Home » අවුරුදු තුනෙන් රඟපෑමට පටන් ගත් රටම දන්න පොඩිත්තා ගීත්

අවුරුදු තුනෙන් රඟපෑමට පටන් ගත් රටම දන්න පොඩිත්තා ගීත්

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
 කුමුදිකා ඩී. සපුතන්ත්‍රී

2024 සියත සිඟිති අවුරුදු කුමරා තරගයෙන් ලංකාවෙන් හතර වැනි ස්ථානයත් 2023 වසරේ දසත ලංකා නිව්ස් නාළිකාවේ සිඟිති අවුරුදු කුමාරයා ලෙසත් කිරුළු පලන් ඔහු නමින් ගීත් කල්පගේ ය. හැඩකාර වගේම කටකාර මොහු ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනා ගත් පොඩිත්තෙකි. රඟපෑමට වගේම තවත් බොහෝ කලා හැකියාවන් සහිත ඔහු සමඟ කළ කතාබහකි මේ.

ගීත් පුතා අපිට කියන්නකො ඔයා ඉන්නේ කොහෙද, මොන ඉස්කෝලේට ද යන්නේ, කීවෙනි පංතියෙ ද ඉන්නේ කියලා.

මං ඉන්නේ නාවලපිටියේ. මගේ පාසල නාවලපිටිය Oxford International College.මං ඉගෙන ගන්නේ එක වසරේ.

ඔයාට කොහොමද රඟපාන්න අවස්ථාව ලැබුණේ ?

මං මුලින්ම හිරු ටීවි එකේ “පොඩි වැඩ්ඩෝ” වැඩසටහනට සහභාගි වුණා. ඒ වැඩසටහන හරහා මාව රඟපාන්න තෝරගත්තා. රඟපාන්න පටන් ගන්නකොට මට වයස අවුරුදු තුනයි. ඒ කාලේ මං ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ වෙ‍ෙළඳ දැන්වීමකට සම්බන්ධ වුණා.

ඔයාට මතකද මුලින්ම රඟපෑ කතාව මොකක්ද කියලා ?

ඔව් “සපත්නිය” කියලා හිරු ටෙලි සිනමා සිත්තම. ඒක චාගී වගීෂ මාමාගේ නිර්මාණයක්. අද වෙනකොට ටෙලිනාට්‍ය දහයක විතර රඟපාලා. හිරු ටෙලි සිනමා සිත්තම් හයක්, පෝය ටෙලි නාට්‍ය දෙකක්, දෙරණ නාළිකාවේ “අම්මා වගේ” ටෙලි නාට්‍යය සහ ස්වර්ණවාහිනි නාළිකාවේ “ මා සිත” ටෙලි නාට්‍යය.

ගීත්ට රඟපෑමට අමතරව තව කරන්න පුළුවන් මොනවද ?

හිරු ටීවි එකේ “කෝලම්පුරේ, වලස් චාරිකාව 2” කාටූන්වල හඬකැවීම් කළා. තව මට සින්දු කියන්න පුළුවන්. කී බෝඩ් එකත් ටිකක් වාදනය කරන්න පුළුවන්. “යළි මා සොයාගන්න” කියන ගීතයේ මියුසික් වීඩීයෝ එකට සම්බන්ධ වුණා.

ඔයාගේ රඟපෑම් ගැන අනෙක් රඟපාන නැන්දලා මාමලා මොකද කියන්නේ?

ඒ හැමෝම මාව ගොඩක් අගය කරනවා. ගොඩක් හැකියාවන් මට තියෙන නිසා කවුරුත් මට ගොඩක් ආදරෙයි.

ගීත් පුතා වැඩිපුරම ජනප්‍රිය වුණේ මොන චරිතයෙන් ද ?

“ස්නේහයේ දාසි” කියන හිරු ටෙලි සිනමා කතාවේ සපුමල්ගේ චරිතයෙන්.

රඟපානකොට ඔයාට සිද්ධ වුණු අමතක නොවෙන සිද්ධි කිහිපයක් කියන්නකෝ ?

ඉස්සරහට විකාශය වෙන්න තියෙන “The Makeup Room” නාට්‍යයේ මං රඟපාන්නේ ගෑනු ළමයෙක්ගේ චරිතයකට. ඒකේ තියෙනවා මට මිනී පෙට්ටියක නිදාගෙන ඉන්න වෙන කොටසක්. ඒක තමයි මට අමතක වෙන්නෙ නැති සිදුවීම.

ඔයාට රඟපාන දෙබස් එහෙම මතක තියාගන්න අමාරු නැද්ද ?

අම්මලා කියනවා මට හොඳ මතකයක් තියෙනවා කියලා. රූගත කිරීම් වලදී අම්මලට පිටපත දුන්නම එයාලා මට ඒක කියලා දෙනවා. ඊට පස්සේ මං ඒක මතක තියාගෙන රඟපානවා.

ගීත්ට හරි ලස්සන දිග කොණ්ඩයක් තියෙනවා නේද?

මම කොණ්ඩේ වවන්න පටන් ගත්තේ අවුරුදු කුමාරයා තරගවලට ඉදිරිපත් වෙන්න. මං කොණ්ඩෙට හරිම ආසයි, ආදරෙයි. ගොඩක් දිගට වවලා තිබුණා. ඒත් සමහර රූගත කිරීම්වලට කොණ්ඩෙ කපන්න වෙනවා. එතකොට මට ටිකක් දුකයි. දැන් නම් ඉස්සර වගේ ගොඩක් දිගට නෑ.

මං කලා වැඩ වලට සම්බන්ධ වෙන නිසා කොණ්ඩෙ වවන්න ඉස්කෝලෙන් අවසර අරන් තියෙන්නේ.

ඔයාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද ?

මං ආසයි නීතීඥයෙක් වෙන්න වගේම සම්මානනීය නළුවෙක් වෙන්න.

මට උදව් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. මගෙ ඉස්කෝලේ විදහල්පතිතුමිය ඇතුළු හැමෝටම ගොඩාක් ස්තුතියි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division