සුමේධට ප්‍රතිකාර කරන්න ඌ සිටින නිශ්චිත ස්ථානයක් තවමත් හඳුනාගෙන නැත.
“සුමේධව දකින්න ලැබුණත් ඉන්පසුව සොයාගන්න ලැබුණේ නැහැ”
හබරණ – මරදන්කඩවල මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේ ලොරි රථයක ගැටී දළ අහිමි වූ සුමේධ ගැන රටක්ම කතා කළහ. ඇතෙක් අලියෙක් ගැන මේ තරම්ම ජනතාව දුක් වුණු අවස්ථාවක් තවත් නැත. ඒ තරම් සුමේධ ජනතාව අතර ජනප්‍රිය විය. සුමේධ හොයන්න කවුරුත් විශාල මෙහෙයුම් කළ අතර ඊට වනජීවී නිලධාරින්, ත්‍රිවිඩ හමුදා නිලධාරීන් මෙන්ම පරිසර හිතකාමීන් පවා එක් විය. හැමෝගෙම පැතුම වුණේ තුවාල ලබපු සුමේධ ප්‍රතිකාර සඳහා හමුවිය යුතු බවයි. දිගු මෙහෙයුමකින් පසුව පසුගිය සිකුරාදා වන විට සුමේධ යහතින් සිටින බවට දැනගන්න ලැබුණේ කිහිප දෙනෙකුට සුමේධව දැකගන්නට ලැබුණු නිසාය. ඒ පුවත කාටත් මහඟු අස්වැසිල්ලකි. නමුත් තවමත් සුමේධට ප්‍රතිකාර කරන්න ඌ සිටින නිශ්චිත ස්ථානයක් තවමත් හඳුනාගෙන නැත.
රටේ තවත් අලි ඇතුන් සිටිද්දී හැමෝම සුමේධ ගැන මේ තරම්ම කතා කරන්නේ ඇයිද? යන්න සමහරුන්ට පැනයකි. අලි බලන්න ප්‍රසිද්ධ රටේ සුමේධ වැනි දැවැන්ත ඇත්තු නම් ලංකාවේ ඉතිරි වී ඇත්නම් ඒ ඉතා සුළු ප්‍රමාණයකි. ඒ ප්‍රමාණය 25ක් තරම් සීමිත පිරිසක් බව පරිසරවේදීන්ගේ අදහසයි. නමුත් වැදගත් වන්නේ සුමේධ වැනි දැවැන්ත ඇත්තු වසරකට ඩොලර් මිලියන 9,000කට වඩා ආදායමක් රටට සොයා දෙන බවත් සුමේධ යනු ඩොලර් මැෂිමක් බවත් බොහෝ දෙනා පවසන්නේ සුමේධ දකින්න ඇති දැඩි ඉල්ලුම නිසාවෙනි. ඇතැම් දෙස් විදෙස් සංචාරකයෝ සුමේධ බලන්න දින ගණන් මින්නේරියේ කාලය ගත කරති. සුමේධ සිටින විට මින්නේරියේ සුන්දරත්වය වැඩිවන බවත්, සුමේධ එහේ මෙහේ ඇවිදින දසුන වචනයෙන් පැවැසිය නොහැකි දකින්නට ආසා කරන දසුනක් බවත් බොහෝ දෙනා පවසති.
‘කෝ මේ සුමේධ? සුමේධට මොකද වුණේ? සුමේධ හමුවුණාද?‘ දැන් බොහෝ දෙනා හමුවේ ඇති ගැටලුය.
“සුමේධ සොයා යන මෙහෙයුමේදී අපේ නිලධාරීන්ට සුමේධව හමුවුණා. නමුත් මුලින්ම සුමේධව දකින්න ලැබුණත් ඉන්පසුව සොයාගන්න ලැබුණේ නෑ. ඒ වගේම සුමේධ නැවත හෙවුවත් හොයාගන්න ලැබුණේ නැහැ. ගුවන් හමුදා සහාය ඇතිව සුමේධ සොයන මෙහෙයුම් කරනවා. නමුත් අපිට සුමේධ හොඳින් ජීවත්වන බවට දැනගන්න ලැබුණා. ඒ වගේම මේ වන විට සුමේධගේ තුවාලය පවා සුවවී ඇතැයි වෛද්‍යවරු විශ්වාස කරනවා… “ ඒ වනජීවී දෙපාර්තමේන්තුවේ (අධ්‍යක්ෂ මෙහෙයුම්) මාරසිංහගේ අදහසයි.
මෙය කාටත් සතුටුදායක පුවතකි. එසේ වුවද මෙම ලිපිය ලියන මොහොත වන විටත් සුමේධව සෙවීමේ කටයුතු නොනවත්වා ක්‍රියාත්මක වෙමින් තිබිණි. “අපි මේ වන විටත් සුමේධගේ අඩි සලකුණු ඔස්සේ ඉදිරියට යනවා. වල්පොළ බමුණුගම ප්‍රදේශයට සුමේධ අලි පස්දෙනෙකුගේ රංචුවක් එක්ක ඇවිත් තියෙනවා. සවස් වූ නිසා අපිට ඡායාරූපයක් හෝ ගන්න බැරිවුණා. අඳුර නිසා එදා එළියට ආවත් පසුගියදා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරා අංශයත් සමඟ අදාළ ප්‍රදේශයේ සෙවීම් කටයුතු කළා. ඇතා දැක්ක පසු වළල්ලක් ලෙස මිනිස් රවුමක් දැම්මා. රිටිගල රක්ෂිත ප්‍රදේශයටයි සුමේධ ඇවිත් තියෙන්නේ. අපි දැක්කේ අඹතලේ ප්‍රදේශයේදී. දැන් සුමේධ අලි කිහිප දෙනෙකුගේ රංචුවකට එකතු වෙලා.
සුමේධ ඇතා හොඳින් ඉන්න බව පේනවා. කිසිම ගැටලුවක් නැහැ.
මේ අනතුරත් සමඟ අපි ඇතා පස්සෙන් යන්න ගත්තහම එයා තව තවත් ඈතට යන්න ගත්තා. අපිව මඟහරිමින් ආපස්සට ගියා. සුමේධට අවස්ථාවක් දිය යුතුයි කැලයෙන් එළියට එන්න. ඇවිත් ගමේ කෑම කන්න. අපි කැමරා සවි කර තියෙනවා. ඩ්‍රෝන දමා තියෙන නිසා නිදහසේ සැරිසරන්න දින දෙක තුනක් ඉඩ දිය යුතුයි…“ ඒ මේ මෙහෙයුමට එක්ව සිටින වනජීවී නිලධාරීන්ගේ අදහස්ය.
සුමේධ සෙවීමේ කටයුතුවලට විශාල පරිසරවේදීන් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූයේ පැවැති බාධා ඉවතලමිනි. ඊට එක් වූ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය හා ඊට අදාළ බලධාරීන්ගේ මැදිහත්වීම පිළිබඳව අදහස් දැක්වූයේ අලි පිළිබඳ පර්යේෂකයකු වන සුපුන් ලහිරු ප්‍රකාශ්ය. “වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්‍යක්ෂ ශ්‍රී ලංකා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව අපි සුමේධ හස්තියා සොයන ෙමහෙයුමට සහාය දුන්නා. පසුගිය සතියේ සිකුරාදා සවස් වන විට තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පහළ අඹතලේ ප්‍රදේශයේ ගණ කැලෑවක් තුළදී මේ ඇතා මුලින්ම දැක්කේ. නමුත් එදා රෑ වූ පසු කැලයෙ ඇතුළේ සිටින්න බැරි නිසා වනජීවි නිලධාරීන් කැලයෙන් එළියට ඇවිත් පසුවදාත් එතැනට ගියා. නමුත් එදා දකින්න ලැබුණේ නැහැ. නැවතත් අතුරුදන් වුණා.
මේ සුමේධ ඇතා සමඟ තවත් පිරිමි සතුන් දෙදෙනෙකු සිට තියෙනවා. ඒ දෙන්නා එක්ක ගමන් කරන නිසා ළඟට ගිහින් නිරීක්ෂණය කිරීම දැඩි අවදානම් දෙයක්. තව ගොවි මහත්තුරුත් දැකලා තියෙන්නෙත් අලි දෙදෙනෙක් සමඟ. අඹතලේ මනම්පේරි වැවේදී හා පහළ අඹතලේ ප්‍රදේශයේදී අවස්ථා කීපයකදීම නිරීක්ෂණය වෙලා තියෙනවා. එක් අවස්ථාවක පහළ අඹතලේ ප්‍රදේශයේ වෙල් යායක අලියෙක් ඉන්නවා දැක්කා. ඒ අලියා අර තුන්දෙනාගේ කණ්ඩායමේ සමාජිකයෙක් ලෙසයි හඳුනාගෙන තිබුණේ. නමුත් කැලයෙන් එළියට ඇවිත් තිබුණේ ඒ අලියා විතරයි. තවත් දෙන්නෙක් ඇතුළේ සිටින බව හැඟුණා. එවිට මිනිසුන් විශාල ප්‍රමාණයක් එතැනට ඇවිත් කලබගෑනියක් කළා. ඒ නිසා එක අලියෙක් පමණක් මාරු වුණත් අනිත් දෙන්නා කැලයට ගියා. ඒ නිසා එතැන සුමේධ සිටින්න ඇති කියලා අපි විශ්වාස කරනවා.
අපි මුලින් අලි ඇතුන් ගැවසෙන හා හුවමාරු වන ප්‍රදේශවල උගුල් කැමරා සවි කරලා සුමේධ හස්තියා ඒ ප්‍රදේශවල ගමන් කළාද යන දත්ත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නා. නමුත් අපේ කැමරාවලට ඇතා හමුවුණේ නැහැ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා විශේෂ කාර්ය බළකාය මහත් පරිශ්‍රමයක් යොදා ඇතා සෙවීමේ කටයුතුවල නිරත වුණා. එක් අවස්ථාවක ඇතාගේ පිටුපසින් ගොස් වනජීවීන් පිරිසක් එම සතා නිරීක්ෂණයට ලක්කළ බව අපිට දැනගන්න ලැබුණා. නමුත් එම සත්ත්වයා සොයා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් අඛණ්ඩව සිදු වෙනවා.
වනජීවි සංරක්ෂණ නිලධාරින් හා විශේෂ කර්ය බළකාය සුමේධ සොයා ගැනීමට විශේෂ වෙහෙසක් ගන්නවා. මේ මෙහෙයුම් සිදු කරන්නේ රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයේ සහ ආසන්න වන රක්ෂිත ප්‍රදේශවල ඉතාම ගණ වනාන්තරයක් හරහා ගමන් කරමිනුයි. මේ නිසා අලියෙක් සිටිනවාද යන්න ළඟට යන තෙක් නොපෙනෙන අවස්ථා තියෙනවා. දැනට ඇතා සිටිනවායැයි සැක කරන්නේ මේ ප්‍රදේශයේ.
අමතරව අපි ඒ අවට ගම්මානවල, සැක කරන එළිමහන් ප්‍රදේශවලට ගිහින් ජනතාව, ගොවීන් මෙන්ම හරක් දක්කන එඩේර ජනතාව හමුවී ඔවුන් සමඟ කතා කර මේ සතාගේ ගැවසීම ගැන තොරතුරු ගත්තා. බොහෝ දෙනා මේ ඇතාව දැක්කා කියන්නේ රාත්‍රි කාලයේ. ඒ නිසා හරි නිරීක්ෂණයක් කළායැයි පවසන්න අමාරුයි. අනිත් පැත්තෙන් මේ ප්‍රදේශයේ තවත් තනි දළ ඇතුන් දෙදෙනෙක් පමණ සිටින බව දැනගන්න ලැබුණා. දළ දෙකම ඇති ඇතෙක්ද ඉන්නවා. මේ මෙහෙයුම රිටිගල හා ගනේවල්පොළ යන ප්‍රදේශවල වනජීවී කාර්යාලවලින් සිදු කෙරුණේ ඉතාම සංවිධානාත්මකව. ඊට පරිසර සංවිධාන කිහිපයක් දායක වුණා. මාධ්‍යවේදීන් සහභාගි වුණා. දින කිහිපයකට පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන ඒකකය පැමිණ ඇතා නිරීක්ෂණයට සහාය වුණා. නමුත් සාර්ථක වුණේ නැත්තේ අධික ගන වනාන්තරයක් නිසා.
මේ ඇතා ගැවසිය හැකියැයි සිතන සැක කටයුතු ප්‍රදේශ ඉතා විශාලයි.“ යැයි සුපුන් ලහිරු ප්‍රකාශ් පැවැසීය. මේ අනුව සුමේධට ප්‍රතිකාර කිරීමට ඇතා සිටින නිශ්චිත ස්ථානය සොයා ගත යුතු වෙයි. ඒ අනුව ඇතා සිටින නිශ්චිත ස්ථානය සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු වෙයි. සුමේධ සංචාරකයින්ට නිතර ඇස ගැටෙන්නේ මින්නේරියේදීය. ඒ සෑම වසරකම මැයි මස 15 – 25 අතර බව පරිසරවේදින්ගේ මතයයි.
“මින්නේරියේ අලි පිළිබඳ පර්යේෂණය කරන්න ආරම්භ කළ දා සිට 2017 සිට පසුගිය වසර දක්වා සෑම වසරකම මැයි මස 15 – 25 අතර කාලයේ සුමේධ මින්නේරියට එනවා. මින්නේරිය පාක් එකේ එක කොනක් වන කටුකැලියාව හරහායි සුමේධ මේ කාලයේ මින්නේරියට ඇතුළු වෙන්නේ. සුමේධගේ විශේෂත්වය වන්නේ ඌ මින්නේරියේ අලි ගහනයේ ප්‍රජනනය සඳහා විශාල වශයෙන් දායක වන ඇතෙක් නිසා. මැයි, මේ කාලයේ මින්නේරියේ බලවත්ම පිරිමි ඇතා සුමේධ. මේ බලවත්ම ඇතාට තමයි මේ කාලයේ ප්‍රජනන අවස්ථා වැඩියෙන්ම හිමිවන්නේ.
සුමේධ තමයි ගැහැනු අලින් සමඟ වැඩි වශයෙන් සහවාසයේ යෙදෙන්නේ. (මේට් කරන්නේ) මේ ඇතා විශාල වශයෙන් පැටවුන් බෝ කරන්න දායක වෙනවා. කාලය අවසන් වුණාම සුමේධ ඇතුළු පිරිමි සතුන් මින්නේරියෙන් එළියට යනවා.“ ඒ හිටපු වනජීවී අධ්‍යක්ෂ ජනරාල් හා අලි පිළිබඳ පර්යේෂක ආචාර්ය සුමිත් පිලපිටියයි.
ලංකාවේ සිටින අලින්ගෙන් සංචාරක ක්ෂේත්‍රයට රුපියල් මිලියන 4ක ආදායමක් ලැබුණත්, දළ වශයෙන් මින්නේරියේ සංචාරක සමයේ සිටින එක් ඇතෙක්ගෙන් රුපියල් මිලියන 10ක සංචාරක ක්ෂේත්‍රයට ආදායමක් ලැබෙන බව පැවැසූයේ මින්නේරියේ අලි පිළිබඳ අධ්‍යයනයක් කළ ශ්‍රීලාල් මිත්‍රපාලය. සුමේධ වැනි දළ ඇතුන් රැක ගැන්මේ අවශ්‍යතාව එයින්ම මතුවේ.
lසුභාෂිණි ජයරත්න
ඡායාරූප – සාරංග දේව ද අල්විස්
හා වන සත්ත්ව හා ස්වභාව ආරක්ෂණ සංගමය