හේමාල් ජනප්‍රිය නළු මෙන්ම හොඳම නළුවා සම්මානය ද දිනාගත් අයෙකි. විජය ගාමිණී දෙමුහුන් රංග ලීලාව සිංහල සිනමාවට ගෙන ආ රංගධරයා ලෙස මා හේමාල් නම් කරන්නේ ඒ නිසාය. විජය මිය යනතුරු දක්ෂතම නළුවා සම්මානය දිනා ගත්තේ හෝ ඔහුට දුන්නේ නැත. ඒ ගැන කුමන දේශපාලන අර්ථ දැක්වීම් තිබුණද විජයට තමන්ගේ රංගන ප්‍රතිභාව ජනප්‍රිය නළු විජයගෙන් එළියට ගෙන එළිදැක්වීමට හැකියාවක් ලැබුණේ නැත.
බැද්දේගම තුළ ද අපට හමුවුණේ සිලිඳු නොව විජය කුමාරතුංග ය.
සිංහල සිනමාව ඉපිද වර්ධනය වුණේ ඉන්දීය සිනමාවේ හෙවණැල්ලේය. සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඉන්දියාවේ මදුරේ හි එස්.එම්. නායගම් ය.එදා ඉන්දීය සිනමාවේ ප්‍රධාන ඉලක්කය වූයේ මිනිසුන්ගේ විනෝදය ය. ඒ සඳහා ප්‍රේම ජවනිකා කර්ණරසායන ගීත,කොමඩි, සටන්,වීරයා සහ දුෂ්ටයා වැනි අන්තර්ගත විය. එයට පසු කලෙක හින්දු ජාතිකත්වය, ජාත්‍යාලය, දේශප්‍රේමය,හීන කුල සහ දිළිඳු මිනිසුන් වෙනුවෙන් සටන් කරන වීරයා ද මෑත කාලයක සිට අල්ලස, දූෂණයට දේශපාලඥයන්ගේ ගර්හිත ජීවිතවලට එරෙහිවීමේ සටන්කාමිත්වයද අනුපාන වශයෙන් එකතු විය. එකල බටහිර සිනමාව බොහෝදුරට කව්බෝයි කතාවලට ප්‍රමුඛත්වය දුන් ඒවා විය.
මුල් යුගයේ ඉන්දීය උතුරු හා දකුණු සිනමාව නළුවාගේ සහ නිළියගේ රූප සුන්දරත්වය ප්‍රධාන කොට සැලකීය. සිංහල සිනමාව ආරම්භයේ දී මෙම වට්ටෝරුව සහ එම ලස්සන රූපය සහිත නළු නිළි රටාව ඒ ආකාරයෙන්ම වැලඳ ගැනීමට සිංහල සිනමා රසිකයෝ මෙන්ම සිංහල සිනමා නිර්මාපකයෝ ද පෙළ ගැසුණහ. රුක්මණී දේවි, ෆ්ලොරිඩා ජයලත්, ජීවරාණි ජෙමිනි කාන්තා,සන්ධ්‍යා කුමාරි,ආනන්ද ජයරත්න, හර්බට් එම් සෙනෙවිරත්න, ශාන්ති කුමාර් ප්‍රේමජයන්ත් වැනි සුකොමල පියරු බබ්බු නළුවන් සහ නිළියන් මුල් යුගයේ සිංහල සිනමාවේ තරු වූහ. ඒ පියරු බබ්බු නළු පෙරහැරේ අවසන් නළුවා රෝයි ද සිල්වාය.
ගාමිණී ෆොන්සේකාගේ සිනමා ආගමනය (1960) සමඟ සිංහල සිනමාවට පෞරුෂය සහිත නළු පුරාණයක් ආරම්භ විය. ඒ පෞරුෂ පූර්ණ නළු පෙරහැරේ ජෝ අබේක්‍රම, ටෝනි රණසිංහ,අමරසිරි කලංසූරිය දිගු කලක් රැඳී සිටියහ.
විජය කුමාරතුංගයේ සිනමා සම්ප්‍රාප්තිය (1969) සමඟ සිංහල සිනමා ලෝලී ස්ත්‍රී පාර්ශ්වයේ චෛතසිකය තුළ සැඟවුණු ප්‍රේමාතුර සහ අස්පර්ශීය ලිංගික නිලයන්ට Touch කරන මනමාල ඇස් දෙකක් සහිත ගැහැනුන්ගේ සිහින කුමාරයෙක් බිහි විය. විජයට ගැහැනු ලව් කළහ. ඇස් අරගෙන ද දෑස් වසාගෙන ද ගෑනු විජයට ලව් කළහ. ඒ ඔහුගේ මනමාල ඇස් දෙකට සහ කුපාඩි හිනාවටය.(මෙතන කුපාඩි යැයි කියන්නේ වැරදි නරක අදහසකින් නොවන බව සැලකුව මැනව. පිරිමින්ගේ ශෘංගාරශීලී ඇස්වලට සහ බැල්මට ලොබ බඳින ගැහැනු එවැනි පිරිමින් හඳුන්වන්නේ සහ ඔවුන්ගේ සිනහව නම් කරන්නේ තම සිත් හි බැඳුණු ආදරබර හැඟීමේ දවටන එවැනි වචනවලිනි) විජයට මේ හැඳින්වීම පටබැඳෙන්නේ බොහෝ විට නාගරික උපසංස්කෘතියේ සිනමා කලාපයෙනි.
ලංකාවේ 1983 පෙර තිබූ සිනමා ශාලාවලින් සියයට විසි පහකට වඩා තිබුණේ කොළඹ නගරයේය. නාගරික මුඩුක්කු පැල්පත් කේන්ද්‍ර කර ගත් උපසංස්කෘතික ජනයා ද විවිධ සිල්ලර රස්සා කරමින් කොළඹ ජීවත් වූ තනිකඩයෝ ද තමන්ගේ ජීවන සරතැස නිවා ගන්න හවසට ඇදී ගියේ සිනමා ශාලාවලටය. එම නිසා නාගරික ජනපදික පුරුෂයන් මෙන්ම ඒවායේ ජීවත් වූ ගැහැනු එක චිත්‍රපටය හත් අට වතාව නැරඹූ බව මෙම ලියුම්කරුගේ පෞද්ගලික අත්දැකීමය.
ගමේදී මෙවැනි ඇස් සහ බැල්මට කියන්නේ මනමාල හෝ ඉලංදාරි ඇස් හෝ බැල්ම කියාය. නගරයේ මෙන්ම ගමේ ද හිත් කිති කැවෙන නාඹර වයසේ පසු වූ තරුණියෝ ද, ජීවිතයේ හීනවල ඇරියස් දරාගෙන සිටින මැදිවියේ ගෑනු ද තමන්ගේ සැඟවුණ ප්‍රේම ප්‍රාර්ථනාවලට තට්ටු කරන එවැනි හිනාවලට කියන්නේ “කුපාඩි හිනාව” කියාය. මෙවැනි සෙල්ලක්කාර ඇස්වලට ගෑනු බොහෝ කැමතිය. “ඌට තියෙන්නේ මහ රස්තියාදුකාර හිනාවක්” යැයි සමහර ගැහැනු සමහර පිරිමින් ගැන කියනු මෙම ලියුම්කරුට ඇසී ඇත.එවැනි මදාවි ශෘංගාරාත්මක ගෑනු සිහි නැති කරන හිනාවක් විජය ගෙන් පසු සිංහල සිනමාවේ කිසිවකුට තිබුණේ නැත. සනත්,ජීවන්,රංජන් ට ඒ හිස්තැන පුරවන්න හැකියාවක් ලැබුණේ නැත. ඔවුන් තිදෙනාටම තිබුණේ ජොල් ඇඟක් සමග ස්ත්‍රී ආලෝලනයක් නොමැති බැල්මක් සහ ඇස්ය. ඒ බැල්මෙත් ඇස්වලත් කිසිදු රොමෑන්තික බවක් නොතිබුණා සේම ඒවා හුදු කෘත්‍රිම,යාන්ත්‍රික තමන්ගේ චරිතවලට අලවා ගත් පෙම් සිනාවන් විය. විශේෂයෙන් රංජන්ගේ රංගනයන් අති කෘත්‍රිමය. ඔහුගේ ඇඟ ද කෘත්‍රිමය. ගැහැනු එවැනි ශරීරවලට කැමති නැත. සනත් සහ ජීවන්ගේ ශරීර අංගවල සහ ආංගික අභිනයන්ගේ අනංග රසයක් තිබුණේ නැත. කොටින්ම මේ තුන් දෙනාටම ප්‍රේක්ෂකයාගේ ඇඟට දැනෙන පරිදි හරියට ෆයිට් එකක් දෙන්න ගහගන්න නොහැකිය.
විජය කුමාරතුංග ද දක්ෂ නළුවෙකු නොවේ. විජය මොන චරිතය රඟපෑවත් මතුවන්නේ එකම චරිතයකි. ඒ විජය කුමාරතුංගමය. (යම් තරමක කතා වස්තු තුළින් ඔහු වෙනස් කළේ බඹරු ඇවිත්,එයා දැන් ලොකු ළමයෙක් වැනි චිත්‍රපටවලය) විජයගේ සියලු රංගනයන් පුරා විසිරී පැතිරී තිබුණේ ඔහුට ආවේණික යට කී ප්‍රේමාතුර ගැහැනු මුසපත් කරන කෝල කොමල හිනාවෙන් පිරුණ මනමාලකමය. හේමාල් අද දරාගෙන සිටින මේ ඉලන්දාරි හිනාව විජය ද මැරෙනතුරු නඩත්තු කළ එකකි. ඔවුන්ගේ ඒ ඉලන්දාරි හිනාවට මැදිවියේ ගැහැනු පවා ගැටිස්සියන් කරන ශෘංගාරශීලි මායා බලය තිබුණි. ගාමිණී ප්‍රතිභාපූර්ණ විශිෂ්ට රංග ලීලාවන් ගෙන් ඕනැම අවස්ථාවක් සැරසිය හැකි දක්ෂ චරිතාංග නළුවෙකි.එසේ වුවත් ගාමිණීගේ ප්‍රේමාතුර ඇල්ම බැල්ම බිංදුවය.
ස්ත්‍රීන්ගේ පුරුෂ පෞරුෂ ලෝලිත්වය සහ ශෲංගාර සිහිනයන් ඇතුළට රිංගා ගන්නා දෙමුහුන් රංගධරයෙකු බිහිකිරීමට සිංහල සිනමාවට පසුගිය කාලයේ නොහැකි විය. ඊට බලපෑ එක් හේතුවක් නම්, මෙරට සිංහල සිනමාව ආර්ථික වශයෙන් ශක්තිමත් කළ ජනප්‍රිය සිනමාව යටපත් කරගෙන සිංහල සිනමාව ප්‍රබුද්ධ සිනමා කලාපයක ස්ථානගත වීමය. එම ප්‍රබුද්ධ සිනමාවේ දී මෙරට සිංහල සිනමා රසික රසිකාවියන්ගේ සිනමා රසවින්දන නිලයන් සම්පූර්ණයෙන්ම බැහැර කළේය. රටේ නළු නිළියෝද එතැන් සිට උත්සාහ කළේ මේ ප්‍රබුද්ධ සිනමා කලාපයට රිංගා එම ප්‍රබුද්ධ සිනමාවේ රඟපෑම තුළින් විචාර ප්‍රශස්ති සහ සම්මාන ලබමින් පොරවල් වීමටය.
නමුත් දැන් සිංහල සිනමාවට විජය සහ ගාමිණී දෙමුහුන් කළ සිනමා අනංගයකු බිහි වී සිටී.විජයගේ අමු වල් හිනාවත් අනංග ගමනත් ශෘෘංගාරශීලී ස්ත්‍රී ලෝලන ත්‍රාඩ බැල්මත්, පැරණි බුරුසු පොල් රැවුල වෙනුවට ට්‍රිම් කරන ලද රස්තියාදුකාර රැවුල ඇති, රන්ජන්ගේ මෙන් ජිම්කරණය වූ පෙට්ටි ඇඟක් වෙනුවට උසට සරිලන ව්‍යාජයෙන් තොර ඇඟක් ඇති මේ නළුවා සිනමාවේ වැඩිවිය පැමිනුණේ මෑතකදීය.
ඔහුගේ මෙම ලකුණු සහ චරිතය පළමු වරට දිස්වූයේ “Colombo” චිත්‍රපටයෙනි. ඔහු පිළිබඳ දැනුණු ඒ ඉව දෙවන වරට තහවුරු වූයේ “අයිස් ක්‍රීම්” චිත්‍රපටයෙනි.
ඔහු හේමාල් රණසිංහ ය.
හේමාල් රඟපෑ චිත්‍රපට අතළොස්ස තුළ වැඩිපුරම ඇත්තේ කොළඹ නාගරික පරිසරයට ආබද්ධ චරිතය. නමුත් ඔහු උපදින්නේ මාතලේය. පාසල මාතලේ ශාන්ත තෝමස් විදුහලය. එය කන්ද උඩරට කුල්ටූර් පැලැන්තියේ පාසලකි. විජයට නාගරික උපසංස්කෘතිය සමඟ ආත්මීය බැඳීමක් සහ නිරන්තර ගැවසුම් සහගත අත්දැකීම් තිබුණි. නමුත් එවැනි නාගරික උපසංස්කෘතික ජනපද ආශ්‍රිත ඇසුරක් නොලද හේමාල් රඟපෑ නාගරික උපසංස්කෘතික කලාපයේ චරිතවලට ඔහු අතිශය සාධාරණ ඉෂ්ට කර දෙන්නේ ඉතාම විශිෂ්ට චරිතාංග රංග ප්‍රතිභාවක් කලඑළි දක්වමිනි. ඔහු මුලින්ම කැමරාවට එන්නේ වෙළඳ දැන්වීමකින් බව අසා ඇත. ඉන් පසුව වේදිකා නාට්‍ය සහ සිනමාවේ ද පුංචි තිරයේ ද ඔහු රංගනයෙන් දායක වූ නිර්මාණ රැසකි.
Colombo චිත්‍රපටය නරඹා සැවෝයි සිනමා ශාලාව ඉදිරිපිට සිටි අවස්ථාවක කොළඹ නාගරික යමක් කමක් ඇති පන්තියේ තරුණියන් (18-20 කලාපයේ) කිහිප දෙනෙකු චිත්‍රපටය පිළිබඳ කතා කරත්දි උත්ප්‍රාසයට නැගූ, ඔවුන්ගේ දැඩි අෘශක්ත බව දිනා ගත් හේමාල්ගේ සාධකය වූයේ හිනාවන විට පෙනෙන ඔහුගේ “නල දතය”. විජය හැම විටම හිනාවූයේ දත් පේන්නය. නමුත් ගාමිණී කවදාවත් දත් පේන්න එසේ හිනා වන්නේ නැත. ගාමිණීට තිබුණේ උද්ධච්ච අර්ධ හිනාවකි. විජය මූණ පිරෙන්න කටපුරාම හිනාවුණේය. හේමාල්ට ඇත්තේ ද එවැනි මුහුණ පුරා පැතිරුණු ඇස්වලින් ද ලව් පෙරන සිනහවකි. මේ සිනහවට කොයි ගැහැනියත් කැමතිය.
හේමාල් ජනප්‍රිය නළු මෙන්ම හොඳම නළුවා සම්මානය ද දිනාගත් අයෙකි. විජය ගාමිණී දෙමුහුන් රංග ලීලාව සිංහල සිනමාවට ගෙන ආ රංගධරයා ලෙස මා හේමාල් නම් කරන්නේ ඒ නිසාය. විජය මිය යනතුරු දක්ෂතම නළුවා සම්මානය දිනා ගත්තේ හෝ ඔහුට දුන්නේ නැත. ඒ ගැන කුමන දේශපාලන අර්ථ දැක්වීම් තිබුණද විජයට තමන්ගේ රංගන ප්‍රතිභාව ජනප්‍රිය නළු විජයගෙන් එළියට ගෙන එළිදැක්වීමට හැකියාවක් ලැබුණේ නැත.
බැද්දේගම තුළ ද අපට හමුවුණේ සිලිඳු නොව විජය කුමාරතුංග ය. ගඟ අද්දර දී ද ප්‍රේක්ෂකයාට හමුවුණේ පරණ විජයමය.
හේමාල්ගේ රංගනයේ කැපී පෙනෙන වර්ධනීය සලකුණ වන්නේ ගාමිණී සහ විජය නියෝජනය කළ චරිතාංග රංග ධාරාව සහ විජය නියෝජනය කළ පැණි හිනාව සහිත ජනප්‍රිය රංග ධාරාව එක මිටට ග්‍රහණය කර ගැනීමට ඔහුට හැකිවීමයි.
ඒ නිසා හේමාල්ට ගැලරිය පුරවන ප්‍රේක්ෂක කලාපය ද පත්තර පිටු පුරවන විචාරක කලාපය ද නතු කර ගැනීමට පුළුල් හැකියාවක් සහ අවකාශයක් ඇත.
මා බොහෝ විට සැරිසරන්නේ නාගරික උප සංස්කෘතික කලාපය තුළ ය. මේ රචනයට බොහෝ දුරට පාදක වන අදහස්වලට මතවාදී සාධක අහුලා ගත්තේ එම කලාපයේ තරුණ සහ මැදිවියේ ස්ත්‍රී ලෝකයෙනි. ඔවුන් බොහෝ දෙනකු කියන්නේ “හේමාල් හරි ලස්සනයි” යනුවෙන් පමණි. මන්ද ඔවුන්ට සිනමා හෝ රංගනය පිළිබඳ විචාර කිරීමට දැනුමක් හෝ උවමනාවක් නැත. හේමාල් ලස්සනයි කියන විට මේ හැම දෙනාගේම ඇස් දියමන්ති මෙන් බැබලෙනු මා දැක ඇත.
කොළඹ එක්තරා ජාත්‍යන්තර පාසලක ළදරු පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස හේමාල් කැඳවීමට එම විද්‍යාලයේ තරුණ ගුරුවරියන් සහ සංවිධායක මණ්ඩලය සිටි ( 80% සිටියේ මව්වරුය) අය බහුතරයක් දැක්වූ උනන්දුව, ආශාව, කැමැත්ත හා දඩිබිඩිය මම ඇස් දෙකෙන්ම දුටුවෙමි. නමුත් ඔවුන්ගේ අවාසනාවට එය ඉටු නොවීය. ඒ සියලු දෙනා කොළඹ නාගරික පරිවාරයේ මධ්‍යම පාන්තික පවුල්වල සාමාජිකයෝය. එම සාකච්ඡාවෙන් පසු මා එම සාකච්ඡාවේ සහභාගික කාන්තාවන්ගෙන් විමසා සිටියේ හේමාල් වැනි අයෙක් මෙවැනි උත්සවයකට කැඳවන්නේ මන්ද කියාය. ඔවුන් එකිනෙකාගේ මූණ බලාගෙන කියන්න බැරි හේතුව සඟවාගෙන ඇඹරි ඇඹරී සුන්දර ගැටිස්සි හිනාවකින් සංග්‍රහ කළා පමණි.
විජයගේ මෙම මනමාල,ත්‍රාඩ, කුපාඩි අනංග හිනාව මොන තරම් ප්‍රබල ලෙස මේ රටේ ගැහැනුන්ගේ හිත්වල කිඳා බැස තිබුණා ද යන්නට ඇති හොඳම සාක්ෂිය මීගමුවේ උච්ච කුලයක නොවන විජය කුමාරතුංග තමන්ගේ ජීවන සහකරු ලෙස වලව්කාර පන්තියට පයින් ගසා හිතුවක්කාර ලෙස කරගත් විවාහයයි.
හේමාල්ට ද අනාගතයේ එවැනි ස්විප් එකක් ඇදෙන්න බැරි නැත. මන්ද හේමාල් විජයටත් වඩා ස්ත්‍රී සිත් අභ්‍යන්තරයට රිංගන සිංහල සිනමාවේ නූතන අනංගයා ආදරණීය කුපාඩියා බවට රූපාන්තරණය වෙමින් සිටින බැවිනි.
සිංහල සිනමාවට අත්‍යවශ්‍ය තිබූ ඒ කුපාඩි,පැණි හිනාව නැවත අරගෙන ආ ශෘංගාර වීරයා හේමාල්ට අපි සුබ පතමු.
උපුල් ජනක ජයසිංහ
ඡායාරූප – තිලක් පෙරේරා