මහ පාන්දර පටන් ඇහැරගෙන උන් කෙඩෙත්තුව නිමා කරමින්, ගමනාරම්භය පිළිබඳ දැනුම් දෙන ඒ හඬ ඇසෙන්නට විය.
“සුබ උදෑසනක් නෝනාවරුනි මහත්වරුනි! මම කපිතාන් මාධිනී විජේසිංහ, මගේ සහායක ගුවන් නියමුවරිය අයෝධ්‍යා රණසිංහ ඇතුළු කාර්ය මණ්ඩලය, යූඑල් 404 ගුවන් යානයට මේ උදෑසන ඔබ සාදරයෙන් පිළිගන්නවා. තවත් සුළු මොහොතකින් අපි ඔබව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේ සිට බැංකොක් නුවර බලා රැගෙන යන්න සූදානම්. අද අපේ ගුවන් කාලය පැය තුනකුත් විනාඩි පහළොවක්. අද කාලගුණය හොඳ දවසක්. අපි ගමන් කරන්නේ අඩි 36,000ක් උඩින්. එනිසා ඔබේ ආසන පටි පැලඳ සිටින ලෙස අපි ඔබට ආරාධනා කරනවා. බැංකොක් නුවරට ළඟා වීමට ආසන්නයේදී යළිත් මා ඔබ අමතන්නම්. ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබට ස්තුතියි! ඔබට සුව පහසු ගමනාන්තයක්!”
කිසිම අමුත්තක් නැති, ගුවන් ගමනක හැමදාම සිද්ධ වන මේ දේවල් අද අපිටත් වෙනස් විදියකට පේන්න අරන්. මොකද, අද මාර්තු 8 වැනිදා. මුළු ලෝකයම අන්තර්ජාතික කාන්තා දිනය සමරන දවස. ඒ දවසේ, කාර්ය මණ්ඩලයේ එකම පිරිමියකුවත් නැති ගුවන්යානාවකින් බහුතරය කාන්තාවන් වූ මාධ්‍ය කණ්ඩායමක් විදියට අපි පැයකට බැංකොක් යනවා. ඉතින් මෙතැන් සිට ගුවන් යානාව ඇතුළේ ක්‍රියාත්මක වන්නේ, ඒ කාර්ය මණ්ඩලයේ හැඩැති රුවැති සුකුමාල ළඳුන් හය හත් දෙනාගේ අණසක. අපිට තරමක් අමුතුයි වගේ පෙනුණට, මේ පුරුදුකාර හැඩැති ළඳුන්ට එහි වගක් නැති තරම්.
මඟින් අතරේ කොයි තරම් පිරිමි උන්නත්, හදිසියකටවත් කාර්ය මණ්ඩලයේ එක පිරිමි නිලධාරියකු නැති මේ ගුවන්යානාවේ කාර්මික දෝෂයක්වත් හට ගත්තොත් මොන දෙයියන්ට කියන්න ද! අනේ… එහෙම නම් වෙන්න එපා. මේ කෙල්ලෝ ටිකක් මොනවා කරන්න ද…
තවමත් අහු-කොන්වල ඉතුරු වෙලා ඉඳ-හිට එළියට එන මගේ සාම්ප්‍රදායික ගැහැනු හිත ඇතුළෙනුත් දෙගිඩියාව එළියට එනවා. චකිතයක් දැනුණත් ඒ යල්පැන ගිය සිතුවිල්ලේ තවදුරටත් වලංගුභාවයක් නැති බව, යූඑල් 404 බැංකොක් වෙත රැගෙන ගිය සුන්දර සහ හිත හයිය ගැහැනුන් වන කපිතාන් මාධිනී, සහය නියමු අයෝධ්‍යා වගේම, කාර්ය මණ්ඩල කළමනාකාරිනි රොෂානි යටතේ සිටි ගුවන් සේවිකාවන් වූ චතුරි, ප්‍රසාදි, කේෂියා, නටාෂා සහ පියුමි කියන සමස්ත කණ්ඩායමම ඔප්පු කළා.
වලාකුළු පහුකරගෙන, විටෙක ඒවා පීරාගෙන මූදු හතක් පහුකරගෙන මාධිනී දැන් අපිව රැගෙන යන්නේ අඩි 36,000ක් උඩින්. ඒ අතරේ රොෂානිගේ කණ්ඩායම මඟින්ගේ අඩුපාඩු සොයා බලමින් ආහාර පාන පිළිගන්වනවා.
දුක හිතුණම අඬාවැටුණට, මේකප් පියරු උලාගෙන හැඩ වැඩ වුණාට ගැහැනු බොළඳයි කියල කොහොම කියන්න ද… බාහිර සියල්ලෙන් වැහී තිබෙන ගැහැනු හිත් අවශ්‍ය මොහොතේ එඩිතරයි. තීරණාත්මකයි. මහාමේරුව දරන්න තරම් හයියක් ඒ හිත්වල උපදිනවා. ඉතින් එහෙව් කෙල්ලන්ට මේ ලෝකෙ කරන්න බැරි මොනවද…
අඩි 36,000ක් උඩ ආකාසේ ඉන්නා ගමන් මට කැබිතිගොල්ලෑව, යකාවැව ගමේදී හමු වෙච්ච පද්මලතාවත් මතක් වුණා. කැලේ හරියෙන් මුගුණු ඔය පතුලට කිමිදිලා ඈ දවස පුරා වැලි ගොඩ දැම්මේ තාත්තා නැති දරු දෙන්නා ජීවත් කරවන්න. මං ඒ ගැන ලිවුවේ මීට අවුරුදු ගණනාවකට ඉහත කාන්තා දිනයකදීමයි.
ඉතින්, ටොන් ගානක් බර ගුවන් යානයක් ආම්බාං කරගෙන, රටකින් රටකට යන මාධිනීලා වගේම, උහුලන්න බැරිතරමේ දුක් දරාගෙන ජීවිතයට මුහුණ දෙන පද්මලතා වගේ අපේ රටේ බොහෝ ගැහැනුන්ගේ පොදු සාධකය, කළුගල් ගෙඩි වගේ ඔරොත්තු දෙන ඒ යකඩ හිත්.
කොහොම වුණත්, ගැහැනියකගේ ‘ස්මාර්ට්’ බව ඉතා හොඳින් ඉස්මතු වන නිල ඇඳුමකට උරුමකම් කියන, අන්තර්ජාතික පිළිගැනීමක් ඇති, ලේසියෙන් කෙනකුට ළඟා කරගන්න බැරි සිහිනයක් වන කාන්තා ගුවන් නියමුවරියක වීම නම් තරමක් අමාරු දෙයක්. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් තුන්සිය ගණනක් අතරින් 25 දෙනකුම කාන්තා නියමුවරියන් ලෙස සේවය කිරීම, වර්තමානය වනවිට ඒ ප්‍රවණතාව වෙනස් වෙමින් පවතින බවට සාක්ෂියක් වුණත්, ඒ බොහෝ දෙනා කොළඹ පාසල්වලින් ආ යුවතියන්.
අවශ්‍ය බලපත්‍ර ගෙන මේ තනතුර දක්වා එන පාඨමාලා සඳහා වැය කළ යුතු මුදල අද වන විට දළ වශයෙන් රුපියල් ලක්ෂ 150-200කට ආසන්නයි. හැබැයි, වැය වන ඒ මුදල ක්ෂේත්‍රයට පිවිස අවුරුදු එකහමාරක් දෙකක් යනවිට උපයන්න හැකි වීමත් මේ රැකියාවේ විශේෂත්වයක්. එයට හේතුව, මිනිස් ජීවිතවල වගකීම ඍජුව දරමින් කරන්න සිදු වන අවදානම්සහගත රැකියාවක් වීම. කොහොම වුණත්, අපේ රටේ ගුවන් නියමුවරියන් බිහිවීමේ හැකියාව තවම තිබෙන්නේ ඒ වියදම දරාගත හැකි, යමක්කමක් ඇති පවුල්වල දූවරුන්ට විතරයි.
ගුවන්යානයක් පාලනය කරන සුක්කානම වන්නේ සයිඩ්ස්ටික් කන්ට්‍රෝල් එක. ඒ මත්තේ පැවරෙන වගකීම පිළිබඳ මාධිනී පැහැදිලි කළේ මේ විදියට:
“ගුවන් නියමුවන් දෙදෙනාට වගකීම් දෙකක් පැවරෙනවා. ‘පයිලට් ෆ්ලයින්’ කියන්නේ ඒ මොහොතේ ගුවන්යානය පදවන නියමුවා. අනෙක් පසින් සිටින්නේ ‘පයිලට් මොනිටරින්’. එයා අධීක්ෂණ කටයුතු සිදු කරනවා.
ගුවන් යානයේ දොර වැසූ පසු, ගමනාන්තයේදී නැවත දොරවල් විවෘත කරන තුරු යානයේ සම්පූර්ණ වගකීම කපිතාන් සතුයි.
ඒ වගේම හදිසි අවස්ථාවක තත්පර 90ක් ඇතුළ සියලුම මඟීන් යානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීම සමස්ත කාර්ය මණ්ඩලයේ ම වගකීමක්.
කාර්මික දෝෂයක් හෝ ගිනි ගැනීමක් සිදු වූ විට යානාව බෑමට ගොඩබිමක් හමු වූයේ නැතිනම් අවස්ථාව අනුව ගුවන් යානය ගඟකට මුහුදකට වූවත් පරිස්සමට ගොඩබෑම කපිතාන් ගේ වගකීම. එහෙම වෙලාවට දොරවල් අරිද්දී ඉබේම පිම්බෙන හුළං බෝට්ටු හතරක් හෝ හයක් මඟී ගුවන් යානාවල තිබෙනවා. ඒ බෝට්ටු, යානාවේ සිටින සියලුම මඟීන්ට ප්‍රමාණවත්. බේරා ගැනීම් සිදුවන තෙක් මඟීන්ගේ ශක්තිය රඳවා තබා ගැනීමට ම සැකසූ අධි පෝෂ්‍යදායී බිස්කට් වර්ගත් යානාවේ වෙනම තැන්පත් කර තිබෙනවා.

කපිතාන් මාධිනී විජේසිංහ සහ සහායක ගුවන් නියමු අයෝධ්‍යා රණසිංහ
ඊට අමතරව, පොළොවට ආසන්නව සිදුවන හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් ගේ දොර දෙපැත්තෙන්, ගැට දැමූ කිලෝ 90ක බරක් දරා ගත හැකි මීටර 30ක් දිග කඹ දෙකක් තැන්පත් කර තිබෙනවා. ඒ කඹයේ එල්ලී නියමුවන් දෙදෙනාට කොක් පිට් එකෙන් බිමට බැසගන්න පුළුවන්.
කාර්යමණ්ඩලයේ කෙනකුගේ වැරැදි තීරණයකින් යමක් සිදු වූවත් එය කපිතාන් වශයෙන් මා භාර ගත යුතුයි. කාලගුණය අයහපත් අවස්ථාවක ගුවන්යානාව නැංවීම, පියාසර කරවීම සහ ගොඩබෑම කපිතාන්ගේ වගකීමක්. එවැනි අවදානම් අවස්ථාවක පළමු පියාසර නිලධාරියා වෙත යානාව භාර නොදෙන්නේ ඒ නිලධාරියාගේ හැකියාව පිළිබඳ සැකයකින් නෙවෙයි. එය කපිතාන්ගේ වගකීමක් වන නිසයි. ගුවන් ගමන අතරතුර යම් අවශ්‍යතාවකට කපිතාන්වරියට අසුනෙන් නැඟිටින්න සිදු වුවහොත් පළමු පියාසර නිලධාරිනිය ගුවන්යානය භාර ගන්නවා.
“මගේ ගුවන්යානා පැදවීමේ පළපුරුද්ද අවුරුදු 17ක්. කපිතාන් කෙනෙක් වෙන්න පුංචි කාලේ ඉඳලා මට සිහිනයක් තිබුණා. ලංකාවේ පළමු ගුවන් නියමුවරිය වුණේ මගේ නැන්දා. ඇය මට ඇත්තටම ‘රෝල් මොඩ්ල්’ කෙනෙක්. එයා හිටපු නිසා මට අම්මා තාත්තගේ ලොකු අකැමැත්තක් තිබුණේ නැහැ. 2006 වසරේ ගුවන් නියමුවරියක් වෙන්න මං ඉගෙනගත්තේ අමෙරිකාවේ හූස්ටන්වල. අවුරුදු එකහමාරක් විතර මට ගුවන්යානා පාසලේ ඉගෙනගන්න වුණා. ඒ කාලයේ මම හිටියේ අමෙරිකාවේ මගේ ඥාතියකුගේ ගෙදර. ඒ නිසා මට කන්න බොන්න වියදම් ගියේ නැහැ.
“ගුවන් නියමු බලපත්‍රය ගන්න ඒ කාලයේ මට ගිය මුදල රුපියල් මිලියන පහක් විතර. ගුවන් නියමුවරියක වෙන්න ලොකු මුදලක් වැය වුණාට ඒ මුදල අවුරුදු එකහමාරක් දෙකක් ඇතුළත උපයන්න මේ රස්සාවේදී පුළුවන්. ඉතින් මේ රස්සාවට කැමැති කෙනෙක්, උත්සාහයෙන් එන්න හිතනවා මිසක් ඒ මුදල බාධකයක් කරගන්න නරකයි. ඒ මුදල් කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවත් දැන් තිබෙනවා.
“අපේ පවුලේ අයියලා දෙන්නයි, මමයි, නංගියි. අම්මයි තාත්තයි අපි හතර දෙනාව එක වගේ ගොඩනැඟුවා. මගේ තාත්තා වෛද්‍යවරයෙක්. මගේ මහත්තයත් ගුවන් නියමුවෙක්. එයා ප්‍රවීන් විජේසිංහ. මේ රස්සාව කරන්න බැහැ එකිනෙකාට ගරු කරන්න බැරිනම්. මොකද: අපි ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි. රෑ දවල් නොබලා අපි පියාසර කළ යුතුයි. බොහෝ දවස් තිබෙනවා, මම ගෙදර ඉන්න වේලාවට මහත්තයා ආකාසේ. මම ගුවනේ ඉන්න වේලාවට මහත්තයා ගෙදර. ඒත් පවුලක් හැටියට හැම දේම බැලන්ස් කරගන්න ඕනෑ. මගේ පුතා කෙයාන්. එයාට වයස අවුරුදු 9යි. එයා හොඳ දැනුම් තේරුම් තියෙන දරුවෙක්. මම එයාට මගේ රස්සාව පිළිබඳ හැම වේලාවෙම පැහැදිලි කරනවා. මොකද: එයත් දවසක එයාගේ බිරිය කරන රැකියාවට ගරු කරන්න සහ නිදහස දෙන්න පුරුදු වෙන්න ඕනෑ. ‘අම්මා, මං නිසා ඔයාගෙ සිහින අතාරින්න එපා…’ කියන තරමට මගේ පුතා දැන් දියුණුයි. එයා ඉපදුණාම මට රස්සාවෙන් නවතින්නම හිතුණා. මහත්තයා තමයි කිව්වේ ‘නෑ, ඔයා ෆ්ලයි කරන්න…’ කියලා. එතකොට මම ෆස්ට් ඔෆිසර්. ‘ඔයා කැප්ටන් වෙන කල් ෆ්ලයි කරන්න ඕනෑ…’ එයා මට අධිෂ්ඨානයක් දුන්නා. මගේ අම්මයි තාත්තයි දරුවා බලාගන්න උදවු කරනවා. එයා අසනීප වුණත් මම දාලා යන්න ඕනෑ. ප්ලේන් එකට නැග්ගට පස්සේ ගෙදර ප්‍රශ්න මගේ ඔළුවට ගන්න බැහැ. මම ඒක කල්පනා කර කර යානය ගෙනිච්චොත් ජීවිත සිය ගණනක් අනතුරේ.

තැඹිලි පැහැ මොනර සාරියෙන් හැඩ වූ ‘කැබින් මැනේජර්’ රොෂානි සහ පිටුපසින් පියුමි සහ කේෂියා…
“ඕනෑතරම් නරක කාලගුණය මැද්දේ මම ගුවන්යානය අරන් ගිහින් තියෙනවා. ජීවිතයේ අමතක නොවෙන දේවල් මේ වෘත්තීය ජීවිතය ඇතුළේ ඕනෑ තරම්. විශේෂයෙන් ජෙඩා යද්දී මක්කම කාලෙට බැතිමතුන්ගෙන් බොහෝ වයසක අය ගුවන් යානය ඇතුළේ බරපතළ ලෙස අසනීප වෙනවා. තත්ත්වය බරපතළ නම් ළඟම ගුවන් තොටුපොළට යානය ආරක්ෂිතව ගොඩ බාන්න හොඳම විදිය පිළිබඳ මම තීරණයක් ගන්න ඕනෑ. ඒ වගේම, අපට මාස හයෙන් හයට ට්‍රේනින් එකක් දෙනවා; සෞඛ්‍ය පරීක්ෂණ තිබෙනවා. අපේ බර වැඩි වෙන්න බැහැ; දෑස හොඳින් පෙනිය යුතුයි. කණ්ණාඩි පලඳිනවා නම් අතේ දුරින් වැඩිපුර කණ්ණාඩි කුට්ටමක් තබා ගත යුතුයි…”
අයෝධ්‍යා රණසිංහ, මේ ගුවන්යානයේ පළමු පියාසර නිලධාරිනිය. තවමත් අවිවාහක ඇය, කපිතාන් සිහිනය හඹා යමින් සිටින සොඳුරු යුවතියකි.
“පුංචි කාලෙ පටන් මම අම්මලා තාත්තලා එක්ක පිටරට සංචාරවලට ගියා. ඒ නිසාම ගුවන්යානාවක් ඇතුළේ සිදු වන දේ දුටුවා. ඒ කාලේ සාමාන්‍ය මගීන්ට නියමු මැදිරිය හෙවත් ‘කොක් පිට්’ එක ඇතුළට යන්න ලොකු තහනමක් තිබුණේ නැහැ. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පස්සේ තමයි ‘කොක් පිට්’ එකට පිටස්තර මගීන්ට ඇතුළු වෙන්න බැරි තහනම පැනවුණේ. මම පුංචි කාලේ කොක් පිට් එක ඇතුළේ ෆොටෝ එකකුත් අරන් තියෙනවා. කොහොම වුණත් මම උසස් පෙළ කළාට පස්සේ මගේ ආසාව වුණේ ගුවන් නියමුවරියක් වෙන්න. මම ඒ සඳහා අවශ්‍ය මාර්ගය අධ්‍යයනය කළා. ඒත් මගේ තාත්තා කීයටවත් කැමැති වුණේ නැහැ. මගේ පවුලේ කවුරුවත් ගුවන්යානා ක්ෂේත්‍රයේ හිටියෙත් නැහැ. ඒ නිසා හැමදේම මටමයි හොයාගන්න වුණේ.
“මගේ අම්මා නීතිඥවරියක්. අන්තිමේ අම්මා මට උදවු කළා; තාත්තාව කැමැති කරලා දුන්නා. මම ඉගෙනගත් අමෙරිකාවේ ගුවන්යානා පාසල හොයා ගත්තෙත් මමමයි. අවුරුදු එකහමාරක් විතර මම එහෙ ඉගෙනගත්තා. ඒ වගේම මගේ අම්මගේ, තාත්තාගේ සිහිනය වුණේ මම උපාධිධාරිනියක් වෙනවා දකින්න. ඒ නිසා මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳවත් එම්බීඒ උපාධියක් සම්පූර්ණ කළා.
“කොක් පිට් එකේ අසුන් ගන්න පෙර රෝදවල හුළං අඩු ද, තෙල් කාන්දුවීම් තිබෙනවා ද, සීරීම් තිබෙනවාද… වගේ, දේවල් අපි පරීක්ෂා කළ යුතු ‘චෙක් ලිස්ට්’ එකක් තිබෙනවා. ගුවන් යානය වටේම ඇවිද ගිහින් මේ සෑම දෙයක්ම පරීක්ෂා කරන්න ඕනෑ.
“අහස අඳුරු වුණත්… කුණාටු හුළං හැමුවත් අපි නියමිත ගුවන්ගමන යා යුතුයි. තදින්ම අකුණු වදිනවා නම්, කාලගුණ වෙනස්වීම් ප්‍රබල නම්, සාමාන්‍යයෙන් ගුවන් ගමන් තරමක් ප්‍රමාද කරනවා. එහෙත් යා හැකි පසුබිමක් නම් පැය දොළහක දිගු ගුවන් ගමනක් වුණත් අපි ඒ දේට ඔරොත්තු දීගෙන යන්න සූදානම්.
“මම වැඩිම උසකින් පියාසර කර තිබෙන්නේ අඩි 39,000ක් උඩින්. පළමු නිලධාරිනිය විදියට ගුවන්යානාව ගොඩබැස්සවීම සහ අවශ්‍යතාව අනුව පියාසර කරවීම මගේ වගකීමක්. මේ රාජකාරිය කැප්ටන් සහ කෝ-පයිලට් යන දෙදෙනාම සහයෝගයෙන් කරන ක්‍රියාවක්. මට ලංකාවේ පාරවල කාර් එක එළවනවාට වඩා, ප්ලේන් එකක් ගෙනියන එක ලේසියි; ආරක්ෂිතයි. මොකද, අහසේ ගුවන්යානා කොපමණ පියාසර කළත්, සෑම පයිලට් කෙනකු තුළම ඒ සඳහාම පුරුදු පුහුණු කරගත් ස්වයං විනයක් තිබෙනවා; ඉවසීමක් තිබෙනවා. ඒ නිසා අනතුරු අඩුයි.
“ගුවන්යානාවෙන් බැහැලා ගෙදර ගියාම අපිත් සාමාන්‍ය අය. මට හොඳට කේක් හදන්න පුළුවන්; මහන්න පුළුවන්. මං හොඳට ෆැෂන් කරන කෙනෙක්. ජීවිතේ කැමැතිම වෘත්තිය තෝරාගෙන, එහි නියැළෙන ගමන් හැමදේම කරන්න මම වේලාව හදාගන්නවා. කාන්තාවක විදියට මට තියෙන්නේ බොහොම තෘප්තිමත් හැඟීමක්…”
ගුවන්යානාවට මගීන් ගොඩ වෙද්දීත් බැස යද්දීත් ‘ආයුබෝවන්!’ කියා සිනාවෙන් පිළිගෙන සංග්‍රහ සත්කාර පිළිගන්වන ගුවන් සේවිකාවන්ට නායකත්වය දෙන රොෂානි දිසානායක 27 වසරක් තිස්සේ සේවය කරන්නේ ඉතා තෘප්තිමත් හැඟීමකිනි. එමෙන්ම, කණ්ඩායමේ නායිකාව හෙවත් කැබින් මැනේජර්වරිය ඇයයි.

කළමනාකරු, ආයතනික සන්නිවේදන දීපාල් පෙරේරා
“හුඟක් අය ගුවන් සේවිකාවක් කිවුවම හිතන්නේ ලස්සන, බොහෝම සුන්දර රැකියාවක් කියලා. ඇත්ත. ඒකෙ සුන්දර පැත්තක් තිබෙනවා. රටින් රටට සංචාරය කරන්නට පුළුවන්. විවිධ මිනිසුන් මුණගැහෙනවා. ඒ වගේම ගුවන් සේවිකාවක් කියන්නේ විශාල රාජකාරියක් කරන කෙනෙක්. ගුවන්යානය ඇතුළට අවශ්‍ය බඩුමුට්ටු ආහාරපාන ගෙනැවිත් තැබුවාම ඒවා නියමිත ස්ථානවල හරියට තිබෙනවා ද කියා ගුවන් ගමනට පෙර අප පරීක්ෂා කළ යුතුයි. ඒක හරියට ගෘහණියක් ගෙදර කුස්සියේ බඩු ටික තියෙනවා ද කියා සොයා බලා පිළිගන්වනවා වගේ දෙයක්. කනබොන දේවල් වගේම අනෙක් සෑමදේම ඒ ඒ තැන්වල පිළිවෙළට තිබිය යුතුයි. මගීන් සතුටින් තියනවා වගේම, ඒ අයව පිළිගන්නත් බැස යනවිට ආයුබෝවන් කියා සමු දෙන්නත් අපි සැදී පැහැදී සිටිනවා.
“ඒත් ලන්ඩන් වගේ දිගු ගමනක් යන විට පැය දොළහක් ගුවන් යානයේ සිටින්න වෙනවා. අපිව ගෙදරින් ගන්නේ පැය හතරකට කලින්. එතකොට අපි සූදානම් වෙන්නේ තවත් පැයකට කලින්. ඊළඟට පැය දොළහක් පියාසර කරලා ගොඩබැහැලා හෝටලයට යද්දී පැය විස්සකට කිට්ටු කාලයක් ගත වෙලා. මේ මුළු කාලයම අපි ඉන්නේ යුනිෆෝම් එකෙන්. කාන්තාවකට දැනෙන අපහසුතා දරාගන්න සිදු වෙනවා; නිදි වරන්නට වෙනවා; ලස්සන නඩත්තු කරන්න වෙනවා. බොහෝ වේලාවක් නිදි වරන නිසා බඩගිනි වීම වැඩියි. ඒත් හිතුණු දේ කන්න බැහැ. මොකද, නිසි බර පවත්වාගැනීම ඉතා වැදගත් නිසා.
ඔය සේරම මැද්දේ ගුවන්යානාවට මගීන් නඟින විටයි, බහින විටයි සිනා මුසු මුහුණින් ‘ආයුබෝවන්!’ කියා පිළිගන්න ඕනෑ. ඒක මවාගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි; හදවතින්ම එන්නට ඕනෑ. ඉතින් ගුවන් සේවිකාවක් කියන්නේ මිනිසුන් හා ඍජුව ගනුදෙනු කරන, ඔවුන් සතුටින් තබන්නට උත්සාහ කරන සේවයක්. කාන්තාවක් විදියට මම මේ තෝරාගත් රැකියාව ගැන හරි ආඩම්බරයි…”
ඉතින්, වෙනස් විදියක අත්දැකීමක් එක්ක ගෙවී ගිය මේ කාන්තා දිනය මාධ්‍යවේදිනියන් ලෙස අපටද දැනවූයේ මහත් සතුටකි.
විශේෂ ස්තුතිය – ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකරු, ආයතනික සන්නිවේදන දීපාල් පෙරේරා ට.