Home » වසර 29කට පසු එළඹෙන සෙනසුරු මාරුව ඔබට කොහොමද

වසර 29කට පසු එළඹෙන සෙනසුරු මාරුව ඔබට කොහොමද

by sachintha
March 23, 2025 1:00 am 0 comment

මාර්තු 29 රාත්‍රී 9.41ට සෙනසුරු මාරුව සිදු වේ

සෙනසුරු ග්‍රහයා ඇතිකරන ශෂ, සේනක, ජය, ශ්‍රීකාන්ත ආදී යෝගද ඉතා බලවත්

සෙනසුරු අපල සහිත අය කළ යුතු පුද පූජා

නිර්මාංසව දින 21ක් කළ යුතු බෝධි පූජා ගැනත් දැනගන්න

 

සෙනසුරු ග්‍රහයා ශ්‍රී ලංකා කේන්දරය වන කුම්භ ලග්නයේ ධනස්ථානයට මාර්තු මස 29 දින රාත්‍රී 21.41ට පතිතව ගමන අරඹයි. ලග්නාධිපති ධනස්ථානගත වීම ඉතාම සුබ වේ. රට නැගී සිටින වසර 2 1/2ක කාල වකවානුවක් තනා ගැනීමට උත්සාහවන්ත ජනතාවට හැකිවේ.

මේ මහා බලගතු සෙනසුරු ග්‍රහයා අපට හොඳ නරක මැනවින් ලබා දෙන ග්‍රහයෙකි. වසර 7 1/2 කුම්භයේ ඒරාෂ්ටක තත්ත්වයේ අවසාන කාලය එනම් ‘හිස මත’ සිටි ශනි ග්‍රහයා උරහිස මතට පතිත වේ යැයි උපකල්පනය කළ හැකිය.

සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් සිදු කළ යුතු වත්පිළිවෙත් ඉතාම සාර්ථකව ඉටු කළහොත් දිවියේ බලගතුම ජයග්‍රහණ අත් කරගත හැකියි. ශෂ යෝගය, සේනක, ජය, ශ්‍රීකාන්ත ආදී ඉතා බලවත් යෝග ඇති කරනු ලබයි.

 මේෂ ලග්නය :- 2025, 2026, 2027 වසර 3ම ඔබට ඉතාම තීරණාත්මක කාලයකි. මීන රාශිගත වන සෙනසුරු ඔබගේ දොළොස්වැන්න තුළ පතිත වේ. එය වසර 7 1/2 ඒරාෂ්ටකය ආරම්භයයි.

එහි මුල් වසර 2 1/2 දී ඔබගේ ජීවිතයට එන අසුබ ශක්තීන් ඉවත් කරගන්න. ඔබ සුරැකි ධනය රැක ගැනීමටත්, නිවැරැදි ආයෝජනයටත් පමණක් යොදාගන්න. ඔබට මේ වසර 2 1/2 තුළ පිටරට යාමට හැකියාව ඇත. ඔබගේ සෙනසුරු ග්‍රහයා උත්පත්ති කේන්දරයේ ශක්තිමත් නම් කිසිසේත් බිය නොවන්න.

විශේෂයෙන් ඔබ පාද ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් වන්න. මේ අසුබ තත්ත්වය මඟහරවා ගන්න මේ වත්පිළිවෙත් සිදු කරන්න. දුකට පත් වූ අයට උදව් උපකාර කරන්න. විශේෂයෙන් සෙනසුරාදා පාන්දර 6ට පමණ එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දෙන්න. එක දිගට දින 21ක් (ශනි දින) බෝධි පූජා තබන්න. අබතෙල්, තල තෙල්, එළඟිතෙල් පහන් මිශ්‍රව පත්තු කරන්න. විෂ්ණු දෙවිඳුට පින් දෙන්න. දෙවිනුවර උපුල්වන් දෙවිඳුට භාර වන්න. ශීල ව්‍යාපාරයක සිල්වතුන්ට ගිලන්පස පූජාවක් පවත්වන්න. මෝර පිරිත, ජය පිරිත කියන්න.

 වෘෂභ ලග්නය :- සිකුරු අධිපති වෘෂභ ලග්නයේ 9 – 10 භාවවල හිමිකරු වන සෙනසුරු ග්‍රහයා 11 වැන්නට සම්පාත්‍රවේ. උත්පත්ති කේන්දරයේ බලවත්ව සෙනසුරු ඇත්නම් ඔබගේ යෝග කාරක ග්‍රහයා බැවින් ඔබ දියුණුවේ හිණිපෙත්තටම රැගෙන යාවි. ඔබ සාර්ථකත්වය වෙත ගමන් කිරීමට මෙම වත්පිළිවෙත් ඉටු කරන්න. සෙනසුරාදා දිනවල බෝමළුව, මල් ආසන පවිත්‍ර කරන්න. පාන්දර අෂ්ටපල බෝධියකට ගිතෙල් මිශ්‍ර කිරිපිඬු පූජා කරන්න. අත්පා අහිමි ආබාධිත අයට සහ මහලු රෝගී අයට දන් දෙන්න. සෙනසුරු ඔබගේ යෝගකාරකයා බැවින් සෙනසුරාදා නිර්මාංශ වන්න. “නීලාංජල සමාභ්‍රාසං ස්තෝත්‍රය 21 වරක් කියා සෙනසුරු ග්‍රහයාට පින් දෙන්න. විෂ්ණු දෙවිඳුට පින් දෙන්න.

 මිථුන ලග්නය :- ඔබගේ 8 – 9 ස්ථානයන්ට අධිපතිත්වය දරන සෙනසුරු ග්‍රහයා දහවැන්නට පතිතවේ. ඔබගේ උත්පත්ති කේන්දරයේ සෙනසුරු බලවත් නම් රැකියාවෙන් ඔබ උසස්ම තත්ත්වයට පත්වේ.

ඒ තුළින් ඔබට උසස් තැනකට ඒමට හැකි වුවද සෙනසුරු දුර්වලව උත්පත්ති කේන්දරය තුළ රැකියා අහිමි වීම්, ස්ථාන මාරුවීම්, රැකියා එපා වීම් ද සිදු වේ.

මෙම වසර දෙකහමාර පටන් ගන්නා විටම දෙවිනුවර උපුල්වන් දෙවිඳුට (විෂ්ණු දෙවිඳුට) භාර හාර වන්න. එළඟිතෙල් මිශ්‍ර කිරිබත් පාන්දරට නුග ගසක් මුලට තබන්න.

ඒ සතුන්ට ආහාරය පිණිසය. සෙනසුරාදාට නිර්මාංශ වන්න. බෝ මළුව ඇමදීම, මල් ආසන පිරිසිදු කර බෝධි පූජා තබන්න.

 කටක ලග්නය :-

7 වැන්න, 8 වැන්න නියෝජනය කරන සෙනසුරු ග්‍රහයා පුණ්‍යස්ථාන ගත වේ. ඔබ උසස්ම තත්ත්වයකට ගමන් කරනු ලබයි. උත්පත්ති කේන්දරයේ බලවත් නම් ඉතාම සුබ වේ. උතුම් විෂ්ණු දෙවිඳුට පින් දෙන්න. දුගී මගී යාචක සහ රෝගී අයට පිහිට වන්න. මෝර පිරිත, ජය පිරිත කියන්න. අබතෙල්, එළඟිතෙල්, තලතෙල් යොදා පහන් පත්තු කර බෝධි පූජා තබන්න.

 සිංහ ලග්නය :-

6 වැන්න සහ හත්වැන්න අධිපතිත්වය දරන ඔබගේ කේන්දරයේ අටවැන්නට සෙනසුරු ග්‍රහයා පැමිණේ. අෂ්ටම ඒරාෂ්ටකය පටන් ගැනුම ඉන් ඇරඹේ. ඔබ අනිවාර්යයෙන් කුසලෙහි නියැළෙන්න. සෑම දිනකම විනාඩි 05ක් හෝ මෛත්‍රී භාවනාව වඩන්න. සෙනසුරාදා පාන්දර 06 පමණ එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දෙන්න.

එදින දහවල් කැකුළු බත්, ව්‍යාංජන සමඟ යාචක, ආබාධිත අයට දන් දෙන්න. දින 21ක් සෙනසුරාදා පූජා තබන්න. සෙනසුරාදාට නිර්මාංශ වන්න. විෂ්ණු දෙවිඳුට මේ පින් දී පිහිට ඉල්ලන්න.

 කන්‍යා ලග්නය :-

බුධ අධිපතිත්වය ලබන කන්‍යා ලග්නයේ 5 වැන්න 6 වැන්න අධිපති සම්ප්‍රාප්ත වන්නේ 07 වැන්නටය. උත්පත්ති කේන්දරය බලවත් අයට පවුල් ජීවිතයේ සහ විවාහ දිවියේ දියුණුව ඉන් ආරම්භ වේ. උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීම්වලට හේතුයි.

කෘෂිකර්මාන්තයේ පතල් කර්මාන්තයේ යෙදෙන අයට වඩාත්ම දියුණුව අත්වේ. විවාහ ප්‍රමාද වීම් ඇති අයට හොඳ විවාහ සිදු වේ. සෙනසුරුගේ ග්‍රහ දොස් දුරුවීම් සඳහා සෙනසුරාදා පාන්දර නුග රුකකට සාත්තු කරන්න. කටරොඩු මල් මිටක්, එළඟිතෙල් පහනක් පත්තු කර සෙනසුරු ග්‍රහයාට පින් දෙන්න. ජය පිරිත, මෝර පිරිත උදය සවස කියන්න. මෙදින බෝධි පූජා බලවත් ලෙස සිදු කරන්න. බෝ මළුව ඇමදින්න. පන්සල්වලට හුණු පිළියම් කරන්න. සිල් ගත් අයට දන් දෙන්න.

 තුලා ලග්නය :- සෙනසුරු ඔබගේ 4 වැන්න සහ 5 වැන්න නියෝජනය කරමින් 6 වැනි භාවයට ප්‍රවිෂ්ට වේ. උත්පත්ති කේන්දරය බලවත් නම් ඔබට ධනය වැඩි වේ. දුර්වල නම් ඔබ නොයෙක් රෝගවලින් පීඩා විඳිනු ඇත.

මහ දශාව හෝ අතුරු දශාව ශනි නම් ඔබ ඉතාමත් දැහැමි පින් දහම්වල නිරත වන්න.

සෙනසුරාදා එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට පාන්දර 6 වන විට නුග ගසක් යටදී දෙන්න.

අඹතෙල්, එළඟිතෙල්, තල තෙල් මිශ්‍ර පහන් පූජා, බලවත් බෝධි පූජා තබන්න. සෙනසුරාදාට නිර්මාංශ වන්න. ජය පිරිත, මෝර පිරිත කියන්න. “නීලංජන සමාභාෂං ” ස්තෝත්‍රය කියා සෙනසුරු ග්‍රහයාට පින් දෙන්න.

 වෘශ්චික ලග්නය :-

3 වැන්න සහ 4 වැන්න අධිපති සෙනසුරු ග්‍රහයා ඔබගේ 5 වැන්නට පතිතවේ. උත්පත්ති කේන්දරය බලවත් නම් මිතුරන් මුණගැසේ. ආදායම් මාර්ග ලැබේ. බලවත් නැති අයට සෙනසුරු දිනූ අයෙකු වන්න. ඔබ සෙනසුරාදා පාන්දර කිරිපිඬු අෂ්ටපල බෝධියකට පූජා කරන්න.

උදෑසන එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට දෙන්න. කැකුළු හාල්, ව්‍යාංජන සමඟ බත් පාර්සල් කීපයක් ආබාධිත අයට දන් දෙන්න. සෙනසුරාදා දින නිර්මාංශ වන්න. ජය පිරිත, මෝර පිරිත කියන්න. මෛත්‍රී භාවනාව වඩා උදය සවස බුදුන් වැඳ විෂ්ණු දෙවිඳුට පින් දෙන්න.

 ධනු ලග්නය :-

දෙවැන්න, 3 වැන්න අධිපති වෙමින් හතර වැනි රාශියට සම්ප්‍රාප්තිය සිදු වේ. උත්පත්ති කේන්දරය බලවත් නම් ඔබට ගේදොර යානවාහන ලැබේ. ඔබ පින්වන්ත ලග්නයකින් උපන් අයෙක් නම් තවත් පින් කරගන්න. කෘෂි කාර්මික, පතල් කර්මාන්තයේ යෙදෙන අය දියුණුව කරා යයි.

යහපත් ආත්ම ශක්තියක් මේ කාලය තුළ හට ගනී. සෙනසුරාදා දිනවල දින 21 ක් බෝධි පූජා තබන්න. මෛත්‍රී භාවනාව උදේ වඩන්න. සිල්වත් අයට පෝයදාට ගිලන්පස පූජා කරන්න. උපුල්වන් දෙවියන්ට දෙවි නුවරට ගොස් භාර වන්න.

 මකර ලග්නය :-

මෙය සුවිශේෂී ලග්නයකි. වසර 7 1/2 ඒරාෂ්ටක කාලය ගෙවී අවසන්ය. ඔබගේ ලග්නය දෙවැන්න නියෝජනය කරමින් 3 වැන්නට සම්ප්‍රාප්තිය සිදු වේ.

ඔබගේ දියුණුව ඇති වන බැවින් සෙනසුරාදා පාන්දර ගිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට තැබීම, බෝධි පූජා තැබීම සිදු කරන්න. ජය පිරිත, මෝර පිරිත කියන්න. සෙනසුරු ග්‍රහයාට පින් දෙන්න. කන්දේ විහාරය, දෙවි නුවර ගොස් විෂ්ණු දෙවියන්ට පූජා තබා පිහිට ඉල්ලන්න.

 කුම්භ ලග්නය :-

මෙයද සෙනසුරු ග්‍රහයාගේ අධිපතිත්වය දරන ප්‍රබල ලග්නයකි. ඔබගේ 12 වැන්න, 1 වැන්න අධිපති දෙවැන්නට සම්ප්‍රාප්ත වේ.

මෙය ධන යෝගයක් සහිත කාල පරිච්ඡේදයකි. ඔබගේ වසර 7 1/2 ඒරාෂ්ටක කාලය වසර 5කට ගෙවී අවසන්ව අවසාන වසර 2 1/2 කාලය උදාවේ. ඔබ සෙනසුරාදා දින 21ක් බෝධි පූජා තබන්න. එළඟිතෙල් මිශ්‍ර කිරිබත් පාන්දර කපුටන්ට තබා සෙනසුරු ග්‍රහයාට පින් දෙන්න. දවල් ආහාරය ආබාධිත අයෙකුට දන් දෙන්න.

ජය පිරිත, මෝර පිරිත උදය සවස කියන්න. බුදුන් වැඳ උපුල්වන් දෙවිඳුට පින් දෙන්න. මෙය සෙනසුරු ග්‍රහයාගේ උතුම් කාලයකි. ඔබ මෙය මනසට ගන්න.

 මීන ලග්නය :- මීන ලග්න හිමියන්ගේ 11 වැන්න 12 වැන්න නියෝජනය කරන සෙනසුරු සම්ප්‍රාප්තිය සිදු වන්නේ මීන රාශිය තුළයි.

ඔබද ගුරු ලග්නාධිපති වන බලවන්ත ලග්නාධිපති මීන එළඟිතෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට තබන්න.

කටරොඬු, නිල් මානෙල් මල් සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් අෂ්ටපල බෝධියකට පූජා කර පින් දෙන්න.

උපුල්වන් දෙවිඳුට බෙහෙත්, ඖෂධ පූජා කරන්න. බෝධි පූජා සෙනසුරාදා දින 21ක් තබන්න.

ආබාධිත අයට ද දන් දෙන්න. උදය සවස සෙනසුරාදා ග්‍රහයාට උතුම් විෂ්ණු දෙවිඳුන්ට පින් දී පිහිට ඉල්ලන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division