Home » පැරණි මෝටර් රථ ගැන අලුත් කතාවක්

පැරණි මෝටර් රථ ගැන අලුත් කතාවක්

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
එම්. ජී. විතානගේ

– මංගල උත්සවවලදී පරණ කාර්වලට ලොකු ඉල්ලුමක්
– මෙරටට පළමු මෝටර් රථය ගෙනැවිත් ඇත්තේ 1902 පෙබරවාරියේ
– වින්ටේජ් ඕල්ඩ් කාර් සමාජයට ගත්තේ A ටු Z කාර් පමණයි
– පළමු පෙට්‍රල් රියේ හිමිකරු ඊ.එල්.එෆ්. සොයිසා

මා ප්‍රථමයෙන් මෝටර් රථයක් දුටු අවස්ථාව පිළිබඳ රසවත් විස්තරයක් යක්කඩුවේ ප්‍රඥාරාම නාහිමියන්ගේ චරිතාපදානයෙහි සඳහන් කර තිබේ. කුඩා අවධියේ වැඩිහිටි ඥාතියකු සමඟ නවගමුවට යෑම පිණිස හෙයියන්තුඩුව ප්‍රදේශයේ සිට පාරුවක නැගී කැලණි ගඟෙන් එගොඩවී රනාලෙන් ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටියදී එම පුදුම සහගත අත්දැකීම ලැබුණු බව උන්වහන්සේ සඳහන් කර තිබේ.

රනාල තොටුපොළෙන් එගොඩ වී ප්‍රධාන මාර්ගයට එමින් සිටින අතර අහස ගොරවනවා වැනි හඬක් ඇසෙන්නට වූ බවත් පාරුවෙන් ගොඩ වී ගමන් කරමින් සිටි පිරිස වහා මාර්ගය දෙසට දිව ගොස් බලා සිටි අන්දමත් උන්වහන්සේ විස්තර කරති.

ශබ්දය ආසන්නයේ ඇසෙන්නට වූ අතර හදිසියේම වංගුවෙන් මතු වූ යකඩ ගොඩක් වැනි දෙය ඉදිරියට

පැමිණෙන්නට පටන්ගත් විට ශබ්දය වැඩි වූ බැවින් මිනිස්සු මාර්ගයෙන් ඉවතට දිව ගිය බව උන්වහන්සේ සඳහන් කර තිබේ. පසුව එය විශාල ශබ්දයක් නඟමින් තමන් සිටි ස්ථානය පසුකර ගිය අන්දමත් යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් මැනවින් විස්තර කර තිබේ.

විසිවන සියවසේ මෙම අත්දැකීම මේ රටේ ජනයා මෙන්ම ලොව බොහෝ රටවල ජනයා ද අත්විඳින්නට ඇත.

මිනිසුන් ප්‍රවාහනය කළ හැකි වාෂ්ප බලෙන් ක්‍රියා කරන පළමු මෝටර් රථය 1769දී ජෝෂප් කැග්නට් විසින් නිර්මාණය කරන ලදි. හේඩන් විස්වට් විසින් අභ්‍යන්තර දහන එන්ජිමකින් ක්‍රියා කරන මෝටර් රථයක් 1808 දී නිපදවන ලදි.

ඩීසල් බලයෙන් ක්‍රියා කරන දහන එන්ජිමකින් යුත් මෝටර් රථයක් 1870දී සික් ෆ්‍රයිඩ් මාකස් විසින් හඳුන්වා දෙන ලදි. මෝටර් රථ ධාවනය සඳහා බලශක්ති ප්‍රභවයක් ලෙස පෙට්‍රල් යොදාගන්නා ලද දහන එන්ජිමක් හඳුන්වා දෙනු ලැබුවේද මාකස් විසිනි.

එංගලන්තය, ප්‍රංශය සහ එක්සත් ජනපදය මෝටර් රථය වැඩිදියුණු කිරීම සඳහා වෙන වෙනම පියවර ගත්තේය. ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම හේතුවෙන් විසිවැනි සියවස ආරම්භයේදීම මෝටර් රථ මෙරට ප්‍රවාහනය පිණිස යෙදවීම ආරම්භ වූයේය. එය මෙරට ජන ජීවිතයට බලපෑ ප්‍රධානතම තාක්ෂණික වෙනස වූයේය. ඒ අනුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය පරිවර්තනයකට ඉන් මඟ පෑදිණි.

මෙරටට ප්‍රථම මෝටර් රථය ආනයනය කරන ලද්දේ 1902 පෙබරවාරි මාසයේදීය. ට්‍රෑම්වේස් සහ ලයිටින් සමාගමේ හිමිකරු එඩ්ගර් මනි විසින් රෝවර් ලොකෝ මොබයිල් රථය ගෙන්වා තිබිණි. ලංකාවට මෝටර් රථයක් ගෙනෙන ලද නමුත් එම මෝටර් රථය ධාවනය කරන්නට සිදු වූයේ බර කරත්ත සහ අශ්ව කරත්ත ධාවනය වූ නොදියුණු මාර්ගවලය. ඒ නිසා රිය පැදවීම අනතුරුදායක වික්‍රමයක් වූයේය. වේගය පැයට සැතපුම් දහයක් පහළොවත් අතර විය.

මෙරටට ගෙන්වූ ප්‍රථම පෙට්‍රල් මෝටර් රථයේ හිමිකරු වූයේ ඊ. එල්. එෆ්. ද සොයිසාය. 1904 දී ඔහු ප්‍රථම රථය ගෙන්වීය. 1904 වසර අවසාන වන විට ලංකාවේ තිබූ මෝටර් රථ සංඛ්‍යාව 21කි. ඩෙම්ලර් වර්ගයේ මෝටර් රථයක් හිමි ප්‍රථම තැනැත්තා වූයේ එෆ්. ජෙයරාම්ය. බ්‍රි‍තාන්‍යයේ ඩෙම්ලර් සමාගම එරට රජ පවුලට සහ ඉන්දියාවේ මහාරාජාවරුන්ටද ස්වකීය ඩෙම්ලර් රථ නිපදවා තිබිණි.

මෝටර් රථ රජයේ ලියාපදිංචිය 1903දී ආරම්භ වූ අතර යටත් විජිත ආණ්ඩුව Q ඉංග්‍රීසි අක්ෂරය යටතේ අංක නිකුත් කිරීම ආරම්භ කළේය. 1944 දක්වාම පැවතියේ එම ක්‍රම‍යයි. එසේ අංක නිකුත් කළ වාහනවලින් දැනටත් ආරක්ෂිතව නඩත්තු කර තිබෙන්නේ Q53 දරන රථය පමණි. 1955 වසරේදී ඉංග්‍රීසි A අක්ෂරයේ සිට Z අක්ෂරය දක්වා ඉංග්‍රීසි අකුරුවලින් රථ වාහන අංක ගත කිරීම ආරම්භ වූයේය. එහිදී අනුගමනය කරන ලද්දේ එක් එක් දිස්ත්‍රික්ක සඳහා A B C D ආදී වශයෙන් අංක ලබා දීමය. එහිදී A අක්ෂරයෙන් කාණ්ඩ 9999 ක් ලබා දී තිබුණි.

කොළඹ දිස්ත්‍රික්කය A, කළුතර B, කොළඹ නගර සභාව C, මහනුවර D, මාතලේ E, නුවරඑළිය F, මහනුවර නගර සභාව G, යාපනය H, මුලතිව් සහ මන්නාරම I, ගාල්ල K, මාතර L, හම්බන්තොට M, ගාල්ල නගර සභාව N, මඩකලපුව 0, ත්‍රිකුණාමලය P, කුරුණෑගල Q, පුත්තලම R, හලාවත S, අනුරාධපුර T, බදුල්ල U, රත්නපුර V, කෑගල්ල w,මුළු ලංකාවම Z ආදී වශයෙන් මෙම සංකේත අංක යොදාගෙන අකුරු යොදා වාහන ලියාපදිංචිය සිදු කෙරිණි.

දෙවන ලෝක යුද්ධය නිමා වීමෙන් පසු මෙම ක්‍රමය වෙනස් වූ අතර CY, CN, EY ආදී වශයෙන් ඉංග්‍රීසි අක්ෂර යොදා ලියාපදිංචි කිරීම කරගෙන ගියේය. එම ක්‍රමය 1956 දක්වාම පැවතියේය. 1956 සිංහල ශ්‍රී අක්ෂරය යොදා 1 ශ්‍රී 1 ආදී වශයෙන් වාහන ලියාපදිංචිය ඇරඹිණි. මෝටර් රථවාහන ලියාපදිංචියේදී C කාණ්ඩය යොදාගත්තේ කොළඹ නගර සභාවට අයත් වාහන ලියාපදිංචි කිරීමටය. එසේ ලියාපදිංචි කරන ලද C 6037 දරන වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ලොරිය මෑතක් වනතුරුම රජයට පවරා ගත් බ්‍රිටිෂි සිලෝන් කෝපරේෂන් සමාගම සතුව පැවති අතර 1980 වසරේ එය කොළඹ නගරයේ ධාවනය වූ බව ද මතකයේ පවතී.

එක්සත් රාජධානියෙන් ආනයනය කරන ලද 1927 ක්‍රයිස්ලර් 70 වර්ගයේ සී 567 දරන වාෂ්ප බලයෙන් ක්‍රියා කරන ලොරිය මෑතක් වනතුරු අකුරැස්ස, දීගල වතුයායේ බර්ටි අමරසිංහට අයත්ව තිබිණි. එම රථයේ මුල් හිමිකරු කුරුණෑගල අර්නට්ස් ඩැනියෙල් නමැත්තෙකි.

කොළඹ නගරයේ ඉඳහිට ධාවනය වන අපූර්වත්වයෙන් යුතු පරණ කාර් අප දැක ඇත්තෙමු. පැරණි දේට ඇලුම් කරන ව්‍යාපාරිකයන් විශාල මුදලක් යොදවා ඒවා නඩත්තු කරති. ඔවුන්ගේ එකතුවක් පිහිටුවාගෙන තිබේ. ‘වින්ටේජ් ඕල්ඩ් කා ක්ලබ්‘ එවැනි ප්‍රකට සංගමයකි.

එම සංගමයේ භාණ්ඩාගාරික වශයෙන් කලක් කටයුතු කළ මහේන්ද්‍ර සමරසිංහ තමා පැරණි මෝටර් රථ ලෝලියකු වූ අන්දම විස්තර කළේ මෙසේය.

“අපේ ගම මාතර. අපි පොඩි කාලේ ඉඳලම කාර්වලට ආසයි. අපේ ගෙදර කාර් දෙකක් තිබුණා. ස්විච් ඇණයක් වගේ එකක් තද කළාම තමයි ස්ටාට් වෙන්නේ. තාත්තා ගෙදරින් බැහැරව යන අවස්ථාවලදී මෙම යතුර අරගෙන ගියා. ගෙදර තිබ්බේ නැත්තේ අපි කාර් එක එලවන නිසා. අපේ කුස්සියේ බිත්තියේ වට්ටිය එල්ලන්න පරාල ඇණයක් ගහලා තිබුණා. මමයි අයියයි පුරුදු වුණා ඒ ඇණේ ගලවගෙන ඇවිත් කාරෙක ස්ටාර්ට් කරන්න.

අපි අපේ ඉඩම වටේම තාත්තා නැති වෙලාවට කාර් එක පැද්දා. තනියම ඩ්‍රයිවින් පුරුදු වුණා. හයේ හතේ පන්තිවල ඉද්දි අපේ බාප්පට මාතර ලොකු ගරාජ් එකක් තිබුණා. අවුරුදු 10 වෙද්දී මම කාර් එන්ජින් අතපත ගාන්න පුරුදු වුණා. අවුරුදු විස්ස විසිදෙක වෙද්දී මට මොරිස් මයිනර් එන්ජිම තනියම ගලවලා ෆිට් කරන්න පුළුවන් වුණා. මම කොළඹ ඇවිත් මිට්සුබිෂි කොම්පැනියට සම්බන්ධ වුණා. කලක් එතත පෝමන් තනතුරක ඉඳලා පසුව කලම්බු ට්‍රේඩර්ස් කොම්පැනියට එකතු වුණා. ලංකාවට සෙකන් හෑන්ඩ් වාහන පළමුවෙන්ම ගෙන්නුවේ කලම්බු ට්‍රේඩර්ස් සමාගමයි.

කොළඹදී මම දැක්කා කලාතුරකින් පරණ කාර් මාර්ගයේ ධාවනය වෙනවා. මටත් ආස හිතුණා. මම බග්පියට් එකක් ගත්තා. ඒක EY 7777.

ඊට පස්සේ ගත්තා EY 8270. පළවැනි කාර් එක ගත්තේ රුපියල් 900කට. වින්ටේජ් කාර් ක්ලබ් එකට මම බැඳුණා. ඒගොල්ලෝ ගත්තේ A ටු Z කාර් පමණයි. EN ඉඳලා උඩට ක්ලැසික් කාර් ක්ලබ් එක වෙනමම හැදුණා. මා ගාව තියෙන සහතික ඔක්කොම පරණ කාර් රැලිවලට ගිහින් ලබාගත්ත ඒවා.” යැයි මහේන්ද්‍ර සමරසිංහ පැවැසීය.

කෞතුක වශයෙන් වැදගත්කමක් පවත්නා පැරැණි මෝටර් රථවලට ප්‍රිය කරන මෝටර් රථ ලෝලීන් නඟන මැසිවිල්ලක් ගැන ද මහේන්ද්‍ර සමරසිංහ සිහිපත් කෙළේ මෙලෙසිනි.

“ඉසෙඩ් කාර් ධාවනය කරන්න හරි අමාරුයි. මොකද පාට්ස් නැහැ… ටයර් නැහැ… බැටරි නැහැ… මිකැනික්ලාත් හිඟයි. ඒ

නිසාම A ටු Z කාර් ක්‍රමයෙන් අඩු වෙනවා. වර්තමානය වන විට මංගල උත්සවවලට පරණ කාර්වලට හොඳ ඉල්ලුමක් පවතිනවා. නවීන පන්නයේ තරුණ තරුණියන් පරණ කාර්වල යන්න හරි ආසයි. අලුත් කාර් එකක් මාර්ගයේ ගියාට කවුරුවත් හැරිලා බලන්නේ නැහැ. නමුත් පරණ කාර් එකක් ගියොත් ආපසු හැරිලා බලනවා. සමහරු තමන්ගේ පවුලේ පරණ ඉතිහාසය හදන්නත් පරණ කාර් ගන්නවා. පරණ කාර් එකක් අරගෙන මේක අපේ සීයගෙ කාර් එක කියනවා. නමුත් සීයට බර කරත්තයක්වත් තිබිලා නෑ. කෞතුක වස්තුවක් වගේ පැරැණි මෝටර් රථයක් නඩත්තු කිරීම හොඳ විනෝදාංශයක්. හැබැයි සුදු අලියෙක් නඩත්තු කරනවා වගේ අමාරු වැඩක්.

‘වින්ටේජ් ඕල්ඩ් කාර්’ සමා­ජයේ සාමාජිකයින් සිය පැරැණි කාර් සමඟ

‘වින්ටේජ් ඕල්ඩ් කාර්’ සමා­ජයේ සාමාජිකයින් සිය පැරැණි කාර් සමඟ

වින්ටේජ් ඕල්ඩ් කාර් සමාජයේ සාමාජිකාවක වන 
ඊබට් සිල්වාගේ දියණිය රාජණී මෙන්ඩිස් සහ 
මහේන්ද්‍ර සම­ර­සිංහ 
ක්ලැසික් කාර් රථයක් නරඹමින්

වින්ටේජ් ඕල්ඩ් කාර් සමාජයේ සාමාජිකාවක වන ඊබට් සිල්වාගේ දියණිය රාජණී මෙන්ඩිස් සහ මහේන්ද්‍ර සම­ර­සිංහ ක්ලැසික් කාර් රථයක් නරඹමින්

ඡායාරූප : බන්දුල අලහකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division