පාරිභෝගිකයා යනු කවුරුද? පාරිභෝගිකයා යනු වෙළෙඳපොළෙන් භාණ්ඩ හෝ සේවා මිල දී ගන්නා හෝ භාවිත කරන පුද්ගලයකු හෝ සමූහයක් ලෙස හැඳින්විය හැකිය. සරලව කිව හොත්, ඔබ සාප්පුවකින් යමක් මිල දී ගන්නා විට හෝ සේවාවක් සලසා ගන්නා විට ඔබ පාරිභෝගිකයෙක් වෙයි. ඒ අර්ථයෙන් ඔබ අපි කවුරුත් පාරිභෝගිකයෝය.
ආර්ථික වශයෙන් ගත් කල, ඔවුන් වෙළෙඳපොළේ ප්‍රධාන කොටසක් නියෝජනය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහිදී භාණ්ඩ හා සේවා සපයන්නන්ගේ ඉලක්කය පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමය.
පාරිභෝගිකයා ආරක්ෂා කළ යුත්තේ ඇයි?
පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතු වනුයේ, ඔවුන්ට සාධාරණ, ආරක්ෂිත සහ ගුණාත්මක භාණ්ඩ හා සේවා සලසාගැනීමේ අයිතියක් ඇති නිසාය. අයුතු සහ කූට ලාභ අරමුණු කොටගනිමින් වෙළෙඳපොළ වංචා, ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ හෝ මිනිස් පරිභෝජනයට කොහෙත්ම හිතකර නොවන, ආරක්ෂාවට හානිකර භාණ්ඩ/ සේවා සැපයීමේ අවස්ථා කොතෙකුත් අප අසා ඇත. පසුගිය සමයේ අහන්නට ලැබුණු, ‘පිළිකාකාරක සහිත පොල්තෙල් රට පුරා’, ‘සත්ත්ව ආහාර සඳහා ගෙන්වූ සහල් මිනිස් පරිභෝජනයට වෙළෙඳපොළට’, ‘සුදුවෙන්න කලින් පණ යන ක්‍රීම්’ ආදි ප්‍රවෘත්ති සිරස්තල ගැන සිහිපත් කිරීම ඊට ප්‍රමාණවත්ය.
එවැනි තත්ත්වයන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා නීති (උදා: පාරිභෝගික ආරක්ෂණ නීති), රෙගුලාසි, සහ ආයතන පිහිටුවා ඇත. පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් වන තෝරාගැනීමේ අයිතිය, තොරතුරු ලබාගැනීමේ අයිතිය, සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේවා ක්‍රියාත්මක නමුත්, වෙළෙඳපොළ හැසිරීම නිසාම මේ පිළිබඳ කොතෙක් අවධානය යොමු කළද වැඩි නැති බව අපි අත්දැකීමෙන් දනිමු. ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්තු 15 දිනට යෙදෙන ගෝලීය සැමරුමක් බවට පත් කර තිබෙන්නේද ඒ නිසාය.
එසේම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හඳුන්වා දුන් පාරිභෝගික අයිතිවාසිකම් හා යුතුකම් ලෙස, මූලික අවශ්‍යතා සපුරාගැනීමේ අයිතිය, රැකවරණය පිළිබඳ අයිතිය, තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය, තෝරාගැනීමට ඇති අයිතිය, සවන් යොමු කරවාගැනීමට ඇති අයිතිය, අධ්‍යාපන ලබාගැනීමට ඇති අයිතිය හා යුතුකම් ලෙස මනා අවබෝධය, ක්‍රියාශීලිත්වය, සමාජශීලිභාවය, පරිසරය පිළිබඳ අවබෝධය, සහෝදරත්වය යන දෑ ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව 1983 සිට Consumers International විසින් මෙය සංවිධානය කරනු ලබන අතර, 2025 වසරේ තේමාව වන්නේ ‘A Just Transition to Sustainable Lifestyles’ – ‘තිරසර ජීවන රටාවන් වෙත යුක්තිසහගත සංක්‍රමණයක්’ යනුවෙනි.
නීතියෙන් පමණක් පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කළ හැකිද?
පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ කතා කෙරන පාරිභෝගික අයිතිවාසිකම් දිනය අපේ රටේද විවිධාකාරයෙන් සමරනු ලබයි. මෙවර අප තේමාව පාරිභෝගික ස්ථිරසාරත්වය, පරිසර හිතකාමි භාවිතයන් සහ පාරිභෝගිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. මෙමඟින් පාරිභෝගිකයින්ට පරිසර හිතකාමි සහ ආර්ථික වශයෙන් සුදුසු තේරීම් ලබා දිය යුතු බව අවධාරණය කෙරේ. ස්ථිරසාරභාවය යනු පාරිසරික හානිය අවම කිරීම පමණක් නොව, එදිනෙදා පාරිභෝගිකයන් සඳහා දැරිය හැකි, ළඟා විය හැකි සහ ප්‍රායෝගික විසඳුම් සහතික කිරීමද මේ යටතේ අපේක්ෂිතය. කෙසේ වුවත් මෙහිදී මූලිකව අවධානය යොමු කළ කරුණක් ඇත. ඒ: මෙකී සැමරුම්, ප්‍රතිපත්ති සහ නීතියෙන් පමණක් පාරිභෝගික අයිතින් සුරක්ෂිත කළ හැකිද යන්නය.
ප්‍රතිපත්ති සහ නීති
මෙරට තුළ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා විවිධ රජයන් යටතේ විවිධ ප්‍රතිපත්ති, නීති සකස් කර ක්‍රියාත්මක කර තිබේ. පාරිභෝගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අප රටේ ක්‍රියාත්මකවන ප්‍රධාන නීතිය වන්නේ 2003 ජනවාරී මස 9 දා පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතයි. මේ පනත මඟින් පාරිභෝගික ආරක්ෂාව සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවන ලද අතර, ඒ අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ පාරිභෝගිකයාගේ ජීවිතවලට සහ දේපොළවලට උපද්‍රවයක් සිදු වන භාණ්ඩ අලෙවි කිරීමට සහ සේවා සැපයීමට එරෙහිව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම, අසාධාරණ පිළිවෙත්වලට විරුද්ධව පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට හා පාරිභෝගික අයිතිවාසිකම්වලට නිසි සැලකිල්ලක් දැක්වීම සහතික වීමයි.මෙයට අමතරව 1980 අංක 26 දරන ආහාර පනතද පාරිභෝගික ආරක්ෂණයේදී වැදගත් වේ. එහෙත් අපේ රටේ පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම නීතියෙන් පමණක් සිදු කළ නොහැකි බව සමාජය දෙස බැලීමේදී පෙනී යයි. එබැවින් පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමට නීතිය ක්‍රියාත්මක කිරීම මෙන්ම වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමද අත්‍යවශ්‍ය වේ.
සාධාරණ වෙළෙඳාමක් වෙනුවෙන් ආකල්පමය සංවර්ධනයක්
වත්මන් රජය හඳුන්වා දුන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන අතිශයින් වැදගත් සහ කාලෝචිත වනුයේ මේ පසුබිමේය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යනු, ආචාරධර්ම, සමාජයීය මෙන්ම පාරසරික යන සියලු ක්ෂේත්‍රවල නව පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනකි. ඒ අනුව සාධාරණ වෙළෙඳාමක් මඟින් පාරිභෝගිකයාට ගුණාත්මක සහ තෘප්තිමත් සේවාවක් සැලසීමට වෙළෙඳ ප්‍රජාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට අන්තර්ගතය.
සාධාරණ වෙළෙඳාමක් යනු: සැම විටම ගුණාත්මක සහ ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට පාරිභෝගික ජනතාව වෙත සැපයීමයි. තම ලාභය පිළිබඳ පමණක් සිතන සේරිවාණිජ ගණයේ වෙළෙඳුන් මිනිස් ජීවිත සතයකට මායිම් කරන්නේ නැත.
මේ තත්ත්වය පාලනයට නීතියෙන් යම් ප්‍රමාණයක මැදිහත් වීමක් සිදු කළ හැකි වුවද එය කිසි සේත් ප්‍රමාණවත් නොවේ. පුළුල් ආකල්පමය වෙනසක්ද අවශ්‍යව තිබේ. බොහෝ ආහාර නිෂ්පාදනකයන් සිය නිෂ්පාදන තම දරුවන්ගේ පාරිභෝජනයට ලබා දෙන්නේ නැත. එහෙත් රටේම දරුවන්ගේ පරිභෝජනයට එම ආහාර අලෙවි කරති. එවන් පිරිසක් වෙනුවට පිරිසිදු, නැවුම් මෙන්ම පෝෂ්‍යදායි ආහාර වේලක් ජනතාවට ලබා දීම තම යුතුකම ලෙස සිතන වෙළෙඳ ප්‍රජාවක් රට තුළ නිර්මාණය කළ යුතුය.
සේවා සැපයුමේදීද තත්ත්වය එසේමය. රජයේ ආයතනයකට පැමිණෙන ජනතාවට තෘප්තිමත් සේවාවක් ලබාදීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමකි. සේවාවක් ලබා ගැනීමට රාජ්‍ය ආයතනයකට පැමිණෙන ජනතාව අපේක්ෂා භංගත්වයෙන් නොව, තෘප්තිමත් මනසකින් යුතුව ආපසු නිවෙසට යැවීම පාරිභෝගික අයිතින් දිනා දීමකි. බස් රියට ගොඩ වන මගියාට තෘප්තිමත් සේවාවක් හිමි විය යුතුය. ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කළ යුතුය. මේ සියලු අයිතීන් දිනා දිය හැක්කේ මේ සියලු ක්ෂේත්‍රයන්හි කණ්ඩායම්වල ආකල්පමය සංවර්ධනයක් ඇති කිරීමෙන් පමණි.
එසේම ආබාධිත ප්‍රජාවද පාරිභෝගිකයෝය. ඔවුන්ගේ පාරිභෝගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. භාණ්ඩ සහ සේවා සලසාගැනීමට පැමිණෙන මෙවැනි පුද්ගලයන්ට සිය අවශ්‍යතා ඉදිරිපත් කළ හැකි තාක්ෂණික මෙවලම් අද ලොව දියුණු රටවල ඕනෑ තරම් තිබේ. ඒ තාක්ෂණය අපේ රටටද හඳුන්වාදීම ඒ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමකි.
තිරසර පාරිභෝජනය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම
තවත් වැදගත් කාරණයක් වනුයේ, සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස, තිරසර පරිභෝජනය සාක්ෂාත් කර ගැනීමේදී ශ්‍රී ලංකාව අභියෝග ගණනාවකට මුහුණදී සිටීමය. වේගවත් නාගරීකරණය, කාර්මික ව්‍යාප්තිය සහ පාරිභෝගික ඉල්ලුම වැඩි වීම, වැරදි අපද්‍රව්‍ය කළමනාකරණය, පරිසර දූෂණය සහ සම්පත් පිළිබඳ ගැටලු ඇතිවීමට හේතු වී තිබේ. පරිසරයට ඒවායේ බලපෑම අවම කිරීම සඳහා පාරිභෝගිකයින්ට ආරක්ෂිත, තිරසර විකල්ප ආහාර, බලශක්ති කාර්යක්ෂම උපකරණ සහ පරිසර හිතකාමී ප්‍රවාහනය සඳහා ප්‍රවේශය තිබිය යුතුය .
මෙහිදී පුද්ගල වගකීම වැදගත් වන අතර, වැඩිදියුණු කළ ප්‍රතිපත්ති, ආයතනික වග වීම සහ වඩා හොඳ අපද්‍රව්‍ය කළමනාකරණය වැනි පද්ධතිමය වෙනස්කම් දිගුකාලීන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මතු විය හැකි ඕනෑම අර්බුදකාරි අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම රජයේ වගකීමයි. ඒ වෙනුවෙන් රජය සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන අතර, මෙරට ආහාර නිෂ්පාදකයාගේ මෙන්ම පාරිභෝගිකයාගේද සහාය එම වැඩපිළිවෙළට හිමි විය යුතුය.
ආහාර හානිය සහ නාස්තිය වළක්වාගැනීම
එසේම ආහාර හානිය සහ නාස්තිය වළක්වා ගැනිමද අතිශය වැදගත්ය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) 2019 වසරේ නිකුත් කළ වාර්තාවකට අනුව, ‘අස්වැන්න නෙළීමෙන් අනතුරුව වෙළෙඳපොළ වෙත පැමිණෙන අවස්ථාව දක්වා සැපයුම් ක්‍රියාවලියේ ඕනෑම අවස්ථාවකදී ආහාර හානිය සිදු විය හැකිය. අනෙක් අතට, වෙළෙඳපොළ අවස්ථාවේ සිට, ආහාර සේවා සැපයීමේ සහ පාරිභෝගික මට්ටමේදීද ආහාර නාස්තිය සිදු විය හැකිය. එබැවින්, ආහාර නාස්තිය අවම කිරීම සඳහා වැඩි වගකීමක් පාරිභෝගිකයන්ට ඇත.
අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර අප බොහෝ දෙනකුගේ කෑම මේසය මත තිබිය හැකි අතර, යම් අවස්ථාවලදී ඉන් ඉතිරි වන ආහාර අහක දමන්නේද කිසිදු තැකීමක් නැතිවය. පසුව ප්‍රයෝජනයට ගන්නා අදහසින් වෙන් කර තබාගත්තද, බොහෝ විට ඒවාද පසුව ඉවත දැමෙයි.
ආහාර නාස්තිය යනු කසළ බඳුනට වැටෙන පිඟානේ ඉතිරි වූ ආහාර පමණක්ම නොවේ. ශීතකරණයේ ඇති නරක් වන ආහාර, අවන්හලකින් මිල දී ගත් නමුත් අවසානයේ විසි කරන ආහාර සහ පිසීමට පෙර නරක් වී ඉවත දැමීමට සිදු වන අප මිල දී ගන්නා එළවළුද ආහාර නාස්තියට අයත් වේ. මේ නිසා ආහාර අපතේ යෑම වැළැක්වීමට පාරිභෝගිකයන්ට කළ හැකි දෑ බොහෝය. එබැවින් ආහාර නාස්තිය අවම කරගැනීමට පාරිභෝගික ජනතාව තුළද ආකල්පමය වෙනසක් අවශ්‍ය වේ.
රටේ සියලු ජනතාව තුළ ආකල්පමය සංවර්ධනයක් ඇති කරමින් සාර්ධර්ම පිබිදීමක් මෙන්ම සියලු ක්ෂේත්‍රයන්හි පිරිසිදුභාවයක් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන මඟින් අපේක්ෂා කෙර්. ඒ අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යනු හුදෙක් පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පමණක් නොව, මිනිස් ජීවිත සහ සමාජය වෙනස් කරන වැඩසටහනක් ලෙස හදුන්වාදීම අතිශයෝක්තියක් නොවේ. විශේෂයෙන් මිනිස් සමාජයම, එක් පාරිභෝගික වෙළෙඳපොළක් ලෙස සලකා කටයුතු කරන පසුබිමක, ඒ තුළ අප තවත් එක් පාරිභෝගිකයකු ලෙස හුදෙකලා කර ඇති පසුබිමක ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යනු, අප ඒ හුදෙකලාවෙන් ගලාවා මනුෂ්‍යත්වයේ පිහිටුවන, ඒ වෙනුවෙන් අප අපවම සූදානම් කරන, පෙළගස්සවන අපේ කාලයේ ජාතික වැඩසටහන වී ඇත.
එසේ නම් දැන් තිබෙන්නේ ඒ වෙනුවෙන් අවශ්‍ය මිනිස් මැදිහත් වීම සිදු කිරීමය.