පුවත්පත් කලාවට ඇති ආශාව නිසාම ඔහු ගුරු වෘත්තියෙන් ඉවත් විය. මාධ්‍ය යන්න ඔහුගේ දිවියේ කොටසක් බඳු විය. ඒ නිසාම ඔහු පරිවර්තකයකු ලෙස පූර්ණකාලීන මාධ්‍ය කලාවට පිවිසිණි. ඩී.බී. ධනපාල සූරීන් ඇසුරේ පුවත්පත් කලාව පිළිබඳ මනා පුහුණුවක් ලැබූ ඔහු වසර 33ක්ම පූර්ණකාලීන මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය.

සාහිත්‍ය ව්‍යාකරණ කෘති
ඔහු නමින් සමන් තිලකසිරිය. වර්තමාන මාධ්‍ය ලෝකයේ ඔහුගේ කියවීම බෙහෙවින් අඩුය. හැට-හැත්තෑව දශකයේ මෙරට ප්‍රචලිත ‘රසවාහිනී’ ශාස්ත්‍රීය සඟරාවේ ප්‍රධාන සංස්කාරක පදවිය දීර්ඝ කාලයක් හෙබවූ ඔහුගේ පෑන් තුඩින් නොලිවුණු විෂයපථයක් නැති තරම්ය. බොහෝ දෙනා නොදන්නා නමුත් මාධ්‍ය ලෝකයට නිහඬ සේවාවක් කළ සමන් තිලකසිරිගේ ජීවිතයට එබී බැලීමක් සිදු කළ යුතුමය.
1928 අගෝස්තු මස 11 වැනිදා කෑගල්ලේ දේවාලේගම, නවගමුවේ උපත ලැබූ ඔහුගේ උපත ලියාපදිංචිය වූයේ පමා වීය. එහෙයින් උප්පැන්න සහතිකයේ උපන් දිනය වශයෙන් සඳහන් වූයේ සැප්තැම්බර් 2 වැනිදා යනුවෙනි. සමන් තිලකසිරිගේ පියා හේනක ආරච්චිලාගේ අප්පුහාමි වන අතර මව වූයේ බමුණු ආරච්චිලාගේ ටිකිරිමැණිකේය.
සිය වැඩිමල් සොහොයුරා විසින් සාදවා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට පවරා දෙන ලද නවගමුවේ බෞද්ධ මිශ්‍ර පාසල ආරම්භ කළ දා ම එයට ඇතුළු වී මූලික අධ්‍යාපනය ලබා එහිදී සිංහල ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වන්නට තිලකසිරි සමත් විය. පසුව කෑගල්ල විද්‍යාලයට ඇතුළු වී ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා 1950 දී ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගය ද 1 වැනි පන්තියේ සාමර්ථ්‍යයක් සහිතව සමත් විය.
වයස අවුරුදු 12 සිට කවි තැනීම ඔහු ආරම්භ කළේය. පාසල් සිසුවකුව සිටි කාලයේදී පුවත්පත්වලට ලිපි, කවි ආදිය සැපයුවේය. කාලීන ප්‍රශ්න ගැන පමණක් නොව සාහිත්‍ය පිළිබඳ ලිපිද ඒ අතර විය. ‘සිංහල බෞද්ධයා’, ‘නිදහස’, ‘පෙරමුණ’, ‘ලංකාදීප’ යන පත්‍රවල ඒවා පළ විය. වයස අවුරුදු 15දී කවි පොතක් ලියූ නමුදු ඔහුට එය මුද්‍රණය කළ නොහැකි විය.
ඉන් පසු 1951 වසරේ සිට කෑගල්ල බෞද්ධ මිශ්‍ර පාසලේ ඉංග්‍රීසි උපගුරුවරයකු ලෙස ඔහු සේවය කළ අතර ඒ සමඟම ‘ලංකාදීප’ හා ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ යන පුවත්පත්වල කෑගල්ල වාර්තාකරු ලෙසද කටයුතු කළේය. පසුව ගුරු විද්‍යාල ප්‍රවේශය සමත් වූ නමුත් ගුරු විද්‍යාලයට නොගොස් ඔහු ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයට බැඳුණේය. ඒ 1952 වසරේදීය. එසේ එක් වූ ඔහු අවුරුදු 33ක්ම ‘ලංකාදීප’ කර්තෘ මණ්ඩලයේ සේවය කළේය.
වාර්තාකරුවකු, පරිවර්තකයකු, උපකතුවරයකු ලෙස සේවය කොට අනතුරුව විශේෂාංග සංස්කාරක වශයෙන් අවුරුදු 10ක් පමණ කටයුතු කළේය. පසුව ‘ලංකාදීප’ නියෝජ්‍ය කර්තෘ වශයෙන් පත්ව අනතුරුව ‘රසවාහිනී’ ශාස්ත්‍රීය සඟරාවේ ප්‍රධාන සංස්කාරක පදවිය ලබා, එය පළ කිරීම නතර කරන තුරුම ඒ තනතුරෙහි සේවය කළේය.
කාලීන හා සමාජ ප්‍රශ්නද, සාහිත්‍යය, කලාව හා වෙනත් විෂයයන්ද යටතේ ලියන ලද ලිපිද කවිද ගීතද ගීත කතාද පුවත්පත්වල හා ‘සංස්කෘති’, ‘දින දින’, ‘සිනමාදීප’, ‘කලා’ ආදි බොහෝ සඟරාවල පළ විය. ළමා ගී පිළිබඳ විශේෂ කුසලතා හා දස්කම් දක්වන අතර ඔහුගේ ළමා ගී රාශියක් පුවත්පත්වල පළ විය. පොත් වශයෙන්ද නිකුත් විය.
ඒ අතර තවත් විශේෂ සිදුවීමක් විය. ඒ සමන් තිලකසිරි ‘ලංකාදීප’ පත්‍රයේ සේවයේ යෙදී සිටියදී ඔහුට භාරධූර වගකීමක් පැවරීමය. ඒ වගකීම ඔහු වෙත පැවරුණේ එවක සිට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටි ප්‍රබලතම මාධ්‍ය සංගමය විසිනි. ඒ වත්මන් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය හෙවත් එවකට ශ්‍රී ලංකා පත්‍ර කලාවේදී සංගමයෙනි. එහි ප්‍රධාන ලේකම් ධර්මසිරි ජයකොඩි විසින් 1961 වසරේ මැයි 16 වැනිදා ලිපියක් මඟින් සමන් තිලකසිරිට දන්වා තිබුණේ ‘පුවත්පත් කලාව’ කෘතිය සංස්කරණය කිරීම සඳහා සංගමයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සමන් තිලකසිරි තෝරාගෙන ඇති බවයි. පසුව ‘පුවත්පත් කලාව’ නම් එම කෘතිය 1962 වසරේ මාර්තු 16 වැනිදා එළිදක්වන ලදී. එහි පුවත්පතක කර්තෘ මාණ්ඩලිකයන් සෝදුපත් කියවන්නන් එකල අකුරු අමුණන්නන්ගේ ඇතුළු සමස්ත පුවත්පතක් මුද්‍රණයට යෑම දක්වා සියල්ල අන්තර්ගත කර ඇත. සමන් තිලකසිරිගේ සංස්කරණයෙන් නිකුත් වූ ‘පුවත්පත් කලාව’ කෘතිය ශ්‍රී ලංකා පත්‍රකලාවේදී සංගමයේ අවශ්‍යතාව මත විශේෂ කෘතියක් ලෙස එළිදක්වන ලදි. එය එදා මෙදා තුර පුවත්පතක ව්‍යූහය නිසි ලෙස දක්වා ඇති එකම කෘතියද වන්නේය. එහි පුවත්පතක මුල් පිටුවේ ‘ඩමියක්’ පවා අඩංගු වන්නේය. සෝදුපත් අංශයෙන් සෝදුපතක් කියවා ලකුණු කර ඇති අයුරුද එහි අඩංගු වන්නේය. එමෙන්ම එක් එක් මාධ්‍යවේදියාට තනතුර අනුව හිමි වන්නා වූ කාර්යය හා වගකීම්ද එහි අඩංගු වන්නේය.
‘ලංකාදීප’ ප්‍රකාශනයක් වශයෙන් 1972 දී නිකුත් කළ ‘ජන රජ වංශය’ නම් විශේෂ ප්‍රකාශනයේ සංස්කාරක ලෙසද ඔහු කටයුතු කළේය.
1969 දී ඔහුගේ ප්‍රථම සාහිත්‍ය නිර්මාණ කෘතිය වූ ‘පාසල් ළමා ගී’ නම් ගී පොත නිකුත් විය. ඒ උදෙසා රාජ්‍ය සාහිත්‍ය සම්මානය සමන් තිලකසිරිට හිමි විය. ඔහු ලියූ ‘පාසල් ළමා ගී’ පොතට සංස්කෘතික අමාත්‍යාංශයෙන් පිරිනමන ලද ප්‍රථම ළමා සාහිත්‍ය සම්මානයද රුපියල් දහසේ ප්‍රථම ත්‍යාගයද හිමි විය. ළමා සාහිත්‍ය සඳහා රජයෙන් සම්මාන පිරිනැමීම ආරම්භ කරන ලද්දේද ඒ වසරේදීය. 1969දීම ‘චීන ළමා කතා’ නමින් පරිවර්තන කෘතියක්ද පළ කළේය. ඊට පසුව එදා මෙදා තෙක් ළමා සාහිත්‍ය කෘති බොහෝ ගණනක් පළ කර ඇති අතර සම්මානද හිමි කරගෙන ඇත. 1976 නොවැම්බර් මස 26 වැනිදා පුවත්පතක විශේෂ ලිපියකින් අනාවරණය කර ඇත්තේ වන්නේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගෙන් පසුව ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලද අය අතර මහගම සේකර, සුනිල් ජයවීර හා සමන් තිලකසිරි සිටින බවයි.
අන්තර්ජාතික ළමා වර්ෂය නිමිත්තෙන් 1979දී පවත්වන ලද ළමා සාහිත්‍ය තරගයකදී ඔහු ලියූ ‘මල් ඔංචිල්ලා’ පොත සම්මානයක් හිමි කරගත්තේය. මෙය පසුව පළ කරන ලදුව 1981දී රජයේ ළමා සාහිත්‍ය සම්මානයද ඊට හිමි විය.
පුවත්පත් කලාව (1962), පාසල් ළමා ගී (1969), චීන ළමා කතා (1969), චීන ළමා කතා අංක 2 සහ 3 (1970), පුංචි සුරංගනාවි (1972), කුරුලු තෑග්ග (1974), මසුරු මිතුරු (1976), නව හෙළ ගී (1976), මල් ඔංචිල්ලා (1981), අමනරාල (1982), ගමරාලගෙ වංගෙඩිය (1983), මකර බබා (1984), පැණිරූපය (1986), සෙංකඩගල ඩෙංකුටු කුටු (1987), වැකි හුරුව (1988), සාහිත්‍ය විමසුම (1988) සමන් තිලකසිරි විසින් පළ කරන ලද කෘති කිහිපයකි. ඔහු ලියූ තවත් කෘති රැසක්ම ඇති ඇති අතර, ඇතැම් කෘති පිට කවරද ඇඳ සකස් කර මුද්‍රණය සඳහා සූදානම් කර තිබිණි. ඔහු විසින් පළ කළ කවිවලින් තෝරා ගත් කවි එකතුවක් ද ළමා ගී පොතක් ද ගීත කතා පොතක් ද, ජාතක කතා සංග්‍රහයක් ද ඉතිහාසයේ සඳහන් සත්‍ය ජනකතා කිහිපයක සංග්‍රහයක් ද ඒ අතර වෙයි.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගෙන් මෙන්ම පසුව ජනාධිපති ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා අතින්ද ඔහු සම්මානයට පාත්‍රවිය.
‘රසවාහිනී’ සංස්කාරකවරයා ලෙස ඔහු සේවය කරන අතරේදී ඔහුගේ සඟරාවට මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය වර්ණසේන රාසපුත්‍රම්, කේ. විජිතනන්ද හිමි, මුනිදාස සෙනරත් යාපා, පී.ඩී.ඇම්. ආරියදාස, සිරිල් සී පෙරේරා, තලංගම ප්‍රේමදාස, සාලමුල්ලේ ධර්මරත්න, විලියම් කරුණාමුනි, ප්‍රේමචන්ද්‍ර අල්විස්, සිරිමති රසාදරී, ආචාර්ය හෙන්රි විරසිංහ, ආචාර්ය කලල්ඇල්ලේ ශේඛර හිමි. ඩබ් ඒ අබේසිංහ, චිත්‍රසේන, ටයිටස් තොටවත්ත, ජී.බී. සේනානායක, තුසිත මලලසේකර, මහාචාර්ය ජේ.බී. දිසානායක, මදුරසිංහ ගුණතිලක යන වියතුන්ගේ ලිපි අනිවාර්යෙන්ම අඩංගු විය.

දුලනි තිලකසිරි
රසවාහිනියේ පළ වූ ලිපි අතුරින් මෙරට ජනතාව අතර බොහෝ කාලයක් මතකයේ රැඳුණු ලිපි ලෙස කොලොම්බස් පැරදුණු තැනක්, අපෙන් පසු පැවතෙන්නෝ, සිඟිති රස කතා, පරණ කලිසම් හා ජන කවි වෙයි. ‘ලියුම් කියුම්’ නමින් පළ වූ කොලමද මෙහිදී විශේෂකොට සැලකිය යුතුය.
සද්ධර්ම රත්නාවලියේ රස මුසු තැන් සොයමින් රසවාහිනියට මෙන්ම විවිධ පුවත්පත් රැසකට සමන් තිලකසිරි විසින් ලිපි රැසක් රචනා කර තිබේ. විශේෂයෙන්ම පෙරමුණ පුවත්පතේ සද්ධර්මරත්නාවලියේ පළ කරන ලද සාහිත්‍ය ලිපි පෙළ බෙහෙවින් ජනප්‍රිය විය.
අන්තර්ජාල පහසුකම් නොතිබුණද සමස්ත ලෝකය ගැන හොඳ දැනුමක් සමන් තිලකසිරිට තිබුණේය. පුවත්පතේ විදේශ ලිපි සම්පාදකයා වූයේද ඔහුය. 2000 ජනවාරි 5 වැනිදා සමන් තිලකසිරි මෙලොව හැර ගියේ ඔහු සතු මහාධනස්කන්ධයක්ද ඉතිරි කරමිනි. ඒ ඔහු සතු වූ කෘති හා ලිපි ලේඛන රැසක් ඉතිරි කරමිනි.
සමන් තිලකසිරි පදිචිව සිටියේ රාජගිරියේ, රාජගිරිය පාරේ, අංක 494/1 නිවෙසේය. ඔහුට එක් දියණියක් හා පුතුන් දෙදෙනෙකි. භාර්යාවද පාසල් ආචාර්යවරියකි. අද වන විට සියලු දූදරුවන් විදේශගතවය.
දියණිය වන දුලනි තිලකසිරි සිය පියාගේ අතීතය සිහිපත් කළේ මෙලෙසිනි:
“තාත්ත නොකරපු විෂයයක් නැහැ. දෙස් විදෙස් ඕනම මාතෘතාවක් ගැන තාත්තට ලියන්න කියන්න පුළුවන්. තාත්තගෙ වස්තුව වුණු සේරම පොත් මා සතුව තියෙනවා. ඒවා සංරක්ෂණය කරන්න රාජ්‍ය හෝ පෞද්ගලික අංශයෙන් කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් සහාය දෙන්න මම කටයුතු කරනවා.
“විශාරද නන්දා මාලිනී ළමා පොත් කීපයක් මුද්‍රණය කළා. ඒ හුඟක් කවි පොත්වල තාත්තගෙ කවි තමයි අඩංගු වෙන්නේ. තාත්තත් එක්ක කතා කරල තමයි ඒ ළමා කතා මුද්‍රණය කළේ. විශේෂයෙන්ම ‘නළ දරුවෝ’ පොත ඒ අතර විශේෂයි. අද වෙනකොට තාත්ත පදිංචි වෙලා හිටපු රාජගිරිය ගෙදර අපි කවුරුත් නැහැ. ඒක නිසා මේ පොත්පත් ආරක්ෂා කරන එක අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. අපි හැමෝම ඉන්නෙ විදේශගත වෙලා. ඒක නිසා මේ පොත්පත් ආරක්ෂා කරා නම් ඒක අනාගත පරපුරට ලොකු වටිනාකමක් තියෙනවා.
“ඒ වගේම මම අදහස් කරන්නෙ අපේ රටේ සාහිත්‍යයට ලේඛන කලාවට විශාල සේවයක් කරපු වියතුන්ගෙ කෘති අලුතින් මුද්‍රණය කරන්න. ඒ කාර්යය මම තාත්තගෙන් පටන් ගන්න ඉන්නෙ. අලුත් පරපුරට උචිත විදිහට ඒ සියල්ල අලුතින් හඳුන්වා දෙන ක්‍රමයක් ගැන තමයි මම හිතාගෙන ඉන්නෙ. ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා මම උපයෝගී කරගන්නයි හිතාගෙන ඉන්නෙ. එහෙම නොකළොත් අනාගත පරපුරට ඒ වියතුන් ගැන දැනුමක් නැති වෙනවා.”
දුලනි තිලකසිරිගේ ඒ වෑයමද අගය කළ යුතුය. ඇය සම්බන්ධ කරගැනීමට අවශ්‍ය අයකු වෙත් නම් පහත විද්‍යුත් තැපෑල භාවිත කළ හැකිය: stheritagesrilanka@gmail.com

සමන් තිලකසිරි සිය පවුල සමඟ වසර 30කට පමණ පෙරදී

1969 වසරේ ප්‍රකාශිත ‘පාසල් ළමා ගී’ කෘතියට ළමා සාහිත්‍ය සම්මානය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අතින් හිමි කරගත් අවස්ථාව

1980දී ‘මල් ඔංචිල්ලා’ කෘතියට හිමි අන්තර්ජාතික ළමා සාහිත්‍ය සම්මානය එවකට අගමැති රණසිංහ ප්‍රේමදාස අතින් ලබාගත් අවස්ථාව
සේයාරූ – දුෂ්මන්ත මායාදුන්නේ