Home » අපේ නායකයන්ගේ විරෝධතා මැද අර්ථසාධක ක්‍රමය ඇති කළේ ඉංග්‍රීසීන්

අපේ නායකයන්ගේ විරෝධතා මැද අර්ථසාධක ක්‍රමය ඇති කළේ ඉංග්‍රීසීන්

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

සේවක අර්ථසාධක අරමුදල 1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද අතර, එය ශ්‍රී ලංකාවේ පුළුල්ම සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයද වේ. සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීම පිළිබඳව මෙරට කම්කරු පන්තිය ගෞරවය පිරිනමන්නේ හිටපු අගමැති ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකටය. ඊට හේතුව සේවක අර්ථ සාධක අරමුදල් පනත 1958 පෙබරවාරි 13 දා එවකට කම්කරු නිවාස හා සමාජ සේවා ඇමති ටී.බී. ඉලංගරත්න විසින් අගමැතිවරයාගේ අනුග්‍රහය ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමය.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය ලැබූ මිලියන ගණනක් කම්කරුවෝ සිතා සිටින්නේ කම්කරුවන්ගේ ජීවිත පිළිබඳ ළෙහි උපන් කරුණාව හේතුවෙන් බණ්ඩාරනායකලා අර්ථසාධක අරමුදලක් ඇති කළ බවය. එය අතිශයින්ම වැරදි අදහසකි. පාලකයන් රිදී බන්දේසියක තබා කම්කරු පන්තියට දුන් කිසිදු හිමිකමක් ගැන ලෝක ඉතිහාසයේ සඳහන් නොවේ.

අපේ රටේ දේශපාලන නායකයන් කම්කරු පන්තිය වෙනුවෙන් එවැනි සහනයක් සලසා දෙන්නට තුන් හිතකින්වත් නොසිතූ අවදියක සමාජ ආරක්ෂක අරමුදලක් පිළිබඳ ප්‍රථම යෝජනාව කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත්විජිත ආණ්ඩුව විසිනි. ලාංකික කම්කරු පන්තිය වෙනුවෙන් සේවක සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමේ අදහස යටත්විජිත ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන්නේ 1944 දීය.

කාර්මික විප්ලවයෙන් අනතුරුව මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල නගර කරා විශාල වශයෙන් කම්කරුවෝ සංක්‍රමණය වූහ. කර්මාන්තශාලාවල සේවය කළ කම්කරුවන් දිනකට පැය 10-15 අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් යටතේ වැඩ කළ අතර, කම්කරු නවාතැන් සඳහා දී තිබුණේද ඉතා නොදියුණු තත්ත්වයේ මුඩුක්කු සහ පැල්පත් වැනි ස්ථානය. ඔවුන්ගේ ජීවන පැවැත්ම හැම අතින්ම අසතුටුදායක වූයේය.

නගර කාර්මිකකරණය වීමත් සමඟ කම්කරුවන්ගේ අයිතීන් සඳහා සටන් කරන වෘත්තීය සමිති ව්‍යාපාරද ඇති විය. 1940 වන විට බ්‍රිතාන්‍ය කම්කරුවන් බොහෝ අයිතිවාසිකම් දිනාගෙන තිබූ අතර, අනාගත ජීවිතයේ පැවැත්ම උදෙසා සහතික වන සමාජ ආරක්ෂණ ක්‍රමද එංගලන්තය තුළ ගොඩනැඟී තිබිණ. යටත්විජිත ආණ්ඩුව ලංකාවේ කම්කරුවන්ගේ සුභසාධනය සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් යෝජනා කිරීම සඳහා 1944 දී කොමිසමක් පත් කළේය. ‘සමාජ සේවා කොමිසම’ නමින් නම් කරන ලද එම කොමිසමේ සභාපතිත්වය දරන ලද්දේ සර් අයිවර් ජෙනිංග්ස් විසිනි. සමාජ සේවා කොමිසමේ සෙසු සාමාජිකයන් අතර බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය දැරූ අයකුද සිටි බව සඳහන්ය.

සමාජ සේවා කොමිසම හාම්පුතුන් සමඟ මෙන්ම කම්කරු සමිති ව්‍යාපාරය සමඟද සාකච්ඡා කිරීමෙන් අනතුරුව1946 වසර අවසානයේ ආණ්ඩුකාරයා වෙත සිය වාර්තාව ලබා දී ඇත. සේවක අර්ථසාධක අරමුදලක් ඇති කිරීම පිළිබඳ අදහස ප්‍රථමයෙන් ඇතුළත් වූයේ එම වාර්තාවේය. 40 දශකයේ මෙරට තිබූ සියලු සමාගම් බ්‍රිතාන්‍ය වාණිජ ව්‍යාපාරවලට අයත් ඒවාය. ආනයන අපනයන සමාගම් සියල්ලම ඔවුන් සතුව පැවති අතර වැවිලි කර්මාන්තයද බ්‍රිතාන්‍ය රන් පවුම් කොම්පැනිවලට අයත් විය. බෲක්බොන්ඩ්, කාර්සන් කම්බබැච්, විටෝල් බවුස්ටඩ්, ලිප්ටන්, වෝකර්ස්, මිලර්ස් ආදි සමාගම්වල ලාංකික කම්කරුවෝ විශාල පිරිසක් සේවය කළහ.

ලංකා සම සමාජ පක්ෂය (1935) සහ ලංකා කොමියුනිස්ට් පක්ෂය (1943) ආරම්භ වීමත් සමඟ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබෝධයක් ඇති වූ අතර, ඒ නිසා ශ්‍රී ලංකාවේ කම්කරු අයිතීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු විය. සේවක අර්ථසාධක අරමුදලක් ඇති කිරීම පිළිබඳ යෝජනාව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද්දේ 1947දීය. 1948 නිදහස් පනත ක්‍රියාත්මක වීමත් සමඟ වෘත්තිය සමිති ව්‍යාපාරය විසින් සේවක අර්ථසාධක අරමුදලක් පිළිබඳ යෝජනාව අගමැති ඩී.ඇස්. සේනානායකගේ එජාප ආණ්ඩුවට ඉදිරිපත් කළද මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන එය ප්‍රතික්ෂේප කළේය. බණ්ඩාරනායකද ඒ කැබිනට් මණ්ඩලයේ වගකිව යුතු ඇමැති ධුරයක් දැරූ බව අමතක නොකළ යුතුය.

එන් ෂන්මුගදාසන්, කේ. කුලවීරසිංහම්, ඇම්.ජී. මැන්ඩිස්, බාලා තම්පෝ ආදි කම්කරු නායකයන් සේවක අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සටන් කළද 1952දී සර් ජෝන් කොතලාවලගේ ආණ්ඩුවද ඒ යෝජනාව ක්‍රියාත්මක කළේ නැත. 1956 බලයට පැමිණි අගමැති බණ්ඩාරනායකගේ ආණ්ඩුවද 1956, 1957 වර්ෂවල අර්ථසාධක අරමුදල් පනත ගෙන ඒම ගැන උනන්දුවක් දැක්වූයේ නැත.

1958 අවුරුද්දේදී කොළඹ බෲක් බොන්ඩ් සමාගමේ තේ හා රබර් කම්කරු සමිතිය අර්ථසාධක ක්‍රමයක් ඇති කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනය කළේය. එය මෙහෙයවන ලද්දේ කොළඹ යුනියන් පෙදෙසේ ඩෝසන් වීදියේ පදිංචිව සිටි කේ. ජිනදාස විසිනි. බෲක් බොන්ඩ් වැඩ වර්ජනය නිසා කොළඹ වරායේ නෞකාවලට තේ පෙට්ටි පැටවීම ඇණහිටි අතර නියමිත කාලයට ලන්ඩන් තේ වෙන්දේසියට ඉදිරිපත් වීමට මෙරට සමාගම්වලට බාධා එල්ල විය.

අර්ථසාධක අරමුදලක් ඇති කරන ලෙස ඉල්ලා කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ වරායේ කටයුතු ඇනහිට ඇති බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබිණි. වැඩවර්ජනයට නායකත්වය දුන් කේ. ජිනදාස සහෝදරයා මෑතකදී මිය ගිය අතර, ඔහු මිය යන්නට පෙර හමු වූ අවස්ථාවක මා සමඟ වර්ජනය පිළිබඳව මෙසේ පැවසීය:

“වර්ජනයේ විශේෂත්වය වුණේ වර්ජනයට සහභාගි වූ 400ක පමණ පිරිස කර්මාන්තශාලාවෙන් පිටතට නොයෑමයි. අපි ගේට්ටුවෙන් එළියට ආවේ නෑ. වැඩපළ තුළම හිටියා. කොළඹ අනෙකුත් සමාගම්වල කම්කරු සහෝදරවරු අපට බත් පැකට් ගෙනත් දුන්නා. ඒ නිසා අපට වර්ජනය දිගටම අල්ලා හිටින්නට හැකි වුණා. බෲක් බොන්ඩ් සමාගමේ සභාපති එම් බෲම් කියලා ඉංග්‍රීසිකාරයෙක්. හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති එෆ්.සී. රොවන් කියලා සුදු මහත්මයෙක්. වර්ජනයේ පවතිද්දී අධිකරණයට ගිය හාම්පුතුන්ගේ සම්මේලනය කම්කරුවන් සමාගමට අයත් භූමියෙන් එළියට පන්නා දැමීමට නියෝගයක් ලබා ගත්තා.

“පොලීසිය උසාවි නියෝගය අත ඇතිව සමාගමට කඩාපැන්නා. අපේ හාරසීයක් පමණ දෙනා දෙදෙනා බැගින් මාංචු දමා පෙරහරක් යන්නා වගේ කොම්පඤ්ඤ වීදිය පොලීසියට රැගෙන ගියා. අපි කලබල කළේ නෑ; විනෝදයෙන් ගමන් කළා. පසුව කොම්පඤ්ඤවිදිය පොලීසියට පැමිණි එම්.ජී. මැන්දිස් සහෝදරයා අපව ශරීර ඇප අපිට නිදහස් කරගත්තා. පොලිස් භාරයෙන් නිදහස් වුණා කියා අපි වැඩට ගියේ නෑ. ගේට්ටුවෙන් පිටත සිට වැඩවර්ජන ඉදිරියට ගෙන ගියා.”

බෲක් බොන්ඩ් සමාගමේ වැඩවර්ජනය සමථයකට පත් කිරීම සඳහා රජය විසින් වහා සාකච්ඡාවක් සංවිධානය කරන ලදි. ඒ සාකච්ඡාවට ආණ්ඩුව වෙනුවෙන් ඇමති සී.පී. ද සිල්වා, ඇමති ටී.බී. ඉලංගරත්න, ස්ටැන්ලි ද සොයිසා සහභාගි වූ අතර, වර්ජකයන් වෙනුවෙන් කේ. කුලවීරසිංහම්, ෂන්මුගදාසන් සහ එම්.ජී. මැන්දිස් පෙනී සිටියහ. බෲක් බොන්ඩ් සමාගම වෙනුවෙන් සභාපති බෲම් සහ නියෝජ්‍ය කම්කරු කොමසාරිස් සී.බී. කුමාරසිංහ සම්බන්ධ වූහ. සාකච්ඡාවේදී සමිති දැනුම් දුන්නේ ඉදිරි දිනවල තවත් කම්කරුවන් 15,000ක් වැඩවර්ජනයට එක්කරවන බවයි.

අවසානයේ හාම්පුතුන්ගේ සම්මේලනය සමථයකට පැමිණීමට එකඟතාවය පළ කළේය. ඒ එකඟතාවට අනුව අර්ථසාධක අරමුදල ආරම්භ කරන්නත්, එහි සේවායෝජකයාගේ පංගුව 7 1/2% කරන්නත් එකඟ විය. වැඩවර්ජනය ජයග්‍රාහි ලෙස අවසන් වීමෙන් පසු කම්කරු පිරිස එන්. ශන්මුගදාසන් පෙරටු කොට ජයග්‍රාහි පෙළපාළියකින් සේවයට ගොස් ඇත. ඒ සමඟ බෲක් බොන්ඩ් සමාගමේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම ආරම්භ විය.

වැළැක්විය නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් පසු 1958 පෙබරවාරි 13 වනදා අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත කම්කරු ඇමති ටී.බී. ඉලංගරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. පනත ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“විවිධ නොවැදගත් හේතු මත මේ වැදගත් පනත අවුරුදු 10කට වැඩි කාලයක් හමස් පෙට්ටියට රිංගවා තිබිණි. යටත්විජිත ආණ්ඩුවේ මේ යෝජනාව ප්‍රමාද වී හෝ ඉටු කරන්නට ලැබීම කම්කරු පන්තියේ ජයග්‍රහණයකි.”

සේවක අර්ථසාධක අරමුදල ඇති කිරීම පිළිබඳ ගෞරවය හිමි විය යුත්තේ කළු සුද්දන්ට නොව, සුදු ජාතිකයින්ටය.

සේවක අර්ථ සාධක අරමුදල (Employees Provident fund) පිළිබඳ වර්තමානයේ දේශපාලන අංශ ඉතා ඉහළ අවධානයක් යොමු කර තිබේ. ඊට හේතුව අන් කිසිම කාරණාවක් නොවන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන විශාලම ගිණුම අර්ථසාධක අරමුදල වීමය. මෙහිලා තිබෙන ආසන්නම උදාහරණය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට අත තැබීමය.

මේ වන විට අර්ථසාධක අරමුදලේ වත්කම ට්‍රිලියන 3 ඉක්මවයි. වර්තමාන ආණ්ඩුව අර්ථසාධක අරමුදල සඳහා වූ පොලිය 9% දක්වා පහළ දැමීය.

අන්තර්ජාතික කම්කරු දිනය අර්ථසාධක අරමුදල පිළිබඳ කතා කරන්නට සුදුසුම දිනය ලෙස සැලකිය හැකිය. එයට හේතුව: අර්ථසාධක අරමුදල

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ සමාජ ආරක්ෂණය සඳහා ඇති එකම අරමුදල වීමය. එහෙත් කිසියම් හෝ පොට වරද්දා ගැනීමක් නිසා අර්ථසාධක අරමුදලේ පාලනය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී තිබේ. එසේ පැවරීම තුළ විසඳාගත නොහැකි අර්බුද රාශියක් අරමුදලට මුහුණ දීමට සිදු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අර්ථසාධක අරමුදලේ මුදල්, භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම සඳහා, භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා, කොටස් සුරැකුම්පත් සහ මුදල් වෙළෙඳපොළ සඳහා ආයෝජනය කරනු ලබයි. කොන්දේසිය වන්නේ වාර්ෂික පොලී ගණනය කොට සේවක අරමුදලට බැර කිරීමය. බැර කිරීම කෙසේ වෙතත්, පසුගිය වකවානුවේ අර්ථසාධක අරමුදල ගඟේ මුහුදේ දැම්මා සේ බරපතළ පාඩු සිදු කළේය. ඉතා ප්‍රකට උදාහරණයක් වන්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කොට කරන ලද විනාශයයි.

අර්ථසාධක අරමුදලේ පාලනය එහි සාමාජිකයන්ගේ නියෝජිතයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකට පවරාගෙන දේශපාලකයන්ට එය කොල්ලකෑමට තිබෙන ඉඩ අහෝසි කළ යුතුය.

lඋදේනි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division