ඔහුගේ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවන්නේ රංගනයට තිබූ කැමැත්ත නිසාය. ඒ මීට සොළොස් වසකට පෙර වුවද ඔහු අදටත් එකදු චරිතයකටවත් පණපොවා නැත. එසේ නමුදු ඔහුගේ නම ටෙලි තිරය මත දිස්වන වාර ගණන කිව නොහැකි තරම්ය. ශ්‍රී ලාංකේය ටෙලි ඉතිහාසයේ වැඩිම ටෙලි නිර්මාණ ප්‍රමාණයත් නිපදවීමේ වාර්තාව හිමිවන්නේ ඔහුටය. අදටත් එය නොබිඳුණු වාර්තාවක් බව පැවැසේ. ටෙලිවිෂනය වටා විශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කළ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය ඔහුගේ නිපැයුමකි. ටෙලිවිෂනයෙන් ඈත්වෙමින් සිටි ප්‍රේක්ෂකයා නැවතත් කැඳවාගෙන එන්නට ඔහුට හැකිවිය. යූටියුබ් නාළිකාව ඔස්සේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹු ටෙලි නිර්මාණය ලෙස වාර්තා අතරට එක්වන්නේද එයයි. මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය පාට කුරුල්ලෝ ද ඔහුගේ නිෂ්පාදනයකි. ඔහු නමින් ටෙලි නාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රමය. ටෙලි නාට්‍ය කලාවෙන් ඔබ්බට යමින් නවමු ප්‍රාසාංගික අත්දැකීමක් ප්‍රේක්ෂකයාට තිළිණ කරන්නට මේ දිනවල ඔහු සූදානමින් සිටියි.
චාමර සමරවික්‍රම කියන්නේ පුංචි තිරයේ වැඩිපුරම දිස්වන නමක්. ‘ටෙලි තරු රැයක්‘ ඔස්සේ දැන් ඔබ අලුත් වැඩක් ආරම්භ කරලා. කොහොමද ඒ අදහස එන්නේ?
ටෙලි තිරයේ දස්කම් දක්වන ප්‍රවීණයන්ට වගේම නවකයන්ටත් රංගනය වගේම ගායනය, නර්තනය ආදි විශේෂ හැකියාවන් රැසක් තිබෙන බව මට තේරුණා. ඒකට අවස්ථාවක් දීම සඳහා පසුගිය වසරේ ටෙලි තරු රැයක් ප්‍රසංගය ආරම්භ කළේ. අපූරු හැකියාවන්ගෙන් යුතු ටෙලි තරු එදා නෙළුම් පොකුණ රඟහලේ වර්ණවත් වුණේ ඇලරීස් සමූහ ව්‍යාපාරයේ සම්පූර්ණ අනුග්‍රාහකත්වයෙන් සහ ස්වර්ණවාහිනී නාළිකාවේ නිල අනුග්‍රාහකත්වයෙන්. ඒ ලැබුණු ප්‍රතිචාර මට මේක දිගටම කරගෙන යන්න උත්තේජනයක් වුණා කිව්වත් හරි. ඒ පන්නරය නිසාම ටෙලි තරු 40ක් පිරිවරාගෙන මෙවරත් ටෙලි තරු රැයක් ප්‍රසංගය සංවිධානය කළා. ලබන 22 වැනිදා සවස 7ට ඔවුන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වර්ණවත් කරන්නේ ලියා ගෝල්ඩ් සාදර අනුග්‍රාහකත්වයෙන්. මෙවරත් ස්වර්ණවාහිනී නාළිකාව මාත් එක්ක අත්වැල් බැඳගන්නට තීරණය කර තිබීම මට ලොකු ගෞරවයක්. පරම්පරා තුනක් එකම වේදිකාවේ තම අත්දැකීම් බෙදාගන්න සූදානමින් ඉන්නවා. සනත් ගුණතිලක, දිල්හානී අශෝකමාලා, සංගීතා වීරරත්න වැනි ප්‍රවීණයන් නවකයින්ගේ පෙර ගමන්කරුවන් වෙමින් මෙවර ‘ලියා ගෝල්ඩ් ටෙලි තරු රැයක්-2025’ සඳහා සම්බන්ධ වීම මට විශාල ගෞරවයක්. කලාව උදෙසා විශාල මෙහෙයක් කළ පුංචි තිරයේ මහා මාතාව අයිරාංගනී සේරසිංහ, රංග පෞරුෂය විජේරත්න වරකාගොඩ සහ රංග කලාවේ අරවින්දය සනත් ගුණතිලක මෙවර ගෞරව බහුමානයට පාත්‍රවීමට නියමිතය.
ඔබ පුංචි තිරයේ ඉහළින්ම නම රැන්දූ නිෂ්පාදකවරයෙක්. මේ වෙද්දි ටෙලි නිර්මාණ කීයකට විතර දායක වෙලා තියේද?
අද වෙද්දි ක්ෂේත්‍රයට ඇවිත් වසර 16ක් විතර වෙනවා. මේ කාලය තුළ ටෙලි නාට්‍ය පනහකට වැඩි ප්‍රමාණයක් නිපදවා තියෙනවා. රතු අහස, දූවිලි අහස, නාඩගම්කාරයෝ, පාර දිගේ, කෝටිපතියෝ, හාරකෝටිය, බොහිමියානුවා, මීදුම් අම්මා, කළු අරලිය, ආලවන්තී වගේම මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය පාට කුරුල්ලෝත් මගේ ජනප්‍රිය වුණු නිෂ්පාදන. එයින් නිර්මාණ 35ක් විතරම ප්‍රදර්ශනය කළ ස්වර්ණවාහිනී නාළිකාවේ අදටත් මාත් එක්ක ඉන්න එකත් විශේෂත්වයක්.
කලා තරු රැසක් පුංචි තිරයට දායාද කළ කෙනෙක් විදිහට ඔවුන් අද ජනප්‍රිය තරු වෙද්දි ඔබට දැනෙන හැඟීම මොනවගේද?
ඇත්තටම මං කලාවට දායාද කළ තරු ගණන විශාලයි. මගේ එක නිර්මාණයකින් කිහිප දෙනෙක්වම හඳුන්වා දෙනවා. ඔවුන් ජනප්‍රියම, හොඳම, සහාය විදිහට සම්මානිත වෙද්දි ලොකු සතුටක් දැනෙනවා. මෙවර රයිගම් ටෙලීස් සඳහා හොඳම නිළියට නිර්දේශ වෙලා තියෙන්නේ මං බලෙන්ම වගේ ක්ෂේත්‍රයට දායාද කළ ශිල්පිනියක්. ඔවුන් එසේ සම්මානනීය වෙද්දි මට ලොකු සතුටක් දැනෙනවා.
එතකොට නිෂ්පාදකවරයෙකුගේ කාර්යභාරය මොකක්ද කියලා ඇහුවොත්?
ඇත්තම කිව්වොත් නිර්මාණයක් සමාජගත කරද්දි නිෂ්පාදකවරයෙකුට ලොකු වගකීමක් තියෙනවා. පළවැනි එක සමාජය නොමඟ යන්නෙ නැති, හරවත් දෙයක් දිය හැකි හොඳ පිටපතක් තෝරා ගැනීමේ වගකීම. ඒ වගේම තිර පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කර පිටපතේ ලියවිලා තියෙන චරිතවලට ගැළපෙනම චරිත තෝරා ගැනීමත් ඔහුගේ වගකීමක්. නිර්මාණයට අවශ්‍ය වටපිටාව සකසා දීමත් ඔහුට හිමි කාර්යභාරයක්. කාස්ට් එක තේරීමේ දී විශේෂයෙන්ම තිර පිටපතේ ලියවිලා තියෙන චරිතයට ගැළපෙනම චරිත තෝරා ගන්නෙ නැතුව තිර රචකයාගේ හෝ අධ්‍යක්ෂවරයාගේ හෝ නිෂ්පාදකගේ හිතවත්කම්වලට චරිත තෝරාගන්න ගියොත් නිර්මාණය අසාර්ථක වෙනවා. අනෙක් විශේෂම කාරණාව තමයි කලට වේලාවට තමන්ගේ කණ්ඩායමට ගෙවීම් කළ යුතු වීම. ඔවුන් කරන්නෙත් වෘත්තියක් නිසා ඔවුන්ගේ මානසිකත්වය හොඳ වුණොත් විතරයි හොඳ නිර්මාණයක් බිහිවෙන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ නිෂ්පාදක තනතුර කියන්නේ මුදල් යෙදවීම විතරයි කියලා. නෑ ඊට එහා ගිය විශාල කාර්යභාරයක් තියෙනවා.
රංගනයට තිබූ කැමැත්ත නිසා ක්ෂේත්‍රයට පිවිසි ඔබ අද ඉන්නෙ වෙනස්ම පැත්තක. ඒ ගැන සෑහීමකට පත්විය හැකිද?
රංගනයට තිබුණු ආසාව නිසා මුලින්ම සිටු මැඳුර ටෙලි නිර්මාණයේ චරිතයක් ලැබුණත් ප්‍රධාන වශයෙන් මං එයට සම්බන්ධ වුණේ නිෂ්පාදකවරයෙක් විදිහට. ඒ දවස්වල ස්වර්ණවාහිනියේ ප්‍රධාන විධායක විදිහට හිටිය බුද්ධික කුලසේකරට මං ඒක කිව්වම ඔහු මට කිව්වේ ඔයාට හරියටම හරියන්නේ නිෂ්පාදක කියන භූමිකාව ඒ නිසා ඒ පැත්ත විතරක් තෝරගන්න කියලා. එදා මට දුක හිතුණත් ටික දවසක් යද්දි මටම තේරුණා ඒක හරි කියලා. අද මං සියයට සීයක්ම ඔහුගේ තීරණයට එකඟ වෙනවා. අදටත් මං මගේ කිසිම නිර්මාණක ප්‍රේම් එකකයවත් ඉඳලා නෑ.