ජන බලය’ මහජන ව්‍යාපාරයේ සමාරම්භක මහ සමුළුව හා එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද (16) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු වේ. එහි ක්‍රියාධරයකු මෙන්ම රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුද වන ආචාර්ය දර්ශන ලියනගේ සමඟ කළ කතාබහක් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.
• ‘ජන බලය’ ලෙස මෙවැනි ව්‍යාපාරයක් ගොඩනඟන්නේ ඇයි?
අප කිහිප දෙනකු කණ්ඩායමක් ලෙස කරමින් ආ සාකච්ඡාවක් අවසානයේ මේ ගොනු වීම සිදු වුණා. පසුබිම නිර්මාණය වුණේ රටේ පැවති ජන අරගලයෙන් කියන්න පුළුවන්. ඒක මෑතකාලීන ලංකා ඉතිහාසයේ අප දුටු දැවැන්තම ස්වේච්ඡා මිනිස් දේශපාලන මැදිහත් වීමයි. විවිධ කුමන්ත්‍රණ කතා, USAID ආධාර කතා කියලා ඇතැමුන් චෝදනා කළත්, තම තමන්ගේ වියදමින් බ්‍රිසිල් බෝඩ් අරන්, මාර්කර් පෑන් අරන්, තම තමන්ට දැනෙන විදිහේ සටන් පාඨ ලියාගෙන, වෙන කාගෙවත් බලපෑමක් නැතිව පාරට බැහැපු තත්ත්වයක්. ඒ ස්වේඡා ක්‍රියාකාරිත්වය යම් මට්ටමකට පහුගිය මැතිවරණ දෙකේදි අප දුටුවා. ජාතික ජන බලවේගය විසින් සංවිධානාත්මකව මෙහෙයවපු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අමතරව, අර විශාල වශයෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු සාමාන්‍ය මිනිසුන්ගේ කැම්පේන් එකත් ප්‍රබලව තිබුණා. ඒ ස්වේච්ඡා මිනිසුන් මේ ආණ්ඩුවේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කළා. ඒක සමාජ මාධ්‍ය ජාලාවල වගේම, වැඩපොළේ, ගොවිපළේ ක්‍රියාකාරිත්වයෙන්, කටින් කටත් පැතිරුණා. ඒක වාම ජනප්‍රියවාදයක් වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ලේ එකතුවක් විදිහට තමා ආණ්ඩු බලය මාරු වුණේ. ඒත් මේ මැතිවරණ දෙකෙන් පසු තත්ත්වය කාරණා දෙකකින් හඳුනාගන්න පුළුවන්. එදා ස්වේච්ඡාවෙන් එකතු වුණු මිනිසුන් අද යම් කිසි විදිහකට ඇල්මැරුණු ස්වරූපයක් පෙන්නුම් කරනවා. ඒ උනන්දුවේ අඩු වීමක් දකින්න පුළුවන්. ‘අපි බලය දුන්නා. දැන් ආණ්ඩුව ඔක්කොම කරයි’ වගේ හැඟීමකින් ඔවුන් නිෂ්ක්‍රිය වෙලා. අනෙක් පැත්තෙන් පරාජිත බලවේග හාල්, පොල්, බිත්තර, වී, වගේ සිල්ලර ප්‍රශ්නත් එක්ක නැවතත් බලයට එන්නට පසුබිම සකසමින් ඉන්නවා. ඒ අනුව අරගලයෙන් ඇරඹී ජනාධිපතිවරණය හා මහමැතිවරණය දක්වා පැමිණි ස්වේච්ඡා ක්‍රියාකාරිත්වය නැවත පණගැන්විය යුතුයි. මොකද: මේක මේක ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක් පමණක් නොවෙයි. දේශපාලන පක්ෂයකක ජයක් විතරක් නෙවෙයි. ඒ නිසා මේ ජයග්‍රහණය ආපහු හැරවීමට නොදී දීර්ඝ කාලීන සමාජ, දේශපාලන,ආර්ථික, සංස්කෘතික පරිවර්තනයක මුල් පියවර විදිහට මේක ඉදිරියට තල්ලු කරන්න අවශ්‍යයි. ඒ සඳහා මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. ඒ සමාජ ව්‍යපාරය තමා මේ ‘ජන බලය’.
• අරමුණ පැහැදිලි වුණත්, මේක ගොඩනඟන පදනම මොකක්ද?
මුලින් කීව වගේ ස්වේච්ඡාවෙන් පෙරමුණට ආ ජනතාව තමා පදනම. ඒක කියන්නේ නිදසුනක් ලෙස: අපේ කාලය, අපේ ශ්‍රමය, අපේ ධනය වැය කරමින් තමා මේ කටයුත්තට අතගැසුවෙ. ඉස්සරහට වැඩ කරන්නෙත් එහෙමයි. අනෙක් කාරණය නම්: ආණ්ඩුකරණයට හවුල් වෙන්න අපේ අදහසක් නෑ. එකට අපට බලයකුත් නෑ. ආණ්ඩුකරණය කරගෙන යන්නේ කොහොමද? උපාය උපක්‍රම මොනවද කියන එක ආණ්ඩුව තීරණය කරයි. අරගලයෙන් ආරම්භ වෙලා ජනාධිපතිවරණයෙන් හා මහමැතිවරණයෙන් ප්‍රකාශයට පත් වෙච්චි පරිවර්තනය පූර්ණ විකසිත සමාජ දේශපාලනික පරිවර්තනයක් දක්වා ගෙන යෑමට මේ මොහොතේ තැබූ පියවර තමා මේ. ඒ වෙනුවෙන් බිහි කරගත්තු මේ ආණ්ඩුව රැකගත යුතුයි කියන එක අපේ පළමුවැනි ස්ථාවරය. ඒ වෙනුවෙන් බුද්ධිමය තලයේත්, මතවාදි තලයේත් වැඩ කරනවා; සංවිධාන තලය ශක්තිමත් කරනවා. ආණ්ඩුව යම් කිසි විදිහකට මහජන අභිලාෂයන්ගෙන් යම් පීලිපැනීමක් කරනවා නම්, යම් කිසි විදිහක බලපෑම් කණ්ඩායමක් විදිහට ඊට එරෙහිව කටයුතු කරන්නටත් අප සූදානම්. ඒත් අපේ උපරිම ශක්තිය වැය කරන්නේ ආණ්ඩුව රැකගනිමින් ජනතා අභිලාෂ ඉටු කරන තැනට මේ ආණ්ඩුව තල්ලු කිරීමටයි.
• විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන වෙතින් අභියෝගයක් එල්ල වන එකක් නැතිද?
පැරණි බලවේග මොන බලපෑම් කළත්, මේ මොහොතේ අතිශයින් දුර්වලයි. ඒත් පහුගිය ආණ්ඩු පිටුපස සිට රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවූ යම් දූෂිතයන් මේ ආණ්ඩුවටත් දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින බව ඇත්තක්. එහිදී ආණ්ඩුව යම් අභියෝගාත්මක තත්ත්වයක ඉන්නවා. අවම විවේචනාත්මක තැනක සිට ආණ්ඩුව රැකගනිමින්, වඩා සාධනීය තැනකට ගෙනයෑම අපේ අරමුණ වන්නේ ඒකයි. අද (16) අපේ සමාරම්භක සමුළුව පවත්වනවා. එතනදි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වනවා. ඒකට එකඟ විය හැකි සියලු දෙනා එකතු කරගෙන, ඒ මත පදනම් වෙමින් මේ ව්‍යාපාරය මහජන ව්‍යාපාරයක් ලෙස පුළුල් කරගැනීමට කටයුතු කරනවා.
• පහුගිය මැතිවරණ දෙකෙන් ප්‍රකාශයට පත් වුණු ජනමතය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතීද?
අවසානයට පැවැත්වුණු මහමැතිවරණය තීරණාත්මකයි. ජනතාව කියන්නේ හිස් හැඟවුම්කාරකයක්. ඒ මහමැතිවරණය කියන්නෙ: පෙර පැවති තත්ත්වයට වඩා වෙනස් විදිහකට අර්ථ ගැන්වුණු අවස්ථාවක්. ඊට කලින් හිටියෙ පොහොට්ටුවෙ ජනතාව, සජබයේ ජනතාව, හකීම්ගෙ ජනතාව, තොණ්ඩමන්ගෙ ජනතාව වගේ නිශ්චිත වර්ගීකරණයකට ලක් වෙච්චි පිරිසක්. ඒත් මේ මහ මැතිවරණයේදී ඒ නාමකරණයන් වෙනුවට පොදු බවක් ආරෝපණය වුණා. මහජන අවකාශය පුළුල් වුණා. කලින් සිටි පක්ෂ ළැදි ජනතාව යම් කිසි විදිහකට පරිවර්තනය වුණා. මේ ජයග්‍රහණ දෙකටම හේතුවුණේ උතුරු-නැඟෙනහිරත් ඇතුළත්ව රටේ පොදු ජනතාව කියන එක වෙන විදිහකට අර්ථ ගැන්වුණා. රාජ්‍ය මැදිහත් වෙලා සාමය, සංහිඳියාව සඳහා ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබුණත් ඒවා තවදුරටත් අසාර්ථක බව තහවුරු කෙරුණා. එහෙත් මේ මැතිවරණ දෙකෙන් අපට සාමය හා සංහිඳියාව වෙනුවෙන් කල්පවත්නා විසඳුමකට ප්‍රවේශයක් ගන්න අලුත් ඉඩක් සලසලා තියෙනවා.
• ප්‍රතිවාදි දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ගැන අඩුවෙන් තක්සේරු කළ යුතු නෑ නේද?
ඔබේ අදහසට එකඟයි. ජාතිවාදි ,වර්ගවාදි, ආගම්වාදි අදහස් සමාජය තුළ යළි පැතිරවීමට ගන්නා උත්සාහයන් තියෙනවා. ඒ බලවේග නැවත නැඟිටීමේ අවදානමක් තියෙනවා. ඒ නිසාම අපි අපේ මැදිහත් වීම තීව්‍ර කළ යුතුයි. විශේෂයෙන්ම මතවාදි තලයේ. ඒ වගේම ඊට එරෙහිව මහජන ක්‍රියාකාරිත්වය සංවිධානය කිරීමට අප පෙරමුණ ගන්නවා.
• ආණ්ඩු මාරු වුණාට ජනයා මාරු වෙනවද? සාධනීය වෙනසකට මහජනයා සූදානම්ද?
ජනතා අභිලාෂ සහ ඒවා ක්‍රියාත්මක කිරීමට යන විට මුහුණ දීමට සිදු වන ප්‍රායෝගික තත්ත්වයන් අතර පරතරයක් තියෙනවා. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන ජනාධිපතිට පැහැදිලි අදහසක් තිබෙන බව අපට තෙරේනවා. ඒක ශ්‍රමදාන වැඩක් නෙවෙයි, සමාජ පරිවර්තනයක් සඳහා ආකල්පමය වෙනසක්. ජීවිතය වෙනස් කරගැනීමක් පිළිබඳ ගැඹුරු අදහසක්. ඒත් ඒක ක්‍රියාවට නංවන්න ගියාම කැමැත්ත දුන්නු අයගෙන්ම ප්‍රතිවිරෝධයක් එනවා. ගැටෙන අවස්ථා තියෙනවා. වී ගොවියට වැඩි මිලක් දෙන්නත් ඕනෑ. හාල් මිල අඩු කරන්නත් ඕනෑ. ඉතිං මේවාට වඩා සුදුසු උපාය උපක්‍රම ආණ්ඩුව තෝරාගන්න අවශ්‍යයි. දිගු කාලීන සමාජ ආර්ථික විපරිවර්තනයකට ඒක අවශ්‍යයි.
• මේ කතිකාව මිනිසුන් අතරට ගෙනයන්න ජනබලයට තියෙන වැඩපිළිවෙළ මොකක්ද?
ආරම්භක සමුළුවෙන් පසු අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා මේ වැඩපිළිවෙළ වෙනුවෙන් එකතු වෙන්න කැමැති, ඒ මත පිහිටා වැඩ කළ හැකි හැමෝටම ආරාධනා කරනවා. පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කරනවා. සමාරම්භක උලෙළින් පසුව රට පුරා සමුළු මාලාවක් පවත්වාගෙන යනවා. ඊට අමතරව බුද්ධිමය හා මතවාදි තලයේ සංවාද කරමින්, ප්‍රකාශන නිකුත් කරමින්, මැදිහත් වෙනවා. ගොඩනැඟෙන විදිහ අනුව තව තවත් ක්‍රියාකාකරම්වලට යන්නට හැකි වේවි.
• මේ වෙද්දි පළාත් පාලන මැතිවරණයට සියලු දෙනා සූදානම් වෙනවා. ජන බලයෙන් ඒ සඳහා යම් බලපෑමක් කරන්න සූදානම්ද?
දැනට අප ඒ ගැන කතා කර නෑ. රටේ දේශපාලන බල හුවමාරුවේ අවසන් අදියර තමා පළාත් පාලන මැතිවරණය. මේක පෙර පැවති මැතිවරණ දෙකටම වඩා බරපතළයි; තීරණාත්මකයි. ඒ මොකද කියනව නම්: දේශපාලන පාලන ව්‍යූහයේ පහළම මට්ටමේ තමා ග්‍රාමීය කොන්ත්‍රාත්කරුවන්, පස්, ගල්, ජාවාරම්කරුවන්, වැලි ජාවාරම්කරුවන්, ග්‍රාමීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආදි සියලු දෙනා නියෝජනය වන්නේ. ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ආදිය නියෝජනය කරන අය මේකෙ පාදම හැටියට සලකන්න පුළුවන්. පළාත් සභා හෝ පාර්ලිමේන්තුව කියන ඊට ඉහළින් තියෙන පාලන ස්ථර ක්‍රියාත්මක වෙන්නේ මේ පාදම මත බව අප අමතක කළ යුතු නෑ. පළාත් පාලන මැතිවරණය වැදගත් වන්නේ මේ පාදම සම්පූර්ණයෙන්ම ශුද්ධ කරගතයුතු අවස්ථාවක් වීම නිසයි. ජන බලය ඉතා තීරණාත්මක ලෙස මැදිහත් වෙමින් ආණ්ඩුව ශක්තිමත් කළ යුතුයි කියලා පෞද්ගලිකව මං හිතනවා. ඒත් තවම එවැනි තීරණයක් ජන බලය ලෙස අප අරගෙන නෑ.
• මේක අර ජන අරගල ව්‍යාපාරයේ ‘දියවන්නාවෙන් ඔබ්බට ජනතා බලය’ ගෙනයෑම කියන අදහසින් වෙනස් වෙනවද?
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ එකමුතුව විසින් සාකච්ඡා කරමින් යන අදහසමද මේ කියා ඔබ අසන එක වැදගත්. සැබවින්ම ජන අරගල සන්ධානය වගේ එකක් තමා මේ අවකාශය තුළ වැඩ කළ යුතුව තිබුණේ. ඒ ව්‍යාපාරය මෙතැන ස්ථානගත නොවුණු නිසා තමා අපට ජන බලය වැනි පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීමට සිදු වුණේ. ‘ජන අරගල ව්‍යාපාරය’ මේ ආණ්ඩුවට ඉතා ප්‍රතිපක්ෂ තැනක හිටගෙන, ආණ්ඩුව දුර්වල කර, නැවතත් පැරණි දූෂිත පාලකයන්ට බලය හුවමාරු කර දීමට කටයුතු කරමින් ඉන්නවා. ඒක අපි බලාපොරොත්තු වෙච්චි දෙයක් නෙවෙයි. අප මේ ආණ්ඩුව නිවැරදි මාවතකට අරගෙන අපගේ අරමුණු කරා නොයන්නේ නම්: යා යුතු තැන් දෙකයි තියෙන්නෙ. අප දැනටමත් අත්දැක ඇති වර්ගවාදි, ජාතිවාදි, අන්තවාදි, ආගම්වාදි තැනකට යෑම කළ හැකියි. එහෙමත් නැති නම්: ප්‍රබලයා වැජඹෙන, දුබලයා වැනසෙන, නරුම ආර්ථිකවාදයකට යා හැකියි. මේ දෙකම අප දැනටමත් අත්දැක තිබෙන්නෙ. මේ අන්ත දෙකෙන් එකකට නොයා, වඩා සාධනීය තැනකට මේ රට ගෙන යා යුතුමයි. අප වැඩකරන්නේ ඒ වෙනුවෙන්.