අකුෂ්ලා සෙල්ලයියා… පසුගියදා මෙලොවින් සමුගත්තේ සිය ජීවන ගමනේ සැඳෑ සමය අතිශය නිහඬව ගත කරමින් සිටියදීය. ඇගේ මරණය සිදුවූයේ සිනමාවෙන් සමුගෙන දශක 4කට වැඩි කාලයකට පසුවය. එබැවින් මෙරට බොහෝ සිනමාලෝලීන් ඇය ගැන දැන නොසිටීම අරුමයක් ද නොවේ. ඇගේ සිනමා ජීවිතය 70 දශකයේ අගභාගයේ සිට 80 දශකයේ මුල් භාගය දක්වා විහිදුණු ඉතා කෙටි කාල පරාසයකි. නව යොවුන් වියේ තරුණියක ලෙස 70 දශකයේ අග භාගයේදි රංගනයට පිවිසි අකුෂ්ලා 80 දශකයේ මුල් භාගය දක්වා රංගන දායකත්වය සැපයූ සිංහල සහ ජාත්‍යන්තර ඉංග්‍රීසි චිත්‍රපට ගණන ද අතළොස්සකි. එය ඉංග්‍රීසි චිත්‍රපට තුනකටත්, සිංහල චිත්‍රපට පහකටත් සීමා වූ එකකි. ඉන් වැඩි ප්‍රමාණයක ඇගේ රඟපෑම් අවශේෂී චරිතවලට සීමා වී තිබිණි. එහෙත් සුළු චරිතයකින් වුවත් සිනමාලෝලීන්ට කලෙකට අමතක නොවන රංගනයක නිරත වීමට ඇය සමත්වූවාය.
අකුෂ්ලා සෙල්ලයියා යනු Cinematic character ශානරයේ රංගනවේදිනියකි. සිනමා තිරයේ ඇගේ භූමිකාව ප්‍රේක්ෂකයන් අතර දෘශ්‍යමය වශයෙන් බලපෑමක් ඇති කිරීමට තරම් ප්‍රබල වූයේ එබැවිනි. ඇගේ රංගනය සහ රූපය ප්‍රේක්ෂකයන්ගේ මනසෙහි තැන්පත් වූයේ එම Powerful visual language භාවිතය හේතුවෙනි. එවකට සිංහල සිනමාවේ එවැනි අසාමාන්‍ය පෞරුෂයකට හිමිකම් කීවේ ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු නිලියන් කිහිපදෙනකු පමණි.
අකුෂ්ලාගේ රංගනය සීමා මායිම්වලින් තොර වූවකි. ඇයට සිනමාවේ දොරටු විවර කළ La montagna del dio cannibale ඉතාලි චිත්‍රපටයේ එක් ජවනිකාවක ඇයට නිරුවත් වීමට සිදුවූ අතර, ඇය එම අභියෝගය කිසිදු චකිතයකින් තොරව බාර ගත්තාය. එය ශ්‍රී ලාංකික නිළියක් රංගනය උදෙසා කැමරාව ඉදිරියේ එවැනි ජවනිකාවක පෙනී සිටි පළමු අවස්ථාව ද විය. ඇය එතෙක් සිංහල සිනමාවේ ගොඩනැඟුණු සම්ප්‍රදායික කාන්තා රංගනයට අභියෝගයට ලක් කළේ එලෙසිනි.
La montagna del dio cannibale චිත්‍රපටයේ රඟපාමින් ඇය සිංහල සිනමාවට පිවිසීමට පෙර ජාත්‍යන්තර සිනමාවට පා තැබූවාය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වූ මනික් සන්ද්‍ර සාගර්ගේ Rampage ඉංග්‍රීසි චිත්‍රපටයට ද ඇගේ රංගන දායකත්වය ලැබිණි. ඒ වනවිට සිංහල සිනමාවේ ඉහළම තලයේ සිටි සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ රංගනයට එක්වීම ඇගේ සිනමා ජීවිතයේ නිම්වළලු පුළුල් කරගැනීමට ලද අවස්ථාවකි. අමෙරිකාවේ සුප්‍රකට සිනමාකරු ජෝන් ඩෙරෙක්ගේ Tarzan the ape man, ලාල් පෙරේරාගේ තවලම සහ ගාමිණී ෆොන්සේකාගේ බාඳුරා මල් චිත්‍රපට ත්‍රිත්වයම තිරගත වූයේ 1981 වසරේදීය. අනතුරුව ගාමිණී ෆොන්සේකාගේ රෑ මනමාලි (1982), ජේ. රාසරත්නම්ගේ හිතත් හොඳයි වැඩත් හොඳයි (1983), රොබින් ප්‍රනාන්දුගේ සුර දූතියෝ (1985) ඇගේ රංගනයෙන් වර්ණවත් විය. රෑ මනමාලී චිත්‍රපටයේ ඇය රවීන්ද්‍ර රන්දෙනිය සමඟ ප්‍රධාන චරිතයකට පණ පෙවූ අතර, සිනමා සක්විති සිය චිත්‍රපටයක ප්‍රධාන චරිතයට තෝරා ගැනීම ම ඇගේ රංගන ප්‍රතිභාවට කදිම නිදසුනකි.
එහෙත් ඇය ශ්‍රී ලාංකික සිනමාලෝලීන් අතර ජනප්‍රියත්වයට පත් වූයේ සුර දූතියෝ චිත්‍රපටයෙනි. එය නිර්මාණය වූයේ 70 දශකයේ අමෙරිකාවේ අතිශය ජනප්‍රියත්වයට පත් Charlie’s Angels රූපවාහිනි වෘතාන්ත චිත්‍රපට මාලාව ඇසුරෙනි. පෞද්ගලික ඔත්තු සේවා ඒජන්සියක රහස් පරීක්ෂකවරියන් තිදෙනකු සහ එහි ප්‍රධානියා වටා ගෙතුණු සුර දූතියෝ චිත්‍රපටයේ ඇය සමඟ රෝසි සේනානායක සහ විශාඛා සිරිවර්ධන රඟපෑ අතර, ඔත්තු සේවයේ ප්‍රධානියාගේ භූමිකාව රඟ දක්වනු ලැබුවේ අධ්‍යක්ෂ රොබින් ප්‍රනාන්දු විසිනි. අවාසනාවකට එය අකුෂ්ලාගේ රංගනය සිනමාලෝලීන් දැකබලාගත් අවසන් අවස්ථාව බවට ද පත්විය.
අකුෂ්ලා සෙල්ලයියා රංගනවේදිනියක පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත් මෝස්තර නිරූපණ ශිල්පිනියකි. අසූව දශකයේ මුල් භාගය වන විට ඇය මෝස්තර නිරූපිකාවක ලෙස විලාසිතා ලෝකයේ සිය මුද්‍රාව තබා අවසන් ය. කවුරුත් ඇය හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පළමු super model නිරූපිකාව ලෙසටය. ඇතැමුන්ට අනුව අසූව දශකයේ මෙරට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට ඇය සමත්වූ අතර, තවත් සමහරු ඇය හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලාංකික fashion Icon හැටියටය. ඉහත කී ඇගේ සිත් ඇදබැඳ තබාගන්නා සිහින් රූ සපුවත්, විලාසිතා දැක්මට පැමිණෙන (Catwalk) ආකාරයත් විලාසිතා ලෝකයේ ඇගේ ජනප්‍රියත්වයට හේතු වී තිබිණි. එය ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ අවධානයට ද ලක් වී තිබිණි.
අකුෂ්ලාගේ මෝස්තර නිරූපණ භූමිකාව ඔපමට්ටම් වීමට මංගල සමරවීරගේ විලාසිතා දැක්ම ද බෙහෙවින් ඉවහල් විය. මංගල සමරවීර පසුකාලීනව මෙරට දේශපාලන පොර පිටියේ ප්‍රබල චරිතයක් බවට පත්වූවද, තරුණ වියේදී ශ්‍රී ලාංකික විලාසිතා කලාව ජාත්‍යන්තරයට රැගෙන යෑමට පුරෝගාමිව කටයුතු කළ බව දන්නේ අතළොස්සක් පමණි. අසූව දශකයේ මුල් භාගයේදී මෝස්තර කලාව ව්‍යාප්තවූ කොළඹ ප්‍රභූ පන්තිය අතර ඔහු ප්‍රකටව සිටියේ Mangala Innocence නමිනි. ඔටාරා ගුණවර්ධන, නයෝමි රාජරත්නම් සහ කැරිල් ටොසර් වැනි ප්‍රකට මෝස්තර නිරූපිකාවන් අතරට අකුෂ්ලා ද ඇතුළත් විය. ඇය සිනමාවෙන් සමුගත්තේ රංගනයෙත්, මෝස්තර නිරූපණයෙත් අතිශය කාර්යබහුලව සිටියදීය.
ෆවුස්
මොහොමඩ්