Home » ගාල්ලේ අසිරිමත් රුවල් යාත්‍රා සමය ඇරඹේ

ගාල්ලේ අසිරිමත් රුවල් යාත්‍රා සමය ඇරඹේ

by sachintha
March 23, 2025 1:01 am 0 comment

ලෝ පතළ මහා ධනවතුන්ගේ විනෝදගත මේ සංචාරක සන්නාමය තුළ ලංකාවට ඇත්තේ පුදුම ලේ නෑකමකි. එය ඈත අතීතයේ සිට මෑත දක්වාම අපේ පරපුරේ අය පරපුරෙන් පරපුරට දායාද කළ තවත් එක් කර්මාන්තයක්ද වී තිබිණි.

දැන් වසරකට එක නැවක් වත් නොඑන තත්ත්වයකට ගාලු වරාය පත්ව ඇත. විවිධ ස්වාභාවික සංසිද්ධි හේතුවෙන් මෙය සංවර්ධනය කරන්නත් පුළුල් කරන්නත් නොහැකි වි තිබේ. ඒ නිසා කළ යුතු හොඳම දේ මේ ලෝ පතළ ගාලු වරාය සම්පූර්ණයෙන්ම රුවල් යාත්‍රා වන්ගේ සොඳුරු නවාතැන්පොළක් බවට පත් කිරීම නොවේද?

වසරේ රුවල් යාත්‍රාකරුවන්ගේ සංචාරක සමය දැන් ආරම්භ වී ඇත. එය බොහෝ විට ජූනි මස දක්වා සක්‍රියව පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. එසේම රුවල් යාත්‍රා යැයි පවසන විට ගාල්ලත්, ගාල්ල කියන විට රුවල් යාත්‍රාත් සිහියට නැඟෙන්නේ නිතැතිනි. ඒ අන් කිසිවක් නිසා නොව, ඈත අතීතයේ සිට ම රුවල් යාත්‍රා සංචාරකයන්ගේ සොඳුරු නවාතැන්පොළක් නැත්නම් ඔවුන්ගේ සංචාරක පාරාදීසයක් බවට ගාලු වරාය පත් වීම නිසාය. එපමණක් නොව, මේ ආශීර්වාදාත්මක වාසනාව ක්‍රිස්තු පූර්වයේ සිට අද දක්වාම පැවැත ඒමද සුවිශේෂ සිද්ධියක් වී ඇත.

මේ රටේ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන්නේ තම්බපන්ණියයි. ඒ විදේශික කුමරකු ලංකාවට ගොඩබැස, අපේ රටේ ඉතිහාසය වෙනස් කිරීමට අත්පොත් තැබූ නිසාය.

මේ අන් කවරකු නොව විජයකුමරාය. එදා ඔහු මෙරටට පැමිණ ඇත්තේද සුළං බලයෙන් දුවන කුඩා යාත්‍රාවකය. එපමණක් නොව, වස්කෝ ද ගාමලාද ඉබන් බතුලාද පාහියන් හිමිවරුද මෙහෙ ආවේ මේ යාත්‍රාවලිනි. ඉන් පසු පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසින් සිතා මතා හෝ අහම්බෙන් හෝ අපේ රටට පතිත වූයේද මේ සුළං බලයෙන් දිවූ යාත්‍රා උපයෝගි කරගෙනය.

මේ රුවල් නැව්වල මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 3000ක ඉතිහාසයට දිව යන බව පෙනෙන්නට ඇත. එය නයිල් නිම්න ශිෂ්ටාචාරය දක්වාම දිව යන බවක්ද පෙනේ. ක්‍රිස්තු පූර්ව 1500දී පමණ මතු වූ චීනය හා පර්සියාව අතර වූ සේද මාර්ග⁣ය නිසා මේ ක්ෂේත්‍රයේ ඉහළ තැනකට පත් වී ගියේය. එදා සිට මෙදා දක්වාම මේ යාත්‍රා නම් යල් පැනගිය ඒවා බවට පත් වූයේද නැත. සිදු වූයේ මේවා නවීකරණයට භාජනය වෙමින්, ලෝ වටා සංචාරයන් කිරීමය. එදා මේවාට මොන නම් යෙදී තිබුණත් නැතත් වර්තමානයේ මේවා හඳුන්වනු ලබන්නේ රුවල් යාත්‍රා කියාය. නැත්නම් යොට්ස් කියාය. මේවා වර්තමානයේ කොතරම් ජනප්‍රියද යත්: මේ රුවල් යාත්‍රාවන් නාවික ක්ෂේත්‍රයේ තවත් එක් නාවික සන්නාමයක් බවට පත් වී අවසානය.

ලංකාව ⁣ලෝ පතළ සේද මාර්ගයේ හොඳ ස්වාභාවික නවාතැන්පොළක් වී ඇති නිසා ලෝ වටා යන මේ උදවියගේ සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ ස්වභාවයෙන්ම අපට උරුම වූ පාරිසරික වාසනාව නිසාය.

මේ දැන් අපට උදා වී ඇත්තේ මේ වාසනාවන්ත නාවික සංචාරක යුගයේ වස්සාන කාලයයි. සැම වසරකම මාර්තු-අප්‍රේල්වල සිට අගෝස්තු දක්වාම අප කියන්නේ රුවල් සංචාරක සමය කියාය. එමෙන්ම මේ සංචාරක ක්ෂේත්‍රයේ තෝතැන්න බවට පත් වී ඇත්⁣තේ දකුණු ලක සුන්දර ගාලු වරායය.

ලෝ පතළ මහා ධනවතුන්ගේ විනෝදගත මේ සංචාරක සන්නාමය තුළ ලංකාවට ඇත්තේ පුදුම ලේ නෑකමකි. එය ඈත අතීතයේ සිට මෑත දක්වාම අපේ පරපුරේ අය පරපුරෙන් පරපුරට දායාද කළ තවත් එක් කර්මාන්තයක්ද වී තිබිණි.

19 වැනි සියවසේ මේ ගාල්ලට නුදුරු දොඩන්දූව තරුණ පිරිසක්ද රුවල් යාත්‍රාවක් තනා ගෙන දොඩන්දූවේ සිට දකුණු ඉන්දියාවේ කෝචින් නගරයට ගොස් වෙළෙඳ කටයුතු ආරම්භ කර ඇත. එපමණක් නොව, මේ යාත්‍රාව 1920 වන විට 60 වාරයකට අධික වාර ගණනක් දොඩන්දූව හා කෝචින් නගර හරහා වාණිජ කටයුතුවල යෙදී ඇති බව ඉතිහාස මූලාශ්‍රයන් අපට කියාපායි.

ක්‍රිස්තු පූර්වයේ සිට අවදිමත්ව ලංකාව හා සබැඳිව පැවත ආ මේ රුවල් නැව් සේවාව කාලයක් අතරමඟ නැවතී සිට ඇත. ඉන් පසු වරින් වර ඉතා සක්‍රියව පැවති මේ රුවල් නැව් ඉතිහාසය විධිමත් ලෙස අවදි කළේද ගාල්ලය.

1970 වන විට යළි මේ ගාල්ල වරාය උපයෝගි කර ගෙන මේ රුවල් නැව් සංචාරක ව්‍යාපාරය ආරම්භ විය. මෙහි පුරෝගාමියකු වූයේ ගාලු වරාය අසබඩ ජීවත් වූ තරුණ ව්‍යාපාරිකයෙකි. ඔහු නම් මාගාල්ලේ දොන් වින්සන් කුරුනේරු මහතාය. ගාල්ලට එන මේ රුවල් නැව්වලට අවැසි සියලු පහසුකම් සැපයීමට මේ කුරුනේරු මහතා කටයුතු ආරම්භ කළ අතර, එවකට ගාල්ලේ දිසාපතිව සිටි බ්‍රැඩ්මන් වීරකෝන් මහතා මොහුට රාජ්‍ය අනුග්‍රහය සලසා එය වඩාත් විධිමත් කළේය.

මේ පිබිදීම් සමඟම 1972දී ගාලු වරාය රුවල් නැව්වල තෝතැන්න බවට පත්වීම ඇරඹිණි. මෙහි ආරම්භය එදා සටහන් කළේ ඇල්පක්ස් නමැති රුවල් යාත්‍රාවය. 1972දී අමෙරිකන් ජාතික විශ්‍රාමික හමුදා නිලධාරියකු මේ රුවල්නැව සමඟ පැමිණියේය. එදා මෙසේ ආරම්භ වූ රුවල් නාවික සංචාරක ව්‍යාපාරයේ තෝතැන්න බවට ගාල්ල ලෝ පතළ විය.

ලෝක සංචාරක ව්‍යාපාරයේ නමගිය තිප්පොළක් බවට ගාලු වරාය පත් වී යද්දී 1988දී ගාලු වරායට පැමිණියේ අපූරු සංචාරිකාවකි.අවුරුදු 18ක් වූ අවිවාහක ඈ තනි රුවල් නැවකින් ලෝ වටා යද්දී ගාල්ලට ගොඩබැස්සේ ඇගේ තනියට ආ ලස්සන කුඩා පූස්පැටියකු සමඟය. මැයට ගාල්ලේදී වින්සන්ට් කුරුනේරු ව්‍යාපාරිකයා මුල් වී සලසා දුන් පහසුකම් සහ ඇයගේ මේ නිර්භීත තනි ගමනට දුන් මාධ්‍ය ප්‍රචාරය ලෝකයේ බොහෝ පුවත්පත්වල ඉතා ඉහළින් වාර්තා වීමත් සමඟ ගාලු වරාය අන්තර්ජාතික සංචාරක ගමන් මඟේ හොඳ සංචාරක සන්නාමයක් හිමි කරගත්තේ ඉබේටමය.

මේ ජනප්‍රිය වීමත් සමඟ විවිධ වර්ගයේ අය ගාලු වරාය තම සංචාරක ගමනේ ඉහළම ජනප්‍රිය නවාතැන් පාරාදීසයක් බවට පත් කරගන්නට වූහ.

2014 නොවැම්බරයේදී ලොව ලොකුම රුවල් යාත්‍රාව ගාල්ලට ළඟා විය. එය ප්‍රයෝජනයට ගත් ගාලු පුත්‍රයෝ මාධ්‍ය මිතුරෝ ලෝක සංචාරක ව්‍යාපාරයෙහි ඉහළට ලංකාව යළි ගෙන ගියහ.

එහි ආවේ කෝටිපති සිනමා ව්‍යාපාරිකයකු වූ බාලරිගේ ඉයෝස්ය. එය නම් වූයේ ග්‍රීක දෙවඟන ලෙසටය. එපමණත් නොව, ලෝකයේ පැරණිම රුවල් නැවද ලෝ පතළ ගාලු වරාය අමතක නොකළේය. එය නෝර්වේ රටේ සෝලන්ඩ් රුවල් යාත්‍රාවය. මෙය රුවල් 27කින් සමන්විත විය මුහුදු ගම­‍ෙනහි වසර 90ක පිය සටහන් එදා වන විට තබා තිබිණි. මෙහි ඓතිහාසික බවක්ද විය එනම් දෙවැනි ලෝක යුද්ධයේදී යුද සිරකරුවන් රඳවාගෙන සිටියේද මේ රුවල් නැව තුළය.

රුවල් නැව් ඉතිහාසයේ ලස්සනම රුවල් නැව ලෙස වාර්තා වී ඇත්තේ ඉතාලිය සතුව එදා පැවැති ඇවරිගෝ වෙස් පුටින් රුවල් නැවය. මේ නැවේ ඉතිහාස කථාවද හරි ලස්සනය. ඓතිහාසිකවද වටින්නේය. මේ නැව ඉතාලියේ ජෙනෝයා වරායේ තනනු ලැබ ඇත.

මෙහි රුවල් නැව් දෙකක් තනා ඇත. එකක් ක්‍රිස්ටෝපර් කොලොම්බෝයා (1928). අනෙක ඇමරිගෝ වෙස්පුටින්ය (1930). මෙය sister ship සහෝදරියන් දෙදෙනා යන අන්වර්ථ නාමයෙන්ද හැඳින්විණි. කොලොම්බෝයා නැව පසු කලෙක යුද නැවක් බවට පත් වී සේවය නිමවා දිරාපත්ව යකඩවලට විකිණී යද්දී (1973) නැඟණිය වූ වෙස්පුටින් ඉතාලියේ නාවිකයන් පුහුණු කරන නැවක් බවට පත් විය. පසුව යළි සංචාරයට එක් වූ මේ රුවල් නැව සංචාරකයන් හැඳින්වූයේ ලෝකයේ ඇති ලස්සනම නැව ලෙසටය. මහා ධනවතුන්ගේ විනෝදකාමීන්ගේ සොඳුරු සංචාරක ඉසවුවක් වූ මෙය අපේ රටේ සංචාරක ව්‍යාපාරයේ නිම් වළලු පුළුල් කරන්නක්ද විය.

කෙසේ වුවද පසුගිය කොරෝනා සමයේ මේ ගමන් මඟට යම් තිතක් තැබුවේ ඉතා අවාසනාවන්ත කාලයක් උදා කරමිනි. ඒ සමයේ අපට එකඳු රුවල් යාත්‍රාවක් හෝ දැක ගැනීමට නොහැකි විය. යළි මේ ව්‍යාපාරය හිස එසවීමට පටන් ගත්තේ 2023 වර්ෂයේදීය. මේ වසරේදී ගාලු වරායට පැමිණි රුවල් යාත්‍රා ගණන 63කි. ගෙවී ගිය 2024 වසරේදී මේ ගණන 35 දක්වා පහළ වැටිණි. එයට හේතුවක් වූයේ හවුති මුහුදු කොල්ලකරුවන්ගේ ත්‍රස්ත ක්‍රියා නිසාය. නැත්නම් යාත්‍රා 100කට වැඩි පිරිසකගේ පැමිණීමක් සටහන් වී තිබිණි. කෙසේ නමුදු මේ වසරේ පෙබරවාරිය වන විට යාත්‍රා 44ක සෙනෙහස ගාලු වරායට එක් වී තිබිණි.

අපි මේ සම්බන්ධයෙන් ගාලු වරායේ මෙකී ක්ෂේත්‍රයේ නියමුවාණන් වන හාබර් මාස්ටර් කපිතාන් සජීව නිමලසිරි මහතාගෙන් විමසා සිටියෙමු. ඔහු මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය:

“මේ යාත්‍රාවලට පහසුකම් සැලසීම සඳහා මේ වන විට ඒජන්සි ආයතන 43ක් ලියාපදිංචි වී තිබෙනවා. ඒත් මේ සඳහා සක්‍රිය දායකත්වයක් සපයන්නේ ආයතන 3-4ක් පමණයි. මේ පිරිස දුර සංචාරක ගමන්වල යෙදෙන පිරිසක්. ඒ ගමන් මඟේ ගාල්ල කියන්නේ ඉතා චමත්කාරජනක නවාතැන්පොළක්. ගාලු වරායේ නවාතැන් ගන්නා එක් යාත්‍රාවක් සඳහා අප අය කරන්නේ මාසයකට ඩොලර් 100ක් පමණයි. ඔවුන්ගෙන් සමහරක් දින ⁣2-3 නවතින අතර සමහර අය දින දහය පහළොව දක්වාත් ඉන්නවා. සමහර යාත්‍රා මාස ගණන් මෙහි ඉන්නවා. මෙහිදී තම යාත්‍රා ඒ රටේ ඉන්න අයට දිනකට දෙකකට කුලියට දී පොඩි බිස්නස් පවා කරනවා. මේ යාත්‍රාකරුවන් අතරේ වෙනමම සංස්කෘතියක් තියෙන්නේ. මේ පිරිස් පවුල් පිටින් මේ යාත්‍රාවල ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන් පවා පාසල් යන්නේ නැහැ. ඒ අය අධ්‍යාපනය ලබන්නේ සූම් තාක්ෂණය උපයෝගි කරගෙනයි.

“අපේ රටේ මේ අයගෙන් අය කරන ගණන ගැන මට නම් සෑහීමකට පත් වන්න බෑ. අපි මාසයකටම ඩොලර් 100ක් අය කරන විට වෙනිසියුලාව වැනි රටවල් දිනකට ඩොලර් 350ක් අය කරනවා. මේ පිරිස් අප රටට ළඟා වන විට ඒ අයගේ හිත් දිනාගන්නා වටපිටාවක් වරායෙන් පිටත තිබිය යුතුයි. එහෙත් අපේ රටේ මේ තත්ත්වය ගැන කියන්නත් කනගාටුයි. සංචාරකයා වරායෙන් පිටතට එනවාත් සමඟම ඉතා අසාධාරණ ලෙස සංචාරකයා සූරාකන්න හදනවා. මේ තත්ත්වය නිසා වර්තමානයේ මෙකී ධනපති විනෝදකාමීන් ගාල්ලේ දින 1-2කට වැඩිය ඉන්නෙ නැතුව මාලේ බලා යනවා.

අඩුම ගානේ ඓතිහාසික ලෝක උරුම ගාලු කොටුවවත් නිදහසේ බලන්නට ඉඩ දෙන්නේ නෑ.

“මේ සංචාරක වාරය තියෙන්නේ මහ මුහුදේ ස්භාවය හරහා. සුළං හමන දිසාව මුහුදේ රළු බව බලපානවා. මේ යහපත් තත්ත්වය අපේ රටේ මැයි ජූනි වෙන කල් තියෙනවා. ගාලු වරායේ මේ පිරිසට මෙයට වැඩිය පහසුකම් ලැබිමට ඉඩ සැලසිය යුතුයි. වටපිටාව හොඳ ආරක්ෂිත තත්ත්වයකට ගෙන ආ යුතුයි. මේ අයට පහසුකම් සලසන ඒජන්සි ආයතන ගැනත් කිව යුතුයි. ඒ අය එන සුද්දාගෙන් යමක් ගරාගන්න හදනවා මිස ලෝකය වටා යන මේ පිරිස් ලංකාවට වැඩි වැඩියෙන් අද්ද ගන්නා කිසි දායකතත්වයක් මේ අයගෙන් මේ ක්ෂේත්‍රයට ලබාදීමක් දකින්නේ නෑ. මෙය වෙනස් විය යුතුයි; වෙනස් කළ යුතුයි.

“වෙරළට අඩියක් දෙකක් ඇතුළත අර ඓතිහාසික රූමස්වල ඇති කරදිය මුසු නොවුණ ස්වාභාවික දියබුබුළ අපට මහා වාසනාවක් වගේම මහා ධනස්කන්දයක් ගෙන දෙන නිධානයක්. මේකට ඈත අතීතයේ සිටම කිවුවේ සේද මාර්ගයේ දිය බුබුළ කියලයි. එදා මේ සියලු යාත්‍රාවලට ඇවැසි පිරිසුදු ජලය සැපයූ ඒ දිය බුබුළ අදත් ජීවමානව පවතින්නේ ඉතා අසරණ වෙලා. අද එය ජරාජීර්ණ වෙලා. එපමණක් නොවෙයි; ඒ රූමස්වල තමයි පරංගියා පළමුවෙන්ම ළඟා වූ තැනත්. එතැනට කියන්නේ පෘතුගීසි වැල්ල කියලයි. ඒ තැන රුවල් යාත්‍රාවල වරායක් බවට පත් කළ යුතුයි. ලෝකයේ ඇස් ඇරෙන්න හොඳම යෝජනාව තමයි මේ. මේ පිළිබඳව රජයේ අවධානය එදා යොමු වෙලා තිබුණා. එය අද අදම එය සක්‍රිය කරන්න වගකිව යුත්තන්ගේ ඇස් ඇරේවා කියලයි ප්‍රාර්ථනා කරන්නේ.”

අප රටේ සංචාරක කර්මාන්තය රටට ධන නිධානයක් විය යුතුය. එය අපට කළ හැකිය. ඒ සඳහා ඇති ආයතනය වන සංචාරක මණ්ඩලය මෙයට වඩා අවදිමත් විය යුතුය. කවුරු කොහොම කියුවත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය පවතින්නේ අදත් ඉතා යහපත් තැනකය. එහි දියුණු කළ යුතු ස්ථාන හඳුනාගෙන, ඒ පිළිබඳ නිසි අධ්‍යයන සිදු කළ හොත් එය වඩාත් දියුණු තත්ත්වයට පත් කළ හැකිය.

අපට පෙනෙන අයුරු නම් හම්බන්තොට වරාය හැදීමත් සමඟ ගාලු වරාය තවතවත් අකර්මණ්‍ය වී තිබේ. දැන් වසරකට එක නැවක් වත් නොඑන තත්ත්වයකට එය පත්ව ඇත. විවිධ ස්වාභාවික සංසිද්ධි හේතුවෙන් මෙය සංවර්ධනය කරන්නත් පුළුල් කරන්නත් නොහැකි වි තිබේ. ඒ නිසා කළ යුතු හොඳම දේ මේ ලෝ පතළ ගාලු වරාය සම්පූර්ණයෙන්ම රුවල් යාත්‍රා වන්ගේ සොඳුරු නවාතැන්පොළක් බවට පත් කිරීම නොවේදැයි අද අපි විමසා සිටින්නෙමු.

lනන්දසිරි වැලිගමගේ

ගාල්ල දිසා සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division