මණ්ඩල” (Mandala) නමින් හැඳින්වෙන චිත්‍ර විශේෂයක් ඇතුළත් පොත් මෙරට වෙළඳපොළේ මේ දිනවල දක්නට පුළුවන. එකී පොත්වල දැක්වෙන රූප වර්ණ ගන්වන ලෙස ද උපදෙස් දී ඇත. රූප වර්ණ ගැන්වීම, කුඩා දරුවන් සඳහා වූ අධ්‍යාපනික අංගයක් වූවත් මණ්ඩල පොත් ඇත්තේ ම වැඩිහිටියන්ට වර්ණ ගැන්වීම සඳහා ය. වැඩිහිටියන්ට වර්ණ ගන්වන්නට සූදානම් කෙරුණු මණ්ඩල කවර ආකාරයේ සිතුවම් විශේෂයක් ද?.
මණ්ඩල යනු ජ්‍යාමිතික හැඩතල බහුලව භාවිතයට ගෙන අඳිනු ලබන සිතුවම් වර්ගකි. එය කලාවකි. ආසියාවේ ඇතැම් රටවල මේ කලාව ප්‍රකටව ඇත. එය ආසියාවේ කොතැනක ප්‍රභවය වී ද යන්න බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ පැනයකි. සමහර විද්වතුන් සඳහන් කරන්නේ මණ්ඩල කලාව බිහි වන්නට ඇත්තේ ඉන්දියාවේ කියා ය. ක්‍රි.පූ. පළමුවන සියවසට අයත් බෞද්ධ චිත්‍රවල මණ්ඩල දක්නට ලැබෙන බව ද අනාවරණය වී තිබේ. මේ සිතුවම් “මණ්ඩල” යනුවෙන් හැඳින්වීම ද සුවිශේෂී ය. “මණ්ඩල” යන වචනය සංස්කෘත බසට අයත් ය. එහි අරුත වෘත්තාකාර යන්නයි. මණ්ඩල කලාවෙහි නිරන්තරයෙන් ම වෘත්තාකාර හැඩතල දැකිය හැකි ය. එනිසා ම ඒවා එනමින් හැඳින්වෙනවා විය යුතු ය. මණ්ඩල කලාවෙන් මිනිසාගේ අධ්‍යාත්මික පක්ෂය නිරූපණය කෙරෙන බැව් සඳහන් වේ. මණ්ඩල ඇඳීම අසීරු කාර්යයක් බවත්, එය භාවනාවක් බවත් ශාස්ත්‍රීය ලිපි පෙන්වා දෙයි.
එසේ වුව මේ කලාව හුදෙක් බුදු දහම විෂයයෙහි ගොඩනැඟුණු කලාවක් පමණක්ම යැයි කියන්නට සාක්ෂි නැත. මණ්ඩල, හින්දු, ජෛන ආදී වෙනත් ආගම් හා සම්බන්ධ කලාවක් ද වේ. මණ්ඩල කලාව අනෙක් ආසියාතික රටවලට ව්‍යාප්ත වූයේ බුදු දහම නිසා යැයි මතයක් ඇත. බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා වෙනත් රටවලට වැඩම කරන විට මණ්ඩල කලාවත් රැගෙන යන්නට ඇතැයි විශ්වාස කෙරෙන බැවිනි. ඊට සේද මාවත ඉවහල් වන්නට ඇතැයි ද කියැ වේ. එසේ ව්‍යාප්ත වුණු මණ්ඩල කලාව හතර වන සියවස පමණ වනවිට ටිබෙටය, චීනය, ජපානය වැනි රටවල දක්නට ලැබුණු බව විද්වත්හු පවසති. පසු කලෙකදී මේ කලාව නැගෙනහිර පවත්නා ආගම් රැසක් සමඟ සම්බන්ධ වී ඇත. ඒ අනුව අද වනවිට මණ්ඩල කලාව හින්දු, ජෛන, බුදු දහම සහ ශින්ටෝ යන ආගම් ඇසුරු කරගෙන පෝෂණය වී ඇති බැව් පෙනෙන්නට තිබේ.
එක් එක් ආගම පදනම් කරගෙන නිර්මාණය වුණු මණ්ඩල රූපවල ඒ ඒ ආගමට ආවේණික ලක්ෂණ දක්නට පුළුවන. හින්දු ආගම හා සම්බන්ධ මණ්ඩල නිර්මාණ සිදු කර තිබෙන්නේ හරි හතරැස් කොටුවක් මධ්‍යයේ ඇති වෘත්තයක ය. හරි හතරැස් කොටුවේ ද්වාර හතරක් නිරුපණය කෙරේ. සෑම ද්වාරයක් ම “T” ස්වරූපයෙන් යුක්ත ය. ධ්‍යානමය පූජාකර්ම විධි ඒවායෙහි සිතුවම් කර ඇත. ඉන්දීය ජනයා වර්තමානයේදී අඳින “රන්ගෝලි” (rangoli) නම් සිතුවම් විශේෂය ද මණ්ඩල ඇඳීමේ කලාවේ දිගුවක් ලෙස සැලකේ. දීවාලි, පොංගල්, ඕනම්, යුගදි සහ තවත් හින්දු සංස්කෘතික උත්සවවලදී ඉන්දීය ජනයා රන්ගෝලි අඳිති. ඉන්දියාවේ ද්‍රවිඩ ජනයා කෝලම් (Kolam) ඇඳීම යනුවෙන් හඳුන්වන්නේ ද රන්ගෝලි ඇඳීම ම ය. මණ්ඩල කලාවේ එක ස්වරූපයක් වන රන්ගෝලි හැඳින්වීමට ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ජනයා විවිධ නම් භාවිත කරන බව එයින් තහවුරු වේ.
වජ්‍රයාන බුදු දහම අදහන පිරිස් අතීතයේදී මණ්ඩල නිර්මාණය කළේ වැලි යොදා ගනිමිනි. මණ්ඩල කලාව, වජ්‍රයාන බුදුදහමේ අනුත්තරායෝග තන්ත්‍ර භාවනා ක්‍රමවල ප්‍රධාන අංගයක් ලෙස අදටත් භාවිතයට ගැනේ. ජෛන ආගමික මණ්ඩලවල එම ආගමට අයත් දේවතාවන්, සිද්ධස්ථාන මෙන්ම ආගමික සංකේතාදිය දක්නට පුළුවන. මණ්ඩල කලාව, ටිබෙට් බුදු දහමෙහි පරිහරණය කෙරෙන්නේ අධ්‍යාත්මික විශ්වයේ සිතියමක් වශයෙනි. විවිධ ආගමිකයන් නිර්මාණය කරන මණ්ඩල රූපවල සිතුවම් කරන රූප ද විවිධ ය. මෙරු කන්ද, තථාගතයන් වහන්සේ පස්නම, ගෞතම බුදුරජාණන් වහන්සේ, ස්තූප ආදිය ඒ අතර බහුලය. මේ කාරණා දෙස බලන විට පැහැදිලිව පෙනෙන්නේ මණ්ඩල කලාව මිනිසාගේ ආධ්‍යාත්මික පක්ෂය දියුණු කෙරෙන භාවනා සමඟ සම්බන්ධව ඇති බවයි. කවර රූප සහ සංකේත භාවිතයට ගනිමින් මණ්ඩල නිර්මාණය කෙරුණ ද ඒවායෙන් වැඩිපුර ම සන්නිවේදනය කෙරුණේ ප්‍රඥාව, අනිතය, පූජාව, දානය යන අංගයන් ය.
මෙහිලා නිදසුනක් ලෙස වැලියෙන් කෙරෙන මණ්ඩල දැක්විය හැකි ය. වර්ණ ගන්වන ලද වැලි භාවිතයෙන් මණ්ඩල නිර්මාණය කිරීම ඉන්දියාවේදී ප්‍රභවය වූයේ අටවන සහ දොළොස්වන සියවස් අතර කාලයේදී බව සොයාගෙන ඇත. වැලිවලින් මණ්ඩල නිර්මාණය කිරීම ටිබෙටයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අතර අදටත් ප්‍රකට ය. එම භික්ෂූන් වහන්සේලා නිර්මාණය කරන සෑම මණ්ඩලයක් ම විශේෂිත දෙවිවරුන් වෙත කැප කර ඇත. මණ්ඩලවල අඩංගු රූප සටහන්වලින් නිරූපණය කෙරෙන්නේ බුද්ධත්වයට පත්වීම සඳහා එම දෙවිවරුන් සිත දියුණු කර ගතයුතු ආකාරයයි. මේ අන්දමට මණ්ඩල නිර්මාණයෙහි යෙදෙන්නේ ආරාමයක වසර තුනත් පහත් අතර කාලයක් ඒ වෙනුවෙන් ම පුහුණුව ලැබූ ටිබෙට් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ය. මණ්ඩල සෑදීමට අවශ්‍ය වැලි සපයා ගන්නේ ද, ඒවා වර්ණ ගන්වා ගන්නේ ද, අවශේෂ උපකරණ සකසා ගන්නේ ද එම භික්ෂූන් වහන්සේලා ම බව සඳහන් වේ. නිර්මාණය සඳහා සැලකිය යුතු තරමේ කාලයක් ගතවන අතර එම මුළු කාලයේදී ම භික්ෂූන් වහන්සේලා භාවනාවෙහි යෙදෙති; ගාථා කියති; ආශිර්වාද කරති. බොහෝ වෙහෙස දරා එම භික්ෂූන් වහන්සේලා නිර්මාණය අවසන් කර අනතුරුව එය විනාශ කර දමති. උන්වහන්සේලා එසේ කරන්නේ ජීවිතයේ ඇති අනිත්‍ය ස්වභාවය සංකේතවත් කරමිනි. එසේ ම අනිත්‍ය අවබෝධ කර ගනිමිනි.
මණ්ඩල කලාව ගැන බටහිර මනෝවිද්‍යාවෙහි අද නොයෙක් මත පළ වේ. දීර්ඝ ඉතිහාසයක් ඇති ආවේණික ලක්ෂණවලින් හෙබි මේ කලාව නූතන බටහිර චින්තනයට නැවත හඳුන්වාදුන්නේ ස්විස් ජාතික මනෝවිද්‍යාඥ කාර්ල් ගුස්ටාව් ජුන්ග් ය. වෘත්තාකාර හැඩ රටා සහිත මණ්ඩල සිතුවමක් නිර්මාණය කරන අවස්ථාවේ සිත්තරාගේ මනසේ අභ්‍යන්තර ස්වරූපය එමඟින් නිරූපණය කෙරෙන බව කාර්ල් ගුස්ටාව් විද්‍යාත්මක සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ ය. මණ්ඩල කලාවේ දක්නට ලැබෙන සංකේතාත්මක ස්වරූපය කෙනෙකුගේ අවිඥානයේ ගැඹුරු මට්ටම්වලට ප්‍රවේශවීමට සමත් බව බ්‍රිතාන්‍ය ජාතික මනෝවිද්‍යාඥ ඩේවිඩ් ෆොන්ටානා වරක් පැවසුවේ ය. එකී තත්ත්වය භාවනා කිරීම සඳහා බෙහෙවින් ම උපකාරී වන බව ද ඔහු පෙන්වා දී ඇත.
සාම්ප්‍රදායික ආගමික සහ සංස්කෘතික නැඹුරුවක් සහිත මණ්ඩල රූප සටහන් ඇතුළත් පොත් වෙළඳපොළෙන් අපට අද මිලදී ගන්නට නුපුළුවන. ඒ වෙනුවට අද අප අතට පත් කෙරෙන්නේ එම කලාවේ ඇතැම් ලක්ෂණ සියුම් ලෙස උකහා ගත් රූප සටහන් සහිත පොත් ය. එදා බිහි වූ මණ්ඩල කලාවට ඥාතීත්වයක් ඇති, අද ඇඳෙන “මණ්ඩල” නමින් හඳුන්වන රූප සටහන් නිසා අපට ඉඩ සැලසෙන්නේ වර්ණ ගැන්වීමේ අභ්‍යාසයේ යෙදෙන්නට පමණි. නූතන රූප සටහන් ද තරමක් සංකීර්ණ ය. එනිසා ඒවා පාට කිරීමේදී සිත එක් තැන් කරගන්නට අපට සිදු වේ. ඒ අතින් ගත් කල එය භාවනාවක් වැනි ය. මනසේ පීඩාකාරී ගති දුරු කරගන්නට එවැන්නකින් වුව අත්වැලක් සැලසෙයි. එසේ වූවත් මණ්ඩල කලාවෙන් පුද්ගල ආධ්‍යාත්මයට ඇති කෙරෙන නියම බලපෑම ලැබෙන්නේ තමන් ම මණ්ඩල නිර්මාණය කර, වර්ණ සකසාගෙන වර්ණ ගැන්වීමේදී ම පමණි. ඒ අතින් බලන විට මණ්ඩල කලාව නූතන ලෝකයට සරිලන ලෙස අද ලඝු වී ඇති බවක් පෙනෙයි.
මංජුලා විජයරත්න