Home » පහන් වේවා ඔබේ කුලගෙය දුවේ සිරි සුබ මංගලම්…

පහන් වේවා ඔබේ කුලගෙය දුවේ සිරි සුබ මංගලම්…

by thanushika
March 16, 2025 12:30 am 0 comment

සඳක් පායා හිනා­වෙ­නවා නුඹෙ ලොවට දෝණී
කැකුළු කොඳ­මල් පිපී හිනැහේ ආද­රෙන් පේවී
රන්හු­යෙන් බැඳි දෑත් අල්ලා යන්න ඔහු ඒවී
මා නොහ‍‍ඬවා නුඹත් නාඬා සමු දෙන්න දෝණී…

ළමැද පුරවා හුස්ම දී මැවු ලෝක­යම දැන් හරි හැඩයි
දිනෙන් දින හස­රැල් මවා දුන් සතුටු සුව‍ඳත් අප­ම­ණයි
සුදු දුවේ නුඹ හද­වත පුරා තැබූ මත­කය සුව‍ඳ­මයි
සුදු රෝස මල් ගොමුවෙ පිපි මන­මාලි අද හරි හැඩයි…

සිඟිති අත් පොඩි­ව­ලින් අල්ලා
එක්ව ආ මඟ තව දුරයි
විඳින තැන් සේ රිදෙන තැන් ඇති
ජීවිතේ මේ සතු­ටයි දුකයි
ලෝක­යට හොඳ හොඳම දී නුඹ
සම­සි­තින් වි‍ඳගත යුතුයි
පහන් වේවා ඔබේ කුල­ගෙය
දුවේ සිරි සුබ මංග­ලම්

ඉසවි

දියණියක සිටින මවකගෙ පියකුගේ සුන්දරම දිනයත්, දුක්බරම දිනයත් වන්නේ ඇය වෙනෙකකුගේ අත ගන්නා දවසය. ඒ දිනය වෙනුවෙන් මුළු ජීවිත කාලයම බලා හිඳින මවුවරු පියවරු අනන්තවත් අප අතර ඇත. දරුවකු කුස පිළිසිඳ ගත් දින සිට ඒ දරුවා වෙනුවෙන් බලාපොරොත්තු පොදිබඳින අම්මලා තාත්තාලා බොහෝය.

ජීවියේ සුන්දරම දවස වෙනුවෙන් තමන්ට කරන්නට හැකි සියලු දේ වෙහෙස නොබලා කරන අම්මාගේ තාත්තාගේ ආදරය කිසිදා මිල කළ නොහැකිය. “මට මගෙ කෙල්ල බන්දලා දෙනකල් ඉන්න තිබුණොත් ඇති.” එහෙමත් ප්‍රාර්ථනා කරන අම්මලා අප අතර වෙති. තමාට දකින්නට, ජය ගන්නට බැරි වුණ ලෝකය තම දූදරුවන්ට ජය ගන්නට, දකින්නට සලස්වන්නට වැර දරන අම්මලා ඒ දරුවන් වෙනුවෙන්ම දුක පපුවේ තද කරන් විඳින විඳවන වේදනාවන්ද, ඒ වන් අම්මලා තාත්තලාද අපට මේ සමාජයේදී කොතෙක් නම් හමු වී තිබේද?

එවන් අම්මලා තාත්තලා අතර තම දියණියගේ ජීවිතයේ සතුටුම දවසේ ගීතයකින් ඒ ජීවිතවලට සතුටක්, හැඩයක් එක්ක කළ අම්මලා තාත්තලා ද මේ අතර සිටිති. පසුගියදා සමාජ මාධ්‍යයෙන් අසන්නට දකින්නට ලැබුණු දියණියගේ මංගල දිනය දා සිය දියණිය තුරුලට ගෙන පියකු විසින් ගයන ගීතය ඇතුළත් දර්ශන පෙළ නිසාම ඒ ගීතය මෙවර ‘ගීයක අරුම’ වෙනුවෙන් ලියන්නට සිත් විය.

‘සඳක් පායා හිනා වෙනවා නුඹෙ ලොවට දෝණී
කැකුළු කොඳමල් පිපී හිනැහේ ආදරෙන් පේවී
රන්හුයෙන් බැඳි දෑත් අල්ලා යන්න ඔහු ඒවී
මා නොහ‍‍ඬවා නුඹත් නාඩා සමු දෙන්න දෝණී…’

ගීතය ගයන්නේ තිලාන් චාමින්ද සෙනෙවිරත්නය. ගීපද ලියන්නේ නිමල්කා පෙරේරාය. ඒ පද සංගීතවත් කරන්නේ විශාරද දර්ශන වික්‍රමතුංගය.

මේ වන විට මිලියන තුනකට ආසන්න වාර ගණනක් නරඹා ඇති මේ ගීතය පිළිබඳ අපත් එක්ක කතා කළේ ගී පද රචිකා නිමල්කා පෙරේරාය.

නිමල්කා පෙරේරා ගී පද රචනයට අලුත් වුවද ඇය මින් පෙර නවකතා කෘති කිහිපයක්ම රචනා කර ඇති ප්‍රවීණ ලේඛිකාවකි. පාසල් වියේ සිටම ලියන්නට ආසා කළ ඇය කවි, කතා රචනයේ දස්කම් දක්වන්නීය.

“මට දුවලා තුන් දෙනෙක් ඉන්නවා. ලොකු දුවයි පොඩි දුවයි විවාහ වෙන්න දින දාගෙන තිබුණේ ඔක්තෝබර් මාසෙයි, නොවැම්බර් මාසෙයි. ඒත් විදෙස්ගත වෙන්න ඕනෑ නිසා පොඩි දුවගේ විවාහය කලින් ගන්න වුණා අපට. විවාහ උත්සවයට සතියක් වගේ තිබිලා තමයි මේ ගීතය කරන්න හිතුවේ. මගෙ මහත්තයා තමයි මට කිවුවේ ‘ඔයාම සින්දුවක් ලියන්න’ කියලා. මම මේ පද පෙළ ලිවුවා. දර්ශන වික්‍රමතුංග මල්ලිට පද පෙළ දුන්නාම ඔහු මෙයට අපූරු තනුවක් නිර්මාණය කළා. දර්ශන මල්ලි මේ පද පෙළේ වචනයක් දෙකක් වෙනස් කරලා තිබුණා. අදටත් මට හිතාගන්න බැහැ මට කොහොමද මේ පද පෙළ මේ තරම් ඉක්මනට ලියවුණේ කියලා. මගෙ මහත්තයා තිලාන් මේක හරි අපූරුවට හැඟුම්බරව ගැයුවා. අද වෙන කොට මේ ගීතය තියෙන තැන ගැන මට හරි සතුටුයි. මගේ දුව විවාහ වුණේ 2023 අවුරුද්දේ. අපේ මිත්‍රයකු වන දොන් සම්පත් බණ්ඩිහෙට්ටිගේ තමයි මේ ගීතය නැවතත් රීපෝස්ට් එකක් දාලා තිබුණේ. ඒකෙදි තමයි දවස් දෙකකදී ලක්ෂ තුනහමාරක් මේ ගීතය බලලා තිබුණේ. අපි දෙන්නා නම් කවදාවත් හිතුවේ නැහැ අපේ ගීතයට මේ වගේ තැනක් ලැබේවි කියලා. තිලාන් අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නේ. ඔහු ගීත ගයන්නේ විනෝදාංශයක් විදිහට. මගෙ දුවලටත් හරිම සතුටුයි.”

නිමල්කා තම පද පෙළට අද වන විට ලැබී තිබෙන මිල කළ නොහැකි වටිනාකම ගැන පවසන්නේ සතුටිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division