Home » සියවස් සමරුව අබිමුව සිංහල ශබ්දකෝෂ ආයතනය මුහුණ දී සිටින අභියෝග

සියවස් සමරුව අබිමුව සිංහල ශබ්දකෝෂ ආයතනය මුහුණ දී සිටින අභියෝග

by sachintha
March 23, 2025 1:00 am 0 comment

ශබ්දකෝෂයටම අනන්‍ය නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමද එය අඛණ්ඩව පවත්වා ගෙන යෑමෙහිලා ප්‍රමුඛ අවශ්‍යතාවක් වේ. කොන්ත්‍රාත් පදනම මත පිරිනමන ශබ්ද ෂ ප්‍රධාන කර්තෘ තනතුර අවුරුදු තුනකට හෝ පහකට දිගු කිරීමද වැදගත් වේ.

සිංහල ශබ්දකෝෂ කාර්යාලය ලෙස 1927 මාර්තු 21 වන දින ප්‍රතිෂ්ඨාපිත සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය ශ්‍රී ලංකාවේ භාෂාත්මක පර්යේෂණයේ හා සංස්කෘතික උරුමයේ සංකේතය බවට පත් වී ඇති බව නොරහසකි. ශතවර්ෂ පූර්ණයට ඉතා ආසන්න මේ අවස්ථාව එහි ගමන් මඟ, කාර්යසාධනයට උර දුන් විද්වත් පර්ෂදයන් හා වර්තමානය පිළිබඳ අවලෝකනයක යෙදෙනු පිණිස අතිශය උචිත යැයි හඟිමු.

රජයේ සිංහල ශබ්දකෝෂයේ ඉතිහාසය 1881 තරම් ඈත කාලයට දිව යන්නකි. එකල ලංකාවේ අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි චාල්ස් බ්රූස් මහතා ප්‍රමිතියකින් යුතු අංග සම්පූර්ණ සිංහල ශබ්දකෝෂයක අවශ්‍යතාව රාජකීය ආසියාතික සමිතිය වෙත ඉදිරිපත් කොට තිබේ. එසේම 1884 දී බ්‍රිතාන්‍යයේ ඉන්දීය කාර්යාලයීය පුස්තකාලයේ පුස්තකාලයාධිපති රයින් හෝල්ඩ් රෝස්ට් මහතාද ලිපියක් මඟින් ප්‍රමිතියකින් යුතු සිංහල ශබ්දකෝෂයක අවශ්‍යතාව රාජකීය ආසියාතික සමිතියට දන්වා ඇත. මේ ඉල්ලීම් දෙකම මුල් කර ගනිමින් ඇති වූ සාකච්ඡාවකින් අනතුරුව කෝපල්ස්ටන් බිෂොප්තුමාගේ මූලිකත්වයෙන් වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමි, මුදලිඳු බී. ගුණසේකර, නීතිඥ ඩබ්ලිව්.පී. රණසිංහ යන සාමාජිකයන්ගෙන් සමන්විත කමිටුවක් ශබ්දකෝෂ කටයුතු පවත්වාගෙන යෑමට පත් කරගෙන ඇතත්, එහි කටයුතු ඉදිරියට ගිය බවක් සඳහන් නොවේ.

ඉන් වසර 29කට පසු – එනම්: 1923දී – මැන්දිස් ගුණසේකර මුදලිතුමන් අංග සම්පූර්ණ සිංහල ශබ්දකෝෂයක අවශ්‍යතාව හා එය කඩිනමින් සම්පාදනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් එවකට අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යවා ඇත. ඒ පිළිබඳ සැලකිලිමත් වූ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තමාගේ නිර්දේශද සහිතව ඒ ලිපිය රාජකීය ආසියාතික සමිතියට යොමු කළේය. එය මුල් කර ගනිමින් නූතන ශබ්දකෝෂකරණයේ ශාස්ත්‍රීය ක්‍රමවේද අනුගමනය කරමින් නෛරුක්තික සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට සුදුසු කර්තෘ මණ්ඩලයක් රාජකීය ආසියාතික සංගමය මඟින් පත් කළා පමණක් නොව; මූලික කටයුතු සිදු කිරීමට පවුම් 35,000ක මුදලක්ද වෙන් කර දී ඇත. නූතන ශබ්දකෝෂකරණය පිළිබඳ කිසිදු අත්දැකීමක් ඒ වන විට ලබා නොතිබූ ලාංකික විද්වතුන්ට උපදෙස් ගැනීම සඳහා ජර්මනියේ මියුනිච් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු මෙන්ම ලෝ ප්‍රකට ශාබ්දිකයකු වූ විල්හෙල්ම් ගයිගර් (1856–1943) මහතාගේ මැදිහත් වීම සලසා ගැනීම මේ ශබ්දකෝෂයේ කාර්ය සාඵල්‍යයට අතිශය වැදගත් විය. ඒ අනුව ඔහු උපදේශක අධ්‍යක්ෂ වශයෙන්ද ශ්‍රීමත් ඩී.බී. ජයතිලක (1868–1944) මහතා ප්‍රධාන කර්තෘ වශයෙන්ද වාසල මුදලිවරුන් වන මැන්දිස් ගුණසේකර (1869–1931) හා ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධන (1861–1935) යන මහත්වරුන් උපකර්තෘවරුන් වශයෙන්ද පත් කරනු ලැබූහ.

මෙසේ පත් කරන ලද කර්තෘ මණ්ඩලයේ මූලික සැලසුම වූයේ ප්‍රධාන ශබ්දකෝෂ ව්‍යාපෘති දෙකක් එක්වර ක්‍රියාත්මක කිරීමයි. ඒ සිංහල–ඉංග්‍රීසි ශබ්දකෝෂයක් හා සිංහල–සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම වශයෙනි. මේ ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා ශබ්දකෝෂය ආරම්භ කරන අවස්ථාව වන විට වාසල මුදලිවරුන් උපකර්තෘ ධුරවලින් ඉවත් වී ඇති අතර, කාර්ය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ජුලියස් ද ලැන්රෝල් හා ඩී.ඊ. හෙට්ටිආරච්චි යන මහත්වරුන් උපකතෘවරුන් ලෙස බඳවා ගෙන ඇත. පසුව මේ දෙදෙනාම ශබ්දකෝෂ කාර්යාලයේ ප්‍රධාන කර්තෘවරුන් වී ඇත. සිංහල ශබ්දකෝෂයට මතු නොව සිංහල භාෂා ශාස්ත්‍රයට ද ඔවුන්ගෙන් සිදු වී ඇති මෙහෙය අනිර්වචනීය වේ.

මේ සියලු දෙනාගේ එකතුවෙන් 1927 මාර්තු 21 දින කාලයක් තිස්සේ විවිධ දෙස් විදෙස් විද්වතුන් විසින් සැලසුම් කර තිබූ මේ උත්තුංග ශාස්ත්‍රීය කටයුත්ත ආරම්භ කෙරිණි. භාෂණ හා ලේඛන වශයෙන් භාෂා ද්විරූපතාවක් සහිත භාෂාවක වචන විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින් එකතු කර ගැනීම ශබ්දකෝෂ සම්පාදනයේ මූලික මෙන්ම බැරෑරුම් කටයුත්ත ද වේ. ඒ අනුව මෙම කර්තෘ මණ්ඩලය ඒ වන විට මුද්‍රණයෙන් එළිදක්වා තිබූ සිංහල පොත්වලින් හා ජනවහරින් වචන එකරැස් කිරීම කර ඇත්තේ ඒවා භාවිත වාක් ප්‍රකරණ සහිතවය. එකතු කළ වචන සූචිගත කිරීම ඊළඟ වැදගත් කටයුත්තයි. දෝෂ බහුල පොත් ශාස්ත්‍රීය සංස්කරණයෙන් එළිදැක්වීමද මෙයට සමගාමිව සිදුවිය. ශබ්දකෝෂ ලිපි සම්පාදනයේදී එකල භාවිත ඉහළම විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කෙරිණි. එහිදී ශීර්ෂ වචනය අයත් ව්‍යාකරණ ප්‍රවර්ගය සංකේතයක් මඟින් මුලින් දැක්වීමද නාම, ක්‍රියා, නිපාතාදි ප්‍රවර්ග කිහිපයක යෙදෙන වචනවල ඒ එක් එක් ප්‍රවර්ගය තුළ දෙන අර්ථ වෙන වෙනමත්, බහ්වර්ථ පදවල මූලික අර්ථය පළමුවත්, උපචාරාර්ථ ආදි අරුත් අනතුරුවත් දැක්වීම ලිපි ලිවීමේදී අනුගමනය කර ඇත. භාෂණ ව්‍යවහාර ස්වරූපයෙන් ක්‍රියා පද යොදා ගෙන තිබේ. මෙවැනි සංකීර්ණ ක්‍රමයක් අනුගමනය කර ඇති ශබ්දකෝෂ ලිපි සම්පාදනයේ කූටප්‍රාප්තිය සිදු වන්නේ1935 වර්ෂයේදීය. ඒ, අකාරාදියට අනුව සැකසූ සිංහල–ඉංග්‍රීසි ශබ්දකෝෂයේ මුල්ම කාණ්ඩයේ පළමු කලාපය එළිදැක්වීමෙනි. දෙවැනි අනුස්මරණීය අවස්ථාව වන්නේ සිංහල–සිංහල ශබ්දකෝෂයේ මුල්ම කාණ්ඩයේ පළමු කලාපය 1937දී ප්‍රකාශිත වීමයි.

රාජකීය ආසියාතික සමිතිය යටතේ ශබ්දකෝෂ කාර්යාලය පවත්වාගෙන යෑමේ දුෂ්කරතා මතු වූයෙන් 1942දී ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය යටතට එය පැවරිණි. ඒ සඳහා එවක උපකුලපති ධුරය හෙබවූ ආචාර්ය සර් අයිවර් ජෙනිංග්ස් මහතාගේ පූර්ණ ආශීර්වාදයද හිමි වී ඇත. එහිදී, මෙතෙක් කරගෙන ආ සැලසුම් කළ ශබ්දකෝෂ ව්‍යාපෘති අවසන් කිරීමට සෑහෙන කාලයක් ගත වන බව පෙනී ගියෙන්, ඒ ව්‍යාපෘති දෙක තාවකාලිකව නවතා දමා, සිංහල–ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයක් පළ කිරීමට සැලසුම් සකස් කෙරිණි. එවකට ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය හෙබවූ මහාචාර්ය රත්නසූරිය මහතා විසින් 1949දී ‘අ’ සිට ‘ශ’ දක්වා වචන ඇතුළත් පළමු කාණ්ඩය එළිදැක්වූවත් ඒ සඳහා එල්ල වූ නිර්දය විවේචන හේතුවෙන් ඉතිරි කාණ්ඩයේ කටයුතු අඩපණ විණි. එතැන් සිට 1972 වසරේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ශබ්දකෝෂ කාර්යාලය පවරාගන්නා තුරුම කටයුතු කෙරී ඇත්තේ මන්දගාමි ස්වරූපයෙනි. මහාචාර්ය ඩී.ජේ. විජේරත්න මහතා මේ කාලයේ ප්‍රධාන කර්තෘ ධුරය හොබවා තිබේ.

මේ පවරා ගැනීමත් සමඟ එකල ශබ්දකෝෂයේ අධ්‍යක්ෂ ධුරයද ප්‍රධාන කර්තෘ තනතුරද දැරූ ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතාගේ මැදිහත් වීම කෝෂ ග්‍රන්ථ සම්පාදන ක්‍රියාවලියෙහි උද්‍යෝගයක් ඇති කිරීමට සමත් විය. එහි කූටප්‍රාප්තිය වන්නේ මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල සූරීන් නියෝජ්‍ය කර්තෘ තනතුරට පත් කර ගැනීම හා ඔහුට ශබ්දකෝෂයේ වගකීම් පැවරීමයි. 1949 ශබ්දකෝෂයට උපකර්තෘවරයකු ලෙස සේවයට එක් වී, එතැන් සිට දිගින් දිගට ම ශබ්දකෝෂ කාර්යයෙහි ව්‍යාවෘත වූ සන්නස්ගල මහතාට ශබ්දකෝෂයේ නිමාව පිළිබඳ දළ සැලැස්මක් වූයෙන් ස්වකීය ආචාර්යවරයා භාර දුන් කාර්ය සාඵල්‍යය දක්වා ගෙන යෑමේ දැඩි අධිෂ්ඨානයක් තිබී ඇති අතර, ඒ සඳහා එවක දේශපාලන අධිකාරියේ ද පූර්ණ දායකත්වය ලැබී තිබේ. 1984 වර්ෂයේ ප්‍රධාන කර්තෘ තනතුරට පත් වන සන්නස්ගල මහතාට භාෂා ශාස්ත්‍රය කෙරෙහි මහත් ළෙන්ගතුකමක් පෑ සංස්කෘතික අමාත්‍යවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ උද්‍යෝගිමත් සහයෝගයද ලැබී ඇත. ඒ අනුව ශබ්දකෝෂ සම්පාදන කාර්යයේ ස්වර්ණමය දශකය බවට මේ දශකය පත් වී ඇති බව අතිශයෝක්තියක් නොවේ.

මෙකල සිංහල වැහැරවීම පිළිබඳ මතවාද දෙකක සිටි හෙළ හවුලේ වියතුන් හා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය ලද වියතුන් විශාල ප්‍රමාණයක් එක් කර ගනිමින්, භාෂාත්මක විවිධ මතවාද සම කක්ෂයකට ගනිමින්, ශබ්දකෝෂයේ ලිපි සියල්ල ලියා අවසන් කිරීම සුවිශේෂ කටයුත්තකි. කලින් සැලසුම් කළ ශබ්දකෝෂ සම්පාදනයේ ක්‍රමවේද සුවිශේෂ වෙනස්කම්වලට ලක් කිරීමද ‘ය’ අක්ෂරයේ ලිපි ඇතුළත් කලාපය පරිගණක භාවිතයෙන් 1991 වර්ෂයේ ප්‍රකාශිත වීමද ඒ අතර ප්‍රධාන වෙයි. එතෙක් පැවති සම්ප්‍රදායය බිඳිමින්, රජයේ මුද්‍රණාලයෙන් බැහැර බාහිර මුද්‍රණායතන මඟින් ශබ්දකෝෂ කලාප මුද්‍රණය කිරීමට තීරණය කිරීමද මෙකල වූ වෙනසකි. කෙසේ හෝ සියලු දෙනාගේ අප්‍රතිහත ධෛර්යයෙන් වසර 600කින් මෙපිට අවසන් කළ නොහැකි යැයි මුල් කාලයේ කුමාරතුංග මුනිදාසයන්ගේ ‘සුබසේ’ හා රැයිපියල් තෙන්නකෝනුන්ගේ ‘වවුලුවේ’ නිර්දය විවේචනයට මෙන් ම සෝපහාස කතාවට ලක්ව තිබූ සිංහල – සිංහල ශබ්දකෝෂ සම්පාදන කාර්යාවලියේ එක් කඩඉමක් 1992 වර්ෂයේදී ආරම්භ කොට වසර හැටකට පමණ පසු නිමාවට පත් විය. ඒ අනුව පිටු 500ක පමණ ප්‍රමාණයේ පොත් 26කින්ද ‘ඒ4’ ප්‍රමාණයේ පිටු 13,908කින්ද ශීර්ෂ වචන 206,692කින්ද යුත් අංග සම්පූර්ණ නෛරුක්තික ශබ්දකෝෂයක් ජනගත විය. මේ අවස්ථාව අනුස්මරණය කරමින් අන්තර්ජාතික ශබ්දකෝෂ සමුළුවක් 1992 දෙසැම්බර් 10, 11 දින පවත්වා ඇති අතර, ලෝප්‍රකට ශාබ්ධිකයන් විසින් රචිත ලිපි රාශියක් ඇතුළත් ‘ශබ්දකෝෂ විද්‍යා’ නම් වටිනා ශාස්ත්‍රීය අතිරේකයක්ද පළ කර ඇත.

නැවතී තිබූ සිංහල–ඉංග්‍රීසි ශබ්දකෝෂයේ කටයුතු, 1992න් පසු ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘවරයා වන මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන් යටතේ යාවත්කාලීන වන අතර, සිංහල–සිංහල ශබ්දකෝෂයේ ප්‍රතිසංශෝධිත හා සංශෝධිත කලාප එළිදැක්වීමද ඇරඹිණි. මේ වන විට සිංහල–සිංහල සංශෝධිත ශබ්දකෝෂයේ කලාප 6ක් මුද්‍රණයෙන් එළිදක්වා ඇති අතර, සිංහල–ඉංග්‍රීසි ශබ්දකෝෂයේ තිස් වැනි කලාපය දක්වා මුද්‍රණයෙන් ප්‍රකාශිත වී ඇත. මෙයට අමතරව සිංහල–සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂයක්ද සංක්ෂිප්ත ත්‍රෛභාෂා ශබ්දකෝෂයක්ද අක්ෂර වින්‍යාස ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අක්ෂර වින්‍යාස ශබ්දකෝෂයක්ද සිංහල–ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයක්ද ශබ්දකෝෂ ශාස්ත්‍රීය සංග්‍රහ දෙකක් ද ජනගත කර ඇත. ඒ සඳහා මූලිකත්වය දැරූ ප්‍රධාන කර්තෘවරුන් වන්නේ මහාචාර්ය විනීවිතාරණ මහතා, මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන මහතා, මහාචාර්ය ති.ර.ග දෑලබණ්ඩාර මහතා සහ මහාචාර්ය රෝහිණි පරණවිතාන මහත්මියයි. 2014 වර්ෂය දක්වා ප්‍රධාන කර්තෘ ධුරයේ වැඩ බැලූ කර්තෘ ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද නාහිමියන් මෑතකාලීන ඉතිහාසයේ ශබ්දකෝෂයේ දියුණුව වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරූ කර්තෘවරයකු ලෙසද මෙහිදී සඳහන් කළ යුතුය. මෑතකාලීන මේ සියලු කාර්යයන්හි ඉහළ සාඵල්‍යය සඳහා ප්‍රධාන දායකත්වය සපයා ඇත්තේ, 2006 වර්ෂයේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘවරුන් ලෙස පත් වූ කර්තෘ මණ්ඩලයත්, 2012 වර්ෂයේ කර්තෘ මණ්ඩල සහකාර තනතුරුවලට පත් කර්තෘවරුන් හා කාර්ය මණ්ඩලයත්ය.

මහත් පරිශ්‍රමයක්ද රාජ්‍ය මූල්‍යයක්ද වැය කර සම්පාදනය කර ඇති සිංහල–සිංහල ශබ්දකෝෂය ජනගත නොවීම ඛේදනීයම කරුණයි. කොළඹ ජාතික පුස්තකාලයයේ, මහජන පුස්තකාලයයේ හෝ සියලු විශ්වවිද්‍යාලයීය පුස්තකාලයවල හෝ නගර සභා, මහා නගර සභා, ජාතික පාසල් ආදි පුස්තකාලයවල හෝ අඩු වැඩි වශයෙන් සිංහල ශබ්දකෝෂයේ පිටපත් නොතිබීම හා ඔවුන්ට ඒවා ලබාගැනීමට ක්‍රමයක් නොවීම විශාල ගැටලුවකි. නියමිත නිලධාරි මණ්ඩලයක් නොවීම හා පරිපාලනය වෙනත් තැනකින් සිදු වීමද ශබ්දකෝෂය පවත්වාගෙන යෑමේ අභියෝගයකි.

ශබ්දකෝෂයේ සිටි බොහෝ නිලධාරීන් විශ්‍රාම යෑමත් සමඟ ඔවුන්ගේ තනතුරු අහෝසි වී යෑම මේ ගැටලුව තවත් තීව්‍ර කරයි. ශබ්දකෝෂකරණය පිළිබඳ පුහුණුව දිය හැකි වන්නේ වෙනත් ආයතනයකින් නොව, ශබ්දකෝෂය ලියවෙන කාර්යාලයේදීම පමණක් වන බැවින් ශබ්දකෝෂ කර්තෘවරුන් බඳවා ගැනීම පිළිබඳ සමාලෝචනයක යෙදීමට මේ උචිතම කාලයයි. එසේම ශබ්දකෝෂයටම අනන්‍ය නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමද අනාගත ලෝකයට ශබ්දකෝෂය පවත්වා ගෙන යෑමේ ප්‍රමුඛ කාර්යයක් වේ. කොන්ත්‍රාත් පදනම මත පිරිනමන ශබ්දකෝෂ ප්‍රධාන කර්තෘ තනතුර අවුරුදු තුනකට හෝ පහකට දිගු කිරීමද වැදගත් වේ.

මේ සියලු කාර්යයන් අතරේ ශබ්දකෝෂය සුහුරු ශබ්දකෝෂයක් ලෙස සැකසීම හා වාක් සංහිතාවක් නිර්මාණය කිරීමද ශබ්දකෝෂ පරිහරණය පිළිබඳ සමාජ දැනුවත්භාවය ඇති කිරීමද අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුය. ශබ්දකෝෂය වෙනුවෙන් අවුරුදු 98ක් ඥානය කැප කළ සැමට අපගේ ගෞරවාචාරය පුද කරන අතරම, වර්තමාන සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන්ගේ අවධානයට මේ සියලු කරුණු ලක් වී, තවත් දිගු කලක් ශබ්දකෝෂ සම්පාදන කාර්ය කරගෙන යෑමට අවකාශ සැලසේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.

ආර්.ඒ. සාන්ත කුමාර

කර්තෘ මණ්ඩල සහකාර

සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division