Home » තෙවලා දහම් මැද රැදුණු රස හව් විදිමු පිටිසිදු

තෙවලා දහම් මැද රැදුණු රස හව් විදිමු පිටිසිදු

by sachintha
March 23, 2025 1:04 am 0 comment

‘මුහුදෙහි නැඟෙන රළ පෙළින් පෙණ පිඬු නැඟෙන්නාක් මෙන් ද සරත් සමයෙහි අහසෙහි පවා ගස් වැල් හට ගන්නාක් මෙන් ද ලොවුතුරා බුදු රජාණන් වහන්සේගේ ශාසනයනික්ලේශි, පිරිසුදු සිල් ගුණ සුවඳින් යුක්ත වූ සඟුන්ගෙන් සමන්විත වී නිරන්තරයෙන් බැබළිණි,’ යන අරුත දනවන මේ පද්‍ය ගායනය අවසන බුදුන් වහන්සේ වංගීස හිමියන්ගේ ප්‍රතිභාව අගය කළ අතර, උන් වහන්සේ ප්‍රතිභා සම්පන්න භික්ෂූන් අතර අග්‍රස්ථානයේ පිහිටුවූහ.

 

බෞද්ධ චින්තනයට අනුව පුද්ගලයාගේ චරිතය භාවමය වශයෙන් හා බුද්ධිමය වශයෙන් සංවර්ධනය විය යුතු ය; ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් පෝෂණය වියයුතු ය. මෘදු මානව ගුණාංග විකසිත වන්නේ පුද්ගලයාගේ සංවේදනාත්මක අංශය සංවර්ධනය වීමෙනි. ප්‍රබුද්ධ නැණවතකු බිහි කිරීම බුදු දහමේ අරමුණයි. මලක සුන්දර වය දකින ප්‍රබුද්ධයා එහි වර්ණය ද සුගන්ධය ද විඳ ගනී. ඒ භාවමය දියුණුව ඇසුරෙනි. එසේ ම, හෙතෙම මල මැලවෙන ස්වභාවයෙන් යුතු නැසෙන වැනසෙන ධර්මතාවක් බව ද දකී.

සෞන්දර්යය අරමුණු කර ගත් කවිය, ගීතය, සංගීතය ආදිය පිළිබඳ බුදු රජාණන් වහන්සේ දක්වා ඇති අදහස් ගැඹුරින් විමසා බැලීමට සුදුසු ම කාලය මේ යැයි හැඟේ. මන්ද යත්: බෞද්ධ සාහිත්‍යය ගැඹුරින් අධ්‍යයනය නොකරන ඇතැමුන් බුදුන් වහන්සේ සෞන්දර්ය රස වින්දනය එකහෙළා පිළිකුල් කොට බැහැර කර ඇතැයි සාවද්‍ය අදහසක් සමාජගත කරමින් සිටින බැවිනි.

බුදු රජාණන් වහන්සේ ගීතය හැඬීමකටත්, නැටුම උමතු වූවකුගේ ක්‍රියාවකටත් සරි කොට අරුත් ගන්වා ඇතැයි යන්න එබඳු එක් අදහසකි. එහෙත්, මෙයට සාධක වශයෙන් ඔවුන් දක්වන ‘රුණ්ණමිදං භික්ඛවේ අරියස්ස විනයේ ගීතං උම්මන්තකමිදං අරියස්ස විනයේ නච්චං…’ යනාදි දේශනා පාඨයේ ම එන ‘අරියස්ස විනයේ’ යන කොටස ඔවුහු ඉස්මතු නොකරති. ඒ අනුව, බුදුන් වහන්සේ මේ උපමාව දක්වනුයේ ආර්යයන් වහන්සේට අනුව හෙවත් ආර්ය විනයට අනුව බව ඔවුහු සඟවති. එනයින්, ‘නැටුම් ගැයුම් වැයුම්වලින් වෙන් ව සිටිය යුතු යැ’ යි උන් වහන්සේ ශික්ෂා පද පනවා ඇත්තේ භික්ෂූන් වහන්සේට ය. තාවකාලිකව ගිහි වතින් ඉවත් ව, අටසිල් දසසිල් සමාදන් වූ විට පමණක් ගිහියාට ද නැටුම් ගැයුම් වැයුම්වලින් වෙන් ව සිටීමට සිදු වේ. ඒ මිස, ගිහි බෞද්ධයාගේ නිත්‍ය ශීලය වන පංච ශීලයට අනුව සෞන්දර්ය රසාස්වාදයෙන් වෙන් ව සිටිය යුතු යැයි බුදුන් වහන්සේ කොතැනකදී වත් දේශනා කොට නැත.

කෙසේ වෙතත්, රසකාමි කරුණු අරබයා භික්ෂූන් විෂයයෙහි බුදු රදුන් පැනවූ තවත් සීමා කිහිපයක් පිළිබඳ මෙහි ම සඳහන් කර සිටීම සුදුසු වන්නේ ‘බුදු දහම රස විහීන දිවි පෙවෙතක් ම අනුදැන ඇත්තේ ය,’ යන දුර්මතය ගොඩනඟන්නවුනට ඒ තැන් ද වරදවා නිදසුන් කොට ගැනීමට අවකාශ ඇති බැවිනි.

මේ එවන් තැනකි:

‘න භික්ඛවේ, ආයතකේන ගීතස්සරේන ධම්මෝ ගායි තබ්බෝ, යෝ ගාය්‍යෙය ආපත්ති දුක්ඛස්ස’ (චුල්ලවග්ගපාළිය)

‘භික්ෂූන් විසින් දික් වූ ගීත ස්වරයෙන් ධර්මය ගායනා නොකළ යුත්තාහ. යමෙක් එසේ ගායනා කරන්නේ නම්, ඔහුට දුකුලා ඇවැතක් වන්නේ ය.’

එහෙත් මෙහිදී බුදුන් වහන්සේ අනුදැන වදාළේ ගාථා ගායනය නුසුදුසු බව ය. මන්ද යත්: ගායනයෙන් මිහිරියාවට පත්ව කාමභෝගි චිත්ත ස්වභාවයකට පත් විය හැකි බැවිනි. බුදු රජාණන් වහන්සේ ගාථා දේශනා කොට ඇති නමුත් ගායනා කර නැත. දැන උගත් බමුණන් බුදුන් වහන්සේ කරා පැමිණ ප්‍රශ්න විතාළේ ගාථාවෙනි (ගාථාය අජ්ජභාසි). ඒවාට බුදු රදුන් පිළිවදන් දී ඇත්තේ ද ගාථාවෙනි (ගාථාය පච්චහාසි).

තව ද, ‘කාව්‍ය නාටකාදි ගර්හිත විද්‍යා තමා නූගත යුතු; අනුනුදු නූගැන්විය යුතු ය’ යනුවෙන් දඹදෙණි කතිකාවතෙහි දැක්වේ.

නැවතත් අවධාරණය කළ යුත්තේ මේ සියල්ල භික්ෂූන් උදෙසා පනවන ලද ශික්ෂා පද පමණක් බවයි. අප බුදු දහම වටහා ගත යුත්තේ ශුභවාදි හෝ අශුභවාදි දහමක් ලෙස නොව, ජීවිතයත් ලෝකයත් ඇති සැටියත් දක්නා යථාර්ථවාදි දහමක් වශයෙනි.

දිනක් එක්තරා දේවතාවකු බුදුන් වහන්සේ කරා පැමිණ, මිනිසුන් වරදට පෙලඹෙන්නේ ලොව ඇති විචිත්‍ර වස්තූන් නිසා යැයි පවසා සිටි බව සංයුක්ත නිකායේ දැක්වේ:

‘න තේ කාමායානි චිත්‍රානි ලෝකේ

සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ

තිට්ඨන්තු චිත්‍රානි කථේව ලෝකේ

අථෙත්ථ ධීරා විනයන්ති ඡන්දං’

(සං.නි. ප්‍රථම භාගය, නසන්ති සූත්‍රය)

ඒ දේවතාවාගේ අදහස ප්‍රතික්ෂේප කරමින් බුදුන් වහන්සේ පවසන්නේ ‘ලොව ඇති විචිත්‍ර වස්තූහු කාමයෝ නො වෙති. පුද්ගලයා තුළ පවත්නා රාග සංකල්පනා හෙවත් ඇලීම ම කාමය නම් වේ. ලොව පවතින විසිතුරු දෑ එසේ ම පවතී. නුවණැත්තෝ ඒ වස්තූන් ඇති ඡන්ද රාගය දුරු කරත්,’ යනුවෙනි.

අපි දැන් නාදය, සංගීතය, ගීතය ආදි විවිධ කලා අංග අරබයා තථාගතයන් වහන්සේගේ අදහස් දැක්වීම් විමසා බලමු. උන් වහන්සේගේ රසඥතාව ප්‍රකට කරන කතා පුවතක් සක්කපඤ්හ සූත්‍රයේ දැක්වේ. වරක් බුදුන් වහන්සේ සමීපයට පැමිණි දෙව්ලෝ වැසි ‘පංචසිඛ’ නම් සංගීත විශාරද දිව්‍යපුත්‍රයා සිය බේළුවපණ්ඩු වීණාව වාදනය කරමින්, තෙරුවන ගුණ වනමින්, රාත්‍රි මුළුල්ලේ ම ගීත ගායනා කළේ ය; ඒ ගී අවසන වීණාව වයමින් තම පෙම්වතිය වූ සූරියවච්චසාව පිළිබඳව ද ගීතයක් ගායනා කළේ ය. ඒ රාගනිඃශ්‍රිත ගායනයට හා වාදනයට ද සවන් දුන් තථාගතයන් වහන්සේ කරන ප්‍රකාශය සුභාවිත ගීතයත්, සංගීතයත් අරබයා උන් වහන්සේ සතුව පැවති ගැඹුරු ඥානය සුවිශද කරන විශේෂ අවස්ථාවකි. පංචසිඛගේ ගැයුම නිම වන තුරු අසා සිටි බුදුරදුන් පංචසිඛ තමා වෙත කැඳවා, “ඔබගේ වෙණෙහි තනුවේ ස්වරය, ගීත ස්වරය ඉක්මවා නො ගියේ ය. ගීත ස්වරය ද තනුවේ ස්වරය ඉක්මවා ඉක්මවා නො ගියේ ය. තත් හඬ ගී හඬ ඉක්මවා නො ගියේ ය. ගී හඬ ද තත් හඬ ඉක්මවා නො ගියේ ය. එබැවින් ඔබගේ තනුවේ ස්වරයත්, ගීයේ ස්වරයත් මැනවින් සැසඳුණේ ය,” යනුවෙන් පැවසූ බව සක්කපඤ්හ සූත්‍රයේ සඳහන් වේ.

අංගුත්තර නිකායේ, සෝණ සූත්‍රයේ දැක්වෙන තවත් පුවතක් මෙසේ ය: ගිහි කල රැකියාවක් වශයෙන් සංගීතය සැපයීමේ යෙදී, පසු කලක පැවිදි දිවියට එළඹි ‘සෝණ’ නම් භික්ෂුව ධර්ම ප්‍රතිපදාවේ ඇලී ගැලී රහත් වීමට මහත් වෑයමක් ගෙන, එය අසාර්ථක වූ කල සිවුරු හැර යෑමට තීරණය කළේ ය. මේ තීරණය බුදුන් වහන්සේට දැන්වූ කල ඇති වූ සංවාදය දෙස බලන්න:

“ඔබ ගිහි කල වීණා වාදකයෙකි. වීණාවේ තත් අච්චායික ක්‍රමයෙන් සාදා ගත් විට වීණාව මිහිරි හඬ දේ ද?”

“නැත, ස්වාමීනි.”

“එසේ නම්, වීණාවේ තත් අතිසිථිල ක්‍රමයෙන් සාදා ගත් විට මිහිරි හඬ නැංවේ ද?”

“නැත, ස්වාමීනි.”

“එසේ නම් අච්චායික, අතිසිථිල අන්ත දෙක ම දුරු කොට, වීණා තත් සම ගුණයෙන් පිහිටුවා ගත් කල මිහිරි හඬ දේ ද?”

“එසේ ය, ස්වාමීනි. වීණාව ක්‍රියාත්මක වන්නේ මිහිරි හඬ නංවන්නේ වීණා තත් සම ගුණයෙන් පිහිටුවා වැයූ කල ය.”

“වීණාවේ තත් අනවශ්‍ය ප්‍රමාණයට තද කිරීමෙන් ද අනවශ්‍ය ප්‍රමාණයට ලිහිල් කිරීමෙන් ද මිහිරි හඬ නොනැඟෙන්නා සේ, මේ ආර්ය මාර්ගයේ ප්‍රතිඵල ද අනවශ්‍ය ලෙස උත්සාහ ගැනීමෙන් හෝ අවශ්‍ය ප්‍රමාණයට උත්සාහ නොගැනීමෙන් හෝ ලබා ගත නොහැකි ය.”

තමාට හුරු පුරුදු වීණාව ම උපමාවට ගෙන බුදුන් වහන්සේ දුන් අවවාදය අනුව කටයුතු කළ සෝණ හිමියන් ඉතා කෙටි කලකින් ම රහත් වූයේ යැයි සෝණ සූත්‍රයේ දැක්වේ.

ගීත ගායනය බුදුන් වහන්සේ හෙළා දැක නැති සැටි බැව්, පාලි ත්‍රිපිටකයට අයත් පැරණි සූත්‍ර සියල්ල ගාථාවලින් සමන්විත වීමෙන් ම පැහැදිලි වේ. සෝණ කුටිකණ්ණ හිමියන් ජේතවනාරාමයේ බුදුන් වහන්සේගේ කුටිය අසල කාමරයක වැඩ වෙසෙමින් සුත්ත නිපාතයේ අට්ඨක වග්ගයේ සූත්‍ර 16ක් රමණීය ලෙස ගායනා කරනු අසා සිටි බුදුන් වහන්සේ එහිමියන් කැඳවා, උන් වහන්සේගේ මතක ශක්තිය පිළිබඳවත් සජ්ඣායනය කළ ස්වරය පිළිබඳවත් මහත් සේ ප්‍රශංසා කළ බව උදාන පාළියේ සඳහන් වේ.

ගීතය හා සංගීතය සේ ම කවියත්, කවියාත් බුදුන් වහන්සේගේ ඇගයීමට ලක් වූ අවස්ථා ඇත. මේ ඉන් එක් අවස්ථාවකි:

බුදුන් දවස වැඩ සිටි වංගීස හිමියෝ හිටිවන කවියට අතිදක්ෂයෙක් වූහ; ප්‍රතිභාපූර්ණයෙක් වූහ. උන් වහන්සේගේ මේ සහජ කවිත්වය නිසා ම ඇතැම් භික්ෂූහු වංගීස හිමියන්ට දොස් නැඟූහ. මේ බැව් සැල වූ බුදුන් වහන්සේ එකී භික්ෂූන් කැඳවා විමසීමේදී වංගීස හිමියෝ තම නිර්දෝෂභාවය තහවුරු කර සිටියහ. තම සිතට නැඟෙන අදහස් ක්ෂණිකව කවියට නඟා ප්‍රකාශ කරන බවත්, කිසිවකුට අයහපතක් නොවන සේ කව් පබැඳීම සිදු කරන බවත් උන් වහන්සේ කියා සිටියහ; තව ද බුදුන් වහන්සේගේ අවසරය ලැබ, අර්ථ පූර්ණ, රස පූර්ණ පද්‍යයක් ක්ෂණික ව ම ගායනා කළ සේක.

‘මුහුදෙහි නැඟෙන රළ පෙළින් පෙණ පිඬු නැඟෙන්නාක් මෙන් ද සරත් සමයෙහි අහසෙහි පවා ගස් වැල් හට ගන්නාක් මෙන් ද ලොවුතුරා බුදු රජාණන් වහන්සේගේ ශාසනය නික්ලේශි, පිරිසුදු සිල් ගුණ සුවඳින් යුක්ත වූ සඟුන්ගෙන් සමන්විත වී නිරන්තරයෙන් බැබළිණි,’ යන අරුත දනවන මේ පද්‍ය ගායනය අවසන බුදුන් වහන්සේ වංගීස හිමියන්ගේ ප්‍රතිභාව අගය කළ අතර, උන් වහන්සේ ප්‍රතිභා සම්පන්න භික්ෂූන් අතර අග්‍රස්ථානයේ පිහිටුවූ සේක.

අංගුත්තර නිකායේ සුචරිත වග්ගයේ කවි සූත්‍රයේදී කවීන් වර්ග 4ක් පිළිබඳ කරුණු දක්වමින් බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත:

‘චත්තාරෝ භික්ඛවේ කවි, කතමේ චත්තාරෝ

චින්තා කවි, සුත කවි, අත්ථ කවි, පටිභාන කවි’

තම සිත අභ්‍යන්තරයෙහි පහළ වන අදහස් ගැඹුරින් විමසා තර්කයට, විතර්කයට යොමු කොට ගත් නිවැරදි අදහස් කවියට නඟන්නා චින්තා කවියා ලෙසත්; ගුරුවරුන් අන්‍ය කවීන් හෝ ඔවුන්ගේ නිර්මාණ අනුව යමින්, ඒවා ආභාසයට ගනිමින්, තම අදහස් කවියට නඟන්නා සුත කවියා ලෙසත්; ජීවිත වර්ණයන් තුළින් ජීවිතයට කිසියම් අර්ථයක් ධර්මයක් මතු කරන කවියා අත්ථ කවියා ලෙසත්; තම සහජ දක්ෂතා උපයෝගි කර ගනිමින් කාව්‍ය නිර්මාණ කරන කවියා පටිභාන කවියා ලෙසත් බුදුන් වහන්සේ විස්තර කොට දක්වා ඇත.

වසර 2500කට අධික ලිඛිත අඛණ්ඩ ඉතිහාසයකට උරුමකම් කියන, ඒ ඉතිහාසය පුරා බුදු දහමින් පෝෂණය වූ ලක් වැසි අපගේ සියලු ලලිත කලාවන්හි නිරූපිත බෞද්ධ ආභාසය හඳුනා ගැනීම අපහසු නැත. අපේ සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙන් හරි අඩකටත් වඩා බෞද්ධ අනුභූතීන් මත පද බැඳුණු නිමැවුම් ය. කොටින් ම ‘පෙදෙන් බුදු සිරිතෑ’ යන සියබස්ලකර පාඨයෙන් ඒ සඳහා ඍජු ව ම නිර්දේශයක් ද ඉදිරිපත් කර ඇත. ‘සින්දු’ නම් වූ නවාංගය අපේ සාහිත්‍යයට එකතු වන්නේ කෝට්ටේ යුගයේදී ය. ප්‍රශස්ති කාව්‍ය ඔස්සේ අපගේ සාහිත්‍යයට ප්‍රවිෂ්ට වන සින්දු එහි ආරම්භක යුගයේදී රජු වෙනුවෙන් බැඳුණු ඒවා ම විය. නාඩගම් යුගය, නූර්ති නාටක යුගය, ග්‍රැමෆෝන් යුගය, කැසට් යුගය, කැසට් යුගය, සීඩී යුගය ඈ යුග ගණනාවක් පසු කර, වත්මන යූටියුබ් ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලා දක්වා පැමිණි අපගේ ගීත සාහිත්‍යය අද වන විට නතර වී ඇත්තේ කොතැනක ද යන්න ගැටලු සහගත ය. කෙසේ වෙතත්, සුභාවිත ගී ප්‍රිය කරන, ප්‍රබුද්ධ රසික පිරිසක් තවමත් මෙරට සිටින බව පැහැදිලි ය. බහුතරයක් මාධ්‍ය මඟින් මවනු ලබන චිත්‍රය යථාර්ථය ම නො වේ. ඇතැම් එෆ්එම් නාළිකා මඟින් විකාශය කරනු ලබන ගීත බහුතරයක් ජනතාව මත බලෙන් පටවනු ලබන ඒවා ය. රටේ බහුතර තරුණ පරපුර පවා එවැනි හර සුන් පද මාලා ප්‍රතික්ෂේප කරන බවත්, අර්ථවත් රසවත් ගීත සඳහා සමාජයේ විශාල ඉල්ලුමක් පවතින බවත් වගකිව යුත්තන් අවබෝධ කරගත යුතු ය.

සාහිත්‍යය, කවිය, ගීතය, නාට්‍යය ආදිය රස විඳීමට තරම් දියුණු මනසක් නැති මිනිසා අං තට්ටුව සහ වලිගය අහිමි ගොනකු වැනි බවත්, එවැන්නන් තණ කොළ නොකා සිටීම ගොනුන්ගේ වාසනාව බව ද සංස්කෘතික ශ්ලෝකයක දැක්වේ. එබැවින් කොතරම් උසස් වුව ද ධනවත් වුව ද බලවත් වුව ද, කලා කෘතියක් රස විඳීමට තරම් පුරුදු පුහුණු කළ සංවේදි මනසක්, හදවතක් නැත්තේ නම් ඒ තුළ පවතින්නේ විශාල හිස් බවකි. එබැවින් කුඩා කල සිට ම ආනන්දයෙන් ප්‍රඥාව කරා මනස මෙහෙයවන උසස් සාහිත්‍යය, සුභාවිත ගීත, කවි රස විඳීමටත් ඒවායේ ගැඹුරු අරුත් ග්‍රහණය කර ගැනීමටත් උත්සාහවත් විය යුතු ය.

බෞද්ධ චින්තනයට අනුව පුද්ගලයාගේ චරිතය භාවමය වශයෙන් හා බුද්ධිමය වශයෙන් සංවර්ධනය විය යුතු ය. ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් පෝෂණය විය යුතු ය. මෘදු මානව ගුණාංග විකසිත වන්නේ පුද්ගලයාගේ සංවේදනාත්මක අංශය සංවර්ධනය වීමෙනි. ප්‍රබුද්ධ නැණවතකු බිහි කිරීම බුදු දහමේ අරමුණයි. මලක සුන්දරත්වය දකින ප්‍රබුද්ධයා එහි වර්ණය ද සුගන්ධය ද විඳ ගනී. ඒ භාවමය දියුණුව ඇසුරෙනි. එසේ ම, හෙතෙම මල මැලවෙන ස්වභාවයෙන් යුතු නැසෙන වැනසෙන ධර්මතාවක් බව ද දකී. ඒ යථාවබෝධය හේතුවෙනි. ඒ අනුව ප්‍රබුද්ධ මිනිසා ලොව සුන්දරත්වයත්, යථාර්ථයත් දකී. බුදු සමයෙන් පෝෂිත සියලු කලාවන් මේ යථාර්ථයත්, එහි ගැබ්ව ඇති සුන්දරත්වයත් හඳුනා ගැනීමට ඉවහල් වේ.

 

සනත් ලියනගේ

විශ්‍රාමික විධායක නිලධාරි

අධිකරණ අමාත්‍යාංශය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division