Home » මින්නේරිය හැඩ කළ දකුණු දළකාරයාගේ සමුගැනීම පිටුපස කතාව

මින්නේරිය හැඩ කළ දකුණු දළකාරයාගේ සමුගැනීම පිටුපස කතාව

by sachintha
March 23, 2025 1:00 am 0 comment

මේ වසරේ අලි මරණ 103ක්

“මින්නේරිය, කවුඩුල්ල අලි ගහනයේ දකුණු තනි දළ ඇති වැඩිහිටි පිරිමි ඇතුන් තුන්දෙනෙකු සිටිනවා. රයිනෝ, යුනිකෝන් සහ අයිවන්. තිදෙනාටම ඇත්තේ දකුණු දළ පමණයි”

 

“යුනිකෝන් කියලා නම දැම්මේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු සහ සිනමන් නේචර් ට්‍රේල්ස් කණ්ඩායම. අශ්වයෙකු වැනි මුහුණේ එක දළක් ඇති සතෙකුගේ ලක්ෂණ අනුවයි මෙයාට යුනිකෝන් කියලා නම දාලා තියෙන්නේ”

 

න්නේරිය හැඩ කළ දකුණු දළකාරයාණෙනි. දේදුනු පාලමෙන් එහා උඹට සුන්දර ලෝකයක් තියෙයි. ගල්ගමුවේ දළපූට්ටුවා, සියඹලන්ගමුවේ මහ ඇතා, රේවත, භරන, මහේශාක්‍ය, දනංජය, බුවනෙක, මුගලන්, කෝලිය, චණ්ඩි එකී මෙකී නොකී උඹලාගේ හස්තිරාජ පරපුරක්ම උඹේ තනියට උඹ වෙනුවෙන් ඉඳි, එහේ නිදහසේ. ඒත් මේ පොළොවේ උඹට ආදරේ කරපු හැමෝටම උඹ නැති අඩුව හැමදාමත් දැනෙයි.“ ඒ ෆේස්බුක් පිටුවක යුනිකෝන් ගැන තබා තිබූ වේදනාබර සටහනකි.

මින්නේරිය, කවුඩුල්ල ජාතික උද්‍යානවලට මහාර්ඝ වස්තුවක් වූ යුනිකෝන් නම් දකුණු ඒක දන්ත ඇතා ඝාතනය වී තිබුණේ පසුගියදාය. පොලොන්නරුව, දියබෙදුම ඉහකුළු වැව 41 රක්ෂිතයේ හමු වූ මියගිය ඇතාගේ මළසිරුර බොහෝ දුරට මෙම මළසිරුර කවුඩුල්ල වනෝද්‍යානයේ සැරිසැරූ යුනිකෝන් නම් ඇතා විය හැකි බව මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන ගිරිතලේ වනජීවී නිලධාරීහු පවසති. ඇතාට වෙඩි තබා ඝාතනය කර ඇද්ද නැතහොත් වෙනත් කාරණයක් නිසා මරණය සිදුවීදැයි පරීක්ෂණ තවමත් සිදු කරති.

ඇතාගේ මරණයට හේතුව හිසට වැදුණු එක් ප්‍රබල වෙඩි පහරක් බවත් ශරීරයේ වෙනත් කිසිදු තුවාලයක් නැති බවත් නිරීක්ෂණය වී ඇත. නළලට වැදුණු වෙඩි පහර, ඇතුගේ හිස්කබල පසාරු කරමින් මොළයට ගොස් ඇති අතර මොළය විනාශ වීමෙන් ඇතා ඝාතනය වී ඇත.

වෙඩික්කරුවෙකු විසින් උස ගසක සිට හෝ එවැනි උස් ස්ථානයක සිට මෙම වෙඩි පහර එල්ල කරන්නට ඇති බවත් මෙම වැඩි තැබීම සාමාන්‍ය ගොවියෙකුට හෝ මිනිසෙකුට කළ නොහැකි බවත් වාර්තා වෙයි.

මින්නේරිය අලි ගහනයේ බලවත්ම ඇතුන් පස්දෙනෙකු අතරින් කෙනෙකු වන්නේ යුනිකෝන්ය. යුනිකෝන් ඇතුළු මින්නේරියේ අලි ගහනය සංචාරක කර්මාන්තයට ඩොලර් පිට ඩොලර් ගෙනෙන මැෂිමක් බඳුය.

“මින්නේරිය, කවුඩුල්ල අලි ගහනයේ දකුණු තනි දළ ඇති වැඩිහිටි පිරිමි ඇතුන් තුන්දෙනෙක් සිටිනවා. AM 007 – රයිනෝ; AM 027 – යුනිකෝන් සහ AM 042 – අයිවන්. තිදෙනාටම ඇත්තේ දකුණු දළ පමණයි. මියගිය ඇතාගේ මළකඳ මා දැක නැති නිසා, මියගිය ඇතා යුනිකෝන්ම බව මට නිශ්චිතවම පැවසීම දුෂ්කර වුවත් මේ ඝාතනයට ලක්ව ඇත්තේ මේ ඇතුන් තුන්දෙනාගෙන් එක් කෙනෙක් බව පැහැදිලියි. අපිට අලියෙක් හඳුනාගන්න සලකුණු 5ක් පැහැදිලිව දැකිය යුතුයි. කන් දෙක, මුහුණේ, පිටකොන්දේ, වලිගයේ හැඩය. මේ පහම නිරීක්ෂණයෙන් තමයි අලි වෙන වෙනම හඳුනාගත හැක්කේ. මෙම ඇතුන් හඳුනාගනු ලැබුවේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු සහ සිනමන් නේචර් ට්‍රේල්ස් කණ්ඩායම. අශ්වයෙකු වැනි මුහුණේ එක දළක් ඇති සතෙකුගේ ලක්ෂණ අනුවයි මෙයාට යුනිකෝන් කියලා නම දාලා තියෙන්නේ.

යුනිකෝන් බලවත් ඇතෙක්. සුමේධ වගේ එයත් මින්නේරියට එන්නේ මද කිපුණු කාලයට. නමුත් එන්නේ සුමේධට පස්සේ. මම යුනිකෝන්ව මින්නේරියේදී දැකලා තියෙන්නේ ජූනි- ජූලි මාසවලදී. යුනිකෝන් ටිකක් වයසක ඇතෙක්. අලියා උස යන්න යන්න වයසින් වැඩියි. යුනිකෝන් වැඩිහිටි ගැහැනු සතෙකුට වඩා අඩි එකහමාරක් දෙකක් උසයි. ඒ අනුව අවුරුදු 45ක් බවට අනුමාන කරන්න පුළුවන්. යුනිකෝන් එයාගේ මද කිපෙන කාලයේ බලවත්. මින්නේරියේ කවුඩුල්ල අලි ගහණයේ බලවත්ම අලි තමයි ඇතුන්. මේ ගහනයේ ඇතුන් අටක් පමණ හඳුනාගෙන තිබෙනවා. නමුත් ඒ අතරින් බලවත්ම ඇතුන් වන්නේ පිළිවෙළට වසභ, සුමේධ, යුනිකෝන්, භානු හා ඇසළ. “ඒ හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටියයි. සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු යුනිකෝන් ඇතාව මුලින්ම හඳුනාගත්තේ 2014 වසරේදීය. එහෙත් මේ මියගොස් ඇත්තේ යුනිකෝන්ද යන්න ආචාර්ය පෘථිවිරාජ්ටද ගැටලුවකි. කෙසේ වෙතත් මේ වසරේ මාස තුනකට ආසන්න කාලය තුළදි ස්වාභාවික හේතු හා අලි මිනිස් ගැටුම් නිසා අලි මරණ 103කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇත්තේය. ඒ අතර වෙඩි තැබීම් 20ක්, විදුලි සර වැදීම් 12ක්, හක්ක පටස් පිපිරී 9ක්, දුම්රිය අනතුරු 10ක්, දියේ ගිලීම් 5ක් ඇතුළත්ය.

“වර්තමානයේ අලි මිනිස් ගැටුම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගත්තද අලි මිනිස් ගැටුමේදී විසඳුම් ලබා දෙන්නට උත්සාහ කරන්නේ මිනිස් ගැටලුවලට මිස අලින්ගේ ප්‍රශ්නවලට නෙමෙයි. අලි පැන්නීම් කරනවා. විදුලි වැට ගහලා අලි රක්ෂිතවලට සීමා කරනවා. අලි වෙඩි දානවා. මේ දේවලින් අලි ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවාද? මේ ක්‍රියාකාරකම් නිසා අලින්ගේ පීඩනය තවත් වැඩි වෙනවා. මේ ආකාරයට අලි මිනිස් ගැටුම විසඳන්න බැහැ. ඒ නිසා අලි පැන්නීමේ අසාර්ථක ක්‍රමවේදයන් වෙනුවට අලි මිනිස් ගැටුම පියවීමේ ජාතික සැලැස්ම යළිත් ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටිනවා…“ යැයි ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පැවැසීය. ඩොලර් දහස් ගණනින් ලැබෙන මින්නේරියේ ඇත් පරම්පරාවට කුමක් වේවිද?

“2020 වසරේදි අලි මිනිස් ගැටුමට විද්‍යාත්මක ක්‍රමවේදයක් සහිත තිරසර විසඳුමක් සඳහා අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඇතුළත් ජනාධිපති කමිටුවක් පත් කළා. එහි සභාපති ආචාර්ය පෘතුවිරාජ්. මම සාමාජිකයෙක්. දෙසැම්බර් මස ඒ සැලැස්ම සකස් කළා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. පසුව 2022 නොවැම්බර් මස එවකට පැවැති රජයේ අවශ්‍යතාව මත මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පහසුකම් සැලසීමට සහ නිරීක්ෂණයට ජනාධිපති කමිටුවක් පත් කළා. එහි සභාපති වුණේ මම.

නමුත් පැවැති ආර්ථික තත්ත්වය බාධාවක් වුණත් අපි එය ක්‍රියාත්මක කරන්න පටන්ගත්තා. විදුලි වැට නඩත්තුව අධීක්ෂණය කළා. ඒ නිසා 2024 මැරුණු අලි මිනිස් සංඛ්‍යාව 2023ට වඩා අඩු වුණා. අපි නව රජයෙන් ඉල්ලීමක් කළා මේ කමිටුවට නව සභාපතිවරයෙක් නැවත පත්කර ක්‍රියාත්මක කරන්න කියලා. අලි මිනිස් ගැටුම සමනය කරන්න මේ සැලැස්ම ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස අපි නැවතත් ඉල්ලීමක් කරනවා…“ ඒ ආචාර්ය සුමිත් පිලපිටියගේ අදහසයි.

lසුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division