Home » දේදුනු ට්‍රවුට් සොයා මහඑළිතැන්නට

දේදුනු ට්‍රවුට් සොයා මහඑළිතැන්නට

by sachintha
March 23, 2025 1:00 am 0 comment

මහවැලි ගඟ ලංකා භූමියේ රට මැද සීතල උස් කඳු අතරේ ඉපිද, නැඟෙනහිර වෙරළබඩින් මහ සමුදුර බලා ගලා බසින්නේ රටම සාරවත් කරමිනි. ඒ අතරේ සොබා සුන්දරත්වයට නවමු පැහැයක්ද එක් කිරීමටද මහවැලි ගං තොමෝ වග බලා ගන්නීය. මහවැලි ගඟේ උප්පත්ති කලාපය සීතල පෙදෙසක් බව අලු‍තින් සඳහන් කළ යුතු නොවන්නේ ඒ කලාපය නියෝජනය කරන හෝර්ටන් තැන්න සහ සමනොළ යන වනපෙත් තුළදී අත්විඳින්නට සිදු වන කටුක වූ ශීතල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු ප්‍රායෝගිකවම අත්විඳ ඇති බැවිනි. සංචාරක ආකර්ෂණය වැඩි ලෙස දිනා ගත් ස්ථාන අතරේ හෝර්ටන්තැන්න මුල් තැනටත්, ජන විශ්වාස හා ආගමික සබැඳියාවන් එක් වූ සොඳුරු පාරිසරික දනව් අතරේ සමනොළ කඳුවැටිය මුල් තැනටත් පත් වන්නේ නිතරගයෙනි.

සමනොළ කඳු වැටිය වසා පැතුරුණු වනපෙත ඇසුරේ අපට අනන්‍ය වූ සොබා ලකුණු අපමණවත් හමු වේ. එහෙත්, සොබා සුන්දරත්වයෙන් පොහොසත් වුවද හෝර්ටන්තැන්න මතදී අපේකම යටපත් කරමින් හිස එසවීමට මාන බලන විදේශීය ආක්‍රමණයන් නැතුවාද නොවේ. එහි ඇති අරුමයක්ද නැත. අපේ රට සුදු ජාතිකයන්ගේ යටත්විජිතයක් බවට පත් වීමට පෙර මහඑළිතැන්න, ගෝණතැන්න, මැණික් පොකුණ වැනි හෙළ ආරෙන් හැඳින්වු කඳුකරයේ උස් සානුව යටත්විජිතකරණයෙන් පසුව හැඳින්වූයේ හෝර්ටන්තැන්න නමිනි. භූමියේ නම පමණක්ම නොව, ආගන්තුක වු ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක්ද හෝර්ටන්තැන්න තම ග්‍රහණයට නතු කර ගති. මෙවර හෝර්ටන්තැන්න බලා ගිය අපගේ අරමුණ වූයේ මේ දේශීය භූමියට විදේශයක සිට පැමිණි ආගන්තුක පිටරැටියකු පිළිබඳ අධ්‍යයනයක නිරත වීමය.

සීතල හෝර්ටන්තැන්නට අරුමයක් නොවුණත්, මිනිස් ගතට නම් හොඳාකාරවම දැනේ. අපට එසේ දැනුණත් සොබාදහමත් සමඟ ජීවත් වන ශාක හා සත්ත්ව ප්‍රජාවට නම් මේ සීතල අරුමයක් වන්නේ නැත. මේ බිමේ වාසය කරන ශාක හා සත්ත්ව විශේෂයන් පවත්නා පාරිසරික තත්ත්වයන්ට අනුගතව තමන්ගේ පැවැත්ම මේ උස් කඳු බිම් අතරේ සටහන් කර ගෙන සිටියි. සාමාන්‍යයෙන් හිරු එළිය පතිත වන තත්ත්වයන් යටතේ වුවද භූමිය මතින් ගලා බසිනා ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 14-15ත් අතරේ පවතී. මිහිදුමින් මුළුමහත් තැනිතලා භූමියම වැසී යන තත්ත්වයන් යටතේ වසරේ අග සහ මුල අතරේ දිව යන මාසයන් අතර ජලයේ උෂ්ණත්වය බොහෝ සෙයින් පහළ බසී. විශේෂයෙන්ම ජලයේ තත්ත්වය ගැන සඳහන් කිරීමට මුල් වූයේ අප සොයනා පිටරැටියා ජීවත් වන්නේ මිනිස් සිරුරේ ඇටමිදුළු පවා සීතලෙන් ගල් කිරීමට සමත් ජලයේ වන නිසාය.

මා පය පාමුලින් හැල්මේ ගලා බසින්නේ අග්‍රා ඔයයි. හෝර්ටන් සානුවේ උපත ලබන දිය දහරා රාශියක් එක්රොක් වී අග්‍රා ඔය පෝෂණය කරයි. අග්‍රබෝපත් කඳු මුඳුනින් ආරම්භ වන අග්‍රා ඔය පහළ නිම්නයන් සොයා හැල්මේ දිව යන්නේ මහවැලි නදියේ ළදරු අවධිය තමන් සතු කර ගනිමින්ය. මහවැලිය දියවරින් පොහොසත් වන්නේ හෝර්ටන්තැන්න බඳු අනගි ජල පෝෂක සතු අගය මොනවට පසක් කරමිනි. තැනිතලාවේ තෘණ තලා මත්තේ තැන් තැන්වල නිර්මාණය වී ඇති දිය කඩිති නිරන්තරවම දියෙන් පිරී යන්නේ ස්පොන්ජියක් බඳුව උරාගත් දිය අවැසි විට මුදාහැරීමට හැකියාව ඇති බවත් විදහාපාමිනි.

අපේ අවධානය දිනා ගත් පිටරැටියා මේ වන විට හෝර්ටන්තැනි බිමේ විසිරී ගිය පුංචි පුංචි දිය දහරාවල නිවැසි සාමාජිකයකු බවට පත්ව සිටී. එනම් මොහු නියෝජනය කරන්නේ ජලජ සත්ත්ව ඛාණ්ඩයය. මොහු වර්තමානයේ හොර්ටන්තැන්නට නිවැසි සාමාජිකයකු වුණාට හෝර්ටන්තැන්න පරිසර කලාපයේ දිය දහරා තුළට හඳුන්වා දුන් සත්ත්ව විශේෂයක් බවත් විශේෂයෙන්ම සදහන් කළ යුතුමය. මොහුගේ හඳුන්වාදීමෙන් අනතුරුව ස්වාභාවික දිය දහරා තුළ ජීවත් වුණු ආවේණික ජීවී විශේෂයන්ට පවා තර්ජනයක් බවට මේ ආගන්තුක සත්ත්වයා පත් වීම නම් ඛේදනීය තත්ත්වයකි. මේ වන විට හොර්ටන්තැන්නේ ජීවත් වන සොඳුරු ආක්‍රමණිකයකු බවට මොහු පත්ව හමාරය.

මේ සත්ත්ව විශේෂය නමින් ‘රේන්බෝ ට්‍රවුට්’ ලෙස හඳුන්වයි. මේ ජීවියා නියෝජනය කරන්නේ මත්ස්‍ය පවුලය. වර්ෂ 1961 – 1969 කාලය තුළ මේ උස් තැනිතලාවේ නැඟෙනහිරට වන්නට තිබුණු පතන් බිම්වල අර්තාපල් වගා කටයුතු සිදු විය. අනගි ස්වාභාවික පාරිසරික කලාපයේ පවත්නා සංවේදි වූ ජෛව විවිධත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ භූමිය මානව අතවරවලින් මිදී වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් විය. ඒ අනුව වර්ෂ 1969 දෙසැම්බර් මාස 5 වැනි දා ස්වභාව රක්ෂිතයක් ලෙසටත්, වර්ෂ 1988 මාර්තු 16 වැනිදා ජාතික උද්‍යානයක් ලෙසටත් හෝර්ටන්තැන්න ප්‍රකාශයට පත් විය.

හෝර්ටන්තැන්න වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් වීමට පෙර සිදු වුණු මානව ක්‍රියාකාරකම්වල නටබුන් අදටත් මේ විසල් තැනිතලා බිමේ ඉතිරිව ඇති සැටි දැක ගත හැකිය. ඒ අතරේ අතීතයේදී මේ භූමිය මත සිදු වූ මිනිස් ක්‍රියාකාරකම් කෙබඳුදැයි විදහාපාන ජීවමාන සාක්ෂියක් හා සමානව රේන්බෝ ට්‍රවුට් මාළුවා පෙන්වා දිය හැකිය. මේ මත්ස්‍ය විශේෂය අපේ රටට හඳුන්වා දෙන ලද්දේ විනෝදාංශයට බිළී බෑමේ ක්‍රියාවලිය පිණිසය. එනම් සුදු ජාතිකයන් අතරේ මසුන් බිළී බෑම යනු විනෝදාංශයකි. වර්ෂ 1882 උඩුපුස්සැල්ලාව සාන්ත ජෝන් වතු පරිශ්‍රයට මේ මසුන් රැගෙන විත් දිය පහරවල් සඳහා හඳුන්වා දීම සිදු කර ඇත්තේ වතු පාලක හියූ හල්බාඩ් නමැති සුදු ජාතිකයා විසින්ය. ඒ සමය වන විටදී හෝර්ටන්තැන්න වනජීවී රක්ෂිත ලැයිස්තුවට ඇතුළත් නොවූ භූමියකි. හෝර්ටන් සානුවේ දිය පහරවලටත් මේ මත්ස්‍යයන් හඳුන්වා දීම සිදු විය. අදටත් මහවැලියේ ඇරඹුම සටහන් වන අග්‍රා ඔයේ පහළ නිම්නයන් ඇසුරේත්, හෝර්ටන් තැනි බිම මතත් ගලා බසිනා දිය පහර ඇසුරේ මේ මසුන් ජීවත් වෙයි. හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ වනජීවී කාර්යාලය පිහිටා ඇති ෆාර් ඉන් ගොඩනැඟිල්ලේ සිට ඔහිය දෙසට යන විට හමු වන කළු පාලම සහ ලෝකාන්ත ස්වාභාවික මංපෙතේ හමු වන රතු පාලම ආසන්නයේත් රේන්බෝ ට්‍රවුට් දිවි ගෙවයි. ගලා යන සීතල ජලයේ උඩු ගං බලා පිහිනන මේ මසුන් හිරු එළිය ජලයට පතිත වත්ම දිය මතු පිට ආසන්නයේ ගැවසෙනු නිරීක්ෂණය කළ හැකිය. යම් හඬක් හෝ ආගන්තුක යමක් ජලයට ආසන්න ගොඩ බිම මත ඇති බව වැටහුණු සැණින් දිය යට ගොස් ගල්පර, ජලජ ශාක අතරේ සැගව ගන්නා බැවින් නිරීක්ෂණය අපහසුය.

මීට අමතරව ගෝල්ඩන් කාෆ් විශේෂයත් මේ දිය දහරා ඇසුරේ වාර්තා වේ. මොහුත් හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂයකි. බෙලිහුල් ඔය ආශ්‍රිතව ව්‍යාප්ත මේ මාළුවා පැහැයෙන් ඔපවත් වන අතර සිරුර පුරා ළා රෝස හා රන්වන් පැහැ මුසු වු පුල්ලි රටාවක් දැක ගත හැකිය.

මේ මසුන් හෝර්ටන්තැන්නේ දිවි ගෙවන සොඳුරු ආක්‍රමණිකයන් ලෙස හඳුන්වන්නේ මේ සත්ත්වයන් හඳුන්වා දුන් නව ජලජ පරිසර කලාපය තුළ ස්ථාවර වුවත්, එහි දිවි ගෙවූ ආවේණික ජලජ ජීවීන්ට තර්ජනයක් වීම නිසාය. එනම් හෝර්ටන් දියපහර ඇසුරේ දිවි ගෙවූ ආවේණික ඉස්සන් විශේෂයක් කාලයක් නිදහසේ දිවි ගෙවූ දිය පහරවල් ආක්‍රමණය කළ ට්‍රවුට් මාළුන්ගේ පහසු ගොදුරු බවට පත් විය. ඒ ආකාරයට ආක්‍රමණශීලිව පුළුල් ලෙස ව්‍යාප්ත වුණු ට්‍රවුට් සහ කාෆ් වැනි මසුන්ගේ යම් පාලනයක් සිදු වීමට හෝර්ටන්තැන්න ජල පහර ඇසුරේ ජීවත් වන දිය බල්ලන්ගේ ගොදුරු බවට මෙම මසුන් පත්වීමත් විශේෂයෙන්ම සදහන් කළ යුතුමය.

ආක්‍රමණික සත්ත්වයකු නොවුණත්, පරිසර පද්ධතියේ සමතුලිත බවට විනකටින ට්‍රවුට් වැනි ආක්‍රමණික සත්ත්වයන්ගේ ව්‍යාප්තිය පාලනය කරන දිය බල්ලා ගැනත් අවධානය යොමු කළ යුතුමය. මේ සතාගේ හැඩය බොහෝ සෙයින්ම මුගටියාට සමානය. එහෙත් මුගටියාට වඩා විශාලය. මුගටියාගේ ලෝම පිහිටීමට වඩා දිය බල්ලාගේ ලෝම පිහිටා ඇත්තේ ඇඟට ඇලීගත් වනමය; දිලෙන කළු පැහැතිය. කොතරම් ජලයේ කරක්ගැසුවත් සිරුරට දිය උරා ගැනීමක් සිදු වන්නේ නැත. දියේ පිහිනා යෑමෙන් ඉනික්බිති ගොඩට පැමිණ ඇඟේ ජලය ගසා දැමූ පමණින් සියලු‍ දිය සිරුරෙන් බැහැර වන්නේ ගහල කොළයක් මත දිය නොරඳන්නාක් හා සමවය.

දිය බල්ලා නිශාචර ගති පැවතුම්වලට ප්‍රිය බවක් දක්වන ක්ෂීරපායි සත්ත්වයකු වන බැවින් දැකුම නම් ඉතා දුර්ලභය. අප රට නිවැසි කර ගත් දිය බල්ලාගේ පුළුල් ව්‍යාප්තියක් යුරෝපය සහ ආසියාතික රටවල් ඇසුරේ වාර්තා වේ. සොබාදහමේ හැටි ඔයාකාරය; නිරන්තරවම ප්‍රමුඛතාව දෙන්නේ පාරිසරික සමතුලිතතාවටය.

lසඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division