පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 6 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර තිබේ. එහිදී මහා නගර සභා 27ක් නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 274ක් වශයෙන් පළාත් පාලන ආයතන 337ක් සඳහා සභිකයන් තෝරාගනු ඇත. 20 වනදා පැවති නාම යෝජනා භාර දීමේදී අපේක්ෂක ලැයිස්තු 17ක් ප්‍රතික්ෂේප වී තිබිණ. මෙවර උතුරු පළාතේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වී නැත. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ජනතාව ලද ජයග්‍රහණයකි.
පුංචි ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ 2023 මාර්තු මාසයේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එය දින නියමයක් නැතිව කල් දැමුවේය. පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයද නියෝග කළේය. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට ඇති නිසා පුංචි ඡන්දය පැවැත්වීමට නොහැකි බව පවසමින් දෙවැනි වරද එය ලිස්සා හැරියේය.
නව රජයේ බලයට පත් වීමත් සමඟ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පවසා තිබුණේ 2025 මුල් කාර්තුවේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන දීර්ඝ කාලයක සිටම පාලනය වූයේ මහජන නියෝජනයකින් තොරවය. මහා නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා කොමසාරිස්වරුන් යටතේ පාලනය වීම හේතුවෙන් ජනතාවට ලැබිය යුතු සේවය නිසියාකාරව සිදු වූයේ නැත.
පළාත් පාලනයට ප්‍රජාතන්ත්‍රවාදි නියෝජනයක් ලබාදීම තවදුරටත් කල් තැබීමට හේතුවක් තිබුණේද නැත. ව්‍යවස්ථාවට අනුව පළාත් පාලන මැතිවරණය අවසන් වරට පවත්වන ලද්දේ 2018 වර්ෂයේය. නියමිත කාලය වූ අවුරුදු 4 අවසන් වීමෙන් පසු 2022 මාර්තු 18 පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව තිබිණි. එහෙත් එම අවස්ථාවේ පළාත් පාලන ඇමතිවරයාට ඇති බලතල අනුව මැතිවරණය පැවැත්වීම වසරකින් – එනම්: 2023 මාර්තු 19 දක්වා – කල් දමන ලදි.
මැතිවරණ කොමිසම 2023 මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පවත්වනු පිණිස නාම යෝජනා භාර ගත්තේය. 2023 අප්‍රේල් 25 දින ඡන්දය පැවැත්වීමට දින නියම විය. එසේ වුවද අප්‍රේල් 11 වැනිදා කොමිසම නැවත නිවේදනය කළේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නිකුත් කර නැති බැවින් එදින පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මඟහැරීම පිටුපස සිටියේ අන් කිසිවකුත් නොව, ජනාධිපති සහ මුදල් ඇමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහය. ශ්‍රී ලංකාවේ ජන මතය විප්ලවීය පරිවර්තනයකට යොමු වෙමින් තිබෙන බව රනිල් වික්‍රමසිංහ වටහාගෙන සිටියේය. ඔහු ඡන්දය පවත්වනවාට බියෙන් තුරුම්පු ගණනාවක් ගැසුවේය. පොහොට්ටුව සමඟ ගැට ගසාගෙන තිබූ ඔහුගේ ආණ්ඩුව මැතිවරණයක් පැවැත්වුව හොත් බිඳවැටෙන බව දැන සිටි ඔහු එය වැළැක්වීම සඳහා දන්නා සියලු උපාය උපක්‍රම යෙදුවේය. “සල්ලි තිබුණොත් ඡන්දෙ තියනවා; සල්ලි නැත් නම් ඡන්දෙත් නෑ!” යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය. පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරය මුදල් රුපියල් ලක්ෂ 1,310ක් වියදම් කිරීමෙන් පසු ඔහු පුංචි ඡන්දය හමස්පෙට්ටියට දමා වැසුවේය.
මෙනයින් පුංචි ඡන්දය වැළැක්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිතුවක්කාරි ක්‍රියාවකි. ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන මෙන් හිටපු ජනාධිපති රජයේ මුද්‍රණාලයාධිපතිනියට බලපෑම් කළ අයුරු රටම දනී. දැන් ජනාධිපති අනුර කුමාර දිසානායක නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන්ගෙන් සමහරු මේ වන විට ජීවතුන් අතර නැත. වාර්තා වන අන්දමට අපේක්ෂකයන් 41 දෙනකු පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට තේරී පත්ව තිබිණි. ඇතැම් අපේක්ෂකයන් නාමයෝජනා භාර දුන් දේශපාලන පක්ෂ මේ වන විට අහෝසි වී ඇත. හොඳම උදාහරණය හෙලිකොප්ටර් සන්ධානයයි. ඊට සිදු වූයේ කුමක්ද යන්න පක්ෂයේ නායකයෝ පවා නොදනිති.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නැවතත් නාමයෝජනා කැඳවීමට සිදු විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු නියෝගයේ සඳහන් වූයේ මැතිවරණ කොමිසම විසින් භාර ගන්නා ලද නාමයෝජනා අනුව මැතිවරණය පැවැත්විය යුතු බවයි. ඒ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම සිදු විය.
ශ්‍රී ලංකාවේ දැවැන්ත දේශපාලන පරිවර්තනයක් සිදු කිරීමට ආණ්ඩුව ජනතාවට ප්‍රතිඥා දී ඇති බැවින් මේ සියල්ල ඉතා කඩිනමින් සිදු කොට ආණ්ඩුව ගමේ පාලනයට ප්‍රජාතන්ත්‍රවාදි මුහුණුවරක් දීමට කටයුතු කර තිබේ. සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක් පැවැත්වීම සඳහා ජනතා සහාය දෙන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත.