ජාතික ජන බලවේගයේ රජය සහ තරුණ කටයුතු අමාත්‍යාංශය වත්මන් තරුණයා හඳුන්වන්නේ කොහොමද?
නූතන තාරුණ්‍යය කියන්නේ මේ රටේ සිදු වුණු දේශපාලන පරිවර්තනයේ විශාල කොටස්කරුවෙක්. තාරුණ්‍යය තමයි මේ දේශපාලන පරිවර්තනය කරන්න මූලිකත්වය ගත්තේ. ඒ වගේම අප විශ්වාස කරනවා, මේ සිස්ටම් චේන්ජ් එක කරන්න මූලිකත්වය ගන්න පුළුවන් මේ රටේ තාරුණ්‍යයට කියන එක. නව තාක්ෂණික දැනුම සමඟින්, අලුත් විදිහට සහ වෙනස් විදිහට හිතන තරුණ පරම්පරාවක් අපට ඉන්නවා.
ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය යන ආයතන ජාතික ජන බලවේගයේ රජය යටතේ මෙය සියලු තරුණ තරුණයන්ගේ අවකාශය බවට පත් කරන සැලසුම මොකක්ද?
අපි මේ වෙද්දිත් මේ ආයතන පොදු තරුණයාගේ ආයතන බවට පත් කිරීමේ වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්කා ජාතික තරුණ සේවා සභාව අවභාවිත කරලා, එහි මුදල් යොදවලා දේශපාලන ව්‍යාපෘති කරපු විදිහ. ජනාධිපතිවරණ කැම්පේන්වලට අපේ රටේ තරුණ තරුණියන්ගේ මුදල් අවභාවිත කරලා ලොකු ප්‍රසංග කරපු විදිහ ගැන දැන් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට: රුපියල් මිලියන 535ක් වියදම් කරලා ‘ස්මාට් යූත් නයිට්’ ප්‍රසංග මාලාවක් සහ ප්‍රදර්ශන පවත්වලා තිබුණා. ඒ වැඩසටහන් එක පුද්ගලයෙක්ව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තමයි සංවිධාන කරලා තිබුණේ. ඒ මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් වියදම් කරන්න තිබුණ මුදල්.
එක් එක් කාලසීමාවන්වලදී ආණ්ඩු මාරු වෙද්දි තරුණ සේවා සභාවට සහ යොවුන් සේනාංකයට අලුත් ව්‍යාපෘති ඇවිත් තියෙනවා. ඒත් ඒවායේ තිබුණේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම හෝ ඔවුන් මේ රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කරන වැඩපිළිවෙළ නෙමෙයි; ඒ අයගේ දේශපාලන ව්‍යාපෘති තමයි මේ හරහා කරලා තිබුණේ.
ජාතික ජන බලවේගය තෘප්තිමත් තාරුණ්‍යයක්, නිවහල් චින්තනයක් අපේ තරුණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කර තිබූ බොහෝ දේවල් අප මේ වසරේදී කරන්න සැලසුම් කර තියෙනවා. මේ වසරේදී ව්‍යාපෘති 20ක් පමණ ක්‍රියාත්මක කරන්න නියමිතයි.
ප්‍රධාන වශයෙන් ගත් විට යෞවන සමාජ නැවත බලගැන්වීමට අප අපේක්ෂා කරනවා. එය හුදු තරුණ එකමුතුවකින් එහාට ගොස්, බහුවිධ මධ්‍යස්ථාන ලෙස දියුණු කරන්න සැලසුම් කරලා තියෙනවා. එතනදී සෑම ග්‍රාම සේවා වසමක්ම ආවරණ වන පරිදි මේ මධ්‍යස්ථාන හදන්න සැලසුම් කරලා තියෙනවා. එහි මූලික අදියර විදිහට මේ වසරේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ග්‍රාම සේවා වසම් කීපයක එය ආරම්භ කරන්න සැලසුම් කරලයි තියෙන්නෙ.
දේශපාලන අධ්‍යාපන ඇකඩමියක් හදන්නත්, යූත් ඇප් එක හරහා තරුණ තරුණියන් සමඟ ගුණාත්මක සංවාදයක් ඇති කරගැනීමට වගේම, ඔවුන් ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට එය දායක කරගන්නත් බලාපොරොත්තු වෙනවා.
අප සැලසුම් කරලා තියෙන V4R වේදිකාව මඟින් නව උත්පාදකයන් නව නිර්මාණකරුවන් හඳුනාගනිමින්, ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා දීමටත්, ඍජුව රජය සමඟ සම්බන්ධ විය හැකි වේදිකාවක් නිර්මාණය වෙනවා.
මෙවර ඇය වැයෙන් තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත්ද?
අමාත්‍යාංශයක් වශයෙන් ගත් විට මෙවර අය වැයෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 12,100ක් වෙන් කර තිබෙනවා. ඒ වගේම වෙනත් අමාත්‍යාංශවලත් තරුණයන් වෙනුවෙන් රුපියල් මිලියන 17,000කට ආසන්න අගයක් වෙන් වෙනවා. ඒ අතර තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක්, කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා සිදු කිරීමට නියමිත තරුණ කෘෂි ව්‍යවසායකත්ව වැඩසටහන, තරුණ ව්‍යවසායකයන් සදහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ වෙන් කර ඇති මුදල් ඇතුළත්. ඒ අනුව බැලුවම
රුපියල් මිලියන 29,000කට වැඩි මුදලක් වෙන් කරලා තියෙනවා තරුණයන් වෙනුවෙන්.
මේ වසරේ තවත් මාස 9ක් තමයි අපට තියෙන්නේ. අපි හිතනවා මේ අය වැයෙන් අපේ අවසාන ඉලක්ක සියල්ලම සපුරන්න නොහැකි වෙයි. එහෙත් අප අපේක්ෂා කරන අවසාන ඉලක්කය වෙනුවෙන් මේ අය වැය හොද ප්‍රවේශයක් වෙයි. මේ අය වැය ‘සිස්ටම් චේන්ජ්’ කරන අය වැයක්. අපි ඒ ‘සිස්ටම් චේන්ජ්’ කිරීමේ පළමු පියවර මේ අය වැය තුළ තබා තිබෙනවා. අපේ සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළ ක්‍රමානුකූලව ඉදිරි වසර කිහිපය තුළ ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න හැකි වෙයි කියන විශ්වාසය තියෙනවා.
ජාතික යොවුන් සේනාංකය, තරුණ සේවා සභාව කියන ආයතන තුළ ගුණාත්මක බව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවාද?
අප මේ වෙද්දි ආයතන දෙකටම අදාළව ව්‍යාපෘති සැලසුම සකස් කරලා තියෙනවා. එහිදී අප අවධානය යොමු කළා, කොහොමද මේ ආයතන මඟින් දෙන වෘත්තීය සුදුසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නංවන්නේ කියන කාරණයට. මේ වෙද්දිත් අපි ඇතැම් වැඩසටහන් සහ ව්‍යාපෘති මේ ආයතන දෙක ඒකාබද්ධව සිදු කරන්න සැලසුම් කර තිබෙනවා. මේ ආයතන දෙක දෙකක් ලෙස පැවතියත් ආයතන දෙක හොඳ සම්බන්ධතාවක් සහිතව, අවබෝධයෙන් යුතුව කටයුතු කරයි.
දැනට එකම පාඨමාලාව ආයතන දෙකෙන්ම කරන බව අපි දැක්කා. විශේෂයෙන් ම පාඨමාලා සම්බන්ධව ආයතන දෙක ඇති කරන්න එකඟතා මත ප්‍රතිසංස්කරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එයින් එම පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළ නංවන්න පුළුවන්.
පෙබරවාරි මාසයේ දී ක්‍රියාත්මක කළ ‘යූත් එක ක්ලීන් වෙන ආදර පෙබරවාරිය’ වැඩසටහන් බොහෝමයක් සිදු කළේ යොවුන් සේනාංකය හා තරුණ සේවා සභාව එකතු වෙලා. ඉදිරියේදී ඒ වගේ තව වැඩසටහන් සිදු වෙයි.
මේ ආයතන දෙක මඟින්ම තරුණ තරුණියන්ට සේවාවක් කිරීම, ඔවුන් සවිබල ගැන්වීම තමයි අපේ අරමුණ.
ඔබ නිතර කියනවා මේ රටේ තාරුණ්‍යය ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත් කළ යුතුයි කියලා. ඒ සඳහා සැලසුම මොකක්ද?
ජාතික යොවුන් සේනාංකයේ හා ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාත්මක කරන පාඨමාලාවල ඇතැම් විෂය නිර්දේශ වර්තමානයට ගැළපෙන පරිදි නිර්මාණය විය යුතුයි කියන එක අප හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රමානුකූලව ලෝකයේ නව ප්‍රවණතා හා නව දැනුම එකතු කරගනිමින් මේ පාඨමාලා සකස් වෙනවා. විශේෂයෙන්ම පරිගණක හා තොරතුරු තාක්ෂණ පාඨමාලාවලදී මේ කාරණය වැදගත් වෙනවා. විශේෂයෙන්ම අද වෙද්දි ලෝකය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශාල උනන්දුවක් දක්වනවා. අපේ රටේ තරුණ තරුණියන්ද ඒ සඳහා නැඹුරුවක් අප දකිනවා. රූපලාවණ්‍ය, කේශාලංකරණය ගත්තත්, සූපවේදය වගේ අංශයක් ගත්තමත් ඒක එහෙමයි. අලුත් අත්හදා බැලීම් සමග, නව නිර්මාණශීලි අදහස් සමඟ ඉදිරියට යනවා. ඒ වගේම මේ පාඨමාලා තුළ ප්‍රායෝගික අධ්‍යාපනය සහ පුහුණුව තවදුරටත් ඉහළ නැංවිය යුතුයි කියන එක අප විශ්වාස කරනවා. මෙහි වැදගත් පියවරක් වන්නේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අන්තර්ජාතික වෙළෙඳපොළෙහි සැලකිය යුතු පංගුවක් අත්පත් කරගැනීමේ ඉලක්කය වෙනුවෙන් IT and English for all youth තේමාවෙන් හවසට ITE වැඩසටහන දීප ව්‍යාප්තව ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මේ තරුණ සමාජ දායක කරගැනීමයි. මේ ව්‍යාපෘතියත් මේ වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් ග්‍රාම සේවා වසම් කිහිපයක ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කර තිබෙනවා.
අන්තර්ජාල රැකියාවල නිරත වීමට අපේක්ෂා කරන තරුණ ප්‍රජාව වෙත එම රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. පාඨමාලා හදාරලා පිටව යන තරුණ තරුණියන්ව මේ ආර්ථිකය තුළ කොටස්කරුවන් බවට පත් කිරීමේ වගකීම රජයක් ලෙස අප සතුයි. ඒ මූලික හරය සහිතවයි අප වැඩකටයුතු සිදු කරන්නේ.
ඒ වගේම මේ අය වැය තුළ සෑම ස්තරයකම තරුණ තරුණියන්ව ආවරණය වන පරිදි යෝජනා ඇතුළත් කර තිබෙනවා. විශේෂයෙන්ම සුරැකුම් නිවාසවල සිට විවාහපත් වන වයස දක්වා පැමිණි තරුණ තරුණියන්ට තමන්ගේම නිවෙසක් ඉදි කරගැනීම වෙනුවෙන් නැවත අය කර නොගන්නා පදනම මත මුදලක් දීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා මේ වසරේදී රුපියල් මිලියන 1000ක මුදල් වෙන් කර තිබෙනවා. පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සිටින තරුණයන්ට NVQ level 3 හෝ 4 සහතිකයක් දීමට කටයුතු කරන්න වගේම, ඔවුන් සමාජගත වූ පසු, රැකියාවක් සොයාගැනීමේදී මුහුණපාන ගැටලු අවම කිරීම වෙනුවෙන්ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ අය වැය කිසිවකු අමතක නොකළ, කිසිවකු අත්නොහළ අය වැයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
තරුණ සේවා සභාව තුළ සිදු වූ වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා ආදිය පිළිබඳ විගණන වාර්තා ඇවිත් තිබෙනවා. කෝප් කමිටුවේදීත් එය සාකච්ඡා කළා. මේ ගැන ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද?
මේ වෙද්දි අමාත්‍යාංශ 24ටම විමර්ශන කමිටු පත් කර තිබෙනවා. ඒ විමර්ශන කමිටු හරහා අදාළ විමර්ශන කටයුතු සිදු කරලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වීම සඳහා අප ක්‍රියාවලියක් සකස් කර තිබෙනවා. සියලු වංචා, දූෂණ විධිමත් පරීක්ෂණවලින් යුතුව හෙළිදරවු කිරීමයි අපේ අරමුණ. ඒ සඳහා අප වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් මේ වන විටත් අප යම් කරුණු ප්‍රමාණයක් අනාවරණය කරගෙන තිබෙනවා.
විශේෂයෙන්ම අප දැක්කා මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් කරපු මුදල් වැය කර දේශපාලන ව්‍යාපෘති කර තිබෙන විදිහ. ‘31st නයිට්’ ප්‍රසංගයක් කරලා, ඒකේ වීඩියෝ එකට ලක්ෂ 43ක් වියදම් කරලා තියෙනවා. එහෙත් දැන් බලද්දි වීඩියෝ එකක් නෑ. නැඟෙනහිර පොසොන් කලාපයක් කරලා තියෙනවා සභාවෙන් මිලියන 15ක් වියදම් කරලා. එහෙත් එහි කිසිම තැනම සභාවේ නම නෑ. ‘වීරසිංහ පදනම’ කියලා එකකින් කරපු පොසොන් කලාපයට තමයි සභාවේ මුදල් යොදවලා තියෙන්නෙ. තව මේ වගේ මූල්‍ය වංචා සහ අක්‍රමිකතා රැසක් සිදු වී තිබෙනවා.
ජනතා මුදල් අවභාවිත කිරීම පිළිබඳ අප ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ රටේ ජනතාවගේ අභිලාෂය සහ අපේ අභිලාෂය දෙකක් නෙමෙයි. අප නිරන්තරයෙන් සිටින්නේ ජනතාව සමඟ. ජනතාව අප පිළිබඳ විශ්වාසය තබමින් අපට බලය දී තිබෙනවා. ඒ විශ්වාසයට කිසිදු හානියක් නොවන අයුරින් කටයුතු කිරීමයි අපේ අපේක්ෂාව.