Home » ආරාධිත අමුත්තා

ආරාධිත අමුත්තා

by sachintha
March 23, 2025 1:00 am 0 comment

මම වහාම හෝටලයේ වාහනයක් දුන්නා. ඒ වාහනය මීට ටික වේලාවකට පෙර ආපසු පැමිණ වෙනත් අමුත්තකු කැටුව පිටත්ව ගියා. ඔහු ආපසු එන විට තව ටික වේලාවක් ගත වේවි.

සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට ප්‍රවේශ ශාලාවට රැස් වී සිටින සංවිධාකයන් දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. මේ වන විට සම්මන්ත්‍රණ ශාලාවේ අසුන් ආරාධිත අමුත්නන්ගෙන් පිරී ඇත. වෙන් කර ඇති ඉදිරි පෙළ අසුන් පෙළේ රාජ්‍ය නායකයා සහ මැති ඇමැතිවරු අසුන් ගෙන සිටිති. එහෙත් ප්‍රධාන ආරාධිත අමුත්තා තවමත් පැමිණ නැත. ලෝක ප්‍රකට විද්‍යාඥයකු වන ඔහු වසර තිහකට පමණ පෙර තම මවුරටින් පිට වී ගොස් පර්යේෂණ කටයුතුවල නිරතව සිට ඇත. තිස් වසරකට පමණ පසු සියරටට පැමිණි ඔහු පිළිගැනීමට මේ උත්සවය සංවිධානය කර තිබේ. එම උත්සවයේ ප්‍රධාන කථිකයා වන්නේද මේ විද්‍යාඥයායි.

සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා වූ රාජ්‍ය ලේකම්වරයා විද්‍යාඥයා නැවතී සිටි තරුපහේ හෝටලයට දුරකතන ඇමතුමක් දුන්නේය. එම විද්‍යාඥයා මීට අඩ පැයකටත් පෙර හෝටලයෙන් පිටත් වූ බව පිළිගැනීම් නිලධාරිනියක් දැනුම් දුන්නාය. හෝටලයේ සිට සම්මන්ත්‍රණ ශාලාවට පැමිණීමට ගත වන්නේ මිනිත්තු දහයක පමණ කාලයක් බව රාජ්‍ය ලේකම්වරයා අත්දැකීමෙන්ම දැන සිටියේය. එහෙත් තවමත් ඔහුගේ නොපැමිණීම ඔහුගේ තිගැස්මට හේතු විය. එහෙත් ඔහු එන තුරු බලා සිටිනවා හැරෙන්නට කුමක් කරන්නද? තව මිනිත්තු පහළොවක් පමණ ගෙවී යද්දී රාජ්‍ය ලේකම්වරයා දැඩි අසහනයට පත්ව ඇති බව පිටතටද පෙනෙන්නට තිබිණි.

මේ විද්‍යාඥයා කිසියම් ත්‍රස්තවාදි සංවිධානයක් විසින් පැහැරගනු ලැබුවේද? එසේ වී නම් ඔහු නිදහස් කිරීමට එම ත්‍රස්තාවාදි සංවිධානය කප්පම් ඉල්ලනු ඇති බවට සැකයක් නැත. නොඑසේ නම් ඔහු රිය අනතුරකට භාජනය වීද? ආරක්‍ෂක අංශ ප්‍රධානීන් කැඳවූ ප්‍රධාන ලේකම්වරයා වහා මේ පිළිබඳ සොයා බලන ලෙසත්, තත්ත්වය හැකි ඉක්මනින් තමාට වාර්තා කරන ලෙසත් ආරක්‍ෂක බලධාරීන්ට උපදෙස් දුන්නේය.

උත්සවය ආරම්භ වීමට නියමිත වෙලාවට වඩා අඩපැයක් දැනටමත් ඉක්ම ගොසිනි. රාජ්‍ය නායකයා කෝපයෙන් පසු වෙයි. ඔහු සම්මන්ත්‍රණ ශාලාවෙන් පිට වී යෑමට සූදානම්ව ප්‍රවේශ ශාලාවට පිවිසියේය. ලේකම්වරයා දුරකතන ඇමතුම් දෙමින් තොරතුරු විමසයි. එහෙත් ඔහුට සෑහීමට පත් විය හැකි පිළිතුරක් තවම ලැබී නැත.

රාජ්‍ය නායකයා පිටව ගිය පසු අනෙක් මැති ඇමැතිවරු එකිනෙකා සම්න්ත්‍රණ ශාලාවෙන් පිටව ගියහ. එක් අතකට එය ලේකම්වරයාට සැනසීමකි. එහෙත් මේ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා පැමිණිය හොත්… ආරාධිත විද්‍යාඥයා කොයි මොහොතේ හෝ පැමිණිය හැකි බව රැස්ව සිටි පිරිසට දැනුම් දෙන ලෙස ඔහු උපදෙස් දුන්නේය. එමඟින් පිරිස පිටතට නොයවා මඳ වේලාවකට හෝ රඳවා ගැනීම ඔහුගේ අරමුණ විය.

පරීක්‍ෂණ කණ්ඩායම් කිහිපයක්ම ආරාධිත අමුත්තා සෙවීම සඳහා පිටත්ව ගියේය. එක් කණ්ඩායමක් අමුත්තා නතරව සිටි තරු පහේ හෝටලයට ගියේය. එහි ගිය නිලධාරීහු පිළිගැනීමේ නිලධාරිනියන්ගෙන් කටඋත්තර සටහන් කරගැනීම ඇරඹූහ.

“ඔබ සඳහන් කරන මහත්මයා පිළිගැනීමේ කවුන්ටරයට පැමිණ සම්මන්ත්‍රණ ශාලාවට යෑමට වාහනයක් මාගෙන් ඉල්ලා සිටියා. මම වහාම හෝටලයේ වාහනයක් දුන්නා. ඒ වාහනය මීට ටික වේලාවකට පෙර ආපසු පැමිණ වෙනත් අමුත්තෙක් කැටුව පිටත්ව ගියා. ඔහු ආපසු එන විට තව ටික වේලාවක් ගත වේවි.”

“ඔබට කියන්න තියෙන්නේ එපමණද?”

“හෝටලයෙන් පිටත්ව යෑමට පෙර ඒ මහත්මයා හෝටලයේ සියලු ගාස්තු ගෙවා දැමුවා. උත්සවය අවසන් වූ විගස ආපසු පැමිණෙන බව කියූ ඒ මහත්මයා තමන්ට ගුවන්තොටුපොළට යෑමට වාහනයක් වෙන් කර තබන ලෙස ඉල්ලා සිටියා. ඒ වාහනයට පිළිගැනීමේ කවුන්ටරයේ තබා ඇති තමන්ගේ ගමන් මලු පටවා තබන ලෙසත් අපට උපදෙස් ලැබුණා. සම්මන්ත්‍රණ ශාලාවේ සිට ආපසු පැමිණි විගසම තමා පිටව යන බවත්, ඒ සඳහා තමන්ගේ පෞද්ගලික ගුවන්යානයට සූදානම්ව සිටින ලෙස දැනුම් දෙන ලෙසත් ඒ මහතා අපෙන් ඉල්ලා සිටියා. අප ඒ අනුව කටයුතු කළා. මට කීමට ඇත්තේ මෙපමණයි.”

මේ අතර හෝටලයේ සිට විද්‍යාඥයා රැගෙන ගිය රිය ආපසු හෝටලයේ රථ ගාලට පැමිණි බව වාර්තා විය. එහි රියැදුරු වහාම කැඳවනු ලැබිණි. ඔහුගේ ප්‍රකාශයේ මෙසේ සඳහන් විය:

“විශේෂ අමුත්තකු රැගෙන යන ලෙස මට උපදෙස් ලැබුණා. ඒ මහතා හෝටලයේ ඉදිරිපිට ආලින්දයට පැමිණ මගේ රියට ගොඩ වුණා. ඔහු සරල පුද්ගලයකු බව පෙනුණා. ඔහු කලිසමකින් සහ කමිසයකින් සැරසී සිටි, වයස හැට ඉක්මවූ පුද්ගලයෙක්. ඔහු අතේ කුඩා ප්‍රමාණයේ පරිගණකයක් තිබුණු බව මට මතකයි. මම ඔහු රැගෙන සම්මන්ත්‍රණ ශාලා භුමියට යෑමට උත්සාහ කළත් පොලීසියෙන් මට ඉඩ දුන්නේ නැහැ. සම්මන්ත්‍රණ ශාලා භූමියට ඇතුළු වීමට ඉඩ දෙන්නේ විශේෂ අමුත්තන් සඳහා වූ වීඅයිපී ලේබලය අලවා තිබූ රථවලට පමණයි. මා සමඟ පැමිණි මහත්මයා තමාට සම්මන්ත්‍රණ ශාලාවට යෑමට අත්‍යවශ්‍ය බව කියා සිටියා. එහෙත් වාහනය රැගෙන යෑමට ඉඩ දිය නොහැකි බව පොලිස් නිලධාරීන් දිගටම දන්වා සිටියා. ඒ මහතා රියෙන් බැස සම්මන්ත්‍රණ ශාලාව වෙත පා ගමනින් පිටත්ව යෑමට සූදානම් වුණා. ඒ මහතා ආපසු එන තුරු එතැන රැඳී සිටින්නදැයි මා විමසා සිටියා. ඊට පිළිතුරු ලැබුණේ පොලිස් නිලධාරීන්ගෙන්. මේ ප්‍රදේශය ආරක්‍ෂක කලාපයත් බවට පත් කර ඇති බැවින් වහා රථය එතනින් ඉවත් කර ගන්නා ලෙස මට නියෝග ලැබුණා. තමන්ට කුලී රියකින් ආපසු හෝටලයට පැමිණිය හැකි බැවින් මට ආපසු යන ලෙස ඒ මහතා පැවසුවා. ඒ නිසා මම වාහනය ආපසු හරවාගෙන හෝටලයට පැමිණියා. ඒ සමඟම තවත් අමුත්තකු කැටුව යන ලෙස මට උපදෙස් ලැබුණා. මම ඒ අමුත්තා සමඟ ගොස් ඔහු බස්සා ආවේ දැනුයි. මට කීමට ඇත්තේ එපමණයි.”

ප්‍රකාශය දීමෙන් පසු ඔහු පිටතට යෑමට ඉඩ නොදී රඳවා ගනු ලැබීය.

පිළිගැනීමේ නිලධාරිනිය පැවසු පරිදි ඒ අමුත්තා පැමිණි විගස ආපසු යෑමට සූදානම් කර තිබූ වාහනය සොයමින් නිලධාරි කණ්ඩායමක් හෝටල් භූමිය පීරන්නට විය. හෝටලයේ ඇතුළු වීමේ දොරටුවේ සිටි ආරක්‍ෂක භටයන්ගෙන් ඔවුන්ට දැනගන්න ලැබුණේ ඒ වාහනය පැයකට පමණ පෙර පිටව ගිය බවයි. එය තවමත් ආපසු පැමිණ නැත.

ගුවන්තොටුපොළේ නවතා ඇති විද්‍යාඥයාගේ පෞද්ගලික ගුවන්යානය පිළිබඳ වහා සොයා බලන ලෙස කණ්ඩායමට උපදෙස් ලැබිණි.

මේ අතර තවත් කණ්ඩායමක් සම්මන්ත්‍රණ ශාලාවේ අමුත්තන් ශාලාවට ඇතුළු කිරීම භාරව සිටි කාන්තාවන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹීය. එදින විශේෂ දෙයක් සිදු නොවූ බව ඒ කණ්ඩායම භාරව සිටි නිලධාරිනිය පැවසුවාය. එහෙත් ඒ අතර සිටි එක් නිලධාරිනියක වෙනස් අත්දැකීමකට මුහුණ දී තිබිණි. ඇයගේ ප්‍රකාශය සටහන් කර ගැනීම ඇරඹිණි. ඇයගේ ප්‍රකාශය මෙසේය:

“කාන්තාවන් සහ පිරිමින් වෙනුවෙන් පෝලිම් දෙකක් තිබුණා. මේ අතර එක් මහත්මයකු පැමිණ, ශාලාවට ඇතුළු වීමට උත්සාහ දරනු දුටුවා. ඔහු අත ආරාධනා පත්‍රයක් නොවූ බැවින් පෝලිමට එක් වන ලෙස දොරටුවේ සිටි ආරක්‍ෂක නිලධාරියා පැවසුවා. ඔහු පෝලිමේ කෙළවරට ගියා. ඒ තැනැත්තා මේ ස්ථානයට කිසි සේත්ම ගැළපෙන තැනැත්තෙක් නෙවෙයි. අනෙක් සියලු දෙනාම යුරෝපීය ඇඳුම්වලින් සැරසි සිටි නමුත් ඔහු සාමාන්‍ය විදියටයි ඇඳපැලඳගෙන හිටියේ. ඔහු පෝලිමේ මා අසලට පැමිණි විට මම ආරාධනා පත්‍රය ඉල්ලා සිටියා. අප ශාලාවට ඇතුළු කළේ ආරාධනා පත්‍රය සහ අප අතර වූ ආරාධිතයන්ගේ නාමලේඛනය සසඳා බලායි. මේ තැනැත්තා කියා සිටියා තමට ආරාධනා පතක් නොලැබුණ බව. ඔහු මගෙන් ඉල්ලා සිටියා සංවිධායක මණ්ඩලයේ කෙනකු මුණගස්වන ලෙස. ඔවුන් ඉතා කාර්යබහුල බැවින් ඔවුන්ගෙන් කෙනකු මුණගැස්වීමට කටයුතු කරන බව කී මම එතෙක් පසෙකට වී සිටින ලෙස ඔහුට කිවුවා. මේ අතර එතැනට පැමිණි උසස් පොලිස් නිලධාරියෙක් ඔහු එහි රැඳී සිටින්නේ මන්දැයි විමසා, වහා ඒ ස්ථානයෙන් පිටව යන ලෙස නියෝග කළා. ඔහු යමක් පැවසීමට උත්සාහ කළත් පොලිස් නිලධාරියා ඊට සවන් දීම ප්‍රතික්ෂේප කළා. ඔහු හෙමින් හෙමින් අඩි තබමින් පිටව ගියා. සංවිධායක මණ්ඩලයේ කෙනකු මුණගැස්වීමට මට ඉඩ ලැබුණේ නැහැ. මට කීමට ඇත්තේ එපමණයි.”

විද්‍යාඥයාට යෑමට සූදානම් කර තිබූ රථයට සිදු වූයේ කුමක්ද? පොලීසියේ දැඩි අවධානයට ලක් වූයේ ඒ කාරණයයි. ගුවන්තොටුපොළ දක්වා වූ සියලු පොලිස් ස්ථානවලට සහ මාර්ග බාධකවලට දැනුම් දෙනු ලැබූ අතර, අඩ පැයකට පමණ පසු එම රිය කිසිදු කලබයකින් තොරව හෝටල් භූමියට ළඟා විය. ඒ රථයේ රියැදුරා අත්අඩංගුවට පත් වූ විට ඔහු තිගැස්සිණි. මඳා වේලාවක් යන තුරු ඔහු කිසිවක් සිතාගත නොහැකිව ගොළු වී සිටියේය. අනතුරුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම ඇරඹිණි.

“මම රිය ගාලේ සිටින විට මට හෝටලයේ පිළිගැනීම් අංශයෙන් ඇමතුමක් ලැබුණා. මගේ රථය හෝටලයට ඉදිරිපිටට ගෙනෙන ලෙස මට උපදෙස් ලැබුණා. හෝටල් සේවකයකු පැමිණ මගේ රථයට ගමන් මලු කීපයක් දැම්මා. එක් මහත්මයෙක් පැමිණ තමන් රැස්වීමකට යන බවත්, ආපසු පැමිණි විගසම ගුවන්තොටුපොළට යන බවත්, තමා එන තුරු එම ස්ථානයේ රැඳී සිටින ලෙස මට උපදෙස් දුන්නා. පැය බාගයකට පමණ පසු කුලී රථයකින් පැමිණි ඒ මහතා මගේ රථයේ අසුන් ගෙන පිටත් වීමට උපදෙස් දුන්නා. මම හැකි තරම් ආරක්ෂිතව ඉතා ඉක්මනින් ඒ මහතා රැගෙන ගුන්තොටුපොළේ ප්‍රභූන් සඳහා වෙන් කර ඇති මැදිරිය ඉදිරියට රථය ගෙන ගියා. ගුවන්තොටුපොළේ සේවකයකු පැමිණ ගමන් මලු ට්‍රොලියක දමා රැගෙන ගියා. ඒ මහතා ප්‍රභූ පර්යන්තයට ඇතුළු වීමෙන් පසු මා ආපසු පැමිණියා. මට කීමට ඇත්තේ එපමණයි.”

සංවිධායක මණ්ඩලයේ නායක, ලේකම්වරයා සම්මන්ත්‍රණ ශාලවෙන් පිටතට පැමිණ, ඒ ස්ථානයෙන් ඉවත්ව යෑමට සැරසෙද්දී මාධ්‍යවේදීහු ඔහු වට කර ගත්හ.

“ආරාධිත අමුත්තාට සිදු වුයේ කුමක්ද?” ඔවුහු ප්‍රශ්න කළහ. රාජ්‍ය ලේකම්වරයා පිළිතුරු වශයෙන් කීවේ තමාට තවමත් නිශ්චිත තොරතුරක් ලැබි නැති බවයි.

පරීක්‍ෂණ කටයුතු කරගෙන යද්දී හෝටලයේ පරිගණකවලට ට්විටර් පණිවිඩයක් ලැබි තිබිණි. එය දේශනය පැවැත්වීමට නියමිතව සිටි විද්‍යාඥයාගෙනි. එහි මෙසේ සඳහන් විය:

“මට ලැබුණ වාචික ආරාධනාව අනුව මම දේශනය පැවැත්වීම සඳහා සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියෙමි. එහෙත් ඒ රැස්වීමට බොහෝ ප්‍රභූවරුන් පැමිණෙන බැවින් ආරක්‍ෂා කටයුතු තර කොට තිබිණි. මම රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ කළෙමි. මා අත ආරාධනා පත්‍රයක් හෝ ප්‍රවේශ පත්‍රයක් නොවීය. සංවිධායක මණඩලයේ නියෝජිතයකු හමු වීමට දැරූ උත්සාහය නිරර්ථක වූයේ එවැනි නිලධාරියකු හමු වීම සඳහා ප්‍රධාන දොරටුව අසළ රැඳී සිටියදී මා අසලට පැමිණි උදාරම් පෙනුමක් ආරුඪ කරගත් පොලිස් උසස් නිලධාරියෙක් මට ඒ ස්ථානයන් වහා පිටව යන ලෙස නියෝග කළේය. එබැවින් මම එතනින් පිට වී ආපසු ආවෙමි. මට ආරාධනා කළ අයට ස්තුතිවන්ත වන අතර, මගේ කතාව ඇසීමට පැමිණි පිරිසට සිදු වූ අපහසුතාව පිළිබඳ මගේ කනගාටුව පළ කරමි. ආරක්‍ෂක කටයුතු ඉතා හොඳින් සිදු වී තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බව මතක් කර දීමට කැමැත්තෙමි. යළිත් මේ රටට පැමිණීමට මගේ කැමැත්තක් හෝ අදහසක් නැත.”

lබොබී ජී. බොතේජු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division