වර්තමානයේ ක්‍රිකට් පිටිය තුළ පන්දු යවන ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වන ක්‍රීඩකයන් පිළිබඳව පවතින්නේ නිතර නිතර වාර්තා වන තත්ත්වයකි. පන්දු යවන්නකුගේ සැක සහිත ඉරියව්ව යනු ඔහු පන්දුව මුදා හරින මොහොතේ එම අත වැලමිට අසලින් අංශක 15කට වඩා නැමී පැවතීමය. එය සලකනු ලබන්නේ පන්දුව දමාගැසීමක් වශයෙනි.
අද වන විට මේ චෝදනාවට ගොදුරු වූ පන්දු යවන්නන් සෑහෙන පිරිසක් සිටියද ඔවුන් සියලු දෙනා අදාළ චෝදනාවට ගොදුරු වී ඇත්තේ හිසට ඉහළින් අත කරකවා පන්දුව මුදාහැරීමට යොමු වීමෙන් පසුවය. ඊට පෙර හිසට ඉහළින් අත කරකැවීමකින් තොරව (under arm) ක්‍රමයට පන්දු යැවීම සිදු කෙරිණි.
පන්දුව දමා ගැසීමේ චෝදනාවට ගොදුරු වූවන් අතුරින් අද අප මේ කතාවට තෝරාගන්නේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ වේග පන්දු යවන්නකු වූ ජෙෆ්රි ග්‍රිෆින් පිළිබඳ පුවතට ඉතිහාස -ගත වැදගත්කමක් ඇති බැවිනි.
දකුණු අප්‍රිකාවේ නටාල් ප්‍රාන්තයේ 1939 වසරේදී උපන් ජෙෆ්රි ග්‍රිෆින්ට එම ප්‍රාන්ත ක්‍රිකට් පිලට එක් වීමේ අවස්ථාව ලැබෙන්නේ 20 හැවිරිදි වියේදීමය. වේග පන්දු යවන්නකු ලෙස ක්‍රිකට් පිටියට පිවිසියත්, වරින් වර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව විනිසුරුවන්ගේ සැකයට භාජනය වී තිබිණි.
පාසල් වියේදී මුහුණ දුන් අනතුරක් නිසා සිය දකුණු අත සම්පූර්ණයෙන් දිග හැරීමට නොහැකි වීම ඊට හේතුව ලෙස සඳහන්ව ඇත. කෙසේ වුවත් 1959 වසරේ පවත්වන ලද එරට පැවැති අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ඔහු නටාල් පිලට එක් වී තිබිණි. එම තරගාවලියේදී ඔහු කඩුලු 35ක් දවාගෙන තිබුණේ එක් කඩුල්ලක් සඳහා ලකුණු 12.35ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. මේ හැකියාව 1960 වසරේ ක්‍රියාත්මක වූ ටෙස්ට් තරග දෙකකින් සමන්විතව එංගලන්ත සංචාරයට සහභාගි වීමේ අවස්ථාව ඔහුට හිමි කර දී තිබිණි.
එංගලන්තයේදී එසෙක්ස් පිල සමඟ පැවැති පෙරහුරු තරගයට සහභාගි වී සිටියදී එම තරගය නරඹමින් සිටි ක්‍රීඩා මාධ්‍ය වේදියකුගේ අවධානය ග්‍රිෆින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව වෙත යොමු වී තිබිණි. ඔහු අන් කවරකු හෝ නොව, කලකට ඉහත එංගලන්ත පිල නියෝජනය කළ ඉයන් පීබල්ය. තමා තුළ ඇති වූ සැකය එම තරගයේ වාර්තාවට එකතු කරන්නට පීබල් අමතක කළේ නැත. මේ පුවතට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණේ අපේක්ෂා නොකළ තරමේ අවධානයකි. මේ නිසා අනතුරුව එම්.සී.සී. පිල සමඟ පැවති තරගයේදී ග්‍රිෆින් එක් වරක් පන්දුව දමාගැසීමේ චෝදනාවට ගොදුරු විය. අනතුරුව ට්‍රෙන්ඩ්බිජ්හි පැවති පෙරහුරු තරගයේදීත් ග්‍රිෆින්ට ඒ චෝදනාවෙන් ගැලවෙන්න නොහැකි විය.
එබැවින් පළමු ටෙස්ට් තරගයට පෙර ග්‍රිෆින් කණ්ඩායමෙන් ඉවත් කරනු ඇතැයි ප්‍රේක්ෂකයන් විශ්වාස කළද එය එසේ නොවීය. මේ අතර ඒ වන විට අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත්ව තිබූ ගෘහස්ථ ක්‍රිකට් පාසලක් පවත්වාගෙන යන ඒ.එල්.එෆ්. ගවර් වෙත ග්‍රිෆින් යොමු කිරීමට දකුණු අප්‍රිකානු බලධාරීහු පියවර ගත්හ. එහිදී දින තුනක පුහුණුවක් දෙමින් ගවර් විසින් ග්‍රිෆින්ට උපරිම සහයෝගයක් දී තිබිණි.
ග්‍රිෆින් එජ්බැස්ටන්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයට එක් වී තිබුණේ ඉන් අනතුරුවය. ක්‍රීඩාංගණය සිසාරා ග්‍රිෆින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් කසුකුසු පැතිරෙද්දී ග්‍රිෆින් සුපුරුදු වේගවත් බව වෙනුවට මඳ වේග පන්දු යැවීමේ ශෛලියක් භාවිත කළේය. කෙසේ වෙතත් එමඟින් ඔහුට සතුටුදායක ප්‍රතිඵලයක් අත් වූයේ නැත. එහිදී පළමු ඉනිම සඳහා ලකුණු 61කට දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 44කට කඩුලු 3ක් බිඳ දැමූයේ අධිවේගය උපකාරි කරගනිමිනි. එහිදී එක් වරකට වඩා පන්දුව දමාගැසීමේ චෝදනාවට ඔහු ගොදුරු නොවූවත් ඔවුන්ට ලකුණු 100ක පරාජයක් අත් වී තිබිණි.
කෙසේ හෝ ලෝඩ්ස් පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාවද ඔහුට හිමි විය. එහෙත් ඒ තරගය ග්‍රිෆින්ට වාසනාව මෙන්ම අවාසනාවද හිමි කර දුන් එකක් විය. එහිදී ඔහුට ලෝක වාර්තාවකට හිමිකම ලැබුණු නමුත්, සිය ක්‍රිකට් චාරිකාව අවසන් කිරීමේ අවාසනාවට මුහුණ දීමටද ඒ තරගය හේතු වී තිබිණි.
දකුණු අප්‍රිකාවට ඉනිමක පරාජයක් අත් වූ ඒ තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ තෙවැනි පන්දු වාරයේදී පිතිකරු අන්තයේ රාජකාරි කළ විනිසුරු ෆ්‍රැන්ක් ලී විසින් ග්‍රිෆින් යැවූ දෙවැනි පන්දුව නීති විරෝධී පන්දුවක් ලෙස නම් කරනු ලැබීය. අනතුරුව ඇදහැලුණු වර්ෂාව නිසා තරගය නතර කළද නැවත තරගය ආරම්භ කළ පසු අවස්ථා පහකදීම ඔහු ෆ්‍රැන්ක් ලීගේ ගොදුරක් බවට පත් විය. තරගයේ දෙවැනි දිනයේ නව පන්දුව ලබා ගන්නා තුරු ග්‍රිෆින් පන්දු යැවුවේ නැත. නව පන්දුව ලැබුණේ දිවා භෝජනයෙන් පසුවය. එවර පන්දු වාර හතරක් යැවීමෙන් පසු ග්‍රිෆින් නැවතත් පෙර චෝදනාවට ගොදුරු විය.
විනිසුරුවන්ගේ පීඩාව නොතකා පන්දු යැවිමේ නිතර වූ ඔහුගේ පන්දු යම් පමණක අභියෝගයක් එංගලන්ත පිලට අත් කර දී තිබිණි. ලකුණු 99ක් රැස් කර සිටි මයික් ස්මිත් ග්‍රිෆින් එවූ පිට ඉන්නට පිටතින් ගමන් කළ පන්දුවක් එළවා ගොස් පහර දීමට උත්සාහ කිරීම නිසා උඩ පන්දුවක් දී දැවි ගියේය. ඒ ඔහුගේ එම පන්දුවාරයේ අවසන් පන්දුවේදීය. ඔහු යැවූ ඊළඟ පන්දු වාරයේ පිට පිටම පන්දු දෙකකදී පීටර් වෝල්කර් හා ෆ්‍රෙඩ් ටෘෘමන් දැවී ගියහ.
ඒ අනුව ටෙස්ට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක හිමිකරුවා වූ පළමු දකුණු අප්‍රිකානුවා මෙන්ම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ ලොව ප්‍රථම ක්‍රීඩකයා බවටද ජෙෆ්රි ග්‍රිෆින් පත් විය. තමා සහභාගි වූ දෙවැනි ටෙස්ට් තරගයේදීම බාධක මැද ඒ අනභිභවනීය වාර්තා ද්විත්වය ඔහු හිමි කරගත්තද තරගයේ සිව්වැනි දිනයේ දහවල් 2.35 වන විට දකුණු අප්‍රිකාවට අත්ව තිබුණේ ඉනිමක පරාජයකි. එහෙත් ඒ වන විට එය තමන්ගේ ක්‍රිකට් දිවියේ අවසන් දවස බව ඔහු දැන සිටියේ ද නැත.
සිවුවැනි දිනයේ දිවා භෝජනයෙන් පසු මේ තරගය නැරඹීම පිණිස එලිසබෙත් රැජන ලෝඩ්ස් ක්‍රීඩාංගණයට පැමිණි නමුත් තරගය ඉතා සුළු මොහොතකින් අවසන් විය. මේ නිසා දෙපිලේ එකඟතාව මත පන්දුවාර 20ක ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක් පැවැත්වීමට තීරණය කරනු ලැබුවේ මහ රැජින පිනවීමේ අදහසිනි. එහිදී එංගලන්ත පිල ලකුණු රැස් කිරීම ඇරඹූ පසු පන්දු යැවීම භාර වූයේ ජෙෆ්රි ග්‍රිෆින්ටය. ඔහු යැවූ දෙවැනි පන්දුවේදීම කඩුලු රකින්නාගේ අන්තයේ සිටි විනිසුරු සෙයිඩ් බුලර්ගේ ගොදුරක් බවට ග්‍රිෆින් පත් විය. තවත් එක් පන්දුවක් යැවීමෙන් පසු එක දිගට යවන ලද පන්දු 3ක්ම බුලර් විසින් නීති විරෝධි පන්දු ලෙස නම් කෙරිණි.
මේ අවස්ථාවේ දකුණු අප්‍රිකානු නායක ජැකි මැක්ලිව් විනිසුරු බුලර් වෙත පැමිණියේය.
“මේ මොකක්ද වෙන්නෙ? එයා පැහැදිලිවම දමාගහන්නෙ නැහැ නෙ. අනික පන්දු යවන්නෙත් මඳ වේගයෙන්නෙ…” යනුවෙන් ප්‍රශ්න කළේය.
“අපි කටයුතු කරන්නෙ නීතියට එකඟවයි.” එය බුලර්ගේ පිළිතුර විය.
“හරි එහෙම නම් එයාට මේ පන්දුවාරය අවසන් කරන්න අවස්ථාවක් දෙන්න බැරිද?” මැක්ලිම් නැවත විමසීය.
“ඒකට තියෙන්නෙ එක ක්‍රමයයි. ග්‍රිෆින්ට පුළුවන් පන්දුව අත යටින් යවා පන්දුවාරය අවසන් කරන්න.” බුලර් දන්වා සිටියේය. ඒ අනුව ග්‍රිෆින් ඒ පන්දු වාරයේ ඉතිරි පන්දු අත යටින් යැවීය.
තරගයෙන් පසු ග්‍රිෆින් සඳහන් කර තිබුණේ මෙවැනි ප්‍රදර්ශනාත්මක තරගයක් තමාට අවමාන කිරීමට යොදාගැනීම පිළිබඳ කනගාටු වන බවකි. කෙසේ වුවත් මේ තරගය ක්‍රීඩකයකු ලෙස ජෙෆ්රි ග්‍රිෆින් සහභාගි වූ අවසන් තරගය බවට පත් විය.
පසුව එදිනම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ග්‍රිෆින් මුණගැසුණු නීතිඥයකු අපූරු යෝජනාවක් කර තිබිණි. එංගලන්ත බලධාරීන් විසින් සිදු කරන ලද මේ අසාධාරණයට එරෙහිව අධිකරණයේ සහාය පැතීමට කැමැති නම් තමා කිසිදු අය කිරීමකින් තොරව ඉදිරිපත් වීමට සූදානම් බව ඒ යෝජනාව විය.
“මම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම ආදරෙයි. ඒ නිසා මේ විශිෂ්ට ක්‍රීඩාව උසාවි ගෙනයන්න මම කැමැති නැහැ,” ග්‍රිෆින්ගේ පිළිතුර විය.
ජෙෆ්රි ග්‍රිෆින් හට අදාළ චෝදනාවට මුහුණදීමට සිදුව තිබුණේ කුඩා කල සිදු වූ අනතුරකින් දකුණු අතට වූ අනතුරක් හේතුවෙනි. ශ්‍රී ලංකාවේ විශිෂ්ටම පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ට එවැනි චෝදනාවක් එල්ල වී තිබුණේ ඔහුගේ දකුණු අතේ උපතින්ම ඇති වූ තිබූ ඇදයක් නිසාය. කාලයේ වෙනස නිසා මුරලිදරන් ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙස ඉතිහාසයට එක් වුවත්, ජෙෆ්රි ග්‍රිෆින්ට තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට කාලය හරස් වී තිබිණි.