Home » වසරකට දෙදිනක් දෙරටක් යා කරන සයුර මැද මංගල්‍යය කච්චතිව්

වසරකට දෙදිනක් දෙරටක් යා කරන සයුර මැද මංගල්‍යය කච්චතිව්

by sachintha
March 23, 2025 7:00 am 0 comment

lසුභාෂිණි ජයරත්න

(කච්චතිව් සංචාරයකින් පසු)

ගණ අන්ධකාරය තවමත් උතුරු අර්ධද්වීපය වෙළාගෙන ඇත. හිරු එළිය වැටෙන්නට හෝරා කීපයක් තිබුණ ද අඳුර මැදින් දඹකොළපටුන පසු කරමින් ගමන කන්කසන්තුරේ නාවුක ජැටිය කරාය. මේ වසරකට වරක් දෙරටක් යා කරන යාපන අර්ධද්වීපයේ පැවැත්වෙන මහ මුහුදේ පැවැත්වෙන මහ මංගල්‍යය කරා යන ගමනය. ගමනට තව බොහෝ දුරය. දැන් අඳුරේ විදුලි එළියෙන් ආලෝකවත් වන කන්කසන්තුරේ ජැටිය යාන්තමට පෙනේ. මහ මුහුදේ රළ බිඳෙන හඬ හැරෙන්නට වටපිටාව බොහෝ සෙයින් නිහඬය. හිරු එළිය වැටෙන්නට තව හෝරා ගණනාවක් ඇතිමුත් මහ සයුරේ වතිකානුව කච්චතිව් මහ මංගල්‍යය බලා යන ගමනට අඳුර හෝ හිරු එළිය අදාළ වන්නේ නැත.

ශ්‍රී ලංකා මුහුදු කලාපයට අයත් දූපත් අතරින් දුරින්ම පිහිටි දූපත වන්නේ කච්චතිව්ය. නාගදීප, ඩෙල්ෆ්ට් මෙන්ම අනලතිව් වැනි ලංකාවට සමීප දූපත් පසුකරමින් Sea of Ceylone හෙවත් අපේ මුහුදු තීරයට අයත් වන දූපත් අතරින් අපට බොහෝ ඈතින්ම ඇති දූපත වන්නේ මේ කච්චතිව් දූපතය. අලංකාරයෙන් අගතැන්පත් අති සුන්දර මුහුදු තීරයක් ඇති කච්චතිව් දූපතේ සුන්දරත්වය අත්විඳින්නට අපිට හැකියාව ලැබෙන්නේ වසරේ දින 365ටම දෙදිනක් පමණි. වසරේ දින දෙකක් පමණක් ජනාකීර්ණ වුවද ඉතිරි දින 363ම නිහඬව ලෝකයම ආසිරි ගන්වන කච්චතිව් වනාහි ශුද්ධ බිමකි. ශාන්ත අන්තෝනි දේව මුනිඳුන්ගේ පහස ලත් මේ ශුද්ධ භුමිය දේශපාලනික අර්බුද පසෙකලා ඉන්දීය – ශ්‍රී ලංකා රටවල් දෙක සහෝදරත්වයෙන් අත්වැල් බැඳගන්නා එකම අරමුණක් වෙනුවෙන් පූජනීය කරවන පින්බිමකි. එදත් අදත් ඉන්දීය සහ ශ්‍රී ලාංකේය බැතිමතුන් මේ මහ මංගල්‍යයට සැරසෙන්නේ මහත් වූ දේව භක්තියෙනි. දේව මෙහෙය පැවැත්වෙන නිසාම නොව රටවල් දෙකක ජාතීන් දෙකොට්ඨාසයක් එක් අරමුණක් වෙනුවෙන් ආශිර්වාද ගැන්වෙන මේ භූමිය දින දෙක ඇවෑමෙන් යළි නිහඬ වන්නේ තවත් අලුත් වසරක එවැනිම උදාවක් වෙනුවෙනි. එපමණක් නොව ඉන්දීය රුපියල් සේම ශ්‍රී ලාංකික රුපියල්ද එකසේ වෙළෙඳ කටයුතු සහ ගනුදෙනු සඳහා භාවිතයට ගන්නා එකම බිම වන්නේද මේ අසිරිමත් පුදබිමයි.

කන්කසන්තුරේ නාවුක ජැටිය අසල ‘හංසයා ‘ අප එන තෙක් බලා සිටිනන්නේ මහ සයුර කලඹමින් මේ අසිරිමත් මංගල්‍යයට අප කැඳවාගෙන යන්නටය. වේලාව රාත්‍රී දෙකට පමණය. නාවුක හමුදා නිලධාරීන් සියල්ල මේ අසිරිමත් මංගල්‍යය පිටුපස නිහඬව සිය රාජකාරිය අකුරටම ඉටු කරති. වචනයෙන් පැවැසිය නොහැකි තරමටම ඒ සත්කාර්යයට ඔවුන් සිය කාලය, ශ්‍රමය කැපකොට ඇත්තේය. මෙය මුහුදු සැතපුම් 45කට එනම් සාමාන්‍ය කිලෝමීටර් 100කට අධික දුරකින් යුතු ගමනකි. හංසයා යාත්‍රාව නිහඬව මහ මුහුද කරා ඇදෙන්නේ පැය 5ක දිගු ගමනකට මුල පුරන්නටය.

අක්කර 285ක භූමි භාගයක විහිදුණු මේ අති සුන්දර කච්චතිව් දූපත අපේම වන්නේ 1974 දී සිරිමා – ශාස්ත්‍රි ගිවිසුමෙනි. ගිවිසුමේ කොන්දේසි අනුව කච්චතිව් මංගල්‍යයට ඉන්දීය බැතිමතුන්ට සහභාගි විය හැකි අතර ඒ සඳහා වීසා පහසුකම් අවශ්‍ය වන්නේ නැත. එලෙස ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ඇරයුමෙන් දින දෙකකට පමණක් වසරේ ඇරෙන මේ දූපත ශ්‍රී ලාංකේය මෙන්ම ඉන්දීය බැතිමතුන්ගෙන් පිරි ඉතිරී යන්නේ කච්චතිව් මංගල්‍යය වෙනුවෙනි. ඉඳහිට ඉන්දීය සහ ශ්‍රී ලාංකේය ධීවරයින්ගේ වෙහෙස නිවන්නට මේ දූපත බාධාවක් නොමැති වුවද අදටත් කච්චතිව් ඇත්තේ නාවුක හමුදා පාලනය යටතේය. එදා කුඩා දේවස්ථානයක ආශිර්වාද ලබාගත් බැතිමතුන් වෙනුවෙන් නාවුක හමුදාවේ මැදිහත්වීමෙන් නව දේවස්ථානයක් ඉදිවන්නේ 2017 වසරේදීය. එහෙත් එදා පැරණි දේවස්ථානය තවමත් එහි ඇත්තේය. ජාති ආගම් භේද මේ භූමියට අදාළ නැත. වසරකට දින දෙකක් පමණක් ඇරෙන මේ භූමිය ඉතිරි දින 363ම පාළුවට ගියද මේ බිම ආරක්ෂා කරන්නේ ශ්‍රී ලංකා නාවුක හමුදාව විසිනි. වසර පුරාම මේ උතුම් භූමිය ආරක්ෂා කරමින් නැවතත් එළඹෙන වසරේ දින දෙකක් පූජනීයත්වය ලබන්නට බැතිමතුන් පැමිණෙන්නට පසුබිම සකසන්නේද අපේම නාවුක හමුදාව විසිනි. ඒ සඳහා දින 365ක් වූ කාලය පුරාවට මේ වෙනුවෙන් ඔවුන් දක්වන මෙහෙය සුළුපටු නැත.

කච්චතිව් බලා යන ගමනේ මනස්කාන්ත දර්ශනය වචනයට මුසු කළ නොහැකිය. තෙරක් නොපෙනෙන මහ සයුරේ හැම අතම නිල්වන් මහ සයුරය. පැහැදිලි නිල් ජලය, ඇස් ගිනි කන සූර්ය කදම්බ මුහුදු මතුපිට රඟන රඟ, වියළි සුළඟ කච්චතිව් ගමනේ හමුවන මඟ සලකුණුය. අපේ මුහුදු කලාපයේ උරුමයක් සොයා යන ගමනේ ඩෙල්ෆ් , අනලතිව් දුපත් දසුන් ඇසට හසුවන්නේ හෝරාවක දෙකක විරාමයකිනි. ආලෝකය පතිත වන්නටත්, අඳුර මැකෙන්නටත් වැඩි වේලාවක් ගියේ නැත. මහ සයුර පීරමින් ඉදිරියට ඇදෙන හංසයා ටිකෙන් ටික කච්චතිව් දූපත කරා ඇදෙන්නේය. උදෑසන නාවුක හමුදා නිලධාරින් විසින්ම හංසයා නෞකාවේ සිට පිළියෙල කර දුන් උණු උණු රොටි, මිරිස් මාළු කරිය සමඟ තේ කෝප්පය ප්‍රබෝධවත් ගමනකට අපූරු මුල පිරීමකි. කන්කසන්තුරේ ජැටියෙන් අප ගමන ආරම්භ කළ ද ශ්‍රී ලාංකේය බැතිමතුන් මේ ගමනට එක්වන්නේ කුරිකඩ්ඩුවාන් ජැටියෙනි. ඒ සඳහා සියලු පහසුකම් නාවුක හමුදාව විසින්ම සපයා ඇත්තේය. දකුණුපස අන්තයක් නොපෙනෙන මහ මුහුදේ ඉන්දීය අර්ධද්වීපයට අයත් රාමේෂ්වරම් කෝවිලේ කුලුන පෙනේ. ඒ කච්චතිව් අපිට වඩා ඉන්දියාවට ආසන්න දූපතක් වන බැවිනි. එය විටක අපූරු අත්දැකීමකි. ඉන්දියාව ආසන්නයට ගිය බව හඟවන සලකුණකි. මහ මුහුදට අවු රශ්මිය වැටෙන්නට මහ වේලාවක් යන්නේ නැත. අව් රැස් කපාගෙන මුහුදු රළ බිඳිමින් හංසයා ඉදිරියටම ඇදෙයි. පැය 5ක දීර්ඝ මුහුදු ගමන වෙහෙසකර නැත. වෙහෙස නිමන්නට ඇවැසි නැත. වෙරළ සීමාවේ තැනින් තැන නවතා ඇති බෝට්ටු පෙනේ. ඒ ඉන්දියානුවන් කච්චතිව් බලා පැමිණි ටෝලර් බෝට්ටුය. ඒ අප කච්චතිව් දූපතට පැමිණි වග ඉඟි කරන්නටය. ගාම්භීර සිංහ ධජ හතර අතේ ළෙලදෙන කච්චතිව් ඇස් ඉදිරියේය. අප පිළිගන්නටදෝයි සිතට නැඟෙන්නේ ආඩම්බරයකි. කච්චතිව් දක්වා එන ශ්‍රී ලාංකිකයන්ට සේම ඉන්දියානුවන්ටත් නාවික හමුදාවෙන් ලැබෙන්නේ එක හා සමාන ආරක්ෂාවකි. කිසිවකුටත් කිසිදු අඩුපාඩුවක් නැත්තා සේය. සියලු දෙනා එකම අරමුණකින් පැමිණ සිටින්නේ තමන්ගේ බලාපොරොත්තු ගැටලු ශාන්ත අන්තෝනි මුනිඳුන් ඉදිරියේ යදින්නටය.

මේ සාම බිමේ වැදගත්ම දේ වන්නේ ඉන්දීය ශ්‍රි ලාංකික බැතිමතුන් එක්ව කොඩි ගස එසවීමයි. උතුරේ සහ ඉන්දීය රාමේෂ්වරම් කෝවිල්හි කතෝලික පූජක තුමන්ලාගේ එක්වීමෙන් කොඩි ගස එසවෙන්නේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ආශිර්වාද මධ්‍යයේය. අනතුරුව සියලු බැතිමතුන් පාද නමස්කාර කරන්නේ මහ සිකුරාදා දිනය මෙනෙහි කිරීමටය. මේ මංගල්‍යයටම සුවිශේෂ වූ චාරිත්‍ර කීපයකි. භාෂා තුනෙන්ම ප්‍රධාන දේව මෙහෙය පැවැත්වෙන්නේය. දරුවන් බලාපොරාත්තු වන අය පමණක් නොව ධීවරයන් තම අභිමතාර්ථ ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කියන්නේ මහත් හැඟීම්බරවය.

කොවිඩ් අර්බුදයෙන් පසු අතිවිශාල ඉන්දීය සහ ශ්‍රී ලංකා බැතිමතුන් කච්චතිව් වන්දනාවේ පැමිණ ඇත්තේ මෙවරය. ඒ පිරිස දසදහසකට ආසන්නය. දින දෙකක් පුරා පැවැත්වෙන දේව මෙහෙය වෙනුවෙන් දූපත බැතිමතුන්ටම වෙන් වන්නේ අවැසි තරමට තමන්ගේ දුක්ගැනවිලි දෙවියන් ඉදිරියේ යදින්නටය. ඉන්දියාවේ සිවගංගෙයි රදගුරු පදවියේ ලුර්දු ආනන්දන් පියතුමා, යාපනය රදගුරු පදවියේ පී.ජේ. ජෙබරත්නම් පියතුමා, කොළඹ අග රදගුරු පදවියේ සිස්වාන් ද කෲස් පියතුමා, ඉන්දියාවේ රාමේෂ්වරම් පැරිෂ් පූජක අශෝක් පියතුමා මෙන්ම ඩෙල්ෆ්ට් පැරිෂ් පූජක පී. පතිනාදන් පියතුමා යන පූජක ප්‍රසාදීන් වහන්සේගේ මෙහෙයවීමෙන් මෙන්ම යාපනය රදගුරු අති උතුම් ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් මරුදලිංගම් පිරතීපන්ගේ සංවිධායකත්වයෙන් සියලු කටයුතු සූදානම් විය. දේව මෙහෙය අතිවිශාල බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් දෙදිනක් පුරාවට සිදු වූයේ තවත් පූජනීය කටයුත්තකට නිමාව දෙමිනි.

ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව ඇතුළු බැතිමතුන් මහත් ගෞර‍ව‍ බහුමානයෙන් පුද පූජා පැවැත්වූ මේ මහ මංගල්‍යයේ සුවිශාල දායකත්වය නාවික හමුදාවේය.

නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් කාංචන බානගොඩගේ උපදෙස් සහ මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සියලු පහසුකම් සම්පාදනය කෙරුණේ කිසිදු අඩුවක් නැතිවය. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ෆ්ට් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සම්බන්ධීකරණය වී බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, ආහාර, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් සහ ජැටි සකස් කිරීම මෙන්ම විදුලිබල පහසුකම් ස්ථාපනය, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීම මෙන්ම වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත වෛද්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමද නාවික හමුදාව විසින් සිදු කෙරිණි.

වාර්ෂික දේව මංගල්‍යය සඳහා පැමිණි සම්භාවනීය අමුත්තන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, පූජකවරුන්, රාජ්‍ය නිලධාරීන්, බැතිමතුන් ඇතුළු අනෙකුත් සේවාවන් සැපයීම සඳහා පැමිණි ජනතාව මෙන්ම දෙස් විදෙස් මාධ්‍යවේදීන් සහ දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ සැපයුම් ද කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම ද නාවික හමුදාවේ දායකත්වයෙන් සහ අධීක්‍ෂණය යටතේ සිදු කෙරිණි.

දූපත තුළදී දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආරක්‍ෂිත කැමරා පද්ධති ස්ථාපනය කිරීම සහ දේව මංගල්‍යය සඳහා සහභාගී වන අතිවිශාල පිරිසකගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා සන්නිවේදන කුලුනක් ස්ථාපනය කිරීමටද නාවික හමුදාව අවශ්‍ය පහසුකම් සම්පාදනය කෙරිණි.

තවද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන්, නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා සහ ඉන්දීය පූජක ප්‍රසාදීන්වරුන්, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් මාධ්‍යවේදින්, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ඉන්දීය හා ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මහා මංගල්‍යය අවසන් විය. යළිත් දූපත නිහඬය. දූපතට තවත් වසරකට සමු දෙන්නට කාලය උදාවී ඇත්තේය. එහෙත් තෙරක් නොපෙනෙන මුහුද දෙස ශාන්ත අන්තෝනි මුනිදු දෙව් මැදුර බලා සිටින්නේය. ටිකෙන් ටික සියල්ල යළිත් මහ මුහුද කරා ඇදෙන්නේ ආශිර්වාදය ලබා ගම්බිම් වෙත පිටත්ව යන්නටය. සැඳෑ අහසේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ කුටිවල දැල්වෙන ශාන්ත එළිය මහ මුහුදේ බොහෝ දුරට දිස්වන්නේය. දැන් කච්චතිව් නිසලයි. එහෙත් ශාන්ත අන්තෝනි මිනිදුන්ගේ ආශිර්වාදය එලෙසමය.

සේයාරූ – ශාන් රූපස්සර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division