වසර 143 දිගු ඉතිහාසයක් ඇති, ලන්ඩන් නුවර ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ නිදර්ශක (specimens) මිලියන 80කට වඩා සංරක්ෂණ කර තිබේ. එහි කාර්ය මණ්ඩලය සිය දෙනෙත් මෙන් එම නිදර්ශක රැක බලාගන්නා බව පෙනෙන්නට තිබෙන සත්‍යයයි.
මිලියන අසූවක් නිදර්ශක අතර වසර බිලියන ගණනාවක් දුරාතීතයේ විසූ යෝධ ඩයිනෝසර සැකිල්ල සහ මෙරටට ආවේණික මෙන්ම ජාතික පක්ෂියා ද වන වලිකුකුළා නිදර්ශකයට ද කිසිම වෙනසක් නොමැතිව එම කාර්ය මණ්ඩලය සැලකීම විශේෂත්වයකි.
එසේම අමෙරිකාවේ වැඩුණ යෝධ වනස්පතියක හරස්කඩ සේම දූවිලි බිඳක් තරම් පුංචිම පුංචි ලයිකනයත් එක හා සමානව ආරක්ෂාවක් ලබමින් සිටී. ඇමරිකා භූමියේ වැඩුණ මේ වෙනකොට පෘතුවියෙන් වඳ වූ බව කියන යෝධ වනස්පතියේ හරස් පෙත්ත ප්‍රමාණයෙන් තට්ටු දෙකේ බසයක් තරම්ය.
මේ ලොකු කුඩා නිදර්ශක සියැසින් දැක මනසේ තැන්පත් කර ගැනීමට ඉකුත් වසරේ පමණක් ලෝකවාසීන් මිලියන පහ ඉක්මවා ලන්ඩනයේ සවුත් කෙන්සින්ටන් (South Kensington) ප්‍රදේශයේ National History Museum වෙත පැමිණි බව එහි සඳහන් වේ.
ලොව ඉහළම පෙළේ විද්‍යාඥයින් 300ක් සේවය කරන National History Museum මහා සංරක්ෂණාගාරයේ නැතිනම් විද්‍යාගාරය සේම කෞතුකාගාරයේ එම විද්‍යාඥයින් අතර එකම එක දකුණු ආසියානු විද්‍යාඥවරිය ආචාර්ය ගෝතමි වීරකෝන්ය.
ආචාර්ය ගෝතමි වීරකෝන් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිමත් ආදි විද්‍යාර්ථිනියකි. අප ලන්ඩනයට පා තැබීමට පෙර මේ කෞතුකාගාරය නැරඹීමට අපට සුවිසෙස් පහසුකම් සැලසුවේ ආචාර්ය ගෝතමි වීරකෝන්ය.
ඇය අපව කෞතුකාගාරයේ කුටි කීපයකටම කැඳවාගෙන ගියාය. ඒ අතර දුම්රියක් තරම් දිගැති ඩයිනෝසර සැකිල්ල, චාල්ස් ඩාවින් ප්‍රතිමාව මෙන්ම මෙරට ජාතික පක්ෂියා වන වලිකුකුළා කූඩුව විශේෂය.
“මගෙ හිත කැලඹුන වෙලාවට මම මේ වලිකුකුළා දිහා බලාගෙන ඉන්නවා… එතකොට මට අපේ ගමට ගියා වගෙ හිත නිමෙනවා.” යැයි ගෝතමි වීරකෝන් පැවැසුවේ වලිකුකුළා මැදිරිය අසලදී වලිකුකුළා දෙස බලමිනි. අනතුරුව ඇය අපව කැඳවාගෙන ගියේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන්ගේ විවේකාගාරයටයි. එහිදී අප දුටුවේ කාල්මාක්ස්, ට්‍රොස්කි, ඒංගල්ස් වැනි හැඩ හුරු සහිත වියපත් විද්‍යාඥයින්ය.
මෙරට බොහෝදෙනෙක් අපගෙන් නැඟු පැනයක් පිළිබඳව මම අවසන ගෝතමී වීරකෝන්ගෙන් විමසුවෙමි.
“ලංකාවෙ හුඟදෙනෙක් අහනවා ලන්ඩනයේ නොයෙකුත් කෞතුකාගාරවල පුස්තකාලවල ශ්‍රී ලංකාවෙ කෞතුක භාණ්ඩ ඉපැරණි පොත්පත් පුරවලා ඇති කියලා… ඒත් ඒ කියන තැන්වල අපේ රටෙන් ගෙනගිය පුරාවස්තු නැතිනම් පොත්පත් ඒ හැටි දකින්න ලැබුණේ නෑ.” යැයි ඇය කීවාය.
එම කෞතුකාගාර සහ පුස්තකාලවල අපේ රටෙන් වගේම ලොව පුරා රටවලින් ගෙන ආ නැතිනම් “මංකොල්ල කෑ” එවන් වස්තු සියල්ලම නරඹන්නන් සඳහා එකවර ප්‍රදර්ශනයට තබා නැති බවද ඇගේ අදහස විය. ඇතැම් භාණ්ඩ ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා… තවත් සමහර භාණ්ඩ වරින්වර ප්‍රදර්ශනය කරනවා“ යැයිද ඇය පිළිතුරු දුන්නාය.
ඇය අප හට පෘථිවියේ ජීවි උපතේ සිට අපගේ ආදිවාසීන් දක්වා විද්‍යාත්මක විග්‍රහයක් ඉතා සරලව විස්තර කළාය. අනතුරුව අප එම කෞතුකාගාරයේ ආදි සංරක්ෂිත බිම් මහලද නැරැඹුවෙමු. එය වෙනම ලෝකයකි. එම කලාපය සාමාන්‍ය නරඹන්නන්ට විවෘත නැති කලාපයකි.
අති දුර්ලභ නිදර්ශක නියමිත උෂ්ණත්වයන් සහ රසායනාගාර තත්ත්වයන් තුළ සුරකින අතිවිශේෂ ආරක්ෂිත මංජුසා සහ මැදිරි ඒ තුළ පිහිටියේය.
ඒ අතර චාල්ස් ඩාවින් සිය දෑතින් එකතු කළ නිදර්ශක සේම ඔහුගේ අත් අකුරු පවා අප සියැසින් දුටුවෙමු. අතී නවීන තාක්ෂණ ක්‍රමවේදයන් යොදාගනිමින් මේ නිදර්ශක සංරක්ෂණ කරන ආකාරය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම්ය.
අප කෞතුකාගාරය නරඹමින් සිටියදී එය විවෘතව තබන වෙලාවද අවසන් වෙමින් තිබිණි.
“සමහර දවසට මම රෑ දහය එකොළහ වෙනකල් මෙතන තනිපංගලමේ වැඩ.“ යැයි පවසන ආචාර්ය ගෝතමී “මගෙ තනියට ඉතින් චාල්ස් ඩාවින් ඉන්නවා. චාල්ස් ඩාවින් ජීවත්ව සිටි කාලේ සමහරු ඔහු හැඳින්නුවේ පිස්සෙක් කියා” යැයිද ඇය පැවැසුවාය.
lසුනිල් ලීලානන්ද පෙරේරා