Home » ලකී – රාජිත ගැටුමෙන් සමඟියට බාධා

ලකී – රාජිත ගැටුමෙන් සමඟියට බාධා

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ වැඩි අවධානයක් යොමු වූයේ බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දෙසටයි. පසුගිය 14 සිකුරාදා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් බටලන්ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව සභාගත කරන ලදි.

ආදායම වැඩි කිරීම ගැන ජනපතිගේ අවධානය

පසුගිය සතිය ආරම්භයේ සිට ජනාධිපති අනුරකුමාර දිසානායක සිය අවධානය යොමු කර සිටියේ අය-වැයට අනුව රටේ ආදායම් තත්ත්වය නඟාසිටුවීමේ මෙහෙයුම රාජ්‍යතන්ත්‍රය හා සාකච්ඡා කරමින් ඉදිරියේදී ගතයුතු පියවර මොනවාදැයි හඳුනාගැනීම සඳහාය. මෙහිදී ජනාධිපතිවරයා වැඩිපුරම අවධානය යොමු කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා රේගුව වෙතය. රේගුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට ඉලක්ක ලබා දෙමින් ඉදිරියේදී වැඩ කළ යුතු ආකාරය ගැන සාකච්ඡා කළේය.

ජනපති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට කීවේ මොනවාද?

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (13) පෙරවරුවේ පැවත්විණි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුම්වත් කෙරුණු අතර, ඒවාට දිය හැකි විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

මේ වන විට ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතුළත්ව ඇති බැවින් එහි නිර්දේශ සහ පරාමිතීන්ට අනුව කටයුතු කිරීමට රජයට සිදුව ඇති බවත්, ඒ අනුව වියදම් සීමාවලට යටත්ව ප්‍රමුඛතා හඳුනාගනිමින් මෙවර අය-වැය යෝජනා සකස් කර ඇති අතර, අධ්‍යාපනයට සහ සෞඛ්‍යට ප්‍රමුඛත්වය දී ඇති බවත්, මේ අසීරු තත්ත්වය යටතේ පවා රාජ්‍ය සේවයේ විශාලතම මූලික වැටුප් වැඩි වීම මෙවර අයවැයේදී සිදු කර ඇති බවත් මෙහිදී සඳහන් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු වෘත්තිකයන්ගේ ගැටලු පිළිබඳ රජයට මනා අවබෝධයක් ඇති බවත්, ඒ පිළිබඳ සංවේදීව කටයුතු කරමින් සියලු දෙනාගේ අයිතින් සුරක්ෂිත කිරීමට රජය කැප වී සිටින බවත්ය.

විධිමත් නගර සංවර්ධනයක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා (12) පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ඒ කටයුතු වෙනුවෙන් මෙවර අය-වැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනාගනිමින් ඵලදායිව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

විධිමත් නගර සංවර්ධනයක් මඟින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජයීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

නාගරික සැලසුම් අනුමත කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර, ඒ වෙනුවෙන් අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. දිවයින පුරා නගර 119ක් සඳහා මේ වන විට නගර සංවර්ධන සැලසුම් සකස් කර ඇති අතර, ඒ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡාව කෙරිණි.

නගර සැලසුම්කරණය, ප්‍රාග්ධන ආයෝජන, රජය විසින් අනුමත සංවර්ධන ව්‍යාපෘති සහ යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීම, නාගරික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම, නව සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම්වලට එළඹීම, සම්පූර්ණ කිරීමට අසමත්ව කිසියම් පුද්ගලයකු විසින් පැහැරහැර ඇති ඕනෑම සංවර්ධන කටයුත්තක් භාර ගැනීම හා සම්පූර්ණ කිරීම, ප්‍රාග්ධන වැඩිදියුණු කිරීමේ වැඩසටහන් සම්පාදනය, පාරිසරික ප්‍රමිති සකස් කිරීම සහ පරිසර වැඩිදියුණු කිරීමේ ක්‍රියාකාරකම් පිළියෙල කිරීම, ගොඩනැඟිලි ඉංජිනේරු සහ අනෙකුත් මෙහෙයුම් සිදු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය ආදි නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති කාර්යභාරය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳවද මෙහිදී සමාලෝචනයට ලක් විය.

අනුරගේ නිහතමානිත්වයට ඇගයීමක්

ජනාධිපතිවරයා පසුගිය සඳුදා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඩිජිටල් ආර්ථිකය හා ඩිජිටල්කරණය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පැවැත්විණි. ජනාධිපතිවරයා මේ වැඩමුළුවට සහභාගිවී දිවා ආහාරයද ගෙන භෝජනාගාරයේ සිට පිටතට පැමිණෙන විට පාර්ලිමේන්තු ලොබියේදි පාර්ලිමේන්තු මාධ්‍යවේදිනියක් හමු විය. ඇය ප්‍රවීණ කාටූන් ශිල්පී විනී හෙට්ටිගොඩගේ බිරියය. “ආ අක්කේ, කොහොමද? හොඳින් ඉන්නවා නේද?” යි මෙහිදී ජනාධිපතිවරයා මාධ්‍යවේදනියගෙන් සුහදශීලි ලෙස විචාළේය. ජනාධිපතිවරයාගේ මේ නිහතමානිත්වය දෙස එහි සිටි ආරක්ෂක අංශ සාමාජිකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීහුද පුදුමයට පත් වී බලා සිටියහ.

බටලන්ද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා (14) පාර්ලිමේන්තුවේ සභාගත කළේය. මෙහිදී බිමල් කියා සිටියේ මේ වාර්තාව ගැන දින දෙකක විවාදයක් ඉදිරියේදී පැවැත්වීමට කටයුතු කරන බවයි.

බිමල්ගෙන් සංවේදි කතාවක්

බටලන්ද වාර්තාව සභාගත කරමින් බිමල් රත්නායක අමාත්‍යවරයා සංවේදි කතාවක් සිදු කළ අතර, එය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

“ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ ස්ථාවරය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් දීම සම්බන්ධව ඔබතුමාට ස්තුතිවන්ත වෙමි මේ ඒකාධිපති භීෂණකාරි 1987 – 1990 සිවිල් යුද වකවානුවේ ඒ ආණුඩුවේ මැදිහත් වීමෙන් කරන ලද දහසකුත් එකක් අපරාධ අතුරින් බටලන්දේ පවත්වාගෙන යන ලද මහාපරිමාණ ඝාතකාගාරයක් පිළිබඳ සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳ මේ වන විට ජාතිකව හා ජාත්‍යන්තරව උනන්දුවක් ඇතිවී තිබේ. 1977 සිට 1994 දක්වා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්කර 1994 දී සිදුවූ ආණ්ඩු පෙරළියේ සාරය වූයේ මෙම නීතිවිරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති භීෂණකාරී පාලනය බිඳදමා 17 වසරක සාපයට එරෙහිව යලි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමයි.

“ඒ 17 වසරක අඳුරු යුගය තුළ රාජ්‍ය ත්‍රස්තවාදය විසින් මරාදමන ලද දස දහස් ගණන් ජනතාවට යුක්තිය ඉටු කිරීමයි. සූරියකන්ද වැනි සමූහ මිනීවළවල් පිළිබඳවද බටලන්ද ආදි වධකාගාර පිළිබඳවද එවක සිටි නායකයන් ඒ ස්ථානවලටම ගොස් හෙළිදරව් කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූයේ එම ජනතාවට යුක්තිය ඉටු කිරීමයි; තම ආදරණීයන්ට සිදු වූයේ කුමක්දැයි දැනගැනීමයි; එම ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමයි; එම ක්‍රෑර, පාදඩ, දේශපාලන සංස්කෘතිය සදහටම අවසන් කිරීමයි. ගරු කථානායකතුමනි, මේ වාර්තාවත්, එයට පදනම් වූ පිටු දහස් ගණනක සාක්ෂි සටහන්ද වැඩිපුර සමන්විතව තිබෙන්නේ මේ වධකාගාරවල අනන්ත වධවේදනා විඳි, එමෙන්ම තා සාක්ෂි දෙන මොහොතේදී පවා එම වධකයන් බලවත් තනතුරුවල විරාජමානව සිටියදී ඔවුන්ගේ පන්ති මිතුරන් පැහැදිලිවම එකී වධකයන් රකිමින් සිටියදී දහස් ගණන් පුද්ගලයන් ජීවිත අනතුරුව සිටියදී එම ජීවිත අනතුරු නොසලකමින් මේ කොමිසමට පැමිණ සාක්ෂී දීමට ඉදිරිපත් වූ නිසා බව ඔබතුමා හොදින් දනී.

“ඒ අනුව බටලන්ද කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 1998 මැයි මස 22 දින එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට කොමිෂන් සභාව මගින් භාරදී ඇති බව පැහැදිලි වේ. එසේ වුවද, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පවා පිටපතක් යවා ඇති මේ වාර්තාවේ පිටපතක් ඇය විසින් නීතිපතිවරයාට යොමු නොකළ හේතුව එවකට අපැහැදිලි වුවත් අද අහස සේ පැහැදිලිය.

“කොමිසමේ ප්‍රධාන චුදිතයා මෑතකදී අල්ජසීරාවට ප්‍රකාශ කළ පරිදි එය පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැත.19980 සිට වසර 35ක්ද කොමිෂන් සභාව අරඹා වසර 30ක්ද කොමිෂන් සභාවේ වාර්තා නිකුත්කර වසර 25ක්ද ගතවී ඇති මොහොතක මාගේ පක්ෂය සහ කැබිනට් මණ්ඩලය විසින් මා වෙත පරපුරක හෘදයසාක්ෂිය කැටි වී ඇති මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එය ජනගත කිරීමටත් වගකීම පවරා ඇත. එසේම ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු ගබඩාවක සැඟවී තිබූ මේ වාර්තාව වසර 25කට පසු අද හිරු එළිය දැක තිබේ. මරණය වැලඳගත් විජේදාස ලියනාරච්චි සහෝදරයාත්, පරම්පරාවක දුක් වේදනා සහ ඔවුන්ගේ අරගලය පිළිබඳවත් මහත් බරකින් යුත් මේ වාර්තාව දැන් මම පාර්ලිමේන්තුවේ සභාගත කරමි.

“මේ වාර්තාව මාතෘභූමියේ අයිතිය පැහැරගත්, මවුබිමේ හිසගසාදැමීමට උත්සාහ කළ ගහලයන් පිළිබඳව ඔවුන්ගේ ක්‍රෑරත්වය පිළිබඳ වාර්තාවක් පමණක්ම නොවේ. 1989දී රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු දසදහස් ගණන් සහෝදර සහෝදරියන් ඝාතනය කිරීමෙන් පසු මගේ මනසේ හා හදවතේ තැන්පත් වූ විශාල ගල්පර්වතයක් තරම් වූ බරක් තිබේ. එය මාගේ පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත අප පක්ෂයේ සාමාජිකයන්ගේ හිතවතුන්ගේ පමණක් නොව, ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටගෙන සිටින දස ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය සාධාරණ ශ්‍රී ලාංකිකයන්ගේ හිත්වල තැන්පත් වූ විශාල බරක් බව මම දනිමි. මේ වාර්තා මන්ත්‍රීවරුන්ගේ හා පොදුජනතාවගේ පරිහරණය සඳහා මුද්‍රණය කළයුතුයැයිද ඔබතුමාට යෝජනා කරමි. එමෙන්ම කොමිසමට අදාළ සාක්ෂි සහිත වෙළුම් 28ක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි. මේ බටලන්ද වාර්තාව පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ,” යනුවෙන්ද බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසීය.

රනිල් බටලන්ද ගැන කතා කරයි

මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ දේශපාලන කාර්යාලයට රැස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහ එජාප නායකයන්ගේ මතය වූයේ බටලන්ද කොමිෂන් වාර්තාව ආණ්ඩුව ඉල්ලන් කෑ ගුළියක් බවයි.

“බටලන්ද වාර්තාව කියමින් දැඟලුවාට වාර්තාවේ තියෙන්නේ මොකක්ද කියලා කවුරුවත් හොයන්නේ නෑ!” වජිර කීවේ ඇත්තටම ඒ වාර්තාවේ සඳහන් දේ ගැන ඒ වාර්තාව සම්බන්ධයෙන් කතා කරන කිසිවකුත් නොදැන සිටීම සම්බන්ධයෙනි.

“ඇත්තටම සර්ට ඔය කොමිෂන් වාර්තාවෙන් චෝදනාවක් නඟලා නැද්ද?” රුවන් ඇසූයේ සමාජයේ බහුතරයකට තිබෙන ප්‍රශ්නයකි.

“කොමිෂන් වාර්තාවේ 119 පිටුවේ තියෙන්නේ මට ගෙවල් දෙකක් දීපු එකක් නීත්‍යනුකූල නැහැ කියලා. ඒක නිසා මම බටලන්දට වක්‍රව වගකිව යුතු බව කියනවා. බටලන්ද වාර්තාවේ මට කිසිම දඬුවමක් නිර්දේශ කරලා නෑ. මම සහ දෙල්ගොඩ වක්‍රව වගකිව යුතු බව කියනවා. එහෙම නැතුව ඍජුව කිසිම දෙයක් කියලා නැහැ. ගෙයක් දුන්න දුන්නා කියලා වක්‍රව වගකිව යුතු කතාවක් නම් තියෙනවා. අඩු ගණනේ මේවාට සැක කළ යුතුයි කියලවත් සඳහනක් නැහැ.” රනිල් පිළිතුරක් දුන්නේ සැහැල්ලුවෙනි.

වජිරගෙන් අලුත් තර්කයක්

අනතුරුව වජිර විසින් අලුත් තර්කයක් ඉදිරිපත් කරනු ලැබීය.

“මේ රටේ එදා ඇති කළ ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ ජවිපෙ බව බටලන්ද කොමිසම පිළිගෙන තිබෙනවා. දැන් මේ ආණ්ඩුව බටලන්ද කොමිසම පිළිගන්නවා කියන්නේ ඉහත කාරණයත් පිළිගන්නවා කියන එකයි. ඒ කියන්නෙ ප්‍රචණ්ඩත්වය ඇති කළේ ජවිපෙ බව කොමිසමේ පිළිගැනීම ආණ්ඩුවටත් පෙරළා පිළිගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව අපි බටලන්ද කොමිසම පිළිගන්නවා, ප්‍රචණ්ඩත්වය ඇති කළේ අපි, කියලා පිළිගන්නේ නෑ කියන කතාව ආණ්ඩුවට කියන්න බැහැ.” වජිර ඉදිරිපත් කළ තර්කය සියල්ලෝම පිළිගත්හ.

“බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරලා ඡන්දයක් ගන්නවා නම්, ඒකට යෝජනාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මොකක්ද ඉතින් දාන යෝජනාව? මේ වාර්තාව පිළිගන්නවා කියලා පාර්ලිමේන්තුවට කිවුවොත් ප්‍රචණ්ඩත්වයට ඒ අය වගකිව යුතුයි කියන කතාවත් පිළිගෙන විවාද කළ යුතුව තිබෙනවා.” සියලු මන්ත්‍රීවරුන්ගේ මතය එය විය.

“ඇත්තටම කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මොත් කතා කරන්නේ මොකක්ද? මේකෙ පසුබිම ගැන කතා කරන්න පුළුවන්. පසුබිම තමයි ජේවීපීඑක. ජේවීපීඑක එදා කරපු දේ පිළිගන්නේ නැති බව වාර්තාවේ පැහැදිලිව තියෙනවා. එතනින් වාදේ පටන් ගත්තොත් මේක ඉවර වෙන්නේ කොතනින්ද?” තලතා ඇසුවාය.

“මේක යට ගිය කුණු ගොඩක් අවුස්සාගන්නවා වගේ වැඩක්. හරියට තමන්ගෙ කුණු තමන්ම ඇවිස්සීමක් වගේ…” චාමර කීවේ සියල්ලට සාවධානව ඇහුම්කන් දීමෙන් පසුවයි.

“මේ බටලන්ද කොමිසම පාර්ලිමේන්තුවට දාලා සර්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා වගේ කතා ගැලරියට කියනවා නේද?” ශෙහාන් පැවසූයේ ආණ්ඩුවේ ඇමැතිවරයකු කළ ප්‍රකාශයක්ද උපුටා දක්වමිනි.

ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරිලු

“එහෙම ප්‍රජා අයිතිය අහෝසි කරන්න හැකියාවක් නෑ. මේක 48 වගන්තිය යටතේ පිහිටුවපු සාමාන්‍ය කොමිසමක් විතරයි. පාර්ලිමේන්තුවට දාලා ඕනැ නම් කල් තැබීමේ විවාදයක් විදියට විවාද කරන්න පුළුවන්.” රනිල් පවතින තත්ත්වය විස්තර කළේ එසේය.

“ඒ කතාව හරි සර්, මමත් ස්වාධීන දේශපාලන විචාරකයෙක්ගේ වාර්තාවක් කියෙවුවා. සාමාන්‍ය කොමිසමකින් මුකුත් කරන්න බැහැ. එහෙම පියවරක් ගන්නවා නම් විශේෂ කොමිසමක් පත් කරන්න ඕනෑ. මේක අවුරුදු විසිපහක් පරණ කොමිසමක්. සාක්කි පවා අලුතින් ගන්න වෙනවා කියන අදහස තමයි ඒකෙ තිබුණේ.”

රනිල් – මද්දුමබණ්ඩාර හමුවක්

ඉකුත් සතියේ පැවති මංගල උත්සවයකදී රනිල්ට පරණ යාළුවෙක් හමු වූයේය. ඒ, සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරයි. ඉකුත් මැතිවරණවලදී මුස්ලිම් ඡන්දවල හැසිරීම ගැන ඔවුහු කතා කළහ. නැඟෙනහිර පළාතේ සහ උතුරේ මුස්ලිම් ඡන්ද නොවෙනස්ව තිබුණත් සෙසු ප්‍රදේශවල මුස්ලිම් ඡන්ද වෙනස් වී තිබෙන බව ඔවුන්ගේ නිරීක්‍ෂණය විය.

“අපට නොලැබෙන මුස්ලිම් ඡන්ද සජබෙට ලැබෙයි කියලා මම හිතුවේ…” රනිල් කීවේය.

මහ නගර සභාවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනුත් මෙහිදී කෙටි සාකච්ඡාවක් ඇති විය. එහෙත් එක්ව තරග කිරීමක් ගැන දෙපාර්ශ්වයෙන්ම පැහැදිලි මතයක් පළ වූයේ නැත.

සමගිය වෙනුවෙන් වජිර දිගටම

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා රැස්වීම අමතමින් පැවසූයේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා සියලු දෙනා ඒකරාශි වී සිටින බවයි. පක්ෂයේ එකමුතුකම ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පැත්තෙන් කළ හැකි උපරිම දේ සිදු කර තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා සජබ-එජාප එකතු කිරීමේ සාකච්ඡා සඳහා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කණ්ඩායමකට වගකීම් පවරා තිබෙන බවද කීය.

අල්ජසීරා ගැන රනිල් කනස්සල්ලෙන්

මේ දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්ව තිබෙන්නේ හිටපු ජනාධිපති අල්ජසීරා රූපවාහිනිය සමග කළ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙනි. මේ සම්මුඛ සාකච්ඡාව පටිගත කර තිබුණේ පෙබරවාරි මාසයේ මුල් සතියේය. මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී මේ වැඩසටහන නැරඹීම සඳහා හිටපු ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.

“ප්‍රෝග්‍රැම්එක බලන්න ඔයගොල්ලොත් එන්න…” ජනාධිපතිවරයා එසේ ආරාධනා කළේ සාගල රත්නායක හා වජිර අබේවර්ධන යන හිටපු මන්ත්‍රීවරුන්ටය. ඊට අමතරව හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් කරුණාරත්න සහ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂක ශානුක කරුණාරත්න ද හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු ජනාධිපතිවරයා වැඩසටහන නරඹන අතරතුර තරමක් කේන්තියෙන් පසු විය. හිටපු ජනාධිපතිවරයාගේ වෙනස තේරුම් ගත් දිනිත් චින්තක “ඇයි ජනාධිපතිතුමනි, මොකක් හරි අප්සට් එකක්දැ?” යි විමසීය.

“මම කියපු හුඟක් කෑලි කපලනේ දාල තියෙන්නෙ…” හිටපු ජනාධිපතිවරයා කීවේ විස්සෝපයෙනි. “මම කිවුවා අපේ රටේ ආගමික නායකයා මල්වත්තේ මහානායක හාමුදුරුවෝ කියලා. ඒකත් කපලා…” හිටපු ජනාධිපතිවරයා උදාහරණද සහිතව කීවේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අල්ජසීරා සම්මුඛ සාකච්ඡාව ගැන ඇමැති බිමල් රත්නායකද පාර්ලිමේන්තුවේ දී දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

රනිල් – සජිත් සමඟියට බාධා

එජාප පක්‍ෂ මූලස්ථානයේදී නව සංවිධාකවරුන්ට පත්වීම් පිරිනැමීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් පසුගියදා සිදු විය. මෙහිදී කළුතර දිස්ත්‍රික් හිටපු නායක ලක්ෂ්මන් විජේමාන්න සිය පත්වීම රනිල් වික්‍රමසිංහ අතින් ලබාගැනීමෙන් පසුව රනිල් සමඟ යම් වචන හුවමාරුවක් කරගත්තේය.

“අමාරු කාලේ හිටියේ අපි. රාජිත ආවාම ඔබතුමාට ඔක්කොම අමතකයි!” ලෙස ලක්ෂ්මන් පවසද්දී රනිල් කෝපයෙන් ලක්ෂ්මන්ට පැවසුවේ “මෙතන කතා කරන්න එපා! මෙතන කතා කරන්න එපා!!” යනුවෙනි.

ලක්ෂ්මන්ට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු හිටපු තැනින් පහළට හෙළීමය. මින් පෙර සිටියේ දිස්ත්‍රික් නායක ලෙස සිටි ඔහුට මෙවර හිමි වූයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක තනතුරය.

මීට දින කිහිපයකට පෙර රාජිත සේනාරත්න ලක්ෂ්මන්ට ඔහුට දිස්ත්‍රික් සංවිධායක තනතුර දෙන බව පවසා තිබේ. එහිදී ඔහු “තැන්ක් යූ ඩොක්ට…” යනුවෙන් රාජිතට ස්තූති කර ඇති නමුත් සිරිකොතේදී නායක රනිල් සමග බහින්බස් වී තිබේ.

එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලයේ අසීරු තත්ත්වයක සිටි අතර, එහිදී සංවිධායක තනතුරු වෙනුවට කලාප සංවිධායක තනතුරු ඇති කර තිබේ. මේ වන විට හැර ගිය පිරිස් නැවතත් පක්ෂය හා එක් වන බැවින් යළිත් සංවිධායක තනතුරු පිරිනැමීමට නායකත්වය තීන්දු කර තිබේ. මේ වන විට සජබ බිම් මට්ටමේ ප්‍රබලයන් රැසක් කළුතරින් එජාප ලැයිස්තුවෙන් තරග කිරීමේ සූදානමක් තිබේ. මීගහතැන්න ප්‍රාදේශීය සභාවේ සභාපති පසුව සජබ හා එක් වූ දීප්ති ගුණසිංහ මෙන්ම බේරුවල පොහොට්ටුවේ හිටපු උප සභාපති හා මන්ත්‍රීවරයෙක්ද මෙවර එජාප ලැයිස්තුවෙන් තරග කිරීමට සූදානමින් සිටිති. එමෙන්ම තිස්සමහරාමයේ හිටපු සම සංවිධායක සුනිල් ගමගේද (ජපන් සුනිල්) පසුගියදා රාජිත සමග පැමිණ එජාප හම්බන්තොට සංවිධායක තනතුර ගෙන තිබේ. මේ වන විට ලක්ෂ්මන් විජේමාන්න සජිත් ප්‍රේමදාස හමු වී සමඟි ජන බලවේගයේ සාමාජිකත්වයද ගෙන තිබේ.

කෙසේ නමුත් රාජිත සේනාරත්නගේ සහ ලක්ෂ්මන් විජේමාන්නගේ ගැටුම නිසා එක්සත් ජාතික පක්ෂයේ සහ සමඟි ජන බලවේගයේ සමඟියටද බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වේ.

ඇමැති විජිත රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පැවසුවේ මොනවාද?

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ සන්ධ්‍යාව’ දේශනය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් සිදු කරන ලද අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා වෙළෙඳ ප්‍රමුඛතා පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ ව්‍යාපාරික නායකයන් සමඟ සම්බන්ධ විය.

අන්තර්ජාතික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර හිතකාමි පරිසරයක් පෝෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැප වීම අවධාරණය කරමින්, ආර්ථික ස්ථාවරත්වය, විදේශ ආයෝජන සහ වෙළෙඳ ව්‍යාප්තිය සඳහා රජයේ උපාය මාර්ගය අමාත්‍ය හේරත් මහතා සිය කතාවේදී ගෙනහැර දැක්වීය:

“අපගේ රජයේ අවධානය යොමු වී ඇත්තේ ප්‍රධාන ප්‍රමුඛතා තුනක් කෙරෙහිය. එනම්: දරිද්‍රතාව අඩු කිරීම, ඩිජිටල්කරණය සහ ‘පිරිසුදු ශ්‍රී ලංකාව’ යන බහුවිධ වැඩසටහන. මේ කුලුනු දේශීය හා අන්තර්ජාතික වශයෙන් සහයෝගිතාවට සහ හවුල්කාරිත්වයටද අවස්ථාවන් වේ. එබැවින්, රජය සහ පෞද්ගලික ව්‍යවසාය සමඟ මේ ඉදිරි ගමනේදී රාජ්‍ය තාන්ත්‍රික බලකායේ හවුල්කරුවන්ට මම ආරාධනා කරමි.මේ ප්‍රතිපත්තිමය දිශාව සඳහා ශ්‍රී ලංකාව කෙරෙහි ඇති හොඳ හිත දැනටමත් විශාල ප්‍රමාණයක් අප දැක ඇති අතර හවුල්කාරිත්වය සඳහා සංයුක්ත මුලපිරීම් සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

“ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික ප්‍රකෘතිය වේගවත් කිරීම සහ තිරසර කිරීම සඳහා රජයේ කැපවීම, ස්ථිර, දුෂ්කර සහ අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ සමඟ අත්කර ගෙන ඇති ස්ථාවරත්වය තුළින් පිළිබිඹු වේ. අන්තර්ජාතික මූල්‍ය ආයතන මෙන්ම අපගේ ණයහිමි රටවල් ඇතුළු අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය මේ ඉදිරි ගමනේදී තීරණාත්මක වී ඇත. ඔබ දන්නා පරිදි, පෙබරවාරි 28 ෙදින, IMF විධායක මණ්ඩලය විසින් 48 වැනි මාසයේ විස්තීරණ අරමුදල් පහසුකම් විධිවිධානය යටතේ තුන්වැනි සමාලෝචනය අනුමත කරන ලද අතර එමඟින් අමෙරිකානු ඩොලර් මිලියන 334ක් ලබාගත හැකිය. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය වීම සහ ආර්ථික ප්‍රතිපත්ති තිරසර කිරීම අරමුණු කරගෙන ඇත. මේ පියවර මඟින්, 2024 අවසානය වන විට සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක සාර්ථකව ළඟා කර ගනිමින් IMF ශ්‍රී ලංකාවේ ශක්තිමත් වැඩසටහන් කාර්යසාධනය හඳුනාගෙන ඇත. මෙය ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික පරිසරයේ ස්ථාවරත්වය සහ ප්‍රගතිය පිළිබඳ ප්‍රබල ඇඟවීමකි.”

මෙහිදී අදහස් පළ කළ විජිත හේරත් අමාත්‍යවරයා රට ගොඩනැඟීම සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කරුණු දැක්වීමට රාජ්‍ය තාන්ත්‍රිකයන් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබිණි.

චමල්-එරාන් පුංචි ඡන්දයට

“කොළඹ නගරාධිපති අපේක්ෂකත්වය එරාන්ට දෙමු.” කොළඹ දිස්ත්‍රික් ප්‍රබලයෝ රැසක්ම විපක්ෂ නායක සජිත්ට කීහ.

“එරාන් එක්ක කතා කරලා බලන්න.” සජිත් කීවේය. එහෙත් තවමත් සජිත්ගෙන් යහපත් ප්‍රචාරයක් ලැබී නැතැයි කියති.

හිටපු කථානායකවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකුද වන රාජපක්ෂ පවුලේ වැඩිමලා චමල් රාජපක්ෂ තිස්සමහරාම ප්‍රාදේශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වීමට සූදානම් වේ.

“දැන් තත්ත්වය හොඳයි. මම ඉල්ලනවා.” චමල් ප්‍රසිද්ධියේම කීවේය.

රනිල්ගෙන් සජිත්ට පණිවිඩයක්

හිටපු ජනපති රනිල් ඉකුත්දා රහසක් හෙළි කළේය. ඒ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද යාපා අබේවර්ධන, රාජිත සේනාරත්න, වජිර අබේවර්ධන, නිමල් ලාන්සා යන හිටපු මන්ත්‍රීවරුන් සමඟ පැවති කතාබහකදීය.

“විපක්ෂයේ පක්ෂ එකතු විය යුතුයි මම සජිත්ට පණිවිඩයක් යැවුවා” ඒ රහස හෙළි කළා මිස ඉන් එහාට යමක් හිටපු ජනාධිපතිවරයා අනාවරණය කළේ නැත.

වජිර කාන්තාවන් ගැන කතා කරයි

අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමිව එක්සත් ලක් වනිතා පෙරමුණ විසින් සංවිධානය කරන කාන්තා දින සැමරුම් වැඩසටහනක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පසුගිය සෙනසුරාදා උදෑසන පැවැත්විණි. එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි අචිනි ලොකුබණ්ඩා මහත්මියගේ සංකල්පයකට අනුව සංවිධානය කර තිබු මේ වැඩසටහනට එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාල, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහත්වරුන් සමඟ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක, හිටපු අමාත්‍ය සුනේත්‍රා රණසිංහ, හිටපු ලක්වනිතා සභාපතිනි ශාන්තිනි කෝන්ගහගේ ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මේ වැඩසටහන අතරතුර ගැබිනි මවුවරුන් සඳහා බඩු මලු බෙදාදීමක් මෙන්ම වර්තමානයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කතාබහ කිරීම වෙනුවෙන් විද්වත් පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ සංවාදාත්මක වැඩසටහනක්ද සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය.

කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනක් නිසාම වජිරගේ කතාව පුරා කාන්තාවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කර ඇති සේවාව මතක් කිරීමට වැඩි අවධානයක් යොමු කොට තිබිණි.

“එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාලයට අනුව වෙනස් වුණු දේශපාලන පක්ෂයක්. 1946 සැප්තැම්බර් 6 වැනිදා ආරම්භ කරන එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක මහලේකම්වරිය හැටියට පත් කළ පක්ෂය වශයෙන් ඉතිහාසගත වෙනවා. වෙනත් පක්ෂවල කිසිම දවසක මහලේකම්වරියක් ඉඳලා නැහැ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය තමයි කාන්තාවන්ට තැන දුන් එකම දේශපාලන පක්ෂය. අපි ගිය අවුරුද්දේ මාර්තු 8 වෙනිදා 8 වැනි විධායක ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී කාන්තා දිනය සැමරුවා. 6 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එතුමා පහුගිය අවුරුදු දෙකහමාර තුළ ගෙනා අණපනත්වල කොටස් ගණනාවක් එහි සම්බන්ධ වෙනවා. අපට එක ආසනයක්වත් නැති වුණාට, මේ පක්ෂයට තිබෙනවා ජාතික ප්‍රතිපත්ති රාමුවක් තුළ යන ගමන් මඟක්. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. දැන් 9 වැනි විධායක ජනාධිපති ආවා. හොඳට කල්පනාවෙන් වැඩ කළොත් 10 වැනි විධායක ජනාධිපති හදන්නෙත් එක්සත් ජාතික පක්ෂයයි කියලා මම ඔබට කියන්න කැමැතියි,” යනුවෙන් වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division