Home » ආදායම් වාර්තා බිඳ දමමින් ඉදිරියට ආ විකී කෞෂාල් රඟන CHHA AVA

ආදායම් වාර්තා බිඳ දමමින් ඉදිරියට ආ විකී කෞෂාල් රඟන CHHA AVA

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment
කසුන් අරවින්ද

මේ දිනවල වඩාත්ම කතාබහට ලක් වන ඉන්දියානු සිනමා නළුවන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි විකී කෞෂාල්. 36 හැවිරිදි කෞෂාල් සිය වෘත්තිය පිළිබඳ මහත් කැපවීමකින් යුතුව ඉතා සාර්ථක ගමනක් යමින් සිටින නළුවකු වන අතර ඔහුගේ අලුත්ම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගනිමින් ඉතා ඉහළ ආදායම් උපයන්නට සමත් වී සිටිනවා. එ් පසුගිය පෙබරවාරි 14 වැනි දින ප්‍රදර්ශනය ආරම්භ කළ Chhaava චිත්‍රපටය යි.

ඉන්දියානු ඉතිහාසයේ ජීවත් වූ ප්‍රතාපවත් රජ කෙනෙකු පිළිබඳ කතාවක් රැගත් මෙම චිත්‍රපටය මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 600 කට (ලංකා රුපියල් කෝටි 2,000 කට) වැඩි ආදායමක් උපයා තිබෙනවා. 2025 වසරේ මෙතෙක් තිරගත වූ චිත්‍රපට අතරින් වැඩිම ආදායම් උපයා ඇත්තේත් Chhaava චිත්‍රපටය යි. එහි සම්භාජි නමැති රජුගේ චරිතය නිරූපනය කළ විකීගේ රංගනය ද චිත්‍රපටයේ සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබා දී ඇති බව විචාරකයන්ගේ සහ ප්‍රේක්‍ෂකයන්ගේ අදහසයි.

Chhaava නිසා මේ දිනවල විශාල අවධානයක් දිනා සිටින විකී කෞෂාල් ගැන කෙටි සටහනක් මේ.

ඔහු අද හින්දි සිනමාවේ ඉහළම පෙළේ නළුවකු වුවත් විකී නළුවකු වෙනවාට ඔහුගේ පියා වැඩි කැමැත්තක් නොදැක් වූ බව පැවසෙනවා. නමුත් විකීගේ පියාත් සිනමාවට සම්බන්ධ කෙනෙක්. ඔහුගේ නම ෂාම් කෞෂාල්. ඔහු චිත්‍රපටවල ක්‍රියාදාම ජවනිකා අධ්‍යක්‍ෂණය කළ ශිල්පියෙක්. කෙසේ නමුත් විකී වෙනත් ක්ෂේත්‍රයක වඩාත් ස්ථාවර වෘත්තියක නිරත වෙනවාට ෂාම් කැමැත්ත දක්වා තිබුණා.

එ් අනුව විකී තෝරාගෙන තිබුණේ ඉලෙක්ට්‍රොනික සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයයි. එම ක්ෂේත්‍රයේ ඉංජිනේරු උපාධියක් හිමි කරගන්නටත් විකී සමත් වුණා. ඔහු උපාධිය හිමි කරගත්තේ 2009 වසරේයි.

කෙසේ නමුත් මෙය තමාට ගැළපෙන, තමාට තෘප්තියක් ලැබෙන ක්ෂේත්‍ර නොවන බව තේරුම් ගන්නට විකීට වැඩි කලක් ගතව තිබුණේ නැහැ. ආයතනයකට කොටු වී කරන රැකියාවකින් තමාට ආස්වාදයක් නොලැබෙන බවයි විකීගේ අදහස වී තිබුණේ. සිනමාව පැත්තට ඔහුගේ සිත යොමු වන්නට පටන් ගත්තේ මේ කාලයේ යි. එ් කාලයේ ඔහුගේ ප්‍රියතම විනෝදාංශ වූයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සහ චිත්‍රපට නැරඹීම බවත් සඳහන්.

ඉංජිනේරු උපාධියක් අතේ තියාගෙන විකී රඟපෑම ඉගෙන ගන්නට යොමුවුණා. මේ කාලයේම ඔහු වේදිකා නාට්‍ය කණ්ඩායමකටත් සම්බන්ධ වූ බව සඳහන්. විකී මුලින්ම නළුවකු වීමට අවස්ථාව හිමි කර ගත්තේත් වේදිකා නාට්‍යයකිනුයි. එහි නම ‘ලාල් පෙන්සිල්‘. එය වේදිකාගත වූයේ 2011 වසරේයි.

පසුව විකී සිනමාවට සම්බන්ධ වුවත් ඔහු මුලින්ම කටයුතු කළේ චිත්‍රපටවල සහාය අධ්‍යක්‍ෂවරයකු හැටියට යි. ඉන්දියානු සිනමාවේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන අනුරාග් කාශ්‍ය‍ප් අධ්‍යක්‍ෂණය කළ Gangs of Wasseypur චිත්‍රපටයේ සහය අධ්‍යක්‍ෂවරයෙකු ලෙස විකී වැඩ කළා. විකී අනුරාග් සලකන්නේ තමාගේ උපදේශකයකු සහ ගුරුවරයකු හැටියටයි.

විකී කෞෂාල් පළමු වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ චිත්‍රපටය 2015 වසරේ තිරගත වූ Masaan චිත්‍රපටයයි. එයින් පසු ඔහු චිත‍්‍රපට රැසක ඉතා සාර්ථක රංගනයන් හි නිරත වෙමින් සම්මානනීය නළුවකුගේ තත්වයට පත්වුණා.

ඔහුගේ ජීවිතයේ තවත් වැදගත් සිදුවීමක් වූයේ ජනප්‍රිය නිළි කත්‍රිනා කායිෆ් සමඟ යුග දිවියට එළැඹීමයි. කත්‍රිනා සමඟ විවාහ වීමට පෙර ඔහු හාලීන් සෙති නමැති නිළිය සමඟ ආදරයෙන් බැඳී සිටි බව පැවසුණා. එ් 2018 වසරේ යි. 2019 වසරේ ඔවුන්ගේ සම්බන්ධය බිඳ වැටුණු බව සඳහන් වූ අතර 2021 වසරේ විකී කත්‍රිනා සමඟ යුග දිවියට එළැඹුණා.

තමුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන්නට බලපෑ හේතුව ගැන විකීවත්, හාලීන්වත් ප්‍රසිද්ධියේ සඳහන් කර තිබුණේ නැහැ. ඔවුන් එකිනෙකාගෙන් ඈත් වුණේ විකී ගේ -Uri: The Surgical Strike නැමැති චිත්‍රපටය තිරගත වීමෙන් පසුවෙයි. එය අතිශයින් සාර්ථක වූ චිත්‍රපටයක්. එයින් පසු විකී වෙත විශාල අවධානයක් යොමු වන්නට පටන් ගත් අතර ඔහුගේ ජීවිත රටාව තුළ ලොකු වෙනසක් සිදුව තිබුණා. ඔහු සහ හාලීන් අතර සම්බන්ධය බිඳවැටෙන්නට මෙම වෙනස්වීම් හේතු වූ බවටත් එ් දිනවල කතා පැතිරුණා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division