අග්නිදිග ආසියානු කලාපයේ ඉන්දුනීසියානු රාජ්‍යයේ, ඉතා ප්‍රතාපවත්ව වැජඹුණු දැවැන්තම රෙදිපිළි ව්‍යාපාරය ‘ශ්‍රීටෙක්ස්’ මාර්තු 8 වැනිදා වන විට බංකොලොත්භාවයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
දසක 6ක් පමණ ව්‍යාපාර ලෝකයේ මහා ජයටැඹක් වූ ශ්‍රීටෙක්ස් ඇඟලුම් ව්‍යාපාරයේ මේ දැවැන්ත කඩාවැටීම අග්නිදිග ආසියානු කලාපය පමණක් නොව, සමස්ත ලෝකයම කම්පාවට පත් කරවනසුලු පුවතක් විය. ශ්‍රීටෙක්ස් ආයතනයේ සේවය කළ 10,000කට අධික සේවක පිරිසට ද මේ හේතුවෙන් රැකියා අහිමි වී ඇති අතර, එහි සේවකයන්ගෙන් බොහෝ පිරිසක් ජීවිතයේ වැඩි කලක් ඉන්දුනීසියාවේ ශ්‍රීටෙක්ස් ආයතනයේ සේවය කළ පිරිස් වීම අතිශය ඛේදජනකය. ඇත්ත වශයෙන්ම ශ්‍රීටෙක්ස් ආයතනයේ සේවක සේවිකාවන්ට ඒ ආයතනයට කඩාවැටීම ඉතා දුක්බර සිදුවීමක් වූ අතරම, එම ආයතනය හැරයෑම මහත් කම්පා දනවනසුලු අත්දැකීමක් වූ බවට බොහෝ සාක්ෂි ඇත.
“ආදරණීය ශ්‍රීටෙක්ස් ආයතනය, ගත වූ අවුරුදු 24 ඇතුළත ඔබ මාගේ ජීවිතය ඉතාම අපූර්ව වූ ආකාරයෙන් වෙනස් කළේය. ඔබ විසින් මා හට දෙනු ලැබූ නායකත්වයට හා මිතුරු පිරිසටද ස්තුතියි. ශ්‍රීටෙක්ස් ආයතනය, ඔබ නැතිව මට මේ හා සමාන දුරක් පැමිණීමට නොහැකිය.”
මේ ආකාරයෙන් සිය ‘එකස්’ ගිණුමේ සටහනක් තබා ඇත්තේ ශ්‍රීටෙක්ස් ආයතනයේ වසර 24ක් සේවය කළ ශ්‍රී ලෙස්තාරී නම් වූ සේවිකාවකි. දසක 6ක අභිමානය පෙරටු කොටගත් ශ්‍රීටෙක්ස් ආයතනය බංකොලොත්භාවයට පත් වීම හුදු ආර්ථිකමය කඩාවැටීමක් පමණක් නොව, එය ඉන්දුනීසියානුවන්ගේ ආධ්‍යාත්මය හා බැඳුණු බලාපොරොත්තු කඩවීමක් ලෙස හොඳින්ම දිස් වේ.
ශ්‍රීටෙක්ස් ආයතනය සුප්‍රසිද්ධව ඇත්තේ PT-Sri Rejeki Isman යන නමිනි. මේ ආයතනය ඉන්දුනීසියාව තුළ පමණක් නොව, ලෝකයේම ප්‍රචලිත වූයේ ඔවුන් හමුදා නිල ඇඳුම් හා රෙදි සැපයීමේ ප්‍රමුඛයන් වූ බැවිනි. මේ ආයතනයේ හමුදා නිල ඇඳුම්වල ප්‍රධානතම ඉල්ලුම්කරුවන් වූයේ නේටෝ හමුදා හා ජර්මානු හමුදාය. එවන් ආයතනයක් මේ ආකාරයේ බරපතළ කඩාවැටීමකට ලක් වූයේ ඇයි? එය ඉතා සංකීර්ණ ප්‍රශ්නයකි.
කඩාවැටුණේ ඇයි?
ශ්‍රීටෙක්ස්හි කඩාවැටීම ගෝලීය ආර්ථික විශේෂඥයන් හඳුන්වා දී ඇත්තේ, ඉතිහාසයේ මෑතදී සිදු වූ බරපතළම හා විශාලතම නිෂ්පාදන කඩාවැටීම ලෙසයි. අනෙක් අතින් මේ තත්ත්වය සමස්ත ඉන්දුනීසියානු ආර්ථිකයටද එල්ල වූ ප්‍රබලතම පහරක් විය. ශ්‍රීටෙක්ස් ආයතනයේ මූල්‍ය අර්බුදය හටගැනීමේ මූලබීජය සටහන් කළ ප්‍රධානතම සාධකය ලෙස විස්තර වී ඇත්තේ, මේ ආයතනය දිගින් දිගටම මූල්‍ය හිඟයක් වාර්තා කිරීම වන අතර, ඉන්දුනීසියානු අධිකරණය විසින් අවසානයේදී ශ්‍රීටෙක්ස් ආයතනය බංකොලොත් වීම ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මේ බංකොලොත්භාවයට පත්වීමේ ආරම්භය 2020දී සමස්ත ලෝකයම මුහුණ දුන් දරුණු කෝවිඩ් 19 වසංගත කාලය හා සබැඳෙන අතර, ගෝලීය නිෂ්පාදන සැපයුම් ප්‍රවාහයට මේ ඔස්සේ වූ බාධා කිරීම අතිමහත් විය. පාරිභෝගික ඉල්ලුමට සරිලන සැපයුමක් ළඟා කර දීමට අපොහොසත් වන වපසරියක ලෝකයේ සෙසු සමහර නිෂ්පාදන ආයතනවලට මෙන්ම ශ්‍රීටෙක්ස් දැවැන්ත ව්‍යාපාරයටද ඉන්දුනීසියානු මුදල් ඒකකය වූ රුප්ලාහ් ට්‍රිලියන 13.7ක පාඩුවක් සිදු වූ බව එවකට මූල්‍ය වාර්තාවල සටහන් විය.
ඉන්දුනීසියානු මූල්‍ය විශේෂඥයන්ට අනුව 2024 වර්ෂයේ මැදභාගය වන විට ශ්‍රීටෙක්ස් ආයතනයේ සමස්ත ඩොලර් බිලියන 1.6කට (ඉන්දුනීසියානු රුප්ලාහ් 26.2ක්) නැඟ තිබූ අතර, එය 2019 මූල්‍ය හිඟය හා සැසඳෙන විට එය දෙගුණයක් විය.
මුල් අත්තිවාරම
ඉන්දුනීසියාවේ සෝලෝහිදී 1966දී පමණ මුහුමද් ලක්මින්ටෝ ඉතා සුළුවෙන් ඇරඹූ ඔහුගේ රෙදිපිළි සාප්පුව, ක්‍රමයෙන් රෙදිපිළි නිෂ්පාදන ව්‍යාපාර ලෝකයේ පතාක යෝධයකු බවට පරිවර්තනය වීම අදහාගත නොහැකි තරම් විය. පියවරෙන් පියවර දියුණුවේ රන් දොරටු විවර කරගත් ලුක්මින්ටෝ 1968 වන විට පුළුල්ව පැතිරුණු රෙදිපිළි නිෂ්පාදනාගාරයක් බවට පත් කර ගත් ආකාරය විස්මය ජනකය.
ඉතා ක්‍රමවත්ව ඉදිරියට රැගෙන ආ ශ්‍රීටෙක්ස් නිමි ඇඳුම් ව්‍යාපාරය, පළමුව ඉන්දුනීසියාවේ හමුදා බළකායන්ට නිල ඇඳුම් සැපයීම ඇරඹූ අතර, ඉන් නොනැවතී නේටෝ හමුදා නිල ඇඳුම් ද ජර්මන් හමුදා නිල ඇඳුම් ද මහා පරිමාණව සැපයීම ඔස්සේ ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළ නමක් රැන්දූ අතර, ඉන්දුනීසියානු ආර්ථිකයටද ශ්‍රීටෙක්ස් මඟින් ලැබුණු දායකත්වය ඉතා විශාලය.
ශ්‍රීටෙක්ස් කඩාවැටීම හා ඉන්දුනීසියානු ආර්ථිකය
ඉන්දුනීසියානු ආර්ථික බලධාරීන්ට අනුව ශ්‍රීටෙක්ස් ආයතනයේ බංකොලොත්භාවය ඉන්දුනීසියානු දළ දේශීය නිෂ්පාදිතය 0.1%කින්ද කලාපීය දළ දේශීය නිෂ්පාදිතය 0.5%කින්ද අහෝසි වීමට හේතු වී ඇති බව CELIOS තක්සේරු කර ඇත. නිමි ඇඳුම් හා රෙදිපිළි නිෂ්පාදනයේ පතාක යෝධයකු බඳු වූ ශ්‍රීටෙක්ස්හි මේ කඩාවැටීම ඉන්දුනීසියාවට ඉතා සුළුවෙන් බල නොපාන අතර, එය ඉතා පුළුල් පරාසයකින් යුතුව ඉන්දුනීසියානු ආර්ථික හා සමාජීය බලපෑමක්ද එල්ල කර ඇත.
මේ තත්ත්වය මත ඉන්දුනීසියාව තුළ කෙරෙන විදේශීය ආයෝජන ප්‍රවාහයන්ද අනතුරකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ ආකාරයෙන් අභ්‍යන්තර ආර්ථික කඩාවැටීම් සිදුවීම අබියස ඉන්දුනීසියානු ආර්ථිකය පිළිබඳ ආයෝජකයන්ගේ විශ්වාසය, සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලු උද්ගත වීම මෙහි යථාර්ථයයි. ශ්‍රීටෙක්ස් ආයතනයේ සිදු වූ බංකොලොත්භාවය පිළිබඳ සිදුවීම ඉන්දුනීසියානු ඉතිහාසයේ සිදු වූ විශාලතම නිෂ්පාදන ක්ෂේත්‍රයේ බංකොලොත්භාවය හා සම්බන්ධ සිදුවීම ලෙස ඉතිහාස පොතට එක් වී ඇත. පවතින ගෝලීය වෙළෙඳපොළ යුද්ධයකට සැරසෙන ට්‍රම්ප් පරිපාලනයේ දෙවැනි කාර්තුවේ සිදු වූ මේ ඉන්දුනීසියානු කඩාවැටීම සමස්ත අග්නිදිග ආසියානු කලාපයටම ප්‍රබල අනතුරු ඇඟවීමක් වී ඇත.
රජයේ මැදිහත් වීම
සේවක සංඛ්‍යාව 12,000කට වැඩි පිරිසකට සිය රැකියා අහිමි වූ ශ්‍රීටෙක්ස්හි කඩාවැටීම, හමුවේ ඉන්දුනීසියානු ජනපති ප්‍රබෝවෝ සුබියන්තෝ ඇතුළු රජයට එය ඉතා විශාල බලපෑමක් එල්ල කළ අතර, ඉන්දුනීසියානු රජයද මේ තත්ත්වය සමනය කිරීම උදෙසා විශාල වෑයමක් දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ජනපති සුබියන්තෝ මේ පිළිබඳ කටයුතු කිරීමට අමාත්‍යවරුන් හතර දෙනකුගෙන් යුතු කමිටුවක සහාය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ශ්‍රීටෙක්ස් ව්‍යාපාරය හා ඊට සම්බන්ධ සෙසු සමාගම්වල ද සිදු වූ මේ බිඳවැටීම, අබියස මේ වන විට මතු වී ඇති කතිකාව නම් රජය හා රක්ෂණ නියෝජිතයන් මේ තත්ත්වය හමුවේ ගැටලුවට පත්ව ඇති පුද්ගලයන් වෙනුවෙන් ඒ පීඩනය සමනය කිරීමට කටයුතු කිරීම අනිවාර්ය අංගයක් බවයි. ඉන්දුනීසියාවේ ශ්‍රමශක්ති අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කර ඇත්තේ, ශ්‍රීටෙක්ස් හා සම්බන්ධව සේවය කළ වැඩිහිටි වයස් පුද්ගලයන්ට ඔවුන්ට හිමි විය යුතු දීමනාවන් නිසියාකාරව දීම හා රැකියා අහිමි වූවන්ට ඒ අදාළ වරප්‍රසාද දීමට කටයුතු කරන බවට පොරොන්දු වී ඇති බවයි.
අනාගතය
ශ්‍රීටෙක්ස් ආයතනයේ, බංකොලොත්භාවයටපත්වීම හේතුවෙන් උද්ගත වූ අර්බුදයට පිළියමක් ලෙස එහි වත්කම් ලීසිං ක්‍රමවේදයක් යටතට පසු කිරීමෙන් ශ්‍රීටෙක්ස්හි වත්කම්වල වටිනාකම පහළ යා නොදී රැක ගැනීමේ පිළිවෙතක් එහි භාරකරු විසින් අනුගමනය කිරීමට සැලසුම් කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය දක්වා තිබිණි. මේ අතර ඉන්දුනීසියානු නව රජය විසින් ශ්‍රීටෙක්ස්හි රැකියා අහිමි වූ විශාල පිරිසට මතු වී ඇති අර්බුදය හමුවේ වෙනත් රැකියා අවස්ථාවන් උදා කරදීමේ කටයුත්තක් සම්පාදනය කර ඇති බව විස්තර වේ.
ශ්‍රීටෙක්ස් බඳු රෙදිපිළි ව්‍යාපාරයේ පතාක යෝධයකු මේ අයුරින් කඩා වැටීම පිළිබඳ විවිධ පැතිකඩ ඔස්සේ අදහස් එල්ල වී ඇත. භීමා යුදිස්ත්‍රියා නම් ආර්ථික හා නීති අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර ඇත්තේ, රෙදිපිළි කර්මාන්තයේ මේ ආකාර පසුබැස්මකට අධික වියදම් මත පදනම් වූ තරගකාරි නිෂ්පාදන ක්‍රියාවලිය, ඊට නොගැළපෙන රාජ්‍ය ප්‍රතිපත්ති හා පොලී අනුපාත වැඩි වීමද සැලකිය යුතු බලපෑමක් එල්ල කර ඇති බවයි.
මේ සියලු ආකාර තත්ත්ව තුළ පැහැදිලිවම පෙනී යන්නේ ඉදිරියේදී ගෝලීය වශයෙන් උද්ගත විය හැකි වෙළෙඳ හා ආර්ථික ප්‍රවාහයන්ගේ කැලඹීම් අබියස කලාපීය වශයෙන් ඒ ඒ රාජ්‍යයන් ස්ථාවර ආර්ථික හා දේශපාලනමය ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කිරීම සිදු විය යුතුම කරුණක් බවයි.
පී.ආර්. දුෂාන්ති සිල්වා