ඉකුත් සතියේ මැද වන විට රජරටින් ඇසුණ පුවත සමාජයේ සියලු ස්තර කම්පනයට ලක් කළ එකකි. සිය රාජකාරි පරිසරය තුළ වෛද්‍යවරියක දුෂණයට ලක් වීම වැනි අපරාධයක් මෙරටින් මින් පෙර වාර්තා වී නැත. රජයේ කාර්යාලවල ලිංගික හිරිහැර සිදු වුවද ඒවා වාර්තා වන්නේ නැත. වරක හිටපු ඇමැතිවරයකු මෙන්ම කුප්‍රකට ජනාධිපතිවරයකුද වූ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ වැඩිම ලිංගික අතවර සිදු වන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යාංශය බවයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිද්ධිය මුල් කරගෙන මුහුණුපොතේ ලියන්නන් හිතූ හිතූ දේ ලියමින් තමන් අති පණ්ඩිතයන් බව පෙන්වන්නට බොහෝ කාලයකට පෙර සිදු වූ ඛේදවාදචකයන්ද ඇදගෙන ඇත. බොහෝ කලකට පෙර මීගමුව රෝහලේ සිදු වූ තරුණ කාන්තාවකෙ වෛද්‍යවරයකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක්ද යළිත් ප්‍රාණය ලබා ඇත. මේ හැම සිදු වීමක්ම එක සමාන නැත. එදා සේයා දැරියට සිදු වූ අකටයුත්ත, අද මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී සිටින වෛද්‍යවරියට සහ පවුලේ සාමාජිකයන්ට අත්විඳින්නට ලැබී නැති වීමද යහපත් තත්ත්වයකි. මෙවැනි ඛේදවාචක වාර්තාකරණය සම්බන්ධයෙන් අප දකින අගතිගාමි ස්වභාවය මේ සිද්ධියේදී දකින්න නොලැබීමද සැනසිල්ලට කාරණයකි. ස්ත්‍රී දූෂණ වැනි අපරාධ කෙරෙහි හේතු වන සමාජමය කරුණු ද වෙනත් කරුණු ද අමතක කර විනිශ්චයන් දීමට ඉක්මන් නොවිය යුතුය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්වභාවය, ක්‍රියාකාරිත්වය අනුව මීට කලකට පෙර තිබූ අවදානම සහ අනතුරව තිබුණේ එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමය. තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ සොල්දාදුවන්, නිලධාරීන් සුවපත් වූයේ මේ වෛද්‍යවරිය ලිංගික හිංසනයට ලක් වූ භූමියේදීමය. අත්‍යවශ්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට යවන හමුදා, පොලිස් භට පිරිස්වලට මූලික ප්‍රතිකාර දීමද සිදු වන්නේ මේ රෝහල තුළය. එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරවලින් මෙන්ම ඇතැම් විට ගුවන් ප්‍රහාරවලින්ද දරුණු තුවාල, හානි සිදු වන සාමාන්‍ය වැසියන්ටද ප්‍රතිකාර දී ඇත්තේ හමුදා සෙබළකුව සිටි බව ප්‍රකාශිත මේ අපරාධකරු සිය අශිෂ්ට, අශික්ෂිත බව මුදාහළ මේ භුමියේදීමය.
දිවා රෑ නොතකමින් මහන්සිය වෙහෙස ගැන නොසිතා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ඒ යුද්ධය සක්‍රියව තිබූ කාලයේ කළ කැප කිරීම අගය කළ යුතුය. අපරාධයට ගොදුරු වූ සිය වෘත්තීය සගයා ස්ත්‍රියකි. ඇය අශිෂ්ට මිනිස් ආශාවක ගොදුරක් බවට පත් වන්නේ රෝහල් භුමිය තුළය; රාජකාරි සීමාව තුළය.
ඉතින් විරෝධය සහ සාධාරණය වෙනුවෙන් වර්ජනයක යෙදීමට ඔවුන්ට හැර කැක්කුමක් ඇත්තේ වෙන කාටද? ඒ ගැන කිසිවකු කලබල නොවිය යුතු බව මගේ අදහසයි.
වෛද්‍ය වෘත්තීයට මේ රටේ පිළිගැනීමක් ඇති බව අතිශයෝක්තියක් නොවේ. මවුපියන් අතිබහුතරයකගේ එකම අපේක්ෂාව වන්නේ සිය පුතු හෝ දුව වෛද්‍ය වෘත්තීයට යොමු කිරීමය.
එනිසාම වෛද්‍යවරියක රෝහල් භුමිය තුළ පවතින අනාරක්ෂිත පසුබිමක දූෂණයට ලක් වීමට එරෙහිව වෛද්‍යවරුන් හැර වෙන කවරෙක් වර්ජනය කරන්නද?
වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වූයේ හැකි ඉක්මනින් අපරාධකරු අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ ඉල්ලීම ඉටුව ඇත. වෛද්‍යවරිය මේ අපරාධකරුගේ ග්‍රහණයට ලක් වන්නේ පැවති ආරක්ෂක දුර්වලතා නිසාය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහල්වල ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින ආරක්ෂක සේවාවන්ද අරුම පුදුමය.
ඔවුන් රෝගීන් බැලීමට එන අමුත්තන්ට බලය පෙන්වීම තම ප්‍රමුඛතම රාජකාරිය බවට පත් කරගෙන ඇත. මේ ආරක්ෂක සේවකයෝ වැඩි දෙනෙක් කතා කරන්නද නොදනිති. ඔවුන්ට නිසි පුහුණුවක්ද නැත.
මේ අපරාධකරු හමුදාවද, ශාසනයද හඳුනන්නෙකි; විනයද පව් පින්ද හඳුනන්නෙකි. ඔහු හමුදා සේවයේ යෙදී සිටියදීද ඉන් පලා විත්ද අපරාධවලට හවුල් වූ, අපරාධ මෙහෙයවූ පළමුවැන්නා නොවේ. යුද්ධයට ඍජු සම්බන්ධයක් සහිත සොල්දාදුවන්, නිලධාරීන් සියල්ලම මනෝ චිකිත්සාවට, සායනවලට යොමු කළ යුතුව තිබිණි. ඒ වෙනුවට සිදු වූයේ ඔවුන් රණවිරුවන් ලෙස උත්කර්ෂයට නැංවීම පමණය. අත්‍යවශ්‍ය දේ මඟහැරිණි.