ටිබෙට් රට සිකීම් නුවර (සීකීම් දේශය) අපට වඩ වඩාත් ව්‍යවහාරයට පැමිණියේ අප කතානායකයාණන් වන සිකීම් ජාතික මහින්ද හිමිපාණන් වහන්සේ නිසාය.
වර්ෂ 1901දී උපත ලබා වයස අවුරුදු 12ක් පමණ වන විට එනම්, 1913දී තෂිනංගල් ලෙස ගිහි නාමයෙන් ලංකාවට පැමිණ M.K. ‘සිකීම් මහින්ද’ නමින් පැවිදිව විසි වයස් හිදී ‘ඔවා මුතු දම’ ග්‍රන්ථය රචනා කළේය. නිදහස් මන්ත්‍රය, ලංකා මාතා, ජාතික තොටිල්ල, කව් මිණි, කව් මුතු, ළමා කව් කළඹ, කුසුමාංජලී, රත්නාවලි කාව්‍යය, දෙවැනි රාජසිංහ චරිතය, මහා පරාක්‍රමබාහු කුමාර කාලය, රාහුල කුමාරය, ශ්‍රී පාදය ආදිය උන්වහන්සේ විසින් රචිත සෙසු ගද්‍ය පද්‍ය කෘතීන්ය.
අද වැඩ සිටියේ නම් වයස අවුරුදු 124කි. අප රට විදෙස් ආධිපත්‍යයට යටත්ව සිටි වකවානුවක උන්වහන්සේගේ ලිඛිත ශෛලිය සවිස්තර වීම නොවුවමනාය. පද්‍යයන් ද එසේය. වැඩි හරියක් පද්‍යයන් අප රට පිරිස්වලට වනපොත්ව (කට පාඩමේ) පවතී. “අයුත්තකට අත් දෙක ඔසවන්න එපා” “නඟන රුපුන් නහමින් යමි ඉදිරියට – මහණ කමක් බණ දහමත් එයයි මට…” , “ඇස් ගෙඩිවලට හෙණ ගැහිලද සිහළුන්නේ” “සිංහලයා කියන මිනිහා තවම නිදී” , ” එනු ඉදිරියට නැතිනම් නිදහසක් නැහැ..” සතුරුව එතොත් මහ මෙර වුව පසිඳ ලනු”, ‘ උස් තැන් ‘ යැයි සමාජ ව්‍යවහාරයේ සදොෂ පුද්ගලයන් පිළිබඳව දුටු එහිමියන්ගේ ලිඛිත රචනාවලින් පද්‍ය කිහිපයක් ඉදිරිපත් කිරීම කාලෝචිතයැයි උප කල්පනය කළෙමු.
“මුනි සිරිපා සිඹිමින් නේ
සමනොළ ගිරි පෙදෙසින් නේ
මඳ සුළඟයි මේ එන් නේ
මගේ පුතා නිඳියන් නේ
ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහො තේ
සුන්දර සුරඹුන්ගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ
එළාරගේ මළ කුණට ත්
ගරු බුහුමන් කළෙ ඉමහ ත්
ගැමුණු පුතාගේ මෙසිරි ත්
පුරුදු කරන් පුතේ උඹ ත්
එක් කොනකින් කොනට අනි ක්
පයින් යතත් තරුණ කත ක්
පුළුවන් වු කදිම රට ක්
ඇද්ද පුතේ මෙලක මිස ක්
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහන් මහ මිහිඳු හිමී
පෙවුවෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එමී
නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත නුඹ වේ
ඒ බැව් සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ
සිය රට ගලවමිය පතා
දිවි දුන් සැඩ රිපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා
නිදහස් ලිය ලියලන් නේ
සම් මස් ඇට පොහොරින් නේ
මේ සිතුවිලි සමඟින් නේ
මගේ පුතා ලොකු වෙන් නේ
තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මොලොවට කිසි පලක් නැතේ
එබඳු උතුම් ලංකාවේ
දසතින් දුසිරිත් බෝ වේ
මේ ගැන වැඩ කළොත් ලො වේ
උඹෙත් මගෙත් නම ලියැවේ
උඩුගම හේමසාර හිමි
සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති