ පටන් ගන්න හැකියාව ලැබුණා. ලුණු ව්‍යාපෘතිය හා සම්බන්ධ ඉන්දියානු ඉංජිනේරුවන් ගෙන්වලා මාස 3ක් ඇතුළත කඩිනමින් මේ කටයුතු සිදු කරන්නෙ කොහොමද කියලා ඒ අය සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලයපුරා සේවකයින් දවසකට පැය 24කට ආසන්න කාලයක් උපරිමයෙන් එක දිගටම වැඩ කළා. අලිමංකඩ මේ ලුණු ලේවාය ආරම්භයේ සිට මේ වෙනකත් අපි කරලා ති‍ෙයන්නෙ ලුණු ලේවායෙ නිෂ්පාදනය කෙරෙන ලුණු වෙළෙඳපොළ වෙත සෘජුවම අලෙවි නොකර වෙනත් ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමයි. ඒ නිසා අලිමංකඩ ලුණු ලේවායේ ලුණු වෙනත් පෞද්ගලික ආයතන විසින් විවිධ වෙළෙඳ නාමයන් යටතේ අලෙවි කටයුතු සිදු කළ බවත් මෙරට නිෂ්පාදනය කෙරෙන හොඳම, පිරිසිදුම ලුණු නිපදවන්නේ මෙම අලිමංකඩ ලුණු ලේවාය බවත්.” හෙතෙම පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දැක් වූ හෙතෙම පවසා සිටියේ “මේ සැරේ අපි සූදානම් වෙන්නෙ මේ ලේවායෙන් හදන ලුණු ජාතික ලුණු සමාගම යටතේ තිබෙන ‘රජ’ කියන නාමය යටතේ මෙරට ජනතාවට ලබා දෙන්න. එහිදී මේ වන විට වෙළෙඳපොළේ ඇති සියලුම ලුණු වර්ගවලට වඩා අඩුම මිලට සහ උපරිම පිරිසිදුකමකින් යුක්තව ලුණු ලබා දෙන්න අප කටයුතු කරනවා. මාර්තු 29 වැනිදා කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් ආරම්භ වූ විට ලබන මාසය වනවිට ලුණු නිෂ්පාදන ජනතාවට මිලදී ගත හැකියි. අලිමංකඩ ලුණු ලේවාය ලංකාවේ පමණක් නෙමෙයි; මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධයි. ඒ නිසා අන්තර්ජාතික වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන අලිමංකඩ ලුණු ලේවායෙන් නිෂ්පාදන කරන ලුණු ඇසුරුම්වල ඒ බව පැහැදිලිව සඳහන් කරනවා. මෙහි නිෂ්පාදන ධාරිතාවයත් සමඟ සමස්ත රට තුළ ලුණු නිෂ්පාදනය සලකා බැලුවම දැනට ලුණු හිඟයක් නැහැ ”.

පුත්ත­ලම ලුණු නිෂ්පා­ද­ක­යින්ගේ සංග­මයේ සභා­පති බදු­ර්දීන් රනිස්

පුත්ත­ලම ලුණු නිෂ්පා­ද­ක­යින්ගේ සංග­මයේ සභා­පති බදු­ර්දීන් රනිස්

ජාතික ලුණු සමාගමේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මෙම ලුණු කර්මාන්ත ශාලාවේ කටයුතු ආරම්භ වූ පසුව උතුරු පළාතේ සුවිශේෂී ආර්ථික වර්ධනයක් සිදු වනු ඇති බවයි. විශේෂයෙන්ම එම ප්‍රදේශවල ජනතාවට සෘජු හා වක්‍ර රැකියා රැසක් ලබාදීමට මෙමඟින් හැකිවේ.

පසුගිය කාලය පුරා මෙරට ලුණු නිෂ්පාදනය ඉතා සරුවට සිදු කෙරූ නමුත් විවිධ කාලගුණ හේතු මුල් වීම නිසා හම්බන්තොට, පලාවිය, පුත්තලම සහ අලිමංකඩ යන ප්‍රදේශයන්හි ලුණු නිෂ්පාදනය යම් කඩා වැටීමකට ලක්වී තිබුණි. පසුගිය මාස කිහිපය පුරා ලුණු නිෂ්පාදනයට බාධා ඇති කරමින් අයහපත් කාලගුණ හේතු මුල් කර ගනිමින් ලුණු නිෂ්පාදනයේ හා කර්මාන්තයේ ඇති වූ කඩා වැටීම නිසා එම කර්මාන්තයෙ නිරතව සිටි දහස් සංඛ්‍යාත පිරිසක් අසරණ විය. එපමණක් නොව මේ කර්මාන්තය හරහා වක්‍ර ලෙස රැකියාවල නිරත වූ තවත් විශාල පිරිසකට තම ජීවනෝපාය මාර්ග අහිමි වී ගියේය. කෙසේ වුවත් අලිමංකඩ මෙම ලුණු කර්මාන්ත ශාලාව නිසා යළිත් මෙරට ලුණු කර්මාන්තයේ දැවැන්ත පුනරුදයක් ඇති වනු ඇතැයි යන්න ආර්ථික විශ්ලේෂකයින්ගේ මතයයි. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව මඟින් රජයට විශාල ආදායමක් උපයාදීමට හැකිවේ.

එසේම පුත්තලම, පලාවිය හා හම්බන්තොට, අලිමංකඩ ලුණු ලේවායන් ආශ්‍රිතව මෙරට ලුණු නිෂ්පාදනය සරුවට සිදු වන අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම, කල්පිටිය, පුත්තලම, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට අයත් ප්‍රදේශ රැසක කළපු තීර සමීපව හෙක්ටයාර 4000 ක පමණ භූමි ප්‍රමාණයක 2000 කට අධික පිරිසක් ලුණු කර්මාන්තයේ නිරතව සිටිති. මෙම ලුණු කර්මාන්තයේ නිරත බහුතරයක් පුත්තලම කළපුව ආශ්‍රිතව ධීවර රැකියාවේ නිරත වන පිරිස්ද වේ. මාස හයක වාරකන් කාලය ඇරඹීමත් සමඟ වසරේ මාර්තු මස සිට ලුණු නිෂ්පාදනයට මොවුන් එක් වන බව පවසති. ධීවරයින්ට අමතරව තවත් පිරිස්ද මෙම කර්මාන්තයේ නිරත වෙති.

එසේම මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනයේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමේදී අපට දැන ගැනීමට හැකි වුණේ මෙරට ලුණු නිෂ්පාදනයෙන් වැඩි පංගුවක් එනම් සමස්ත ලුණු අස්වැන්නෙන් සියයට 45 කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙන පුත්තලමේ ලුණු අස්වැන්න නෙළීම මේ වනවිට ඉතාම සාර්ථක ලෙස සිදු වන බවයි. ලුණු නිෂ්පාදනයට පුත්‍තලම දිස්ත්‍රික්කයෙන් ලැබෙන දායකත්වය ඉතාම සුවිශේෂී දායකත්වයක් ලෙස හැඳින්වීම නිවැරදි වන අතර පුත්තලම් දිස්ත්‍රික්කයේ ලුණු කර්මාන්තයට තරම් වෙනත් කර්මාන්තයක් පිළිබඳව නෑසෙන තරම්ය.

පුත්තලම පුද්ගලික ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බදුර්දීන් රනිස් ‘සිළුමිණ’ වෙත අදහස් දක්වමින් පැවසුවේ “පසුගිය වසරේ මහ වැසිත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැවතී ගිය බවයි. අඩාළ වී තිබුණු පුත්තලම් දිස්ත්‍රික්කයේ ලුණු නිෂ්පාදනය මේ වනවිට නැවත යථා තත්ත්වයට පැමිණි බවද සඳහන් කළ හෙතෙම; පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ අස්වනු නෙළීම ආරම්භ කිරීමට හැකිවූ බවද සඳහන් කළේය”.

පසුගිය මාස කිහිපය පුරා ලුණු නිෂ්පාදනයට බාධා ඇති කරමින් අයහපත් කාලගුණ හේතු මුල් කර ගනිමින් ලුණු නිෂ්පාදනයේ හා කර්මාන්තයේ ඇති වූ කඩා වැටීම නිසා එම කර්මාන්තයෙ නිරතව සිටි දහසකට වැඩි නිෂ්පාදකයින් පිරිසක් අසරණ වුණා. මේ කර්මාන්තය හරහා වක්‍ර ලෙස රැකියාවල නිරත වූ දස දහසකට වැඩි පිරිසකට තම රැකියාව අහිමි වී අන්ත අසරණ වුණා. ලුණු පාත්ති සැකසිමේ සිට අස්වැන්න නෙළන තෙක් පමණක් නොව ලුණු පැකට් කර වෙ‍ෙළඳදසල් වෙත ප්‍රවාහනය කරන අවස්ථාව දක්වා විශාල රැකියා සංඛ්‍යාවක් සෘජු හා වක්‍ර ලෙස සැකසී තිබූණා. එම රැකියා සියල්ලම පසුගිය වසරේ සම්පූර්ණයෙන්ම නැවතී යාම එම රැකියාවල නිරත වූ පිරිසට බරපතළ ගැටලුවක් වූ බවත්” බදුර්දීන් රනිස් පෙන්වා දුන්නේය.

තවදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ “නැවතත් අපේක්ෂා දල්වමින් කර්මාන්තය තුළ නැවුම් පිබිදීමක් දක්නට ලැබෙන බවත්; පසුගිය කාලය තුළ රැකියා අහිමි වූ සියලු දෙනාටම යළිත් එම රැකියා තුළ නිරත වීමට හැකියාව ලැබෙනු ඇති බවයි. ඒ අනුව මෙට්‍රික් ටොන් 5000 ක ලුණු අස්වැන්නක් සති දෙකකින් පමණ ලබා ගැනීමට හැකි වනු ඇති බවත් හෙතෙම පැහැදිලි කළේය.

ජායාරූප – පුත්තලම අතිරේක 
හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division