මෙරට ආර්ථික වර්ධනය උදෙසා කාන්තා සහභාගීත්වය තවමත් පවතින්නේ ඉතා අඩු ප්‍රතිශතයක ය. එහෙයින් කාන්තාවන් වැඩි වශයෙන් ආර්ථිකයට දායක කර ගත හැකි, සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක සාර්ථක සංකල්පයක් වන Women Entrepreneurs Finance Code හෙවත්, WE Finance Code ව්‍යාපෘතිය දියත් කිරීම, පසුගියදා ආසියානු සංවර්ධන බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව සිදු කළේය.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීම, අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙණවියගේ ප්‍රධානත්වයෙන් සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින්, මුදල් අමාත්‍යාංශ නියෝජිතයින් සහ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරමින් බැංකු 14ක ඉහළ කළමනාකාරිත්වය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.
එහිදී බැංකු පද්ධතියට පැවරෙන සුවිසල් වගකීම වන මූල්‍ය පහසුකම් ලබාදීමට සියලු බැංකු පූර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ විය. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට දැනටමත් සහය දෙන අතරේ, විශේෂයෙන් ව්‍යාපාර ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහා ණය පහසුකම් ලබා දී ඔවුන් ධෛර්යමත් කිරීම තුළ, සියලු අංශ නියෝජනය වන කර්මාන්ත සහ ව්‍යාපාර කෙරෙහි ඔවුන්ව වැඩි වශයෙන් නැඹුරු කරවීම බලාපොරොත්තු වේ. එමඟින් මෙතෙක් කුටුම්භය තුළට පමණක් සීමාව සිටි කාන්තාවන් ව්‍යාපාර සහ කර්මාන්ත කෙරෙහි නැඹුරුතාවක් ඇති කරලීම සිදුවනු ඇත.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙණෙවිය මෙසේ අදහස් දැක්වීය.
” ශ්‍රී ලංකාවේ වැඩිහිටි කාන්තා ජනගහනයෙන් 32% ක් පමණක් ආර්ථික ක්‍රියාවලියට එක්වන අතර, පිරිමින්ගේ දායකත්වය 71%කි. 2013/2014 දී සිදු කරන ලද ශ්‍රී ලංකාවේ කාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ජන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මූලික ආර්ථික සංඛ්‍යා ලේඛනය අනූව, ව්‍යාපාරිකත්වය සහ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ගැහැනුන්ගේ සහභාගීත්වය 25% ක් වන අතර, මයික්‍රෝ ව්‍යාපාරවල 26% ක් පමණක් කාන්තා නායකත්වය ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත්, කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය අවම වීමට බලපාන හේතු ගණනාවකි.
ව්‍යාපාරිකත්වයට අදාළ පසුබිම් බාධක ලෙස මූල්‍ය ප්‍රවේශය, වෙළෙඳපොළ ප්‍රවේශය, පුහුණු ශ්‍රමය සහ තාක්ෂණය සඳහා සීමිත ප්‍රවේශය මේ අතර ප්‍රධාන ය. මෙම ගැටලු විසඳා දී, කාන්තාවන් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රවේශ කරවීම ශ්‍රී ලංකාව ගත යුතු තවත් ඉදිරි ආර්ථික පියවරකි.
එහෙයින්, මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ප්‍රධාන බාධකයක්ව පැවතිය යුතු නැති අතර, ව්‍යාපාර සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෑම අංශයකින්ම කාන්තාවන් ඉදිරියට පැමිණීමට සහය දැක්වීම අපගේ වගකීමකි. ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ක්‍රියාත්මක වන්නේ මේ අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා යි…”
ඉනෝකා පෙරේරා බණ්ඩාර