Home » මම තවම රඟපානවා ඒත්… අපි ගැන ලියැවෙන්නෙ නෑ

මම තවම රඟපානවා ඒත්… අපි ගැන ලියැවෙන්නෙ නෑ

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
තුෂාරී කළුබෝවිල

– දැන් වයසත් එක්ක දුවන පනින චරිත කරන්න ටිකක් අමාරුයි
– පුරුදු වෙලා තියෙන්නේ පිටපතක් අනුව රඟපාන්න, ඒ නිසා මෙගා නාට්‍ය මට හරියන්නේ නෑ

ජාතික රූපවාහිනියේ විකාශය වුණු සම්මානනීය ටෙලි නාට්‍යයක් වූ ‘ඇල්ල ළඟ වලව්ව’ නැරඹූ කෙනෙකුට එය කිසි දිනක මතකයෙන් ගිලිහී නොයනු ඇත. එහි වූ කුතුහලය, විචිත්‍රවත් රූ දසුන්, රංගන ශිල්පීන්ගේ අපූරු රංගනයන් ඒ මතකය තුළ තවමත් ඉතිරි ව පවතී. එහි හාමුදුරුවන්‍ගේ චරිතය රඟපෑ ඩිංගිරි බණ්ඩා ගංගොඩතැන්න මේ කතාබහට මුලපුරන්නේ බොහෝ කලකට පසුව ය.

“අපි ගැන ලියවෙනවා බොහෝම අඩුයි. දැන් ඉතින් වයසත් අසූදෙකක් වෙනවා. ලැබෙන චරිතයක් කරගෙන ඉන්නවා. මේ ඊයේ පෙරේදා දවසක දිනුලි දම්සදි දුවගේ ‘ට්‍රිප් එක පාන්දරින්…’ සින්දුවට රංගනයෙන් දායක වුණා. ඒ වගේ වැඩ කිහිපයක් මම කළා. ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑම් අවසන් කළා. මේ දවස්වලත් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.”‍

මාවනැල්ල කෑඳරාගම ඔහුගේ ගමයි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඔහු පාසල් කාලයේදීම රංග කලා කටයුතුවල නියැළෙමින් පාසලේ ජනප්‍රිය ශිෂ්‍ය පිරිස අතරට එක් විය. පාසල් වේදිකාවේ ඔහුගේ මුල්ම රංගනය වූයේ පොතේ ගුරු‍ චරිතයයි.

“පාසලේ සිටි ධර්මකීර්ති සර් කළ නාට්‍යයක මම පොතේ ගුරු හැටියට රඟපෑවා. සිංදු කියන්න නම් හැකියාවක් තිබුණේ නැහැ. නමුත් පාසලේදී නැටුම් කළා. නිදහස් උත්සවය සහ තව උත්සවවලදී පාසල නියෝජනය කරමින් නැටුම්වලට සම්බන්ධ වුණා. තවත් උත්සව, තරග ආදියේදී නටන්න රඟන්න ඉදිරිපත් වෙලා තියෙනවා. කලා කටයුතුවලට වගේම ක්‍රීඩා අංශයෙනුත් දක්ෂතා දැක්වූවා. මගේ අප්පච්චි ඉංග්‍රීසි ගුරුවරයෙක් නිසා ඉගෙනීමට හිතකර පරිසරයක් ගෙදර තිබුණා. මාව ධර්මරාජ විද්‍යාලයේ නේවාසිකාගාරයේ නවත්වලා ඉගැන්නුවා. මාවනැල්ලේ ඉඳලා දවස ගානේ මහනුවර යන්න එන්න කරදර නිසා එහෙම කළා. නේවාසිකාගාරයේ නීති තදයි. හැම දෙයක් ම වෙලාවට කරන්න සිද්ධ වුණා. ඒ නිසා වෙලාවට වැඩ කිරීම පුරුද්දක් වුණා. උසස් පෙළ අවසන් වෙලා මම අප්පච්චිගේ ගොවිතැන් වගා කටයුතුවලට උදව් කළා. අක්කලා දෙන්නෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි, නංගි කෙනෙකුයි මට හිටියා. අම්මා අපිව බලාගෙන ගෙදර හිටියා.”

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු සහ ගංගොඩතැන්න එක පන්තියේ ඉගෙන ගත් ශිෂ්‍යයින් වූ හෙයින් පසු කලෙක ප්‍රසිද්ධ රංගනයට පිවිසීමට පතිරාජයන් නිසා දොරටු විවර විය. පතිරාජයන්ගේ ඇරයුමින් ඔහු ‘ඇල්ල ළඟ වලව්ව’ටෙලි නාට්‍යයේ හාමුදුරුවන් බවට පත්විය. එයින් පසු ගංගොඩතැන්නට ඇරයුම් බොහෝ ලැබිණි.

“ඇල්ල ළඟ වලව්වෙන් පස්සේ කඩුල්ල ‘එළිය අරන්, කුලියට සහ බද්දට, කේතුමතී නෑයෝ, දෙයියන්ගේ රටේ, පබා, බොරලු පාර, ’වගේ ටෙලි නිර්මාණ බොහෝමයක රඟපෑවා. ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. සම්මානත් ලැබුණා. ටෙලිවිව් නිෂ්පාදන රැසකට සම්බන්ධ වුණා. නාලන් මෙන්ඩිස්, ආනන්ද අබේනායක වැනි අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කළා. චිත්‍රපට රංගනයටත් දායක වුණා. ‘අපේ යාළු පුංචි භූතයා, යාළු මාළු, යකඩ පිහාටු, හවුස් ෆුල්, රංජන් රාමනායකගේ චිත්‍රපට කිහිපයකම රඟපෑවා. දැන් වැඩිය මම රඟපෑම්වලට යන්නේ නැහැ. මෙගා නාට්‍ය දෙක තුනකට ගියා. නමුත් මට ඒ රටාව හරිගියේ නැහැ. අපි පුරුදු වෙලා තියෙන්නේ පිටපතක් අනුව චරිත නිරූපණය කරන්නනේ. දැන් ඒ ක්‍රමය බොහෝ තැන්වල නැහැ. ජාතික රූපවාහිනිය සහ තව කිහිපයක මම දන්නා හැටියට තවමත් තිර පිටපත අනුව රූගත කිරීම් කෙරෙනවා. නමුත් දැන් වෙන තැන්වල එහෙම කෙරෙනවා අඩුයි. අමාරු චරිත වුණත් දැන් රඟපාන්න පහසු නැහැ. ‘ජෙරම් ජේසෆ්’ එකේ මගේ චරිතයට ටිකක් දුවන්න එහෙම තිබුණා. ඉස්කෝලේ යන කාලේ හොඳට දිව්වාට දැන් ඉතින් මගේ වයසත් එක්ක දුවන පනින චරිත කරන්න ටිකක් අමාරුයි.”

රඹුක්වැල්ලේ කඩිගමුවෙන් යෝජිත විවාහයක් කර ගත් ඔහුට පුතෙක් සහ දූලා දෙන්නෙකි. මේ වනවිට වැඩිහිටි වයස්වල පසුවන මුණුබුරු මිණිබිරියන් ද සිටී. පුතා ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය. එක් දියණියක් සිටින්නේ මාලබේය. මාවනැල්ලේ නි‍ෙවසේ බිරිය සමඟ ඔහු නිදහසේ විවේකීව ගතකරන අතර දරු මුණුබුරු මිණිබිරියන් නිතර මේ දෙදෙනාගේ සුව දුක් බලන නිසා කිසිදු පාළුවක් කාන්සියක් දෙදෙනාටම නැත. කලා කටයුත්තකට කොළඹ පැමිණි විට දියණියගේ නිවෙසේ නතර වී එම කටයුතු අවසන් වූ වහාම ඔහු යළිත් මාවනැල්ලේ සුපුරුදු නිවෙසටම යන්නේ ඒ ගමත්, වටපිටාවත් ඔහුට සුවදායක නිසාය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division