Home » ලුණු විලෙන් දිනූ ලියක්වදෝ… කියන්නකෝ කියන්නකෝ…

ලුණු විලෙන් දිනූ ලියක්වදෝ… කියන්නකෝ කියන්නකෝ…

by sachintha
March 23, 2025 1:30 am 0 comment

තුර්කියේ ලුණු අවශ්‍යතාවෙන් විශාල ප්‍රමාණයක් මේ විලෙන් සපුරා ගන්නවා කීවාට, ඉතිරි කොටස සොයාගන්නේ කොහෙන් දැයි මට ප්‍රශ්නයක් වුණා. මා කුඩා කල කියවා තිබුණු විද්‍යා පතපොතේ තිබුණු පරිදි, පොළොවෙන් හාරාගන්නා ලුණු තුර්කියේ අනාදිමත් කාලයක සිට භාවිතයට ගැනෙනවා. ඊට අමතරව, ඒජියන් හා මධ්‍යධරණී මුහුද ආසන්න ලේවායන් කිහිපයකින් ඉතිරි ලුණු අවශ්‍යතාව සපිරෙනවා.

පසුගිය දවසක අපි තුර්කියේ රට මැද පිහිටි සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වෙත සවාරියක් ගියා. ඒක එක්තරා විදිහක විස්මකුරු නගරයක්. වසර දෙදහසකට පෙර නිර්මාණය වී, මිනිසුන් දසදහස් ගණනකට රැකවරණය දුන්නායැයි කියන ‘කැපඩොකියා’ භූගත නගරය ගැන විස්තරය දින ගණනාවක් කතා කළ යුතු එකක්. එහෙත් අප කැපඩොකියාහි දෙදිනක් ගත කොට ආපසු එන ගමනේදී දුටු අපූරු දසුනක් ගැන ලියන්නට තීරණය කළා. ඒ, තුර්කියෙන් සියයට හැටකට වඩා මේස ලුණු ලබා දෙන ‘ටුස් ගෝලු’ (Tuz Gölü) හෙවත් ‘ලුණු විල’ ගැන. තුර්කි බසින් ලුණුවලට කියන්නේ ‘ටුස්’; විලට කියන්නේ ‘ගෝලු’. ලොව විශාලතම විල්වලින් එකක් වන ‘ටුස් ගෝලු’ තුර්කියේ ලුණු නිෂ්පාදනයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.

ඈත ඇනටෝලියාවේ මනස්කාන්ත ‘ටෝරස්’ කඳුවැටිය, දලු දමන කොන්යානු සුවිසල් තිරිඟු යායෙන් එසවී මතු වන සව්කැඳ කෝප්පයක් සේ සුදු හිමෙන් වැසී තිබෙන දසුන නරඹමින් අපි ආපසු ඉස්තාන්බුල් බලා එමින් සිටියා. අපි අන්කාරා නුවරට කිලෝමීටර් එකසිය පනහක් විතර එපිටින් සිටිද්දී පාරේ දකුණු පැත්තේ රිදී පාට රෙදි පටියක් මෙන් දිගින් දිගට ඇදී යන විලක් දුටුවා. එය කිලෝමීටර් ගානක් දිග අයස්කාන්ත දර්ශනයක්. විල පේන මානයේ එයට සමාන්තරව සෑහෙන වේලාවක් ගමන් කළ පසු අප විල්තෙරේ ඉදි කර තිබූ සේවා ස්ථානයකට ළඟා වුණා.

කලින් සටහනක ලිවුවා වගේ මේක අංග සම්පූර්ණ සේවා ස්ථානයක්. ලංකා‍ෙව් අපේ බස් තේ බොන්න නවත්වන තැන් අවුරුදු පනහකින් මෙහාට දියුණු වෙලා නැති වුණාට මේවා අවුරුදු පනහකටත් පෙර ඉඳන් සුපිරි සේවා හා නවාතැන් ලෙස පවත්වාගෙන යනවා.

සේවා ස්ථානයට ඇතුළු වන තැනම අප සාදරයෙන් පිළිගත්තේ ලුණු කුඩු බඳුනක් අතින් ගත් තරුණියක්. කුඩා තේ හැන්දකින් ගත් ලුණු කුඩු ස්වල්පයක් අපේ අතට දුන් තරුණිය කිවුවේ ඒවා අත්ලෙන් අත්ල හොඳින් පිරිමැද, අසල තිබෙන සින්ක් එකෙන් අත් සෝදාගන්නා ලෙසයි. එසේ කළ විට අපේ අත්වලට සුවපහසුවක් දැනුණු අතර, සෝදාගත් අත් පිසදා ගැනීමට ටිෂූ කඩදාසියක් ගන්නට තිබුණේ සබන් සහ ක්‍රීම් වර්ග අටෝරාසියක් විකුණමින් තිබූ කවුන්ටරයක් අසලින්. අසල වූ ලුණු විලෙන් නෙළාගත් නොයෙක් රසායන වර්ග ඇසුරෙන් නිපදවූ, සබන් හා ක්‍රීම් වර්ග පමණක් නොව, මේ කලාපයේම විශාල කර්මාන්ත ප්‍රමාණයක් ලුණු විල නිසා බිහි වී තිබෙනවා.

විවිධාකාර භූගෝලීය ලක්ෂණ සහිත දේශයක් වන තුර්කිය, තමන්ගේම පාරිසරික හා ආර්ථික වැදගත්කමක් ඇති විල් රැසකට හිමිකම් කියනවා. ඒ අතර, ‘ටුස් ගෝලු’ (සෝල්ට් ලේක්) සහ ‘සල්ඩා’ විල ඒවායේ අද්විතීය ලක්ෂණ, පාරිසරික වැදගත්කම සහ ආර්ථික දායකත්වය නිසා කැපීපෙනෙනවා. මා දැන් ඉන්නේ ඒ අසිරිමත් ‘ටුස් ගෝලු’ හෙවත් ලුණු විල පේන මානයේ.

අන්කාරා අගනුවරට ආසන්නව මධ්‍යම තුර්කියේ පිහිටා ඇති ලුණු විල, රටේ දෙවැනි විශාලතම විල වන අතර, ලෝකයේ වැදගත්ම ලුණු විල්වලින් එකක්. ආසන්න වශයෙන්

ව.කි.මී. 1,500ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති මේ විලට වතුර ලැබෙන මං මිස පිට වීමේ මඟක් නෑ. ජල සමතුලිතතාව පවත්වා ගන්නේ වාෂ්පීකරණය මඟින්. හරියට කැස්පියන් මුහුදේදී වගේ. ඒ නිසාම හා මෙහි ජලපෝෂක කලාපයේ පවතින අධික ලවණතාව නිසා විලේ ලුණු එකතු වීම නිරන්තරයෙන් සිදු වනවා. මේ විල අන්කාරා, කෝන්යා සහ අක්සරේ පළාත්වලට යාබද ශුෂ්ක කලාපයක් තුළ පිහිටා ඇති අතර, එය ලෝකයේ සරුසාරම ලුණු උල්පතක් වී තිබෙනවා.

ලුණු විල කුඩා ගංගා කිහිපයකින් සහ භූගත ප්‍රභවයන්ගෙන් ජලය ලබා ගන්නා අතර, ඉහළ වාෂ්පීකරණ අනුපාතය හේතුවෙන්, ජලයෙන් වැඩි ප්‍රමාණයක් වාෂ්ප වී ඝන ලුණු ස්තර ඉතිරි වනවා. අධික ලවණතාව බොහෝ ජලජ ජීවීන්ගේ වර්ධනය වළක්වනවා පමණක් නොව, විශේෂිත ක්ෂුද්‍ර ජීවීන්ට සහ ලුණුවලට ඔරොත්තු දෙන ඇල්ගීවලට පමණක් ජීවත් විය හැකි අමුතුම පරිසර පද්ධතියක්ද නිර්මාණය වෙනවා.

කලින් කීවාක් මෙන්, ලුණු විල යනු තුර්කියේ ලුණු නිෂ්පාදනයේ ප්‍රධාන මූලාශ්‍රය වන අතර, එය මිලියන අසූවක ජනතාවක් සිටින රටේ මුළු ලුණු අවශ්‍යතාවෙන් හරි අඩකට වඩා සපයනවා. සෑම වසරකම, විවිධ කාර්මික සහ ආහාර හා සබැඳුණු භාවිතයන් සඳහා ලුණු ටොන් දහස් ගණනක් නිස්සාරණය කර, පිරිපහදු කර, සකස් කරන නිසා මෙය රැකියා උත්පාදනයටත්, රටේ ආර්ථිකයටත් එක සේ දායක වනවා. අප එය නරඹන්න ගියේ මේ මාර්තුවේ මැද. ඒ වන විට ඉතා තුනී ලුණු තට්ටුවකින් වැසී තිබුණු විල ජූනි සිට අගෝස්තුව දක්වා වූ ගිම්හාන කාලයේදී අඩි එකහමාරකට ආසන්න ලුණු තට්ටුවකින් පිරී යනවා. විලේ තැන් කිහිපයක ඇති විශේෂ ස්ථානවලින් ලුණු නෙළාගන්නේ මේ කාලයේදී. නෙළන ලද ලුණු අස්වවැන්න විකිණීම සඳහා ඇසුරුම් කිරීමට පෙර අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා පිරිසුදු කිරීමකට භාජනය වනවා. මේ විලේ ලුණු එහි ඛනිජ පොහොසත් සංයුතිය නිසා ආහාර සඳහා මේස ලුණු නිෂ්පාදනයට පමණක් නොව, රසායනික කර්මාන්ත සහ සම ආරක්ෂණ නිෂ්පාදනවලට බෙහෙවින් යොදා ගන්නවා. අප ගොඩ වූ සේවා ස්ථානයේ විකුණන්න තිබ්බේ ඒ ආකාරයෙන් නිපදවූ සබන් හා ක්‍රීම් වර්ග. සුවිසල් වෙළෙඳ, ආපණශාලා හා ගිමන්හල් සංකීර්ණයක් වූ මේ සේවා ස්ථානය ඉපැරණි සේද මාවතේ ‘හන්’ නැවතුම්පොළක නවීන ‘වර්ෂන්’ එකක්. ඉන් ඔබ්බෙන් වූ විල් තෙරේ හා විල මතුපිට සියගණනක් වූ සංචාරකයන් ගැවසෙමින් සිටියා. මෙරට බොහෝ වැසියන් පාවහන් රහිතව විලේ ඇවිදිමින් සිටියේ එසේ කිරීමෙන් පාදවලට සනීපයක් ලැබෙන බව විශ්වාස කරන නිසා.

තුර්කියේ ලුණු අවශ්‍යතාවෙන් විශාල ප්‍රමාණයක් මේ විලෙන් සපුරාගන්නවා කීවාට, ඉතිරි කොටස සොයාගන්නේ කොහෙන්ද යන්න මට ප්‍රශ්නයක් වුණා. මා කුඩා කල කියවා තිබුණු විද්‍යා පතපොතේ තිබුණු පරිදි, පොළොවෙන් හාරාගන්නා ලුණු තුර්කියේ අනාදිමත් කාලයක සිට භාවිතයට ගැනෙනවා. ඊට අමතරව ඒජියන් හා මධ්‍යධරණී මුහුද ආසන්න ලේවායන් කිහිපයකින් ඉතිරි ලුණු අවශ්‍යතාව සපිරෙනවා.

එක මල්ලේ ලුණු කමින් සේද මාවත දිගේ තවලමේ ආ වෙළෙන්දන්ට මෙන්ම සයිබර් යුගයේ දූදරුවන්ටත් ලෝබ නැතිව ලුණු දෙන ‘ටුස් ගෝලු’ ඉවුරේ ඉර බැස යන හෝරාවක විවේකයෙන් දවසරින්නට අපට මේ ගමනේදී ඉඩක් ලැබුණා. ඒක මුළු ගමනේම ආස්වාදනීයම හෝරාවක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division