Home » ගොළුවාගේ මොළෙන් හැදුණු ගොළුමලේ බලන්න යමු

ගොළුවාගේ මොළෙන් හැදුණු ගොළුමලේ බලන්න යමු

by sachintha
March 23, 2025 1:00 am 0 comment

අපේ රටේ සංචාරක ස්ථාන රැසක් නිර්මාණය වී ඇත්තේ අතීත රජ දවසේ කතාන්දර සමඟ වීම නිසා ඒ සංචාරක ස්ථානවල ආකර්ෂණය බොහෝ දුරට වැඩි වී ඇත. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ බොහෝ ස්ථානයන්ට නම් ගම් පවා ලැබී ඇත්තේ රජදවසේ සිදුවීම් හා රජවරුන්ගේ නම් ඇතුළත් කිරීමෙනි. ‘වලපනේ’ ද එවැනි නගරයකි.

රාවණා රජු විසින් සීතා කුමරිය පැහැරගෙන ඒමෙන් පසු ඇය වැලපුණු ප්‍රදේශය නිසා ‘වලපනේ’ වූ බව එක් මතවාදයක් ඇත. එසේම වළවල් 50කින් සමන්විත ප්‍රදේශයක් වූ හෙයින් ‘වල පනහ’ හෙවත් වලපනේ නම් වූ බවත් සඳහන්ය.

මේ වලපනේට නුදුරින් පිහිටි විශේෂිත වූ සංචාරක ස්ථානයකට අද අපි ඔබ කැඳවාගෙන යන්නෙමු.

වලපනේ සිට නිල්දණ්ඩාහින්න හරහා කිලෝමීටර් 23ක දුරක් ගෙවා මේ ස්ථානයට ළඟා විය හැකිය. ඒ ‘ගොළුමලේ’ ටය. ගොළුමලේ තවමත් බොහෝ දෙනාගෙන් සැඟව ඇති එහෙත් ආකර්ෂණීය, සංචාරය කළ යුතුම ස්ථානයකි. ගොළුමලේට ළඟා වීම තරමක් අසීරු වීම නිසා කාලාන්තරයක් තිස්සේම එය ආරක්ෂිතව පැවතිණි; පරිසරය සුරැකිව තිබිණි. එහෙත් මේ වන විට ක්‍රමයෙන් සංචාරක පිරිස් ඒ වෙත ඇදී ඒම නිසා එම ස්ථානය ක්‍රමයෙන් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයක් බවට පත්ව ඇත.

මොකක්ද මේ ගොළුමලේ ලෙසින් හඳුන්වන්නෙ? වලපනේ සේම අතීත කතාවකට එය හිමිකම් කියන්නේය.

දුටුගැමුණු රජුගේ හේවායන් තිදෙනකු මේ ස්ථානය පසු කර යද්දී රෑ බෝවීම නිසා විශාල ඔයක් අද්දර නවාතැන් ගෙන තිබේ. ඉන් එක් හේවායෙක් උපතින්ම ගොළුවෙකි. ඒ හේවායා රාත්‍රී කාලයේ මේ ඔයේ ජල පහර අසලට පැමිණි විට වේගයෙන් ගලා එන ජලය ගල්පරයක් අසල සිර වී එකතැන කැරකෙමින් පවතිනු දැක ඔහු එක තැන කැරකෙන ස්ථානයට ගොස් එහි බැස ජලය ගලා නොයන්නේ මන්දැයි සොයා බැලුවේය. එවිට ඔහු දුටුවේ ඔයේ ගලා ගෙන එන ජලය එම ගල් තලාවෙන් ඔබ්බට ගලා නොයන්නේ ගල්තලාව බාධයක් ලෙස තිබෙන නිසා බවයි. එමෙන්ම කාලයක් තිස්සේ එසේ ජලය තැන් තැන්වල එක් රැස්ව කැරකැවී තිබීමෙන් ආවාට මෙන් නැත හොත් විශාල ළිං ලෙස එහි ගල් වළවල් සෑදී ඇති අයුරුද ඔහු දුටුවේය. ඔහු තමා අත වූ හෙල්ලයෙන් ජලය කැරකෙන එම ආවාට නැත්නම් විශාල ළිං ඇති ස්ථානයන්ට යටින් ගොස් එම ගල විද ජල පහර ගලට යටින් අනෙක් පසට ගොස් පහළට යෑමට ඉඩ සලසා ඇත. ඒ ලෙස පහළට ජලය ගලායාමට එවන් මාර්ග 3ක් සැකසීමට එම හේවායා කටයුතු කර තිබේ. රෑ එළි වන තුරු කළ මේ වික්‍රමය අනෙක් හේවායන් දෙදෙනා දැක ඇත්තේ පසුදින අවදි වූ පසුය.

එය දැක එක් හේවායකු ‘ගොළුවගෙ මොළේ තමයි මොළේ!’ යනුවෙන් කෑගසා ඇත. ඒ හඬ ඇසී පැමිණි අවට පිරිස් ගල විදීමෙන් ජල පහර පහළට යනු දැක මහත් සතුටට පත්ව, හේවායාගේ මුවින් නිකුත් වූ ‘ගොළුවගෙ මොළේ’ යන්න ඉස්මතු වන සේ එම ස්ථානයට ‘ගොළු මොළේ’ යන නම යොදා ඇති බවත්, පසුව එය ගොළුමලේ වූ බවත් සඳහන්ය.

ඒ අතීත කතාවයි.

එමෙන්ම මේ ස්ථානයේ ජලය එක්රොක් වී කැරකැවෙන ස්ථානය අසල නිධානයක් ඇති බවද ජනප්‍රවාදයේ සඳහන්ය.

ගොළුමලේ පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නගරයට කිලෝමීටර් 23.2ක් පමණ වූ දුරකින් ‘යටිමාදුර’ නම් ගම්මානයේය. උමා ඔයේ අතු ගංගාවක් වන යටිමාදුර ඔයේ ඇති ගල්තලාවන් වසර ගණනක් තිස්සේ ඇති වූ ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගං ඉවුරේ ඇති ගල් තටාක නිසා ගොළුමලේ නිර්මාණය වී ඇතැයි සැලකේ. යටිමාදුර ඔයේ කෙළවරට වන්නට ගොළුමලේ පිහිටා ඇත. එය ස්වාභාවික නාන තටාකයක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ.

මෙහිදී සිදු වන්නේ ගඟ දිගේ ඇදී එන ජලය ගල් පර්වතයේ වැදී කැරකෙමින් ළිඳක් මෙන් සැකසී ඇති ස්ථානයෙන් යටින් අනෙක් පසට ගලා යෑමයි. වර්ෂාව ඇති කාලයේදී නම් දැකගැන්මට හැකි වන්නේ යටින් ජලය ගලා යන එක් ගල් දොර විවරයක් පමණි. එම ගල් දොරවල් 3ම දැක ගැන්මට නම් වර්ෂාව අඩු කාලයේදී එහි යා යුතුය. එමෙන්ම වර්ෂාව ඇති දිනවල එහි යාම ඉතා අවදානම් බවද සිහි තබාගත යුතුය. මේ ලෙස සෑදුණු තවත් කුඩා ළිං ආකාරයේ දොරවල් රැසක් ඇති බව ජනතාව පවසති. එහෙත් එම දොරටු හරහා ජලය අනෙක් පසට ඇදී යන්නේ පෙර කී දොරටු 3න් පමණි. ඔයෙන් ඇදී එන ජල පහර දැවැන්ත කුහරයකට ඇතුළු වී දිය දහරට පහළින් යළිත් ගල් තලාවෙන් වෙනත් ස්ථානයකින් මතුව යළි දියදහර හා එක් වීම නිසා මෙහි අලංකාරය තවත් වැඩි කරයි.

ශ්‍රී ලංකාවට අවස්ථා 20කට වැඩි ප්‍රමාණයක් පැමිණි විදේශිකයකු තම මුහුණු පොතේ ගොළුමලේ ගැන තැබූ සටහනක් මෙසේ පරිවර්තනය කර දැක්විය හැකිය.

‘පෙණ බුබුළු නංවමින් ගල් පර මතින් ඇදහැලෙන ජල දහරාව එක්වරම වැටෙන්නේ විශාල බේසමක් වැනි වළකටය. මෙම වළ මැදින් ස්වභාවික සොරොවුවක් ඇත. දුටුගැමුණු රජුගේ හේවායන් විසින් තනන ලදැයි පැවසෙන්නේ එම සොරොවුවය. ගොළුමලේ තරුණයන්ට නම් මේ ජල පහර සොරොව් ඉතා හොඳින් හුරු බව පෙනේ. ඔවුහු වැසි කාලයේදී පවා නොබියව ජල පහර දිගේ පිහිනා පැමිණ බේසම හෙවත් නාන තටාකයට යටින් ඇති සොරොවුවෙන් අනෙක් පැත්තට පීනාගෙන යති.’

ඇතැමුන් ගොඩ සිට මෙන්ම ඔයේ මැද ඇති ගල් උඩින් ඔයට පනින්නේ කිසිම බයක් සැකයක් නැතුවය. එහෙත් එය අපට නම් ඉතා අනතුරුදායකය. සීගිරිය හැරුණු විට මාගේ සිත් ගත් ප්‍රධානම ස්ථානය වන්නේ ගොළුමලේ ය.

විවිධ හැඩයේ විශාල ගල් තලාවන් රැසක් අඩි 200ක් පමණ පළලින් හා දිගින් විහිද යන අයුරු ගොළුමලේදී අපට දැකගත හැකිය.

ප්‍රධාන මාර්ගයේ සිට පැමිණ එක්වරම ගොළුමලේ ස්වභාව සෞන්දර්යය නැරඹිය නොහැකිය. ඔයට ඇතුළු වන තැන සිට ඔය දිගේ පහළට ගොස් ගොළුමලේ අලංකාරත්වයෙන් පිරි ස්ථානයට ළඟා විය හැකිය. වතුර වැඩි කාලයට ඔය දිගේ පහළට යෑම ඉතාම අනතුරුදායකය. එනිසා ඔයට සමාන්තරව ආරම්භ වන අඩි පාරෙන් පහළට යා යුතුය. එය එක්තරා අතකින් පරංගියා කෝට්ටේ ගියා වැනි මඟකි. ආරම්භයේදී ඔයට සමාන්තර ලෙසින් තිබුණද එය පසුව ක්‍රමයෙන් ඔයෙන් ඈතට ගමන් කරයි. ගොළුමලේ ට පැමිණෙන අයට මාර්ගය සොයා ගැනීමත් එතරම් පහසු නොවේ.

අප පෙර කීවාක් මෙන් වලපනේට පැමිණ නිල්දණ්ඩාහින්න පාරේ කිලෝ මීටර් 6ක් පමණ පැමිණ මඬුල්ල පාරේ තවත් කිලෝමීටර් 3ක් පමණ දුර ගෙවා ගොළුමලේ පාරට හැරී යා යුතුය. කෙසේ වුවත් මඩුල්ල පාරට හැරීමෙන් පසුව ප්‍රදේශවාසීන්ගෙන් ඒ පිළිබඳව තොරතුරු විමසා සිටින්නේ නම් එය වඩාත් යෝග්‍ය වන්නේය. විශේෂයෙන්ම ‘GOOGLE MAP’ හරහා මඬුල්ලෙන් පසුව ගමන් කිරීම එතරම් නුවණට හුරු නොවන බවද පැවසීය යුතුය.

කොළඹ සිට බස් රථයෙන් ගමන් කරන්නේ නම් මාර්ග අංක 21 වලපනේ බස් රථයෙන් ගමන් කර, එතැන් සිට නිල්දණ්ඩාහින්න හරහා මීගොල්ල පාරේ යටිමාදුර රජමහා විහාරය දක්වා බසයෙන් පැමිණිය හැකිය. එතැන් සිට පා ගමනින් යා යුතුය. දුම්රියෙන් ගමන් කරන්නේ නම් මහනුවර දක්වා ගොස්, එතැනින් වලපනේ දක්වා ගමන් කර ගොළුමලේ ට යා හැකිය.‍ මීට අමතරව, නුවරඑළිය හරහාද ගොළුමලේට පැමිණිය හැකිය. එහිදී නානුඔය දක්වා අවශ්‍ය නම් දුම්රියෙන් ගමන් කළ හැකිය.

ඔය කරා යන මාර්ගය පිහිටා ඇත්තේ අලංකාර වෙල් යායක් මැදිනි. වෙල් යාය කෙළවර ඇත්තේ විදුලිය සහිත අලිවැටකි. අලිවැටෙන් රිංගා ඔයට යා යුතුය. අප පෙර කීවාක් මෙන් අනිවාර්යයෙන්ම ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු අසා දැන ගැනීම නම් වැදගත් වන්නේය. මේ ඔය අසල කැලෑවේ අලි-ඇතුන් රංචු පිටින් ඔබ මොබ යෑම නිතර දැකිය හැකි දසුනකි. ගොළුමලේට යන ඔබ අනිවාර්යයෙන්ම පස්වරු 4.00 වන විටවත් එම ස්ථානයෙන් පිටව යා යුතුය. නැත හොත් වන සතුන්ගෙන් විශේෂයෙන්ම අලි-ඇතුන්ගෙන් අනතුරු වීමට ඉඩ ඇත.

ගොළුමලේ හි ආරක්ෂිතව නාගත හැකි ජල තටාක එමට තිබේ. නොකළ යුතු එකම කරුණ ජල පහර කැරකී ගල් යටින් අනෙක් පැත්තට ගලා යන තැන්වල සෙල්ලම් නොකිරීමයි. ප්‍රදේශවාසි දරුවන්ට එය සාමාන්‍ය දෙයක් වුවද ආගන්තුකයන්ට එය මහා විනාශයක් විය හැකිය.

ඔයෙන් එක් පසෙක වනඅලි ගැවසෙන්නාක් මෙන්ම අනෙක් පස හේන් ගොවිතැන් කරන ගොවියන්ය. ඔවුහු කුඹුරු ගොවිතැන මෙන්ම අල-බතල වැනි හේන් වගාවද කරති. විදුලි වැට ඇත්තේ ඔයෙන් එතෙර වන අලින්ට බාධා කිරීම පිණිසය.

ගොළුමලේ ආසන්නයේම කිරිඳිඔය ඇල්ල දැක බලාගත හැකිය.

රාත්‍රිය මේ ස්ථානයේ ගත කරන්නේ නම් (camping) අනිවාර්යයෙන්ම ගසක අට්ටාලයක් උඩ සිටිය යුතුමය. රන්දෙණිගල වන රක්‍ෂිතයේ අලි ඇතුන් මේ හරහා අනිවාර්යයෙන්ම ගමන් කරනු ඇත. බිම කූඩාරම් ගසාගෙන සිටියහොත් ආයෙත් සිදු වන දේ අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නැත. ගොළුමලේ සිරි නරඹන්නට පැමිණෙන සංචාරකයන්ට වටාපිටාව අලංකාරව නැරඹීම පිණිස රූස්ස ගසක් මත තනා ඇති අට්ටාලයක්ද අපට දැකගැන්මට හැකි විය. එතැනට අවට මැනවින් දැකබලාගත හැකිය. මේ වන විට සංචාරකයන්ගේ අවධානයට යොමුව ඇති නිසා තරුණ පිරිස් වැඩි වශයෙන් පැමිණීම ආරම්භ කර තිබේ.

ඔවුන් ඇතුළු සියලු දෙනාටම පැවසීමට විශේෂ යමක් ඇත. ඒ පරිසර සුන්දරත්වයට හානි නොකිරීමට වගබලාගත යුතු බවයි. තවමත් බත්කූරන්, ගල්කූරන් මෙන්ම සමනලයන් මෙහි සැරිසරනු දැකගත හැකිය. අලංකාර කුඹලුන්ගෙන්ද මෙහි අඩුවක් නැත.

ඔය ඉදිරිපස දිස් වන්නේ විශාල වනපෙතකින් සමන්විත කඳුයායකි. මේ කඳුයායෙන් ඔබ්බේ පිහිටා ඇත්තේ උමා ඔයයි. ගොළුමලේ වැසි කාලයට නම් කූඩැල්ලන්ගේ රජදහනකි. සෙසු දිනවලත් කූඩැල්ලන් නැතිවාම නොවේ.

ගොළුමලේ වැනි සංචාරක ස්ථානයන්හි සොබාදම් අලංකාරය රැඳී පවතින්නේ ජනතාවගේ ඇසෙන් ඈත් වූ තරමටය. ජනතාවගේ පැමිණීම වැඩි වත්ම පරිසර විනාශය වෙන්ම එහි අලංකාරත්වයද නැති වී යනු ඇත. එබැවින් ගොළුමලේට යන්නාක් මෙන්ම එහි අඩුම වශයෙන් කොළ කැබැල්ලක් හෝ දමා නොයෑමටද වග බලා ගැනීම ඉතා වටනේය. ඔබ ගෙන යන සියල්ල ආපසු ගෙන එන්නේ නම් එය ගොළුමලේට කරනු ලබන විශාල සේවාවක් වන්නේය.

lතාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division