පාතාලය සිදු කරන වෙඩි තැබීම් ගැන විමර්ශනය කරන පොලීසිය එක් ප්‍රධාන කාරණාවක් ගැන සුවිශේෂ තොරතුරක් පසුගියදා අනාවරණය කරගෙන තිබිණි. ඒ, පාතාල ක්‍රියා සඳහා ටී56 ස්වයංක්‍රීය ගිනිඅවි භාවිත කිරීමේ යම් වර්ධනයක් පෙනෙන්නට ඇති බවයි.
මේ කතාව වඩාත් තහවුරු කරන ප්‍රධාන සිද්ධියක් කරළියට ආවේ පසුගිය සඳුදාය. ඒ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවන සංජීව සිරිවර්ධනට අයත් අත්තනගල්ල වැලිකඩමුල්ල පෙතියාකන්ද ප්‍රදේශයේ පිහිටි පොල් ඉඩමක වළදමා තිබුණු ටී 56 තුවක්කුවක්, බෝර 12 තුවක්කුවක්, ටී 56 මැගසින් එකක්, ජීව උණ්ඩ 136ක් අත්අඩංගුවට ගැනීමත් සමගය. එම ඉඩමේ තවත් ටී 56 තුවක්කු 04ක්, ජීව අත්බෝම්බයක් සඟවා තිබුණු බවට ලැබුණු තොරතුරු අනුව මෙහෙයුම් සිදු ෙකරිණි. එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ මේවා යුද සමයේදී ඔහුට ලැබී ඇති බවය. මේ අතර වැඩ තහනම් පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් මාවතගම පිහිටි නිෙවසක තිබී බෝර 12 තුවක්කු 02, බෝර 16 තුවක්තු 02 සහ රිවෝල්වරයක් සොයා ගැනුණේ ද පසුගිය සතියේය. කඩුවෙල වැලිවිට නිවසක ළිඳක දමා තිබුණු පිස්තෝල 03ක් පසුගිය අඟහරුවාදා සොයා ගැනිණි.
පාතාලයන් ටී56 අවිවලින් කරන ‘සෙල්ලම්’ නවත්වා නැත. ජනවාරි 1 දා සිට පෙබරවාරි 19-20 අතර කාලය ඇතුළත සිදු වූ වෙඩි තැබීම් 19ක් අතුරින් වැඩි සංඛ්‍යාවක් සඳහා යොදාගෙන තිබුණේ ටී56 ස්වයංක්‍රීය ගිනිඅවි වීමද විශේෂත්වයකි. මේ අතර සිදු වූ සුවිශේෂම සිදුවීම වූයේ ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් ජයකොඩි නමැති පුද්ගලයා සිය ටී56 රාජකාරි තුවක්කුව පාතාලයට දී ඩුබායි රාජ්‍යයට පලායෑමයි. මෙය රට කැලඹූ පුවතක් විය. කෙසේ වෙතත් කොස්තාපල් ජයකොඩි එලෙස පාතාලයට දී තිබුණ ටී56 අවිය දින කිහිපයක් ඇතුළත සොයාගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන්ට හැකි විය.
මේ අතර කොළඹ නාවික හමුදා කඳවුරකින් 2021 වසරේදී සොරකම් කරන ලදැයි කියන ටී56 අවියක් සමඟ නාවික හමුදා සෙබළෙක් නාවික හමුදා කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර සිය බිරිය ඝාතනය කිරීම සඳහා ටී56 තුවක්කුවක් රැගෙන පලාගිය නාවික හමුදා සෙබළකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද පසුගියදාය.
ජනවාරි 1 දා සිට පෙබවාරි 28 දක්වා පොලීසිය සහ සෙසු ආරක්ෂක අංශ සිදු කළ සෝදිසිවලදී ටී56 අවි 6ක්, පිස්තෝල 7ක් සොයාගැනීමට හැකි වීම සුවිශේෂය. ගල්කටස් තුවක්කු, පතරොම් යොදන තුවක්කු සහ බඳින තුවක්කුද ඇතුළු ගිනි අවි 200කට වඩා ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසියට හැකි විය.
කොටහේනේ කොමියුනිකේෂන් එකක අයිතිකරු පසුගියදා ඝාතනය කර පලායමින් සිටි පුද්ගලයන් දෙදෙනා සතුව තිබුණ ටී56 අවියද අත්අඩංගුවට ගැනීමට හැකි වීම පොලිසිය ලද ජයග්‍රහණයකි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබුණු ටී56 අවියක් සහ පතරොම්ද සොයාගැනීමට හැකිව තිබුණේද පොලිස් නිලධරයකුට ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුවය. නීති විරෝධිව භාවිත කරන ටී 56 තුවක්කු පිළිබඳව නිවැරදි තොරතුරු සපයන ඕනෑම අයකුට රුපියල් දස ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනමන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් නිවේදනය කර දිනක් යන්නටත් මත්තෙන් මහජන ඔත්තුවක් මත සොයා ගැනුණු පළමු ටී 56 තුවක්කුව එයයි. පසුගිය දිනෙක රාත්‍රියේ පමුණුගම වෙරළේදී වෙඩි තබා ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබිණි. එම ඝාතනය සඳහාද භාවිත කර තිබුණේද ටී 56 ස්වයංක්‍රීය තුවක්කුවකි. වෙඩි තැබීම සිදු කර තිබුණේ ‘ඩබල් ටැප්’ ක්‍රමයටයි. ඊට අමතරව දෙණියාය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකදී පුද්ගලයන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහාද යොදාගෙන තිබුණේද ටී 56 අවියක් වුවත් ඒ තුවක්කුව මෙතෙක් සොයාගැනීමට හැකි වී නැත.
පාතාලය සතුව ඇති ටී 56 ගිනිඅවි, පිස්තෝල ඇතුළු අවි ආයුධ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම තවම ක්‍රියාත්මකය. ඒ මෙහෙයුම ආරම්භ වූයේ ජනවාරි 12 වැනිදාය. ප්‍රධාන පෙළේ අපරාධකාරයන් බව කියන පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් මේ මෙහෙයුමේදී මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
පාතාල කල්ලි 58ක් රට පුරා ක්‍රියාත්මක වන අතර, ඔවුන්ගේ අනුගාමිකයන් 1,400ක් සිටින බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෙළි කළේ පසුගියදාය. විදේශගත පාතාලයද මෙරට සිටින සිය ගෝලබාලයන් යොදවා සිදු කරන මිනිස් ඝාතන, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්ද සුළුපටු නැත. මේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් පැය 24 පුරා සිදු කරන මෙහෙයුම්ද සුවිශේෂිය.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය, බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක අංශ මේ මෙහෙයුම සිදු කරන්නේ සියලු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදිය. මුල් සති කීපය ගත වෙද්දී මේ මෙහෙයුම ඉතා හොඳ ප්‍රගතියක් අත් කරගෙන තිබිණි. නීති විරෝධී ගිනිඅවි 197ක්, බීමත් රියදුරන්11,054ක් මේ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබීමද සුවිශේෂය. හෙරොයින් කි.ග්‍රෑ. 14ක්, ගංජා කි.ග්‍රෑ. 1123ක්, අයිස් කි.ග්‍රෑ. 23ක් හෂිස් කි.ග්‍රෑ. 23ක් එලෙස අත්අඩංගුවට ගැනුණු අතර, මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් 16,000ක්ද අත්අඩංගුවට ගෙන තිබිණි.
අධිකරණවලින් නිකුත් කරන ලද වරෙන්තු නොතකා සැඟවී සිටි පුද්ගලයෝ 14,000ක්ද මේ මෙහෙයුමේදී අල්ලාගැනිණි.
වරෙන්තු මත සිටින පුද්ගලයන් රැසක් අපරාධ රැසකට සම්බන්ධ බවට පොලීසියට ලැබුණු තොරතුරු මත පොලීසිය මේ වරෙන්තුකරුවන් අල්ලාගැනීමේ මෙහෙයුම් තීව්‍ර කර තිබිණි. නීති විරෝධී තුවක්කු පිස්තෝල අත්අඩංගුවට ගැනීමද මේ මෙහෙයුමේ අරමුණක් වී තිබුණේ සංවිධානාත්මක අපරාධකරුවන්, පාතාල සාමාජිකයන්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ කුලී ඝාතකයන් නීති විරෝධි තුවක්කු පිස්තෝල භාවිත කරමින් සිදු කළ අපරාධ සංඛ්‍යාව එන්න එන්නටම වැඩි වෙමින් පැවති බැවිනි.
ජනවාරි 1 සිට පෙබරවාරි 20 දා දක්වා පාතාලයේ ගැටුම්වලින් පුද්ගලයන් 19 දෙනකු ඝාතනය කර තිබුණ අතර මේ සියලු ඝාතන සඳහා ටී56 ස්වයංක්‍රීය තුවක්කු, බ්‍රව්නින් පිස්තෝල සහ රිවෝල්වර භාවිත කර තිබීමද සුවිශේෂය. කොළඹ අපරාධ කොට්ඨාසය, කළුතර අපරාධ කොට්ඨාසය, ඌරගහ, ගිරානේගම, මාමඩුව, ඕමන්ත සහ දඹගල්ල පොලිස් ස්ථානවල නිලධරයන් සිදු කළ මෙහෙයුම්වලදී නීති විරෝධී ගිනිඅවි 18ක් සොයාගැනීමට හැකිවීමද සුවිශේෂිය.
කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධරයන් සිදු කළ විමර්ශනයකදී 9එම්එම් පිස්තෝලයක් සහ පතරොම් 14ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලද අතර, ඔහු අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි. එම සැකකරු අල්ලා ගන්නේ කිසියම් අපරාධයකට සූදානම්ව සිටියදීය. ඔහු සතුව තිබූ හෙරොයින් මි.ග්‍රෑ. 3560ක්ද සොයාගැනිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධරයන්ට ලැබුණු තොරතුරු මත සිදු කරන ලද මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරද්දී තුවක්කු කිහිපයක් සොයා ගැනීමට ද හැකි විය. මිනුවන්ගොඩ හීනටියන ප්‍රදේශයේදී මේ වැටලීම් සිදු කෙරිණි. තුවක්කු සඟවා තිබුණේ නිවෙසක් ඇතුළේය. නයින් එම්එම් පිස්තෝලයක්, ඊට භාවිත කරන පතරොම් 47ක් බෝර 12 පතරොම් 20ක් නයින් එම්එම් හිස් මැගසින්, රිපීටර් තුවක්කු 2ක් එලෙස සොයාගැනිණි.
මේ අතර ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් ඌරගස්මංහන්දිය පොලිස් නිලධරයන් සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරද්දී තුවක්කු සහ පතරොම් සොයා ගැනීමට පොලීසියට හැකි විය. එලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා 35 හැවිරිදි අයෙකි.
නයින් එම්එම් පිස්තෝලයක් බෝර 12 තුවක්කුවක් ටී56 පතරොම් 2ක් සහ තවත් විවිධ වර්ගවල තුවක්කුවලට යොදන පතරොම් රැසක් පොලීසිය සොයාගෙන තිබිණි. මේ සැකකරු සතුව තිබියදී හෙරොයින් මි.ග්‍රෑ. 2,500ක්ද සොයාගැනීමට හැකි වූ අතර, ඔහු පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධදැයි සෙවීමට විමර්ශන පැවැත්වෙයි.
වව්නියාව පොලිස් කොට්ඨාසයට අයත් මාමඩුව ඕමන්ත යන පොලිස් ස්ථානවල නිලධරයන් සිදු කරන ලද මෙහෙයුමේදී තුවක්කු දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ තුවක්කු බෙහෙත් කොටන ඒවා බව හෙළි විය.
ගිරානේගම පොලීසිය සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගත්තේ දෙදෙනකු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදනය කරන ලදැයි කියන තුවක්කු 5ක් සහ බෝර 12 තුවක්කු 2ක් සමඟිනි. මේ අතර හමුදා සේවය නීත්‍යනුකූල නොවන අයුරින් හැරගිය අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද මේ වන විට ක්‍රියාත්මකය. එලෙස නීත්‍යනුකූල නොවන ලෙස හමුදා සේවය අත්හැර ගිය 5,000ක් පමණ සිටින බව සැක කෙරේ. හමුදාව හැර ගිය 16,000කට ආසන්න පිරිසක් නීත්‍යනුකූලව හමුදා සේවයෙන් ඉවත් වී ඇති බවද දැනගන්නට ඇත. එම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගන්නා ලද ත්‍රිවිධ හමුදා සෙබළු සංඛ්‍යාව 679කි.