Home » ඇමැති අෂ්රොෆ් ගිය හෙලිකොප්ටරය පුපුරායාම ඝාතන කුමන්ත්‍රණයක්?

ඇමැති අෂ්රොෆ් ගිය හෙලිකොප්ටරය පුපුරායාම ඝාතන කුමන්ත්‍රණයක්?

by sachintha
March 23, 2025 1:17 am 0 comment

මුස්ලිම් කොංග්‍රසයේ නායක ඒ.එච්.එම්. අශ්රොෆ්ගේ හදිසි මරණය සිදු වූයේ 2000 සැප්තැම්බර් 16 වැනි දිනය. මරණයට පත් වන විට ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ කැබිනට් මණ්ඩලයේ වරාය සංවර්ධන, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාය. අෂ්රොෆ් ඇමැතිවරයාගේ මරණය එක් දිනක් තුළ සිදු වූ සිදුවීම් මාලාවකි. සැප්තැම්බර් 16 වැනි දා පෙරවරු 9.05ට හැව්ලොක් ටවුමේ පොලිස් ක්‍රීඩාංගණයෙන් තවත් පිරිසක් සමඟ අම්පාර බලා පිටත් වූ ඇමැතිවරයාගේ සිරුර එදිනම රාත්‍රී 12.00ට කොළඹ ජාවත්ත කනත්තේ මිහිදන් කරනු ලැබීය. – ලංකාවේ අබිරහස් දේශපාලන ඝාතන

වහාම කොම්පඤ්ඤවීදියේ දාරුසලාම් කාර්යාලයට ගිය ඇමැතිවරයා දැඩි තීරණයක් ගත්තේය. හෙතෙම මුස්ලිම් කොංග්‍රසයට හා ජාතික සමගි පෙරමුණට නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ මෙයින් ඉදිරියට පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡායාරූපය යොදා නොගත යුතු බවයි.

ඇමැතිවරයාගේ කල්මුණේ මැතිවරණ කාර්යාලයට ගෙනයන ටයිප් රයිටරයක් බව පවසා කිසියම් පෙට්ටියක් හෙලිකොප්ටරය ගුවන්ගත වීමට ආසන්නව එහි පැටවූබවට තොරතුරක් ආරක්ෂක අංශවලට ලැබී තිබිණි.

ඉතිහාසයේ සැඟව ගිය මේ සිදුවීම තුළ බොහෝ සැක සහිත තැන් තිබේ. ඇමැතිවරයා ගමන් ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටරය අරණායක ඌරාකන්ද ප්‍රදේශයේදී විනාශයට පත් විය. අෂ්රොෆ් ඇමැතිවරයා ඇතුළු 15 දෙනෙක් මේ සිදුවීමෙන් මරණයට පත් වූහ.

හෙලිකොප්ටරය කඩාවැටුණු අරණායක ප්‍රදේශයේ ඉතා දුෂ්කර දුර්ගයක සිට මළවුන්ගේ සිරුරු කෑගල්ල මූලික රෝහල වෙත ගෙන එනු ලැබූ අතර, ගිනි ගැනීම හේතුවෙන් මළ සිරුරු බොහෝ සෙයින් පිලිස්සී විනාශ වී තිබී ඇත. අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය පවත්වා තිබෙන්නේ කෑගල්ල මහ රෝහලේදීය. එදිනම රාත්‍රී 10.30ට පමණ කොළඹ ඇමැති නිල නිවාසය වෙත ගෙන එනු ලැබූ ඇමැතිවරයාගේ දේහය රාත්‍රී 12.00ට කොළඹ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී ආගමානුකූලව මිහිදන් කෙරිණි. මේ සියලු කටයුතු සිදු වන්නේ පැය 15ක් වැනි කෙටි කාලයක් තුළය.

මුස්ලිම් කොංග්‍රස් නායකයාගේ මරණය සිදු වන්නේ ඉතා සංකීර්ණ දේශපාලන වටපිටාවකය. ඔහු මුස්ලිම් කොංග්‍රසයේ මෙන්ම ජාතික සමගි පෙරමුණේද නායකයාය. කාත්තන්කුඩිය ප්‍රදේශයේ අෂ්රොෆ්ගේ පුරෝගාමිත්වයෙන් බිහි වූ මුස්ලිම්වරුන්ගේ කුඩා අධ්‍යයන කවයක් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බවට පත් විය. 1994 දී මුස්ලිම් කොංග්‍රසය චන්ද්‍රිකාට ආණ්ඩුව පිහිටුවීම සඳහා සහාය විය. අෂ්රොෆ්ට ඇමැති ධුරය හිමි වූයේ ඒ අනුවය.

ඇමැතිවරයාගේ මරණය සිදු වූ 2000 වසර වන විට මුස්ලිම් කොංග්‍රසය අතිශය සංකීර්ණ දේශපාලන වටපිටාවකට මුහුණ දී තිබිණි. මුස්ලිම් කොංග්‍රසය සහ පොදු පෙරමුණ අතර ප්‍රබල මතභේද ගොඩනැඟී පැවති අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගේ අපේක්ෂාව වූයේ මුස්ලිම් කොංග්‍රසය ස්වාධීන පක්ෂයක් හැටියට වෙනම තරග කළ යුතු බවයි. පොදු පෙරමුණත් සමඟ පැවති ගැටලු විසඳා ගැනීම සඳහා මුස්ලිම් කොංග්‍රසය සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවත්, ඒවා සාර්ථක වී තිබුණේ නැත.

2000 ජූලි 31 දින කොළඹ විහාර මහා දේවී එළිමහන් රඟහලේදී ජාතික සමගි පෙරමුණ විශේෂ සමුළුවක් පැවැත්වීය. ඒ සමුළුව අමතා කතා කළ මුස්ලිම් කොංග්‍රසයේ නායක අෂ්රොෆ් ප්‍රකාශ කළේ මුදල් ගෙවා සීනි, බිත්තර, පොල් මිල දී ගන්නා ආකාරයට දේශපාලන පක්ෂ මිල දී ගත නොහැකි බවයි. එය පොදු පෙරමුණට එල්ල කළ තදබල වාග් ප්‍රහාරයකි. මේ කතාවට පුවත්පත් මඟින් ඉහළ ප්‍රසිද්ධියක් දී තිබිණි. මුස්ලිම් කොංග්‍රසයේ දේශපාලන මණ්ඩලය කොම්පඤ්ඤවීදියේ දාරුස්සලාම් මන්දිරියේ රැස් වී තීරණය කළේ තමන් ඉදිරියේදී ස්වාධීන පක්ෂයක් ලෙස පොදු පෙරමුණෙන් වෙන්ව කටයුතු කළ යුතු බවයි.

සැප්තැම්බර් 14 වැනිදා පොදු පෙරමුණේ මහ ලේකම් දි.මු. ජයරත්න නිවේදනයක් නිකුත් කරමින් පොදු පෙරමුණට මුස්ලිම් පක්ෂ ඈඳා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති බව කියා සිටියේය. ඒ වන විට අෂ්රොෆ් තීරණය කර තිබුණේ සැප්තැම්බර් 15 වැනිදා කල්මුණේ ගොස් සිය මැතිවරණ කාර්යාලය විවෘත කර මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමටය. එහෙත් පොදු පෙරමුණේ මහ ලේකම්වරයාගේ නිවේදනය නිකුත් වූ බව සැල වීමෙන් පසු ඔහු ඒ ගමන 16 වැනිදාට කල් දැමීය.

වහාම කොම්පඤ්ඤවීදියේ දාරුස්සලාම් කාර්යාලයට ගිය ඇමැතිවරයා දැඩි තීරණයක් ගත්තේය. හෙතෙම මුස්ලිම් කොංග්‍රසයට හා ජාතික සමගි පෙරමුණට නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ මෙයින් ඉදිරියට පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡායාරූපය යොදා නොගත යුතු බවයි. පොදු පෙරමුණ සමඟ පැවැත්වූ සියලු සබඳතා අත්හරින බවද ඒ නිවේදනයේ සඳහන් විය.

අනතුරුව වරාය අමාත්‍යාංශයේ ඒ කාර්යාලයට ගිය අෂ්රොෆ් ඇමැතිවරයා එක්රැස්ව තිබුණු ලිපි ගොනු කිහිපයක වැඩකටයුතු අවසන් කළේය. ඉනික්බිතිව ඔහු ආගම ඇදහීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානාගේ නිවෙසට ගියේය. ආගම ඇදහීමෙන් පසු අලෙවි මවුලානාට සමු දී පිටත්ව යෑම සඳහා වාහනය අසලට පැමිණි හේ නැවත හැරී ගොස් අලෙවි මවුලානා තරව වැලඳගෙන, තමා පසු දින උදෑසනම කල්මුණේ යන බව පවසා පිටත්ව ගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 හෙලිකොප්ටරය විශේෂ අමුත්තන්ගේ ගමන් සඳහා යොදා ගන්නා මගී ප්‍රවාහන යානාවකි. සැප්තැම්බර් 16 දා උදෑසන 9.00ට අම්පාර බලා පිටත්ව යෑම පිණිස එය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන ක්‍රීඩා පිටියේ නවත්වා තිබිණි. ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ආර්.සී.එම්. විදානගමගේ ප්‍රමුඛ නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායම එදින ඇමැති ආරක්ෂක අංශය වෙත නැවත අනුයුක්ත කිරීමටත්, වෙනත් කණ්ඩායමක් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමටත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇමැති ආරක්ෂක මූලස්ථානය කටයුතු යොදා තිබිණි.

ඒ අනුව ඇමැතිවරයාගේ ආරක්ෂක රාජකාරි භාර ගෙන ඇමැතිවරයා සමඟ හෙලිකොප්ටරයෙන් අම්පාර බලා යෑමට නියමිත වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් පෙරේරා ඇතුළු නිලධාරීන් කණ්ඩායම ඇමැති ආරක්ෂක අංශය වෙත පැමිණ සිටියේය. එහෙත් ඔවුන් සඳහා ආයුධ නිකුත් කිරීමට අනුමැතිය දෙන ලිපියට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අත්සන් තබා නොතිබීම හේතුවෙන් ඔවුන්ට ප්‍රමාද වන්නට සිදු විය. ඔවුන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන පිටියේ නවත්වා තිබූ හෙලිකොප්ටරය පෙ.ව. 9.05 දක්වා බලා සිට ගුවන්ගත විය.

මේ ප්‍රමාදය හේතුවෙන් පොලිස් පරීක්ෂක විදානගමගේ ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනකුට දෛවෝපගත ගුවන් ගමනට එක් වන්නට සිදු විය. නියමුවා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් 5 දෙනකුද අෂ්රොෆ් ඇමැතිවරයාද පොදු පෙරමුණු මන්ත්‍රීවරයකු වූ කදිරගාමර් තම්බිද වරාය ආරක්ෂක අංශයෙහි චන්දන සිල්වාද ඇමැතිවරයාගේ දේශපාලන කාර්යාලයෙහි යතුරු ලියන්නකුද වශයෙන් 15 දෙනෙක් ගමනට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා අම්පාර බලා යන ගමන් මාර්ගය වැටී තිබෙන්නේ මහනුවර, රන්දෙණිගල, මහඔය, ඉඟිනියාගල ඔස්සේ අම්පාරටය. හෙලිකොප්ටර් යානය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයෙන් පිටත්ව මිනිත්තු 40කට පසු, ගුවන් නියමු බළගණ නායක ශිරාන් පෙරේරා කටුනායක ගුවන් මෙහෙයුම් මැදිරිය ආමන්ත්‍රණය කළේය. ඔහු පැවසුවේ අහස ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බව හා කාලගුණ තත්ත්වය යහපත් බවයි. තමා මීටර් 1,500ක් ඉහළින් ගමන් කරමින් සිටින බවටද ගුවන් නියමුවා මෙහෙයුම් මැදිරිය දැනුවත් කළේය. තවත් ස්වල්ප වේලාවකට පසු හදිසියේම අම්පාර බලා ගමන් කරමින් තිබූ ඇමැතිවරයා රැගත් හෙලිකොප්ටර් යානය කටුනායක රේඩාර් තිරයෙන් අතුරුදන් විය. මේ අනපේක්ෂිත සිදුවීමෙන් ගුවන් මෙහෙයුම් මැදිරි නිලධාරීන් කලබල වූ අතර, හෙලිකොප්ටර් යානය සම්බන්ධ කර ගැනීමට ඔවුන් දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.

ඉක්බිතිව ගත හැකි එකම ක්‍රියා මාර්ගය වූයේ ඇමැතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශවල සහාය පැතීමය. ඒ අනුව පොලිස් මූලස්ථානය මඟින් කෑගල්ල පොලිස් අධිකාරිවරයා දැනුම්වත් කෙරිණි. ස්වල්ප වේලාවකට පසු කෑගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට වාර්තා වී තිබුණේ හෙලිකොප්ටර් යානයක් අරණායක ප්‍රදේශයේ ඌරාකන්දට කඩාවැටී ගිනි ගනිමින් තිබෙන බවයි. අරණායක පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එම්.එස්. වික්‍රමනායක ලංකාදීප පත්‍රයට මෙසේ පවසා තිබිණි:

“උදේ 9.40ට පමණ දෙබත්ගම තැපැල් කාර්යාලයෙන් අපට පණිවිඩයක් ලැබුණා. චොපර් එකක් ඌරාකන්දට වැටිලා ගිනි ගන්නවා කියලා. කුමාරපුර චන්ද්‍රා එදිරිසිංහ කියන කාන්තාවයි ඇමතුම දුන්නේ. ඇමතුම ලැබුණු වහාම මම පොලිස් කණ්ඩායමක් රැගෙන එම ස්ථානය බලා පිටත්ව ගියා. කුමාරකන්ද ජනපදය පිහිටා තිබෙන්නේ පොලිස් ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් ඈතින්. එයින් ඔබ්බෙහි වූ උස් කඳු මුදුනකට තමයි හෙලිකොප්ටරය වැටී තිබුණේ. කිසිම මිනිස් වාසස්ථානයක් නැති ඒ ස්ථානය කරා අප ළඟා වුණේ කැලේ මැදින් වැල්වල එල්ලී ගම්වැසියන්ගේද උදවු ඇතුව අඩි පාරක් කපමින්.

“හෙලිකොප්ටරය වැටී තිබෙන ස්ථානය කරා අප ළඟා වන විටත් එය ගිනි ගනිමින් තිබුණා. ගින්න මැඬ පැවැත්වීමට කිසිම හැකියාවක් තිබුණේ නෑ. ගින්න නිවීමට උත්සාහ කරන විට අපට මිනිස් හිසක් හමු වුණා. ඊට පසු සිරුරුවල කැබලි සෑම තැනකින්ම දකින්න හැකි වුණා. ගස් මුදුන්වල පවා සිරුරු කොටස් රැඳී තිබුණා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි, අෂ්රොෆ් ඇමැතිතුමා මේ හෙලිකොප්ටර් යානයේ ගමන් කළ බවට ඒ වන තුරුත් අප දැනුම්වත්ව සිටියේ නෑ. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ගලවා ගැනීමේ භට කණ්ඩායමක්ද සමඟ එම ස්ථානය කරා පැමිණි අතර, ගුවන් භටයන් කඹවල ආධාරයෙන් හෙලිකොප්ටරය ගිනි ගන්නා ආසන්නයට බැස්සා.”

අෂ්රොෆ් ඇමැතිවරයාගේ ආරක්ෂාව භාරව මාරු වීමට සිටි කණ්ඩායම ඒ වන විටත් ඇමැති ආරක්ෂක මූලස්ථානයේ සිටි අතර, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් පෙරේරාගේ නායකත්වයෙන් ඒ පිරිසද වහාම අරණායක බලා පිටත් කර යවා තිබිණි. එකතු කරනු ලැබූ මළ සිරුරු කිසිවක් හඳුනා ගැනීමට හැකි තත්ත්වයෙන් නොපැවතිණි. කැලයේ තැනින් තැන විසිරී තිබුණු ලිපිගොනු අනුව කිසියම් වැදගත් තැනැත්තකු ගුවන් යානයේ ගමන් කර ඇති බව ගම්වැසියන් අනුමාන කර ඇත. මිනිස් සිරුරු අවශේෂ පොහොර උරවල බහා, කදක් මෙන් සකසා ඉතා අසීරුවෙන් පහළට ගෙන එන ලදි.

ඌරාකන්ද ගමේ පදිංචි ගාමිණි මහතා මාධ්‍යයට මෙසේ පවසා තිබිණි:

“අපි ඉන්නේ ඌරාකන්ද පාමුල. හෙලිකොප්ටරයක් යන ශබ්දය ඇසී මිදුලට බැස බැලුවා. ඒත් මීදුම් ගතිය නිසා කිසිවක් පෙනුණේ නෑ. එක්වරම ඩෝං ගාලා පළාතම දෙදරවමින් ශබ්දයක් ඇසුණා. හිතා ගන්න බැරි වුණා මොකක්ද වුණේ කියලා. එය ඇහිලා තවත් සුළු මොහොතකින් එවැනිම විශාල සද්දයක් කන්ද මුදුනෙන් ඇසුණා. එවිට මට තේරුණා හෙලිකොප්ටරයට කුමක් හෝ අනතුරක් සිදු වුණා කියලා. මේ ශබ්දය ඇහිලා තවත් කීප දෙනෙක් අපේ ගේ ළඟට දුවගෙන ආවා. අපි කන්ද නඟින්න තීරණය කළා. මුලින්ම හෙලිකොප්ටරය ගිනි ගන්නා තැනට ළඟා වුණේ අපේ ගමේ හය දෙනෙක්. හෙලිකොප්ටරය ගිනි ජාලාවකින් වැසී තිබුණා. ගස් කොළන් පවා ගිනි ගනිමින් තිබුණේ. අප ආසන්නයට යන්නට වෑයම් කරන විට තව තවත් පිපිරුම් ශබ්ද ඇසුණා. ඒ සමඟම විශාල දුම්රොටු අහසට නැඟුණා. ඒ ස්ථානයට යෑමට අපට බය හිතුණා. පොලීසියේ මහත්තුරු එන තුරු අපි ඈතට වී බලා සිටියා.”

සිදුවීම අරණායක පොලීසියට දැනුම් දුන් චන්ද්‍රා එදිරිසිංහ මහත්මිය පැවසූයේ මෙවැන්නකි:

“මම කුමාරපුර ගමේ තේ කඩයක් කරගෙන යනවා. උදේ 9.30ට විතර පිඟන් සෝදමින් සිටියදී හෙලිකොප්ටරයක් ඈතින් එනවා මම දැක්කා. එය ඌරාකන්ද දෙසටයි ගියේ. එය නොපෙනී යනවාත් එක්කම මුළු පළාතම දෙදරවමින් පුපුරා යන ශබ්දය මට ඇසුණා. මට තේරුණා හෙලිකොප්ටරය විශාල අනතුරකට මුහුණ පෑ බව. මම ඉක්මනට දෙබත්ගම තැපැල් කන්තෝරුවට දිවුවා. තැපැල් කන්තෝරුවෙන් කෝල් එකක් අරන්, අරණායක පොලීසියට සිද්ධිය දැනුම් දුන්නා.”

ප්‍රදේශවාසීන් ගුවන් අනතුර පිළිබඳ දුන් ප්‍රකාශවලින් හෙලිකොප්ටරය ගුවනේදී පිපුරුණාද, නැති නම් ඌරාකන්දේ හැපී පිපිරුණාද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් වී නැති බව පෙනේ. එහෙත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයන්හි පළ වූ සියලු වාර්තාවල සඳහන් වනුයේ ගුවන්යානය ඌරාකන්දේ හැපුණු කතාවකි.

කිසියම් රාජ්‍ය නායකයකු, වගකිව යුතු ඇමැතිවරයකු, රාජ්‍ය නිලධාරියකු හෝ දේශපාලකයකු අභ්‍යන්තර ගුවන් ගමනක යෙදෙන විට ඒ ගුවන්යානයට ඇතුළු වන පිරිස ගැන වගකීම දරන්නේ අදාළ නිලධාරියාගේ ආරක්ෂාව භාර ආරක්ෂක අංශ විසින් බවත්, ගුවන් හමුදාවට වගකීමක් නැති බවත් ප්‍රකාශ විය. ඇමැතිවරයාගේ කල්මුණේ මැතිවරණ කාර්යාලයට ගෙනයන ටයිප් රයිටරයක් බව පවසා කිසියම් පෙට්ටියක් හෙලිකොප්ටරය ගුවන්ගත වීමට ආසන්නව එහි පැටවූ බවට තොරතුරක්ද ආරක්ෂක අංශවලට ලැබී තිබිණි.

කෙසේ වුවද, මේ ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපතිනිය විසින් විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කරන ලදි. අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන එම්.ටී.ජී. කාරියවසම්, ඩී.අයි.එල්. රත්නායක, ඩී.පී.එල්. රවීන්ද්‍ර මහත්වරුන් විසින් කෑගල්ල රෝහලේදී මරණ පරීක්‍ෂණය පවත්වනු ලැබූ අතර, ශරීරයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණ සිදු වී ඇති බව තීරණය කර ඇත. ‘මරණය සිදු වීමට පෙර හෝ පසුව සිරුරු කැබැලි වී, දැඩි ලෙස පිලිස්සී ඇත,’ යනුවෙන්ද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.

ඇමැති අෂ්රොෆ්ගේ මරණය සැක සහිත බව ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසයේ නායකයකු වූ රවුෆ් හකීම් යානය කඩාවැටීමට පෙර යානයේ පිපිරීමක් සිදු වූවාද යන්න පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටි බව 2000 සැප්තැම්බර් 19 දින මාධ්‍ය වාර්තා කළේය. කෙසේ වුවද, මුස්ලිම් කොංග්‍රසය හා පොදු පෙරමුණ අතර ආරවුලද සමථයකට පත් විය.

අෂ්රොෆ් ඇමැතිවරයාගේ අභාවයෙන් පසු රැස් වූ මුස්ලිම් කොංග්‍රසය පක්ෂයේ නායකයා ලෙස රවුෆ් හකීම් පත් කර ගත්තේය. ඔවුහු පුරප්පාඩු වූ ඇමැතිධුරය රවුෆ් හකීම් මහතාට දිය යුතු බවට යෝජනාවක් සම්මත කොට, ජනාධිපතිනි චන්ද්‍රිකාට ඉදිරිපත් කළ අතර, ඒ අනුව රවුෆ් හකීම් වරාය හා නාවික ඇමැති ලෙස පත් කෙරිණි.

අෂ්රොෆ් මහතා නායකත්වය දැරූ ජාතික සමගි පෙරමුණේ සභාපති තනතුර ගනිමින් දේශපාලනයට අවතීර්ණ වූ අෂ්රොෆ්ගේ බිරිය පේරියල් අෂ්රොෆ් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ නිවාස සහ වතු යටිතල පහසුකම් ඇමැති තනතුරට පත් වූවාය. අෂ්රොෆ් ඇමැතිවරයාගේ මරණය පිළිබඳ අබිරහසක් වී නම් එය හෙළිදරව් කර ගැනීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ වාර්තාව ඒ වන විට නිකුත්ව තිබූ අතර, ජනාධිපතිනිය ඇමැතිනි පේරියල් අෂ්රොෆ් වෙත එය දී තිබූ නමුත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හෝ එය එළිදැක්වීමට මුස්ලිම් කොංග්‍රසය හෝ ජාතික සමගි පෙරමුණ හෝ කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.

උදේනි සමන් කුමාර

ඡායාරූප – ලේක්හවුස් පුස්තකාලය අනුග්‍රහයෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division