– ප්‍රසංග වේදිකාවෙන් මගෙන් ඉල්ලුවේ ජිප්සීස් කණ්ඩායම ගැයූ සින්දු
– සුනිල් අයියගේ ඩුප්ලිකේට් එකක් වෙන්න ලැබීම ගැන සතුටුයි
අනුර පලිහවඩන කියන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ හැඩරුවට බොහෝ සමානකම් කියන, ඒ වගේම සුනිල් අයියා විදිහට සින්දු කියන්න නටන්න පුළුවන් දක්ෂ කලාකරුවෙක්. අනුර පලිහවඩන ගැන බොහෝ දෙනා කතා වෙන්න පටන් ගත්තේ ශැඩෝස්ටාර් රියැලටි වේදිකාවෙන් පස්සේ, එදා ඉඳන් ඔරිජිනල් සුනිල්ගේ ඩුප්ලිකේට් එක කියලයි කවුරුත් කියන්නෙ. මේ කාලයේ අනුර පලිහවඩන මොනවද කරන්නේ කියන එක දැන ගන්නත් එක්කම ඔහුට කතා කළා.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ එක්කම මගේම ගීතයක් තියෙනවා, විට විට විට බුලත් විටේ.. රතු කහ නිල කොළ ඇත සාර විටේ කියලා…. ඒ වෙනුවෙන් මම මේ දවස්වල රූප රචනාවක් කරන්න ලෑස්ති වෙනවා. එතැනදී සාරවිට කරුවෙක් වගේ මම ඇඳලා තමයි රූප රචනාව කරන්න ඉන්නේ. මේ ගීතය සහ මගේ ගැමි කසාදෙ කියන ගීතය එෆ්.එම්. නාළිකාවක 21 බයිලා හිට්ස් කියන චාට් ෂෝ එකෙත් ප්‍රචාරය වුණා.
ඔබේ සංගීත ගමනෙ පටන් ගැන්ම කෙටියෙන් කිව්වොත්?
මගේ ගම මාතර අකුරැස්ස. අපේ ගෙට යාබදව තමයි නිල්වලා සිනමා ශාලාව තිබ්බේ. ඒ නිසා නිතරම සින්දු ඇහෙනවා. එච්. ආර්. ජෝතිපාල මහතාගේ සින්දු වලට තමයි ඒ කාලේ කැමති. ඊට පස්සේ අපි මාතරින් පානදුර පදිංචියට ආවා. එතකොට මම පාසලේ නවය වසරේ වගේ. ඒ කාලේ තමයි පානදුර කානිවල් එකකදී මුලින්ම ජිප්සීස් කණ්ඩායම දැක්කේ. නිහාල්, සුනිල්, නිමල්, ලාල්, පියල් කියන සහෝදරයින් පස් දෙනා එකම විදියට ඇඳලා කට්ටියම හිනාවෙලා වෙනම හැඩයක් සහ හරිම ආදරණීය බවක් දැනුණා . ඒ එක්කම පුදුමාකාර ආකර්ෂණීය බවක් තිබ්බා. එදායින් පස්සේ මම කැමතිම වුණේ සුනිල් අයියාට. ඒ කාලේ සින්දු පොත් තිබ්බේ, මම ඒවාත් අරගෙන ඉස්කෝලේ දී කිව්වා. ජෝතිපාලගේ සින්දු කිව්ව මම ජිප්සීස්ලට හැරුණා. හොඳ ප්‍රතිචාරත් ලැබුණා. කාලයක් තිස්සේ ඔහොම දිගටම සින්දු කියද්දී තමයි ශැඩෝස්ටාර් රියැලටි තරගයට ආවේ.
ශැඩෝස්ටාර් වේදිකාව නිර්මාණය නොවුණා නම් අද ඉන්න තැන නොඉන්නත් තිබුණද?
මම එදා ඉඳන් සින්දු කිව්වා. මම අහම්බෙන් වගේ තමයි ශැඩෝස්ටාර් රියැලටි තරගයට ආවේ. හැමෝම කිව්වා මට ඒ තරගයට යන්න, ඔයාට තමයි ජයග්‍රහණය ලැබෙන්නේ. එදා ඒ ශැඩෝස්ටාර් රියැලටි තරගයට ආව නිසා තමයි රටම මාව හඳුනා ගත්තේ. එතැනින් පස්සේ ප්‍රසංග වේදිකාවෙන් මගෙන් ඉල්ලුවේ ජිප්සීස් කණ්ඩායම ගැයූ සින්දු. හැබැයි ඒ නිසාම තමයි මගේම නිර්මාණ පොඩ්ඩක් යට ගියේ.
ජිප්සීස් නායක සුනිල් පෙරේරාගෙ ඩුප්ලිකේට් එකක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තම කියන්න ඕනේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා කියන්නේ පට්ටම පට්ට චරිතයක්. සුනිල් අයියා මට නම් මයිකල් ජැක්සන්, එල්විස් ප්‍රෙස්ලි වගේ කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ඩුප්ලිකේට් එකක් වෙන්න ලැබීම ගැන සතුටුයි. එයාගේ සින්දු කියන තව අය ඉන්නවා. ඒ අයත් සුනිල් අයියාට ගරු කරනවා වගේම මටත් ගරු කරනවා.
එදා ශැඩෝස්ටාර් හරහා ආව ඩුප්ලිකේට් වලට සැබෑ චරිත වාරණ එහෙම පනවපු තැන්, නීතියේ හමුවට ගිය තැන් අපි දැක්කා, හැබැයි ඔබ වාසනාවන්ත වුණා නේද සුනිල් අයියාගේ ආශීර්වාදය ගන්න
ඒකට හේතු වුණේ මගේ වාසනාවට වඩා සුනිල් අයියාගේ තිබ්බ ගුණය. සුනිල් අයියා කියන්නේ වාසනාවන්ත පුද්ගලයෙක්. මම වාසනාවන්ත වුණා ඒ වගේ කෙනෙක්ගේ ගීත ගයන්න පුළුවන් වීම එක්ක. සුනිල් අයියාගේ ෆැමිලි එක කියන්නේ බොහොම වැදගත් ෆැමිලි එකක්. ඔය දෙකයි පනහේ වැඩ එයාලා ළඟ නැහැ. මම දැනටත් නිතරම වගේ පියල්ට සහ සුනිල් අයියාගේ පුතා සජිත්ට කතා කරනවා. ඒ අයත් මගේ දුව එක්කත් කතා කරනවා. මම කවදත් සුනිල් අයියාට හානියක් නොවන විදියට මේ වැඩේ කරන් යන නිසා කාගෙන්වත් බාධා ඇවිත් නැහැ.
සින්දු 12ක් මිලටත් ගත්තනේ, මොනවද ඒ සින්දු
මෙතැනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ රත්නපුර පූජි ඉන්ටර්නැෂනල් මෝටර්ස් අධිපති පූජි ස්ටැන්ලි රණතුංග. ඔහු තමයි සුනිල් අයියාට මුදල් ගෙවලා මට තෑග්ගක් වශයෙන් අරන් දුන්නේ. “අම්මා අම්මා මේ මට, ළිඳ ළඟ සංගමය, මල්ලිකා, කාටද පිස්සු, කරාටේ නෝනා, කෙල්ලෝ නැතුවත් බැහැ, ලුණු දෙහි, ඔයා මිස්ද මිසිස් ද, සයිමා කට් වෙලා, නෝනේ මගේ සුදු නෝනේ, ජොලි කරපල්ලා“ ඔන්න ඔය ගීත 12 තමයි මට එදා අරන් දුන්නේ.
තාමත් ඔය දාන්නෙ සුනිල් අයියා දුන්නු තොප්පි ද?
ශැඩෝස්ටාර් තරගෙන් පස්සේ මම සුනිල් අයියාගේ ගෙදර ගියා. ඒ වෙනකම් මම තොප්පි දැම්මේ පොළෙන් අරගෙන. සුනිල් අයියා දාන තොප්පි ලංකාවේ නැහැ. ඒ නිසා මම සුනිල් අයියාට කිව්වා මට පුළුවන් නම් තොප්පියක් දෙන්න කියලා. එදා මට සුනිල් අයියා එයා පාවිච්චි කරපු තොප්පි හතරක්ම දුන්නා. Fedora කියන බ්‍රෑන්ඩ් එකේ තොප්පි. ඒ කාලේ තොප්පියක් ලංකාවට ගේන්නත් ලක්ෂයක් එකහමාරක් යනවා. ඊට පස්සේ මම ම ඕඩර් කරලා තොප්පි ගෙනාවා.
අද වෙද්දි ප්‍රසංග වේදිකාවට තියෙන ඇරියුම් ගැන තෘප්තිමත් ද?
මම ගොඩක් ප්‍රසංගවලට යන්නේ නැහැ. ඒ නිසා මම යන්නේ තෝරලා බේරලා. දැන් තියෙන ගොඩක් බෑන්ඩ් ජිප්සීස්ලාගේ සින්දු ප්ලේ කරන්න දන්නේ නැහැ. ජිප්සීස්ලාගේ හැම මියුසික් කාණ්ඩයකම තියෙනවා අමුතු ලස්සනක්. ඒ නිසා මම එයාලට මුලින්ම සින්දු ටික යවලා ඕකේ කළොත් විතරයි සින්දු කියන්නේ. එහෙම වුණාම විතරයි ජිප්සීස් රසය ඒ විදියටම දෙන්න පුළුවන්.
ජිප්සීස් සංගීත කණ්ඩායම එක්ක ගීත ගයනවද?
මම ගොඩක්ම කැමති නිහාල්, සුනිල්, නිමල්, ලාල්, පියල් කියන සහෝදරයින් පස් දෙනා එක්ක ගිය ජිප්සීස් කණ්ඩායමට. මම ඒ ජිප්සීස් කණ්ඩායමේ ගීත ගායනා කරලා නැහැ. හැබැයි සුනිල් අයියයි මමයි එකම වේදිකාවේ වෙන වෙනම ගායකයෝ විදියට හම්බෙලා තියෙනවා. සුනිල් අයියා මගේ ළඟට ඇවිත් ඔයා මොනවද කියන්නේ ආ එහෙමනම් මම මේ ටික කියන්නම් කියලා තියෙනවා. ඒකයි මම කිව්වේ සුනිල් අයියා කියන්නේ හිත හොඳ පට්ටම චරිතයක්. Perera Thinking is Good.
ඔබ ගීත ගයන ඔබේම සංගීත කණ්ඩායමක් තියෙනවද?
ජිප්සීස් සංගීත කණ්ඩායමට කැමති වුණු මුල් කාලෙම මම මගේ සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒ වගේම බෙල් බොටම් ඇඳලා කරාබු දාලා. ඒ 1990 ගණන්වල. ඊට පස්සේ එහෙම බෑන්ඩ් එකක් කරන්න එක වගේ හිතන සෙට් එකක් හමුවුණේ නැහැ. මේ වෙද්දී දෙල්කඳ පුෂ්පකුමාර මහානාමගේ මිලේනියම් සංගීත කණ්ඩායමේ ගායකයෙක් හැටියට කටයුතු කරගෙන යනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
සාරවිට ගීතයේ රූප රචනාව අද කාලෙට ගැළපෙන විදියට කරන්න ලෑස්ති වෙනවා. ඒ එක්කම ශැඩෝස්ටාර් තරගයේ වීඩියෝ ඔක්කොම තවම මගේ ළඟ තියෙනවා. ඒ දේවල් මගේම යූටියුබ් එකකට දාන්න කටයුතු කරගෙන යනවා. ඒ එක්කම මේ අවුරුද්දේ ජූලි මාසේ මගේ පළමු ප්‍රසංගය පවත්වනවා. ඒ හරහා යමක් නොදුටු රසික රසිකාවියන්ට අලුත් අත්දැකීමක් වෙයි. මේ දිනවලත් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා.