ආදරණීය සේපියන්ස්ට මේ පෘථිවි ග්‍රහලෝකය මොන රහදැයි බැලීමට සිතේ. එය මුවෙහි ලා සූප්පු කර බැලීමට ඇවැසිය. මුහුදෙහි ලුණු රසද ගොඩබිම්හි ඇති විවිධාකාර රසයන්ගේ සම්මිශ්‍රණය අවසන එය අතැඹුලක් හෙවත් නෙල්ලි ගෙඩියකැයි සිතේ. එය වූකලි මුඛ්‍ය අදහසින් පෘථිවියේ රස බැලීමකැයි සිතතොත් මුළාවකි. අතීතය, වර්තමානය හා අනාගතය තුළ හෝමෝ සේපියන්ස්ලාගේ පරිණාමයත් බුද්ධිමහිමයත් ඔස්සේ විවිධාකාර දාර්ශනික සිතිවිලි සමඟ සම්මිශ්‍රණය වූ රසගුලාවක රසය ස්පර්ශ කිරීම වූකලි වෙනස්ම කාර්යයකි. එය ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් හෙවත්, හේතු යුක්ත සාක්ෂ්‍ය, දත්ත පදනම් කරගනිමින් අතීතය, අනාගත හා වර්තමානය ඔස්සේ සැරිසරමින්, ඒවා සසඳමින් කළ යුතු ගවේෂණශීලි සුන්දර විශ්ලේෂණයකි.
ඓතිහාසිකව පරිණාමික හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙවත් දියුණු මානවයාගේ චින්තන හැඩය නිර්මාණය කිරීමට මේ මිහිතලයේ පහළ වූ විවිධාකාර සේපියන්ස්ලාගේ බුද්ධි ප්‍රභාව ඉවහල් වී තිබේ. ඒ අතුරින් ඒ හැඩයට මටසිලිටි බවක්, ගැඹුරක්, දිග පළලක්, වෙනත් මානයක් සහිත අද්විතීය සෞන්දර්යයක් මුසු කිරීමට දාර්ශනික අදහස් සහිත සුවිශේෂ චරිත හේතු වී තිබේ. ආගමික ශාස්තෘවරුන් මේ කුලකයෙන් ඉවත් කළ විට මිහිතලයේ පහළ වූ සොඳුරුතම දාර්ශනිකයා සොක්‍රටීස් යැයි සේපියන්ස් ගොයියා ඉඳුරාම සිතයි. ඊට දහසක් හේතු තිබේ.
සොක්‍රටීස් කියවීම වූකලි අතිශයින්ම සුන්දර කර්තව්‍යයකි. ඉන් මොළයට කෑම ලැබේ. දාර්ශනික සිතිවිල්ලක් යනු පුද්ගලයකු සහමුලින්ම වෙනස් කරන්නකි; ජනසමාජයක්ම වෙනස් කරන්නකි. වඩාත් තේරෙන බසින් කිව හොත්, අගුළ ගැලවූ ග්‍රෙනේඩයක්, පුද්ගලයකුගේ මුව විවර කොට සැණෙකින් ගිල්වා දැමීමක් වැන්නකි. එය කොයි මොහොතේ හෝ පුද්ගලාභ්‍යන්තරයේ පුපුරා යයි. විස්මය ගෙන දෙන්නා වූ නව දාර්ශනික අදහසද එබන්දකි. බැණ බැණ හෝ විරසකව හෝ සිටින්නකු තුළට වුවද ඇතුළු වන සමහර අදහස්, මුලින් ප්‍රතික්ෂේප කළද කාලයත් සමඟ ඒ පුද්ගලයා තුළ ඒ අදහස පැළ වීමත්, ඒ අනුව ක්‍රියාත්මක වීමටත් ආරම්භ විය හැකිය.
“දාර්ශනිකයාගේ හැඟීම වූකලි විස්මයයි. දාර්ශනිකත්වය උපදින්නේ විස්මයෙනි” සොක්‍රටීස් පවසා තිබේ. එසේම දාර්ශනිකයා අනෙකා සමඟ විවාද කර හෝ කිසිවකුට උපදෙස් දී හෝ නැත. එසේම දාර්ශනිකයා කිසිවක් ඉල්ලා සිටද නැත. ඔහු සිය ගෝලයන්ගේ පිළිතුරුවලට තවදුරටත් ප්‍රශ්නම ඉදිරිපත් කරයි. ඒ ක්‍රියාවලිය තුළදී, ඒ ප්‍රස්තුතය සියුම් සෝදිසියකට ලක් කෙරෙන්නේ, තර්කන න්‍යාය ඔස්සේ අදහසේ අඩුපාඩුද දෙපක්ෂයටම විවරණය වී වඩාත් දියුණු අවබෝධයකට දෙපක්ෂයම ගමන් කරවීමෙනි.
සොක්‍රටීස්ගේ මේ තීක්ෂ්ණ බුද්ධියෙන් යුක්ත පරිඥානය අවුස්සනසුලු ප්‍රශ්න කිරීමට ඔහුගේ ගෝලයෝ බෙහෙවින්ම ඇලුම් කළෝය. විශේෂයෙන්ම ‘ප්ලේටෝ’ සහ ‘ක්සෙනොෆොන්’ යන ඔහුගේ ගෝලයන් දෙදෙනා ඒ සුපිරි ප්‍රශ්න රීතියෙන් අතිවිශාල වින්දනයක් ලැබුවෝය.
ඒ අනුව ඔවුන් විසින් සිය මිත්‍රෝපදේශකයාගේ කල්පිත ප්‍රශ්න කිරීමේ සංවාද රීතියේ, ක්‍රියාවලිය සියුම්ව පෙළගස්වමින් ආකෘතියක් නිර්මාණය කරනු ලැබීය. එලෙස නිර්මාණය කරන ලද කල්පිත සංවාද ආකෘතික මොඩලය විසින් සොක්‍රටීස්ගේ විමසුම් ක්‍රමවේදය සම්බන්ධයෙන් නිවැරදි උදාහරණ සපයයි. එකී කල්පිත සංවාද මොඩල අතරින් සොක්‍රටීස් සහ තරුණයකු වූ ‘යූතඩිමස්’ සමඟ කළ සංවාද අතිශයන්ම ආකර්ෂණීයය. ඒ සංවාද මොඩලයක් ඇසුරෙන්, ‘යුක්තිය සහ අයුක්තිය’ යන්න පිළිබඳව අප තුළ මුල් බැසගත් අදහසට ඔබ්බෙන් වූ වඩාත් සාධාරණ සැබෑ ස්වභාවය සම්බන්ධගෙන් තේරුම් ගැනීමට පොලඹවයි. එමඟින් යුක්තිය හා අයුක්තිය ගැන වඩාත් පුළුල් සහ ගැඹුරු අවබෝධයක් සහිත විශ්වාසයක් ඇති කරගැනීමට හැකි වෙයි.
සොක්‍රටීස් විසින් සිය ගෝලයාගේ චිත්ත සන්තානයේ පැළපදියම් වී මුල් බැසගත් වටිනාකම් පිළිබඳව සියුම් සෝදිසියක් කරයි.
සොක්‍රටීස්: හොඳයි. ඔබට පුළුවන් ද ‘බොරුව’ සහ ‘සොරකම’ යන කාරණා අයත් වන්නේ ‘යුක්තියට’ ද ‘අයුක්තියට’ ද කියල නිශ්චිතව කියන්න.
යූතඩිමස්: අයියෝ උපදේශකතුමා, ඕක අහන්ඩත් දෙයක් ද? හොරකමත් බොරු කීමත් දෙකම අයත් වෙන්නෙ අයුක්තියට නේ. ඕක ඕන පොඩි ළමයෙක් වුණත් දන්න දෙයක් නේ?
ඒ පිළිතුරත් සමඟ සොක්‍රටීස් ඊළඟ පැනයට උගුර පාදයි.
සොක්‍රටීස්: හොඳයි. ඔබගේ හමුදාවේ වීර සෙන්පතිතුමා සතුරු හමුදාව රවටලා සතුරු බල ප්‍රදේශය මංකොල්ල කනව. එතකොට?
යූතඩිමස්: ආ… එතකොට ඒක යුක්ති සහගතයි. උන් සතුරො නෙ?
යූතඩීමස් විසින් යුක්තිය සහ අයුක්තිය පිළිබඳ තමන් විසින් මුලින් සිදු කළ ලේබල් කිරීම ආපස්සට ගෙන මාරු කරනව. එසේම ඔහු සපථ කරන්නෙ, ඒක අයුක්තිය වෙන්නෙ එය මිතුරන්ට සිදු කළා නම් පමණකැයි කියමිනි. එහෙත් සොක්‍රටීස් එතැනින් ද නතර නොවෙයි. ඔහු යෞවනයාගෙන් තවදුරටත් මෙලෙස විමසා සිටියි:
සොක්‍රටීස්: හොඳයි. ඔබගෙ හමුදාවෙ වීර සෙන්පතිතුමා, ඔබගේම හමුදාවට බොරු කියා රවටනවා හමුදාවේ මොරාල් එක හෙවත් චිත්ත ධෛර්ය වර්ධනය කරන්න. එවිට බොරු කීම යුක්ති සහගතද? අයුක්ති සහගතද?
ඒ සමඟම යූතඩීමස් සිය ධෛර්ය හීන වී පසුබෑමට පත්වෙයි. එමඟින් පසක් වූයේ,මෙම “ප්‍රශ්න විචාලීමේ ප්‍රවේශයට” අනුව, ලැබෙන සෑම පිළිතුරක්ම තවත් නොවිසඳුණු ප්‍රශ්න ජාලාවකට තමාව ඇදගෙන යන බවයි. එසේම, සෑම දෙයකටම යුක්ති සහගත වන්නේ, කවර වූ විසඳුමක් හෝ ව්‍යවස්ථාවක්ද යන්න ගැනත් ප්‍රබල දෙගිඩියාවකට යූතඩිමස් පත්වෙයි.
ඒ අනුව සොක්‍රටීස්, අපූරු විග්‍රහාත්මක විධියකින් තමන්ව හඳුන්වා ගනියි.
එනම්, තමන් ද එක්තරා ආකාරයක වින්නඹු මාතාවක් යැයි සොක්‍රටීස් පවසයි. ඒ කෙසේද යත්: අනුන්ගේම අදහස්, ඒ අදහස්වලින්ම සංසේචනය කරවා, අනුන්ගේ අලුත්ම අදහස් නමැති දරුවන් වදන්නට තමන් පිටතින් සිට වින්නඹුකමක් පමණක් කරන බවයි.
ඔහුගේ ප්‍රශ්න කිරීමේ ක්‍රමය විසින් පුද්ගලයකුගේ පරීක්ෂා නොකළ උපකල්පන සිතිවිලි සමුදාය උද්දීපනය කරයි. පසුව ඒ මුල් බැසගත් අදහසින් යුත් උපකල්පනයන් කෙරෙහි වූ පක්ෂග්‍රාහිත්වයට ඍජුව අභියෝග කරයි. එය සෑම විටම නිශ්චිත පිළිතුරු සපයන්නේ නැත.
එහෙත්, එකී ක්‍රමවේදය, ප්‍රශ්න පැහැදිලි කිරීමටත්, පරස්පර විරෝධි නොගැළපෙන්නා වූ විසංවාදි අදහස් ඉවත් කිරීමටත්, වටේ යන චක්‍රීය තර්කනය ඉවත් කිරීමටත් මහෝපකාරි වේ. එසේම, ප්‍රශ්න අසන්නා සහ පිළිතුර යන දෙකම විසින් තාර්කිකව ගෙන යන සියුම් විමසුම් රේඛීය ක්‍රමවේදය අනුගමනය කිරීමෙන්, අවසානයේ නොසිතූවිරූ අනපේක්ෂිත ස්ථානවල අපගේ ආයස්ථානය හෙවත් අවසානයේ ඉතුරු වන අදහස ගාල් විය හැකිය.
එය අපූරු දෙයකි. එය අපගේ බුද්ධිය විසින්ම දල්වාගත් ප්‍රබුද්ධ සුපිරි ආලෝකයකි.
සොක්‍රටීස්ගේ ඥානභරිත සුවඳ සේපියන්ස්ගේ මොළය සිසාර හමායයි. සොක්‍රටීස්ගේ ජීවිතයත් ඒ හා සම්බන්ධ ප්‍රඥාවන්ත විසංවාදත් ආඝ්‍රාණය කරනු වස් සේපියන්ස් ගොයියා ඉදිරි ලිපිවලදී ඉපැරණි ග්‍රීසිය ආශ්‍රිත යුරෝපයේ කරක් ගසමින් ලිපි මණ්ඩියේ තව හොඳවැයින් අඩව් කස්තිරම් අල්ලන්න සිතයි.