Home » නීතිඥ විජේදාස ලියනාරච්චි ඝාතකයෝ නිදැල්ලේ

නීතිඥ විජේදාස ලියනාරච්චි ඝාතකයෝ නිදැල්ලේ

ලංකාවේ අබිරහස් දේශපාලන ඝාතන 09

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
උදේනි සමන් කුමාර

විජේදාස ලියනාරච්චි නම් සැබෑ මානව හිතවාදි නීතිඥයා ඝාතනය කර වසර 36ක් ගතව තිබේ. එහෙත් අපරාධකරුවෝ තවමත් නිදැල්ලේ පසු වෙති. මෙරට නීතිය හමුවේ ඔහුගේ මරණයට සාධාරණය හා යුක්තිය ඉටු වූයේ නැත. අවම වශයෙන් ඔහු ඝාතනය කළේ ඇයි? ඊට හේතුව කුමක්ද? ඝාතනය කළේ කාගේ වුවමනාවටද? විජේදාසගේ ඝාතනය පිටුපස සිටි සැබෑ මිනීමරුවෝ කවරහුද? මේ ප්‍රශ්න සියල්ලට උත්තර සොයාගත යුතු කාලය එළඹ තිබේ.

විජේදාස ලියනාරච්චි 1951 ජනවාරි 14 දින උපන්නේ රුහුණු මාගම්පත්තුවේ වීරකැටියේ බුද්දියගමදීය. විජේදාස පවුලේ හත්වැනි දරුවාය. ඔහු අධ්‍යාපනය ලැබුවේ වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. අපොස සාමාන්‍ය පෙළ ඉහළින් සමත් විජේදාස ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් විය. අපොස උසස් පෙළ විභාගය සමත් වුවත් සරසවි වරම් නොලද ඔහු 1972 දී ගුරු වෘත්තියට පිවිසියේය. අනතුරුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලංකා ගුරු සංගමයේ සංවිධායක ලෙස කටයුතු කළේය.

එවකට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් වූ දයා වන්නිආරච්චි, පියදාස රණසිංහ ආදීන් වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඔහුගේම පන්තියේ සගයෝ වූහ. ජවිපෙ සමඟ සම්බන්ධ වූ විජේදාස, රෝහණ විජේවීර සමඟ උරෙනුර ගැටෙමින් දකුණු පළාතේ දේශපාලන රැස්වීම් දහස් ගණනක් ඇමතුවේය. ඔහු අමතන රැස්වීම් බැලීමට තරුණයෝ රොද බැඳගත්හ. හාස්‍යය පිරි ඔහුගේ ගැමි වදන් දකුණේ ජනතාවට අමා පැන් විය. ඔහු 1980 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. ඔහු සිය ප්‍රතිවාදීන් වූ එජාපයේ දොස්තර සිරිල්ලාටත්, පොදු පෙරමුණේ මහින්ද රාජපක්ෂලාටත් මුහුණ දෙමින් පියසේන රාමනායක, විජිත රණවීර ආදීන් සමඟ ඡන්දයක් නොව යුද්ධයක් කළේය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමෙන් අනතුරුව නීති ප්‍රවේශයට පෙනී සිටි විජේදාස එයින් සමත් ව 1984දී කොළඹ නීති විද්‍යාලයට ඇතුළත් විය. ජනාධිපති ජයවර්ධනගේ ආණ්ඩුව රටම අමු සොහොනක් බවට පත් කරමින් සිය ගණන් තරුණයන් මහමඟ මරාදමන වකවානුවේ විජේදාස ලියනාරච්චි නීතිඥයකු ලෙස අගවිනිසුරු හමුවේ දිවුරුම් දුන්නේය. ඔහු නීතිඥ වෘත්තියෙහි කටයුතු ආරම්භ කළේ ජ්‍යේෂ්ඨ නීතිඥ රංජිත් අබේසූරිය යටතේය.

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට නුදුරින් පිහිටි රංජිත් අබේසූරිය මහතාගේ කාර්යාලය දිවයිනේ නොයෙක් පෙදෙස්වලින් පැමිණි ස්වකීය දරුවන් අතුරුදන් වූ මවුපියන්ගෙන් පිරී පැවතිණි. අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ සභාපතිත්වයෙන් පැවති මානව හිමිකම් සංවිධානයේ කටයුතු කළ නීතිඥයන් වූයේ කාංචන අබේපාල, චරිත ලංකාපුර සහ විජේදාස ලියනාරච්චි තිදෙනාය. චරිත සහ කාංචන දෙදෙනාම නාඳුනන තුවක්කුකරුවන්ට ගොදුරු වූහ.

උදේ වරුවේ අධිකරණයේ හබයාස්කෝපුස් නඩු ගොනු කරන විජේදාස සවස් වරුවේ රෑ බෝ වන තුරුම රංජිත් අබේසූරිය මහතාගේ උපදෙස් පරිදි නඩු පිළියෙල කිරීමේ කටයුතුවල නියැළිණි. දක්ෂ නීතිඥවරයකු ලෙස විජේදාස ලියනාරච්චිගේ මතු වීම හම්බන්තොට සාම්ප්‍රදායික දේශපාලන නායකත්වය දුටුවේ ඔවුන්ට එල්ල වන අනාගත අනතුරක් වශයෙනි. තමා සතුරන්ගේ ඉලක්කයක් බවට පත් වන බව විජේදාස දැන සිටියේ නැත.

ඒ අවිචාර සමයේ විවිධ ඉලක්ක ඔස්සේ ප්‍රාදේශීය දේශපාලකයන් විසින් තමන්ට අනාගතයේදී තර්ජනයක් විය හැකි පුද්ගලයන් පැහැරගෙන ගොස් මරාදැමීම සාමාන්‍ය සිදු වීමක් බවට පෙරළෙමින් තිබිණි. විජේදාස පැහැරගෙන තංගල්ලට රැගෙන එන ලෙස ගිරුවාපත්තුවේ දේශපාලන බලධාරියකුගෙන් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළට නියෝග ලැබෙන්නේ ඒ අනුවය. කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී 1988 අගෝස්තු 25 දින සවස නාඳුනන පිරිසක් විසින් විජේදාස පැහැර ගන්නා ලදි.

පසුව හෙළි වූයේ මේ පැහැරගැනීම සිදු කර තිබුණේ තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාස මෙහෙයවූ පොලිස් කණ්ඩායමක් විසින් බවයි. නුගේගොඩ ප්‍රදේශයේ විජේදාස නතර වී සිටි බෝඩිමට ඔහු සිරිත් පරිදි නොපැමිණීම නිසා නිවැසියෝ අධි නීතිඥ රංජිත් අබේසූරිය මහතාටත්, විජේදාසගේ ගමටත් විජේදාස ගැන තොරතුරක් නැති බව දන්වා ඇත. ඒ වන විටත් නීතිඥයන් කිහිප දෙනකු නාඳුනන තුවක්කුකාරයන්ගේ ගොදුරු බවට පත් ව තිබූ නිසා අබේසූරිය මහතා බෙහෙවින් කලබල විය. ඔහු වහාම සිය කනිෂ්ඨ නීතිඥයාගේ අතුරුදන් වීම ගැන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සේපාල ආටිගල සහ පොලිස්පති අර්නස්ට් පෙරේරා දැනුවත් කළේය.

නීතිඥ විජේදාස ලියනාරච්චි අතුරුදන් වීම සම්බන්ධයෙන් වහා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලි ආරක්ෂක ලේකම් සේපාල ආටිගලට දන්වා තිබෙන්නේ ගම්පහ මන්ත්‍රී ඇස්.ඩී. බණ්ඩාරනායක මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය. ඊට පිළිතුරු වශයෙන් පොලිස්පතිවරයා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය:

අස්ථි බිඳී තිබූ අයුරු

අස්ථි බිඳී තිබූ අයුරු

“1988 අගෝස්තු 29 උදේ 9.00ට ආරක්ෂක ලේකම් විසින් නීතිඥ විජේදාස ලියනාරච්චි නමැත්තකු අත්අඩංගුවට ගෙන තිබෙනවාද කියා විමසීය. මහ කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයකින් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නැති බව ස්ථිරව දැනගත හැකි විය. එදින 9.20ට තොරතුරු ලැබුණා, අදාළ තැනැත්තා තංගල්ලේ අත්අඩංගුවේ සිටින බව. මම වහාම මේ සම්බන්ධව නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළගෙන් විමසීමක් කළා. එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැති බව ඔහු දැන්වූවා. තංගල්ල පොලිස් අධිකාරි කරවිටගේ ධර්මදාසගෙන් මේ ගැන ප්‍රශ්න කළ විට විජේදාස ලියනාරච්චි අත්අඩංගුවට ගත් බව ඔහු නිල නොවන ආකාරයෙන් දැනුම් දුන්නා.

“1988 අගෝස්තු 31 බදාදා දින ජාතික ආරක්ෂක ලේකම් සේපාල ආටිගල විසින් නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළට දැනුම් දුන්නා නීතිඥ විජේදාස ලියනාරච්චිගේ ආරක්‍ෂාව සහතික කරන ලෙස. එදිනම තංගල්ලට දැනුම් දුන්නා නීතිඥවරයා කොළඹට ගෙනෙන ලෙස. ඔහු කැලණියේ සපුගස්කන්දේ පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් භාරයේ පවතින විශේෂ පොලිස්‌ ඒකකයට භාර දෙන ලෙස කර්මාන්ත ඇමැති රනිල් වික්‍රමසිංහ එදින දහවල් 12.00ට දැනුම් දුන්නා. 1988 අගෝස්තු 31 නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළ දැනුම් දුන්නා, සැකකාර නීතිඥවරයා අසනීප තත්ත්වයේ පසු වන නිසා එදින කොළඹ ගෙන එන්නේ නැති බව. නියෝජ්‍ය පොලිස්පති උඩුගම්පොළ භාරයේ පැවති මාතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කරුණාරත්න විසින් සැප්තැම්බර් 1 රාත්‍රී 11.00ට සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස් භාරයේ පැවති කැලණිය, සපුගස්කන්ද විශේෂ විමර්ශන අංශයට නීතිඥවරයා භාර දී තිබුණා.”

විජේදාස අතුරුදන් බව දැනගත් ඔහුගේ සහෝදර චන්ද්‍රදාස ලියනාරච්චි කොළඹ පැමිණි අතර, ඔහු තංගල්ලට ගෙන ගිය බව කොළඹදී ආරංචිය වූ විට නැවත වීරකැටියට පැමිණ තිබේ. විජේදාසගේ නිවෙස ඉදිරිපිට තංගල්ලේ ප්‍රකට නීතිඥයකු වූ දැවුමි බණ්ඩාර පදිංචිව සිටියේය. විජේදාස ඔහුත් කැටුව තංගල්ල පොලීසියටත්, පොලිස් අධිකාරී කාර්යාලයටත්, අනතුරුව පාළු ස්ථානයක පිහිටි පොලිස් අධිකාරි ධර්මදාස කරවිටගේ නිල නිවෙසටත් ගොස් විජේදාස පිළිබඳ විමසුවේය. විජේදාස අඩංගුවට ගෙන ඒ වන විට දින 6ක් ගත වී තිබිණි.

නීතිඥ දැවුමි බණ්ඩාර තමා පැමිණි බව දැන්වූ විට පාළු ස්ථානයක පිහිටි එම නිවෙසේ සිට පොලිස් අධිකාරි ධර්මදාස කරවිට සහ උප පොලිස් පරීක්ෂක

වඩුතන්ත්‍රිගේ හරිසිංහ මෙන්ඩිස් ආලින්දයට පැමිණියහ. ඔවුන් දෙදෙනා අධික ලෙස බීමත්ව සිටින බව පෙනිණි. “මේ මිනිහා කට හොල්ලන්නෙ නැහැ. අපි සෑහෙන්න උත්සාහ කළා වචනයක් ගන්න. බැරි වුණා…” යනුවෙන් ඔවුන් දෝස්මුරයක ස්වරූපයෙන් කියා ඇත. විජේදාසගේ ජීවිතය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව වැටහුණු හෙයින් නීතිඥ බණ්ඩාර මෙහිදී ‘විජේදාස අධිකරණයට ඉදිරිපත් කරනවාදැ?’ යි ඔවුන්ගෙන් විමසා ඇත.

“නැහැ අයි.ජී.පී. ඕඩර් එකක් දීලා තියෙනවා කොළඹට එවන්න කියලා. අපි කොළඹට යවනවා…” පොලිස් අධිකාරි කරවිටගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු සුන් කරගත් ඔවුන් දෙදෙනා ආපසු පැමිණ ඇත. එදින පාර්ලිමේන්තුවේදී ජාතික ආරක්ෂක ඇමති ඇතුළත්මුදලි ප්‍රකාශ කර තිබුණේ විජේදාස ලියනාරච්චි සැප්තැම්බර් 3 දා කොළඹට ගෙන එන බවයි.

එදින විජේදාසගේ පියා සහ අයියා නැවත කොළඹ පැමිණ තිබෙන්නේ නීතිඥ බණ්ඩාරගේ මෝටර් රථයෙනි (තංගල්ල උසාවියේ නඩු තිබෙන නිසා නීතිඥවරයා පැමිණ නැත. විජේදාසගේ ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වීමට දඬුවම් ලෙස කෙටි කලකට පසු නීතිඥ දැවුමි බණ්ඩාරද නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදි). කොළඹට පැමිණි ඥාතීන්ට දැනගන්න ලැබී තිබෙන්නේ විජේදාස ලියනාරච්චිගේ මරණ පරීක්ෂණය පුංචි බොරැල්ලේ පොලිස් මෘත ශරීරාගාරයේ පැවැත්වෙන බැවින් එහි පැමිණ මෘත ශරීරය හඳුනාගන්නා ලෙසය. පසු දින – එනම්: සැප්තැම්බර් 4 වැනිදා – උදේ මරණ පරීක්ෂණය පවත්වන ලදි. කොළඹ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරි ලලන්ත ද අල්විස් එය සිදු කළේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වාර්තා කර තිබුණේ සැප්තැම්බර් 2 වැනිදා රාත්‍රී 11ට සපුගස්කන්ද පොලීසිය මඟින් රෝහල්ගත කළ විජේදාස ලියනාරච්චි නමැති අය සැප්තැම්බර් 3 වැනිදා අලුයම 12.30ට පමණ මියගිය බවයි. මරණ පරීක්ෂණය ආරම්භ වූයේ මරණකරුගේ පියා වන ඇල්.ඒ.ඩී. ජුවානිස් අප්පුහාමි සහ සහෝදරයා වූ චන්ද්‍රදාස ලියනාරච්චි විසින් හඳුනාගැනීමෙන් පසුවය. මළ සිරුරේ ලේ තැවරුණු දුඹුරුපාට සරමක් පමණක්

තිබී ඇත.

අධිකරණ වෛද්‍ය නිලධාරි ලලන්ත අල්විස්ගේ වාර්තාවේ සඳහන් වන අන්දමට මළ සිරුරේ බාහිර තුවාල 100කි. ඒ තුවාල පිළිබඳ පැහැදිලි විස්තර වාර්තාවක් ඔහු විසින් ඉදිරිපත් කර තිබිණි. ශරීර අභ්‍යන්තරයේ තුවාල පිළිබඳ වෙනම සටහනක් තබා ඇත. ඉල ඇට 18ක් කැඩී ඇති බව එහි සඳහන් වේ. පපුවේ වම් කුහරයේ ලේ පැහැයට හුරු දියර අවුන්ස 16ක් තිබී ඇත. දකුණු පෙණහැල්ල මුළුමනින්ම තැළී ඇති අතර, වම් පෙණහැල්ලේ අඩක් තැළී ඇත. මූත්‍රාශයේ ඉදිරි කොටස තැළී ඇත. වකුගඩු සුදුමැළි වී ඉදිමි තිබූ අතර, මැඩැල්ලා නම් පෙදෙසේ ලේ පිරී තිබී ඇත. මරණයට හේතුව ලෙස අධිකරණ වෛද්‍යවරයා සඳහන් කරන්නේ මොට ආයුධයකින් පහර දීමෙන් සිදු කළ බහුවිධ තුවාල හේතුවෙන් හා අභ්‍යන්තර තුවාලවලින් ලේ ගැලීම සහ කම්පනය නිසා මරණය සිදු වී ඇති බවයි.

එදින කටයුතු අවසන් වීමෙන් පසු දේහය අවමංගල්‍ය කටයුතු සඳහා මල්ශාලාවකට භාර දෙන ලද අතර, පසුදින උදෑසන දේහය භාර ගැනීම පිණිස අධිකරණය හමුවට පැමිණෙන ලෙස විජේදාසගේ පියාට දැනුම් දෙන ලදි. පසුදින – එනම්: සැප්තැම්බර් 5 දා – දේහය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ගෙන යෑමටත්, එහිදී නීතිඥ මහත්වරුන් හා නීති විද්‍යාල ශිෂ්‍යන්ගේ ආචාරය පුද කිරීමටත්, දේහය රැගත් රිය පෙරහර අනතුරුව වීරකැටිය දක්වා ගමන් කිරීමටත් කටයුතු සංවිධානය කෙරිණි.

මල්ශාලාවට අවශ්‍ය සියලු කටයුතු නීතිඥ සංගමයේ අධීක්ෂණය යටතේ සිදු විය. සියල්ලන් විසිර ගියේ කළ මනා සියල්ල සම්පාදනයෙන් පසුවය. සැප්තැම්බර් 6 වැනිදා උදෑසන නීතිඥ සංගමයේ නිලධාරීන් මල්ශාලාව වෙත පැමිණි විට අසන්න ලැබුණේ අලුයම 3.00ට පමණ පැමිණි පිරිසක් මෘත දේහය රැගෙන ගිය බවයි. එසේ පැමිණි පිරිස ආරක්ෂක අංශවල අය බැවින් මල් ශාලාවට කළ හැකි දෙයක් නොතිබූ බව ඔවුන් පවසා තිබිණි. හිස් පෙට්ටියක් අලුත්කඩේට රැගෙන ගිය නීතිඥයෝ ඊට අවසන් ගෞරව දැක්වූහ. එය අතිශය හැඟුම්බර අවස්ථාවක් විය.

නීතිඥ විජේදාස ලියනාරච්චි මරාදැමීමට එරෙහිව බුරබුරා නැඟෙන ජනතා කෝපයට රජය බිය විය. දේහය රිය පෙරහරකින් වීරකැටියට ගෙන ගිය හොත් ආණ්ඩුවට විරුද්ධව ජන රැල්ලක් නිර්මාණය වෙතැයි බිය වූ රජය සාමාන්‍යයෙන් කරන පරිදි දේහය විනාශ කිරීමට තීරණය කළත්, එය වැළකී ගියේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මැදිහත් වීම සහ නීතිඥ සංගමයේ මැදිහත් වීම නිසාය.

ආණ්ඩුව පිස්සකු ලෙස හැසිරෙන්නේ මන්දැයි අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කර තිබිණි. ඒ වන විටත් වීරකැටියේ බුද්ධියගම විජේදාසගේ නිවෙසට ජනයා රොක් වෙමින් සිටියහ. සැප්තැම්බර් 5 වැනිදා ප.ව. 5.00ට වීරකැටිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයකට හෙලිකොප්ටරයක් පහත් කරනු ලැබීය. ඒ වන විටත් පොලිස් වාහන කිහිපයක් එහි ළඟා වී තිබිණි. ගුවනින් ගෙන එන ලැබූ දේහය එදින හැන්දෑවේ පොලීසිය විසින් විජේදාසගේ නිවෙසට භාර දී තිබිණි. පසු දින අවසන් කටයුතු අතිවිශාල ජනකායක් මධ්‍යයේ සිදු විය.

පොලිස් අත්අඩංගුවේදී මිය ගිය විජේදාස ලියනාරච්චිගේ මරණ පරීක්ෂණය සැප්තැම්බර් 15 වැනි දින කොළඹ මහාධිකරණ විනිසුරු එච් ඩබ්ලිව්. සේනානායක හමුවේ පැවැත්විණි. රජයේ නීතිඥ කාන්තිලාල් කුමාරසිරි නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට සහාය විය. නීතිඥ ප්‍රින්ස් ගුණසේකර ප්‍රමුඛ නීතිඥවරු කණ්ඩායමක් ලියනාරච්චි මහතාගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය පෙනී සිටියේය.

පොලිස් කොස්තාපල් ජයවීර මරණ පරීක්ෂණයේදී මෙසේ සාක්ෂි දුන්නේය:

“සැප්තැම්බර් 2 අලුයම 3.20ට මා පළමු සටහන යෙදුවා. 5.20ට දෙවැනි සටහන යෙදුවා. ඒ වන විට සැකකරු ඇඳේ ඉඳගෙන සිටියා. ඔහු නින්දේ සිටියදීත් කෙඳිරිගානවා ඇසුණා. ‘මොකද අමාරුව? මොනවත් ඕනදැ?’ යි මා ඇසුවා. ‘මොකවත් නෑ, මොනවත් බොන්න තිබුණොත් හොඳයි…’ ඔහු කිවුවා. අපට බොන්න ගෙනා කෝපි උණුවතුර බෝතලයක තිබුණා. එයින් ටිකක් දුන්නා. සැකකරු කෝපි ටිකක් පානය කළා.”

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ වෛද්‍ය සමුද්‍රා තරංගනී කත්‍රිආරච්චි සාක්ෂි දෙමින් පැවසුවේ පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ විසින් රෝහලට භාර දුන් විජේදාස ලියනාරච්චි නමැති රෝගියා හදිසි අනතුරු අංශයට ඇතුළත් කරන විටත් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බවය.

වෛද්‍ය සමුද්‍රා තරංගනී:

“1988 සැප්තැම්බර් 2 රාත්‍රී 11.30ට රෝහලට ඇතුළු කරන විටත් විජේදාස ලියනරච්චි නැමති රෝගියා සිටියේ සිහි විකල්ව, අඩ සිහියෙන්. ශරීරගත රුධිරය ඉතා අඩු මට්ටමක පැවතියා. රුධිර පීඩනය බින්දුවටම බැහැලා තිබුණේ. නාඩිගමනය දුර්වල මට්ටමක තිබුණා. පපුවේ වම් පස තැල්මක් දුටුවා. හුස්ම ගැනීමට අපහසුවෙන් ඔහු දැඟලුවා. වෙනත් බාහිර තුවාල ගැන පරීක්ෂණ පැවැත්වීමට සුදුසු තත්ත්වයක රෝගියා සිටියේ නැහැ. ඔහුට වහාම ප්‍රතිකාර කළ යුතුව තිබුණා තිබුණා. ඒ නිසා රෝගියාව ලේ දෙන තුරුවත් ප්‍රමාද නොකොට, වහාම දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළා. එහෙත් අලුයම දොළහයි පනස් පහට ඔහු මරණයට පත් වුණා.”

මෘත දේහය අතුරුදන් වීමෙන් පසු නීතිඥවරු හිස් පෙට්ටියට ගෞරව දැක්වූ අයුරු

මෘත දේහය අතුරුදන් වීමෙන් පසු නීතිඥවරු හිස් පෙට්ටියට ගෞරව දැක්වූ අයුරු

නීති සිසුන් විරෝධය පළකළ අයුරු

නීති සිසුන් විරෝධය පළකළ අයුරු

විජේදාස රඳවාගෙන සිටි තංගල්ලේ නිවෙස

විජේදාස රඳවාගෙන සිටි තංගල්ලේ නිවෙස

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division