අපේ රට තුළ බහුලව දක්නට ලැබෙන්නා වූත් ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන්නා වූත් සුව කිරීමට අපහසු රෝග අතර ‘පක්ෂග්‍රාහි’ රෝගයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. රජයේ කාර්යාල, අමාත්‍යාංශ ආශ්‍රිතව මේ රෝගය බහුලව දැකිය හැකිය. අමාත්‍යාංශ සිහිපත් කරන විට ඉදිරියෙන්ම තැබිය හැක්කේ ක්‍රීඩා අමාත්‍යාංශය බවද කිව යුතුය. එහිදී මේ පක්ෂග්‍රාහි රෝගයට නිතරම ගොදුරු වන්නේ නිලවරණ කමිටු බව ඕනෑම කෙනකුට අවබෝධ කරගැනීම අපහසු නැත.
ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී ඇති සම්මේලන වෙනුවෙන් නිලවරණ පැවැත්වීම සැම වසරකම සිදු කළ යුතුව ඇත්තේ අදාළ වසරේ මැයි 31 දිනට කලිනි. ඒ, එම ක්‍රීඩා සම්මේලනයන්හි නිල කාලය අවසන් වීමට නියමිතව තිබියදීය. පසුගිය වසරේ නිලවරණ පැවැත්වීමට නියමිතව සිටි ක්‍රීඩා සම්මේලන අතුරින් නෙට්බෝල් හා පාපැදි ඇතුළු ක්‍රීඩා සම්මේලන කිහිපයක්ම නිලවරණ පවත්වා, නව නිලධාරි මණ්ඩල පත් කරගැනීමට නොහැකි වී තිබිණි. එපමණක්ද නොව, ඒ ක්‍රීඩා සම්මේලන කිහිපයක්ම යුක්තිය ඉටු කරගැනීම පිණිස අධිකරණයේ පිහිට පැතීමටද පියවර ගෙන ඇත.
මේ නිසා එම ක්‍රීඩාවන් දැන් පසු වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ අත්අඩංගුවේය. මේ අවාසනාවන්ත තත්ත්වය උදා වී ඇත්තේ පෙර සඳහන් කළ ‘පක්ෂග්‍රාහි’ රෝගයට අදාළ නිලවරණ කමිටු ගොදුරු වීමය.
තවද, නෙට්බෝල් හා පාපැදි යන ක්‍රීඩා සම්මේලනවල නිලවරණ පැවැත්වීමේ වගකීම භාර ගෙන තිබුණේ එකම පිරිසකගෙන් සමන්විත වූ පංච පුද්ගල කමිටුවකටය. නෙට්බෝල් හා පාපැදි නියෝජිතයන් උසාවි ගොස් ඇත්තේ මේ පිරිසට එරෙහිවය.
නෙට්බෝල් නිලවරණය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන විට පළමුව ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් යටතේ 2024 මැයි 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කළ නිලවරණය අවලංගු වූයේත් ඉන් පසු නැවත නිලවරණය පැවැත්වීම සඳහා අමාත්‍යාංශය විසින් නම් කළ පංච පුද්ගල නිලවරණ කමිටුවක් ඉදිරියේ පැවැත්වීමට සැලසුම් කළ නිලවරණයද අවලංගු වූයේත් ඉහත සඳහන් කළ ‘පක්ෂග්‍රාහි’ රෝගයට ඒ නිලවරණ කමිටු ගොදුරු වී තිබීම හේතුවෙනි.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ අවලංගු වූ පළමු නිලවරණයට එක්ව සිටි නිලවරණ කමිටු නිලධාරීන් දෙදෙනකු පසුව නම් කළ පංච පුද්ගල නිලවරණ කමිටුවටද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කර තිබීමය. මේ නිසා දෙවැනි නිලවරණ කමිටුවට ‘පක්ෂග්‍රාහි’ රෝගය බෝ වීමට එයද හේතු වන්නට ඇතැයි සිතිය හැකිය.
ඡන්ද බලය අහිමි තමන්ට හිතවත් අනුබද්ධ සංගම් රැසකට ඡන්ද බලය ලබා ගැනීමේ අරමුණින් ව්‍යාජ ලෙස සකස් කොට නිලවරණ කමිටුවට භාර දෙන ලද කූට ලේඛනයක් නිලවරණ කමිටුව කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන තිබිම නිසා අද නෙට්බෝල් ක්‍රීඩාව රස්තියාදු වන්නේ වංචා විමර්ශන අංශයේ හා අභියාචනාධිකරණයේය. ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් ගෙන එන්නට අපට මෙය අවස්ථාව කරගැනීමේ අදහසක් නැත.
මේ ලිපියේ අරමුණ ‘පක්ෂග්‍රාහි’ රෝගයට ගොදුරු නොවී කටයුතු කළ හැකි නිලවරණ කමිටු පත් කළ හැකි හොඳම ප්‍රතිකර්මය යෝජනා කිරීමය.
නිලවරණ කමිටු දූෂිත වී ඇත්තේ දැනට එම කමිටු පත් කිරීමේ බලය අදාළ සංගම්වලටම දී ඇති බැවිනි. මේ සංගම් බලයේ රැඳී සිටින්නේ වැඩි බලයක් ඔවුන් සතුව ඇති නිසාය. එබැවින් ඔවුන්ට තමන් කැමැති නියෝජිතයන් නිලවරණ කමිටු සඳහා පත් කරගැනීම පහසු වී ඇත. මේ නිසා ක්‍රීඩා අමාත්‍යාංශය ‘ජාතික නිලවරණ කමිටු සාමාජික සංචිතය’ යටතේ ක්‍රීඩා පනත හා ඒ ඒ සම්මේලනවල ව්‍යවස්ථා පිළිබඳ පැහැදිලි කියවීමක් සහිත නියෝජිතයන් 15 දෙනකු පමණ පත් කරගත හැකිය. එක් නිලවරණයක් සඳහා නියෝජිතයන් තිදෙනකු නම් කරන්නේ නම්, එවිට එක්වර නිලවරණ පහක් පැවැත්විය හැකිය.
කෙසේ වුවත් මේ සංචිතයට එක් කරනු ලබන 15 දෙනාටම ආරම්භයේදීම ප්‍රසාද ලකුණ් 50 බැගින් දිය යුතුය. කිසියම් නිලවරණයකදී නිලවරණ කමිටුව චෝදනාවට ලක්ව අමාත්‍යාංශයේ අභියාචනා කමිටුව අදාළ චෝදනා පිළිගත හොත් අවශ්‍ය නම් දෙපාර්ශ්වයටම අධිකරණයේ පිහිට පැතිය හැකිය. කෙසේ හෝ අවසානයේ නිලවරණ කමිටුව වැරදිකරුවන් වුව හොත්, ඒ නිලවරණය වෙනුවෙන් ඔවුන්ට දීමනා නොදිය යුතු අතරම ප්‍රසාද ලකුණු 50න් 10ක්ද අඩු කළ යුතුය. එවිට, එවැනි අවස්ථා 5කදී වැරදිකරුවන් වන කමිටු සාමාජිකයන් ඉවත් කොට අලුත් සාමාජිකයන් එකතු කළ හැකිය. දූෂිත චෝදනාවලට ගොදුරු වී, දිමනාවන්ද නොලබා, සංචිතයෙන්ද නෙරපාදැමීමේ දඬුවමට ගොදුරු වීමට ඔවුන් කිසිවකුත් කැමැත්තෙන් ඉදිරිපත් වේ යැයි පිළිගැනීම අපහසුය.
එසේම ක්‍රීඩා අමාත්‍යාංශයද නිලවරණ බෙදා දීමේදී පක්ෂග්‍රාහිව හිතවතුන්ට වැඩි අවස්ථාවක් නොදීමට වග බලාගත යුතුය. එවැනි පක්ෂග්‍රාහි ක්‍රියාවක් අමාත්‍යාංශ නිලධාරීන් අතින් සිදු වේ නම් ඒ පිළිබඳ ඍජුවම අමාත්‍යවරයාට පැමිණිලි කිරීමේ අයිතිය ඒ සංචිතයේ සාමාජිකයන්ට දිය යුතුය.
අවසන් වශයෙන්, නිලවරණ කමිටුවක් පත් කළ විට ඒ කටයුතුවලට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවා අත පෙවීමට නොහැකි වන සේ කමිටුවලට බලය දීමද කළ යුත්තක්ම බව සඳහන් කළ යුතුය.