කෘෂි භෝග සඳහා හානි කරන සතුන්ගේ ව්‍යාප්තිය දැනගැනීමේ අරමුණ ඇතිව වත්මන් රජය ඉකුත් 15 වැනිදා සෙනසුරාදා පෙ.ව. 8.00 සිට පෙ.ව. 8.05 දක්වා කාලය තුළ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කළ සත්ත්ව සංගණනය පිළිබඳව දැන් මුළු රට ම දනියි. රටවැසියෝ එයට ක්‍රියාකාරීව දායක වූහ. එය විද්‍යාත්මක සාක්ෂරතාවේ ප්‍රාථමික අදියරකි. සංඛ්‍යාන විද්‍යාවේ ප්‍රගණන ලකුණු සටහන් කිරීමේ හය වසර ක්‍රියාකාරකමට පදනම් වූවකි.
ගණිතය සහ විද්‍යාව විෂය දෙකටම රටේ ජනතාවගෙන් කොටසක් අමුතු ආගන්තුක යැයි මේ සත්ත්ව සංගණනය සඳහා දැක්වූ ප්‍රතිචාරවලින් සක්සුදක් සේ පෙනී යයි.
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයකට වර්තමානයේ අප රට ජනතාව මුහුණදී සිටිති. එහිදී රිළවා, වඳුරා, දඬුලේනා සහ මොනරා යන සත්ත්ව කොට්ඨාස භෝග අස්වනු කෙරෙහි අසීමාන්තික ලෙස අයහපත් ආකාරයට බලපෑම් එල්ලකරන බව මුළු රටම දනියි. ජනතාව එයට විසඳුමක් ද ඉල්ලා සිටී. ගැටලුවකට විසඳුමක් ලබාදීමට නම් පළමුවෙන් ම ගැටලුව පැහැදිලිව හඳුනාගත යුතුය. ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේද අනුව යමින් කටයුතු කළ යුතුය. එහිදී විද්‍යාත්මක විසඳුම් ක්‍රමවේද භාවිත කිරීම අනිවාර්යය.
විද්‍යාත්මක ක්‍රමවේද අත්‍යන්තයෙන් ම ගණිත විෂය හා බැඳී පවතී. (‘විද්‍යාවේ මාධ්‍ය භාෂාව ගණිතයයි’) විශේෂයෙන් පුළුල් සංගණනයක අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීම සඳහා සංඛ්‍යාන විද්‍යාව අනිවාර්ය අවශ්‍යතාවක් වීම වළකනු නොහැකිය. සංඛ්‍යාන ප්‍රවිධි, දත්ත හා තොරතුරු විශ්ලේෂණය සඳහා උපයෝගී කරගනු ලැබේ. මේ කිසිවක් පිළිබඳව මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේද විසින් ඉල්ලා සිටිනු ලබන දත්ත – තොරතුරු හෝ ඒවා රැස්කර ගත යුතු හෝ සකසා ගත ගත යුතු හෝ පිළිවෙළ නොදැන බාල ‘ළමා හඬ’ක් පාර්ලිමේන්තුවෙන් අසන්නට ලැබීම මොන තරම් කනගාටුදායක ද?
සත්ත්ව සංගණනය වැනි විද්‍යාත්මක ක්‍රමවේද අනුයන සංකීර්ණ කාර්යක් දියත් කිරීමේ ක්‍රියාකාරකම් පිළිබඳව අඩුම තරමින් පර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්වත් විද්‍යාත්මක ඇසකින් බැලිය යුතු ව තිබුණේ එම අර්ථයෙන් බව යෝජනා කරනු කැමැත්තෙමු. විද්‍යාත්මක ක්‍රමවේදයේ භාවිත කැරෙන ගණිතයේ ‘සංඛ්‍යානමය ප්‍රවිධි ’ සමඟ අඩුම තරමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ මට්ටමේ හෝ විද්‍යාව විෂය දැනුම සහිත ඉගැන්වීමකට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යටත් කළ යුතු ය. එවිට වටිනා පාර්ලිමේන්තු කාලය ඔවුන්ට නිස්සාර කතා කියමින් අපතේ යවන්නට නොසිතෙනු ඇත. බොහෝ මන්ත්‍රීවරුන් තම නොදැනුම්වත්කම සහ කථිකෝදය සමිතියේ මෙන් කතා කිරීම පුහුණු වීමේ ආසාවෙන් මඬනා ලද සිතැතිව කතා කරන බව ජනතාව හොඳාකාරව දනියි. මෙය වෙනස් කළ යුතු ය. සත්ත්ව සංගණනයේ මහා පාඩම අපට, රටට කියා දෙන්නේ එයයි.
අනෙක් අතට අපේ ජනතාව විද්‍යාත්මක සාක්ෂරතාව අතින් අන්තිම පහළින් ස්ථානගත වී සිටින බව ද රහසක් නොවේ. සත්ත්ව සංගණනයට පෙරාතුව රජය කළ යුතුව තිබුණේ ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් මෙන් ම පාසල්වල විදුහල්පතීන් සමඟ පාසලේ විද්‍යාව විෂය ගුරුභවතා දැනුම්වත් කිරීම හා අවශ්‍ය විද්‍යාත්මක දැනුම ලබාදීමට අනතුරුව සිසු දරුවන් හරහා ගෙවල්වල සිටින වැඩිහිටියන් කිසියම් ප්‍රමාණයකට දැනුම්වත් කිරීමයි. එසේ කළේනම් ප්‍රස්තූත සංගණන කාර්යය ‘බුද්ධි කලම්බන ප්‍රබෝධන’ කටයුත්තක් වීමේ කිසියම් ඉහළ සම්භවිතාවක් ගනු ඇතැයි අපට සිතෙයි. කොහොමටත් එසේ කළේනම් සමාජයට ‘එදිනෙදා ජීවිතයට විද්‍යාව’ කියා දීම නම් අපතේ යන්නේ නැත. මාර්තු මස 14 වැනිදාට යෙදුණු ‘ජාත්‍යන්තර ගණිත දිනය’ ද අරමුණු කරගෙන මුළු රට පුරා පාසල්හි අදාළ සංගණනය පිළිබඳව සරලව සිසුන් සහ දෙමාපියන් දැනුම්වත් කළේනම් සැබැවින් ම එහි අධ්‍යාපනික වටිනාකම මත අගයක් ද එකතු වීමක් ද සිදු විය යුතුව තිබිණි.
සත්ත්ව සංගණනයේ ආණ්ඩුවේ වැඩසටහන අගය කළ යුතු ය. එසේ නොකරන්නෝ විද්‍යා සාක්ෂරතාවෙන් ඌන වූවෝ යැයි අප සඳහන් කරන්නේ කිසිවකු හෙළා දැකීම පිණිස නොව, එයට ද විසඳුම් රජය විසින් ගත යුතුව තිබෙන බව අවධාරණය කරනු පිණිසය.
විශ්‍රාමික විදුහල්පති තුසිත් සාගර
(අධ්‍යාපනවේදී උපාධි) සදලංකාව