මාලිමා දේශපාලන සමාජ ආර්ථික ගමනේ දෙවැනි ප්‍රධාන බාධකය වන්නේ සමාජ විෂමතාවයි. ඈත පිටිසර සමහර ජන කණ්ඩායම් පසුගාමි ධනේශ්වර ආර්ථික ක්‍රියාවලියෙන් මුළුමනින්ම පිටස්තරය. එවන් ජනතාවක් රටක් ගොඩනඟන ක්‍රියාවලියට දායක නොවේ නම් විය හැක්කේ ඔවුන් දැනට පවතින යැපුම් ආර්ථික න්ද දුරස් වී සහනාධාර මානසිකත්වයට කොටුවීමයි
මාලිමා ආණ්ඩුවේ මුල්ම අය-වැය කතාව පෙබරවාරි 17 ඉදිරිපත් කොට අවසන්ය. විපක්ෂය ඒ පිළිබඳ ඉතා කලබලයෙන් එහෙත් දුර්මුඛ ස්වරයෙන් ආඩපාලි කියයි. සජබ නායක (නොහොත් සජබ කොළඹ දිස්ත්‍රික් නායක) සජිත් ප්‍රේමදාසට අනුව අය- වැය ඉතා කුඩා කේක් එකකි. අපි වාමාංශික යැයි කියා ගන්නා පසුගාමි සමහරුන්ට මේ අය-වැය දක්ෂිණාංශික එකකි. නැව් පිටින් ගිලපු රෝහිතට නම් ඔරුවකි. තව තව බොහෝ අයට අවුලකි.
සියලු අවුල්, විවේචනයේ සමාන අර්ථයෙන් එක පිලකය. සජිත් අසන්නෙත්, නාමල් අසන්නෙත්, රනිල් අසන්නෙත්, වමේ කියා ගන්නා පසුගාමින් අසන්නෙත් මේක වමේ අය-වැයක්ද? අයිඑම්එෆ් අය- වැයක්ද යන්නය. මෙම ප්‍රශ්න දෙක මේ සියල්ලන්ටම ‘අය- වැයේ පොදු සාධකය‘ වීම දේශපාලන අනාවැකියකි. එයින් කියැවෙන්නේ දෘෂ්ටිමය වශයෙන්ද මේ සියලු විපක්ෂ කණ්ඩායම් එක්ව සිටින බවය. අය-වැය පිළිබඳ දක්ෂිණාංශික මරහඬ මෙන්ම වමේ අවස්ථාවාදි විලාපද පසෙක තබා මෙහි දිශානතිය ජනතාවාදී ද නැතිද විමසා බලමු. ඒ, ජනතාවාදි ආණ්ඩුවක අය-වැය වැදගත් වන්නේ එරට ජනතාවට පමණක්ම බැවින්ය. ආණ්ඩුවේ ඉදිරි දැක්මද තේමාවද වන්නේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්‘ යන්නය.
ජනතාවාදි අය-වැයක් ඉල්ලා සිටින දේශපාලනික අවශ්‍යතාව
අය-වැයක් යනු රටක ආදායම් (මෙවර ආදායම යනු ආදායම සහ ප්‍රදාන රු බිලියන 4,990කි.) සහ වියදම් (මෙවර වියදම රු බිලියන 8,835කි.) හුවා දක්වන්නක්ය යන්න බොළඳ අර්ථකථනයකි. සැබවින්ම අය- වැයක් යනු එම රටේ ආර්ථික, සමාජීය හා දේශපාලන ඉදිරි ජීවිතයේ පූර්විකාවයි. ආණ්ඩුවක් තම ප්‍රතිපත්ති මත පිහිටා ජනතාවගේ අනාගතය ගෙන යන්නේ කොතැනට දැයි එයින් ඇඟවේ. ‘අය- වැයේ දිශානතිය කුමන ආර්ථික මොඩලයක් වෙතටදැයි‘ යන්න ඉතා වැදගත් කාරණයකි. වත්මන් පාලනයේ ආර්ථික මොඩලය ‘ජනතාවාදි සැලසුම්සහගත නිෂ්පාදනීය ආර්ථිකයක්‘ බව බැලූ බැල්මට දැකිය හැකිය. මෙය සම්ප්‍රදායික ආර්ථික මොඩලයන්ගෙන් වෙනස් බව අවිවාදිතය. කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය මූලික කරගනිමින් භාණ්ඩ හා සේවා වර්ධනය කරන ‘නිෂ්පාදන ආර්ථිකයක්‘ගොඩනැඟීම යනු ආනයනයට වඩා අපනයනය ඉහළ දමන එකකි. දේශීය වශයෙන් ආර්ථිකය පුළුල්වීමකි. ජාත්‍යන්තර ආර්ථිකයේ ලාංකේය පංගුව ලෙස විදේශ විනිමය සංචිතය ඉහළ නංවාගැනීමකි. අය- වැය ජනතාවාදි එකක් යනු ජන සහභාගීත්වය පුළුල් වන සහ ජන අභිලාෂ යහපත් කරන ආර්ථිකයක් යන්නයි. රටක ‘සංවර්ධනය‘ යනු නූතන තාක්ෂණය හරහා නිෂ්පාදන ඵලදායිතාව වැඩිකරමින් මිනිස් ශ්‍රමයේ වෙහෙස සහ වැඩකාලය අවම කිරීමයි. විවේකය, විනෝදය, අධ්‍යාපනය සහ සංස්කෘතික ජීවිතයට වෙන් කරන කාලය වැඩිකිරීමයි. එමෙන්ම රටක ‘සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව සමාජ සන්තකවීම‘ ද ජනතාවාදි ආර්ථිකයක ලක්ෂණයකි. ආර්ථිකයේ ‘සැලසුම් සහගත බව‘ යනු සාමූහික සමාජ මිනිස් ශ්‍රමය මඟින් නූතන තාක්ෂණය හරහා සමාජ නිෂ්පාදනය ඉදිරියට ගනිමින් නිෂ්පාදන හා වෙළෙඳපොළ ඒකාධිකාරි, මාෆියා, පාතාල පරදවා සාමූහික නිෂ්පාදන හා වෙළෙඳපොළ සැලසුම්සහගතව ඉහළ නැංවීමයි. එනම්, ‘අන්ධ වෙළෙඳපොළ ආර්ථිකය ‘වෙනුවට ‘දුර දක්නා සැලසුම්සහගත ආර්ථිකයක්‘ ස්ථාපිත කිරීමයි. මේ සියල්ල එක අය- වැයෙන් අවසන් නොවන දිගු අනාගත ක්‍රියාදාමයකි. මෙන්න මේ ‘ජනතාවාදි සැලසුම්සහගත නිෂ්පාදන ආර්ථිකයේ‘ වුවමනාව විසින් ‘ජනතාවාදි අය- වැයක්‘ ඉල්ලා සිටී. ජනතා පාලනයක කාර්යභාරය වන්නේ ඒ සඳහා ප්‍රතිපත්තිමය මඟපෙන්වීම, පහසුකම්, සම්පත්, ආරක්ෂාව සහ මිනිස් බලය සපයා දීමයි.
රට බංකොලොත් බවින් මුදාගෙන පුනරුදයට පා තැබීමේ පළමු පියවර
ඉදිරිපත් වූ අය වැයෙහි ‘මූලික වැටුප් වැඩිවීම්‘ (වැටුප්, වේතන හා විශ්‍රාම වැටුප් සඳහා වෙන් කළ මුදල පිළිවෙලින් රු. බිලියන 1,232 හා රු. බිලියන 401කි.)යන්න විපක්ෂයේ විවිධ විකෘති අර්ථකථනයන්ට ලක්විය. ඒ කලබලය මැද අය- වැයට වඩා ඉස්මතු කරන්නට උත්සාහ කළේ වැටුප් වැඩි නොවුණු බවය. එම බොරුව බොඳ කරමින් අය- වැයෙහි යහපත් දිශාව මතුකරගන්නට මාලිමා පාලනය සමත්ව තිබේ. නමුත් මෙම අය- වැය ඉදිරිපත් වන අවස්ථාවේ විපක්ෂය පවතින්නේ කුමන තත්ත්වයකද යන්න ඉස්මතු කරන ප්‍රබල උදාහරණයක් බවට මෙම විපක්ෂයේ ඉක්කාව සැලකිය හැකිය. 2022 අප්‍රේල් 12 ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස නම් කළේ අසාර්ථක ගෝඨාභය පාලනයේ දී ය. එවකට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂය. රට බංකොලොත් යැයි නිල වශයෙන් ප්‍රකාශ කළේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ය. එයින් පසු එළැඹි පීඩනය හා අරාජිකත්වය දරාගත නොහැකි ජනතාව විසින් එම පාලනය පලවා හරින ලදි. එයින් පසු පලා ගිය පාලනයේ නටබුන් විසින් අත් ඔසවා පත්කොට ගත් ප්‍රභූ පන්තියේ ගැලවුම්කාර රනිල් වික්‍රමසිංහ රට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දැඩි කොන්දේසිවලට යටත් කළේය. නව පාලනය පැමිණ රට බංකොලොත් තත්ත්වයෙන් යම් ඉහළකට ඔසවා තැබීමට සමත් විය. 2022 අප්‍රේල් 12 වනතුරු ශ්‍රී ලංකාව ණය පොලී ගෙවන්නට පවා ණයගත් රටකි. බංකොලොත් බව ප්‍රකාශ කළ දිනයේ පටන් ණය හෝ පොලී නොගෙවූ රටකි. දැන් 2028 නැවත ණය ගෙවීම ආරම්භ කළ යුතුය. වැටුප් වෘත්තිකයා පිළිබඳ සලකා වැටුප් වැඩි කළද එය පියවා ගැනීමට ආණ්ඩුවට ආර්ථික වෙහෙසක් සහ යම් අවදානමක් ගැනීමට සිදුවේ. එසේ වන්නේ නිෂ්පාදන ආර්ථිකය තුළින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ නංවා අපනයන වර්ධනය හරහා ආදායම් උපයමින් ඒ ප්‍රතිලාභ ජනතාවට බෙදී යාමේ මූලධර්මය මත වැටුප් වැඩිවීමක් සිදුකිරීමට තරම් වයසක් නව පාලනයට තවම නොමැති නිසාය. ඒ අනුව රටේ ආදායම් ඉහළ නොයද්දී වැටුප් වැඩිවීමේ මස් රාත්තලම ඉල්ලා සිටින්නට විපක්ෂය ගැති වෘත්තීය සමිති පෙලඹෙන්නේ විවිධ ආර්ථික, සමාජයීය සහ දේශපාලන සාධක බලපෑමෙන්ය. ජීවින බර ඉහළ යෑම ප්‍රමුඛව වැටුප් විෂමතා, බහුජාතික සමාගම් විසින් මනසේ අධිනිෂ්චය කළ (වාහන) සිහින, ශ්‍රේණි ගැටුම්, වෘත්තීය ග්‍රෝත්‍රවාද යන බොහෝ සාධක හේතුවේ. එයින් සමාජ ආර්ථික කාරණා හැර ඉතිරි සියල්ල සමාජ පසුගාමිත්වයේ ප්‍රකාශ වීම්ය. මේ පළමු අය- වැයෙන් ඇරැඹි මාලිමා දේශපාලන ආර්ථික විද්‍යා ගමනේ එක් ප්‍රධාන බාධකයක් වන්නේ මෙම සමාජ පසුගාමිත්වයයි. අතිකාල, නිවාඩු දින වැටුප් ආදියෙහි ප්‍රතිශතය වෙනස් වුවද වැටුප් පොදු සාමාන්‍යයක් ලෙස ඉහළ යෑම නොවැටහෙන්නේ මේ පසුගාමිත්වය හා ගතානුගතිකත්වය නිසාවෙන්ය.
මාලිමා දේශපාලන සමාජ ආර්ථික ගමනේ දෙවන ප්‍රධාන බාධකය වන්නේ සමාජ විෂමතාවයි. ඈත පිටිසර සමහර ජන කණ්ඩායම් පසුගාමි ධනේෂ්වර ආර්ථික ක්‍රියාවලියෙන් මුළුමනින්ම පිටස්තරය. එවන් ජනතාවක් රටක් ගොඩනඟන ක්‍රියාවලියට දායක නොවේ නම් විය හැක්කේ ඔවුන් දැනට පවතින යැපුම් ආර්ථිකයෙන්ද දුරස් වී සහනාධාර මානසිකත්වයට කොටුවීමයි. රටේ ජාතික ධනය ඉපැයීමට දායක වන ජනතාවට එසේ නොවන ජනතාවක් නඩත්තු කරන්නට සිදුවේ. මෙම සමාජ විෂමතාවය පැරැදවීම ජාතික ආර්ථික සැලැස්මකට රට ගෙනයාමට පහසු කරයි. රටක මිනිසුන් අතර වන සම්ප්‍රදායික සහ විෂම සමාජ ආර්ථික සබඳතා වෙනස් කිරීමෙන් පමණි ඔවුන් සාමූහික, නිදහස්, තෘප්තිමත් සමාජ සත්වයකු බවට පත් වන්නේ.
තාක්ෂණය සොයා ගන්නේ මිනිස් සමාජයයි. එය වර්ධනය කරන්නේ මිනිස් සමාජයයි. එහෙත් එයින් වැඩිපුර ප්‍රතිලාභ ලබන්නේ බහුජාතික සමාගම් ප්‍රාග්ධන බලයයි. තාක්ෂණය මිනිස් වර්ගයාගේ ජීවිතය පහසු සහ වේගවත් කරන්නක් වෙනුවට ශ්‍රම සූරාකෑම තීව්‍ර කරමින් අධික ලාභ ලබන්නට එය ඉවහල් වී ඇත. ආර්ථික සාධාරණත්වය හරහා විය යුත්තේ මානව වර්ගයාගේ උසස්තම තාක්ෂණික දැනුම සමාජගත වී මානව ජීවිතය පහසු, විවේකී, තෘප්තිමත් එකක් වීමයි. කොටින්ම තාක්ෂණය සමාජ ධනයක් විය යුතුය.
මෙන්න මේ සමාජ ප්‍රගමනයට බාධාකරන සමාජ ආර්ථික සාධක පරාජය කරමින් අතීතකාමි උගුලෙන් සමාජය මුදවා නූතනත්වය සමඟ අතීත වටිනාකම් අගයමින් සමාජ ආර්ථික හා තාක්ෂණික ඉදිරි පිම්මක් ගැනීම පුනරුදය නම් වේ. එය සංකල්පයකට වඩා ක්‍රියාකාරිත්වයකි. රට නූතනත්වයට ගෙන එමින් එහි ප්‍රතිලාභ සමාජ සන්තක කරන නිවැරැදි දෘෂ්ටියක් සහිත මෙහෙයුමකි.
අය-වැය සංඛ්‍යා දත්තවලින් කියවෙන
ගුණාත්මක අනාගතයක අදිටන
ඉහත අරමුණු හා අය- වැය වෙන් කිරීම් සමපාත වන්නේ කෙසේද? එය පහසු කරගැනීමට මෙම ආණ්ඩුව විසින් එකිනෙකට අන්තර් සම්බන්ධිතව සහ අන්තර් ක්‍රියාකාරිත්වයක් සහිතව තම අවසන් අරමුණ ඉලක්ක කොට යෙදවෙන මාවත් තුන කියවා ගත යුත්තේ කෙසේද? එම මාවත් තුන වන්නේ
•ග්‍රාමීය දුප්පත්කම නැති කිරීම.
•Clean Srilanka වැඩසටහන
•ඩිජිටල්කරණය
මෙයට ඉහත අනු මාතෘකාවේ කතා කළ සමාජ ආර්ථික ජීවිතයේ ප්‍රධාන බාධකවලට මෙම මාවත් තුළින් විසඳුම් පෙන්වා ක්‍රියාත්මක කරනු ඇත.
සමාජ විෂමතා පරාසය ක්‍රමයෙන් පටු කරමින් ඉදිරියට යෑමට ග්‍රාමීය දුප්පත්කම නැති කිරීමේ සමාජ මෙහෙයුම වැදගත් වනු ඇත. බස්නාහිර පළාතට, විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව කේන්ද්‍ර වී තිබෙන ආර්ථික මධ්‍යස්ථාන සහ මෙහෙයුම් සැලසුම් සහගතව රට පුරා ව්‍යාප්ත කිරීම ඔස්සේ සමාජ විෂමතාව අඩු කිරීම මෙහි අරමුණයි. ලෝක පරිමාණයෙන් මානව සමාජය දිනා සිටින සියලු ජයග්‍රහණයන්ට ඈත පිටිසර ජනතාවද හවුල්කරුවන් වීම සහ එහි ප්‍රතිලාභවල බුක්ති විඳින්නන් බවට පත් කිරීම මෙහි අරමුණයි.
ක්ලීන් ශ්‍රී ලංකා තුළින් සමාජය භෞතිකවත්, සමාජයීය ජීවිතය ලෙසත්, ආර්ථික හා අධ්‍යාත්මික ජීවිතය ලෙසත් පිරිසිදු කිරීම අරමුණු වේ. පිරිසිදු බව යන්න අභ්‍යන්තර සහ බාහිර දෙයාකාරයෙන්ම සමාජ පුරුද්දක් හෙවත් සංස්කෘතියක් බවට පත්කිරීම මෙහි වැදගත් කාරණයයි.
ඩිජිටල්කරණය විසින් මානව සමාජය පටු පෞද්ගලික අනන්‍යතා පෞරුෂයක සිට සාමූහික පුළුල් අනන්‍යතා පෞරුෂයකට පරිවර්තනය කරයි. එයින් ‘මම‘ නම් සමාජ විරෝධී පටු සංකල්පය වෙනුවට ‘මානව සමාජය‘ නම් මිනිස් පැවැත්ම තහවුරු කරන පොදු සංකල්පය ඉදිරියට ගෙන එනු ලබයි. එවිට තනි තනි මිනිසුන් යොදා ගොතන ලද විවිධ එහෙත් පොදු පුළුල් ගෙත්තමක් බවට සමාජය පත්වෙයි.
නිපදවන්නේ වැඩකරන ජනතාව සාමූහිකවය. එහි ඵල බෙදා ගන්නේද සාමූහික සමාජයක් ලෙසය. ඒ සඳහා මෙම ඩිජිටල් ස්නායු හා රුධිර වැල් පද්ධතිය සමාජයට මනා පිටිවහලක් වනු ඇත.
මේ සියල්ල වෙනුවෙන් හැකි උපරිමයෙන් නොවැළැක්විය හැකි සීමා සහිත පහත විශේෂ මුදල් වෙන් කිරීම්වලට අමතරව තවදුරටත් මුදල් වෙන් කිරීම් අය- වැය තුළින් දැකිය හැකිය. 2025 අය- වැය තුළින්
•නිෂ්පාදන ආර්ථිකයේ වුවමනාව වෙනුවෙන් නීරෝගි ශ්‍රමික පරපුරක පැවැත්ම උදෙසා රුපියල් බිලියන 640ක්
•කායික හා මානසික වශයෙන් පරිණත පුහුණු ශ්‍රමික සමූහයක් වෙනුවෙන් විෂම නොවන අධ්‍යාපන අයිතිය
උදෙසා රුපියල් බිලියන 619ක්
•ආරක්ෂිත, කාර්යක්ෂම, සුවපහසු ප්‍රවාහන ක්‍රමයක
අයිතිය වෙනුවෙන් රුපියල් බිලියන 483ක්
•අඛණ්ඩ පෝෂිත සමාජ පැවැත්ම උදෙසා ආහාර සහ පෝෂණ සුරක්ෂිතතාව වෙනුවෙන් රුපියල් බිලියන 254ක්
•මානව සමාජ රැකවරණය සහ සමාන පැවැත්මේ අයිතිය උදෙසා සාමකාමි සහ සාධාරණ සමාජයක් වෙනුවෙන්
රුපියල් බිලියන 278ක්
•ආර්ථික සේවා සහ ව්‍යවසායකත්වය සඳහා
රුපියල් බිලියන 99ක්
•ආරක්ෂිත බලශක්ති සැපයුම සහතික කිරීමට
රුපියල් බිලියන 21ක්
•සමාජ ආරක්ෂණ පද්ධතියක් සහතික කිරීම උදෙසා
රුපියල් බිලියන 749ක්
•ජනතාවාදි රාජ්‍ය සේවයක මානවවාදි මෙහෙයුම් උදෙසා රුපියල් බිලියන 296ක් වෙන් කොට තිබේ.
ග්‍රාමීය දුප්පත්කම නැති කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා සහ ඩිජිටල්කරණය එකිනෙක හා සම්බන්ධිතය. එම ත්‍රිත්වය එකිනෙක මත අන්‍යොන්‍ය ක්‍රියාවක් හා බලපෑමක් සහිතය.
මෙවර අය- වැය හුදු රටක ආදායම් වියදම් වාර්තාවකින් එහා ගොස් ජනතාවට ආණ්ඩුව දෙන්නේ මොනවාද? නොදෙන්නේ මොනවාද? යන්නෙන් ද එහා ගොස් රටක් ගොඩනඟන දිගු සැලසුම්සහගත ගමනකට පළමු පියවරක් වී ඇත. ඉදිරියේ තව බොහෝ අවංක හා අධිෂ්ඨානශීලි පියවර අවශ්‍ය වනු ඇත.
lඩී. එච්. වික්‍රමරත්න