තිස් වසරක යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සහනයක් සැලසීමට ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඔහුගේ ඍජු නියෝග සහ මඟපෙන්වීම යටතේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් පවතිනවා.
පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරු පළාතේ බහුතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් දිනාගැනීම පිළිබඳ ඔබේ අදහස…
එය උතුරේ ජනතාව ජාතික ජන බලවේගයට ලබා දුන් විශාල ජනවරමක්. ඒ වගේම මහමැතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවාම: දකුණේ ජනතාව පමණක් නොව, උතුරේ ජනතාවත් වෙනසක් අපේක්ෂා කළ බව පැහැදිලියි. ජනතාව මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බව පැහැදිලියි. ජාතික ජන බලවේගයට උතුරු පළාතෙන් විතරක් නොවෙයි, දිවයිනෙන්ම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දුන්නේ ඒ නිසයි. ඒ වගේම උතුරේ ජනතාවගේ අපේක්ෂාවන් සහ අභිලාෂයන් ඉටු කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය දැඩි ස්ථාවරයක සිටින බව මෙහිදී සඳහන් කළ යුතුයි.
රජය බලයට පත් වීමෙන් පසු අමාත්‍යවරුන් නිතර උතුරු පළාතට පැමිණෙන හැඩයි…
මැති ඇමැතිවරුන් කලින් අපට දක්නට ලැබුණේ මැතිවරණ කාලවලදී පමණයි. ඒ කාලය තුළ මහජන නියෝජිතයා හමුවීමට හැකි වූයේ ඔහුගේ නියෝජිතයන් කිහිප දෙනකු සමඟ පළමු හමු වීමෙන් පසුව පමණයි. දැන් තත්ත්වය එහෙම නෙවෙයි. අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන්, අගමැති පමණක් නොව, ජනාධිපතිවරයා පවා නිතර උතුරට පැමිණෙනවා. අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහු ප්‍රමුඛ රජය උතුරේ සංවර්ධනය ගැන ඉතා සැලකිලිමත් වෙනවා. උතුරේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සිදු කළ යුතුයි. තිස් වසරක යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සහනයක් සැලසීමට ජනාධිපතිවරයා අධිෂ්ඨාන කරගෙන සිටිනවා. ඔහුගේ ඍජු නියෝග සහ මඟපෙන්වීම යටතේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් පවතිනවා. මේ සඳහා ඉහළ මට්ටමේ රජයේ නියෝජිතයන් උතුරු කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටිනවා. සති දෙකකට පෙර, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මුදල් නියෝජ්‍ය අමාත්‍ය සහ උතුරු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, අලිමංකඩ ලුණු ලේවාය සහ ඔඩ්ටුසුඩාන් උළු කම්හල පෞද්ගලිකවම පරීක්ෂා කිරීමට පැමිණියා.
මේ කර්මාන්තශාලා වසර ගණනාවක් තිස්සේ වසාදමා ඇති ඒවා. පෙර රජයන් ඒවා පෞද්ගලික අංශයට විකිණීමට උත්සාහ කර තිබුණා. එහෙත් ජනාධිපතිවරයා මේවා නැවත ආරම්භ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ කර්මාන්ත සඳහා වෙන් කර ඇති ඉඩම් උතුරු පළාතේ ජනතාවගේ ආර්ථික සංවර්ධනය සඳහා යොදා ගැනීම කෙරෙහිද ඔහු අවධානය යොමු කර තියෙනවා. ඒ පදනම මත තමයි කණ්ඩායම උතුරේ සංචාරය කළේ.
කර්මාන්ත අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම උතුරේ කළ සංචාරය ගැන සඳහන් කළොත්…
කණ්ඩායම මුලින්ම කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පෞද්ගලිකව නැරඹුවා. කර්මාන්තශාලාව වනාන්තරයක් බවට පත්ව තියෙනවා. වත්මන් පරිසරය තුළ එහි සිමෙන්ති නිෂ්පාදනය ආරම්භ කිරීමේදී බොහෝ ගැටලු තිබෙනවා. විශේෂයෙන්ම අතීතයේදී, සිමෙන්ති නිෂ්පාදනය සඳහා කොරල් පරය කැණීම නිසා විශාල වළවල් සැදී තිබෙනවා. ඒවා අද වන තුරු වසාදමා නැහැ. ඉතින්, කොරල්පර කැණීම් දිගටම කරගෙන ගියොත්, එයින් යාපන අර්ධද්වීපයට සහ රටේම පරිසරයට හානියක් සිදු වන්නට පුළුවන්. ඒ වගේම, උතුරු කලාපයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කළ හැකි කාර්මික අංශයක් බවට ඒ ප්‍රදේශය පරිවර්තනය කළ හැක්කේ කුමන ආකාරයෙන් යන්න පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊළඟ වටයේ සාකච්ඡා අමාත්‍ය සහ ජනාධිපති මට්ටමින් පැවැත්වෙනවා.
ඉන් පසු අපි අලිමංකඩ ලුණු ලේවාය නැරඹීමට ගියා. පුරාණ කාලයේ අලිමංකඩ ලුණු හොඳම ලුණු ලෙස සලකනු ලැබෙනවා. එහෙත් පසුගිය වසර කිහිපය තුළ එහි ලුණු නිෂ්පාදනය සිදු වුවද, පෞද්ගලික සමාගම් එහි වගා කරන ලද ලුණු අමුද්‍රව්‍යයක් ලෙස මිල දී ගෙන අයඩින් මිශ්‍ර කළ උසස් තත්ත්වයේ ලුණු ලෙස අලෙවි කළා. අපේ රජය මේ පිළිබඳ අවධානය යොමු කර ඇති අතර, ලබන සතියේ නව යන්ත්‍රෝපකරණ මිල දී ගෙන අයඩීන් මිශ්‍ර ලුණු නිෂ්පාදනය ආරම්භ කිරීමට සැලසුම් කර තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, තවදුරටත් රට තුළ ලුණු හිඟයක් ඇති වන්නේ නැහැ. මේ වසර අවසන් වන විට ලුණු නිෂ්පාදනය වැඩි කරනවා.
මේ ලුණු ආකරයේ සේවය කරන සේවකයන්ගේ සුභසාධනය සඳහා, අපගේ රජය ඔවුන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට ද සැලසුම් කර තිබෙනවා. ලුණු නිෂ්පාදනය සහ ලුණු අපනයනය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500ක ආදායමක් උපයා ගැනීමට අදහස් කෙරෙනවා.
පරන්තන් රසායනික කම්හල නැවත ආරම්භ කිරීම සඳහාද සාකච්ඡා ආරම්භ වී තියෙනවා. ඊට අමතරව, ඔඩ්ටුසුඩාන් කම්හල වසර 30කට වැඩි කාලයක් වසාදමා තිබෙනවා. එය පෞද්ගලීකරණය කිරීමටද කටයුතු සම්පාදනය කර තියෙනවා. අපේ රජය ඒ ව්‍යාපෘතිය අවලංගු කර, උතුරු පළාතේ උළු කම්හල ඔඩ්ටුසුඩාන්හි ආරම්භ කර තිබෙනවා. උළු පමණක් නොව, ඉන්දියාවට අපනයනය කළ හැකි ගල්ද එහි නිෂ්පාදනය කෙරෙනවා. මේ සඳහා නව යන්ත්‍රෝපකරණ මිල දී ගැනීම සඳහා අපගේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව හරහා රුපියල් මිලියනයක් වෙන් කර තියෙනවා.
උතුරු පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය වැඩි අවධානයක් යොමු කර ඇති බව කියවෙනවා…
උතුරු පළාතේ සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි ස්ථාන රැසක් තිබෙනවා. පසුගිය රජයන් මේවා සංවර්ධනය කර හෝ රටේ යහපත සඳහා යොදාගෙන නැහැ. එහෙත් මේ ස්ථාන සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා සංවර්ධනය කළ විට, උතුරු පළාත් සංචාරක අංශය ද රටට ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය උපයා දෙනවා. අපේ රජය මේ කාරණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන්, සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෑතකදී මන්නාරමේ සංචාරයක නිරත වුණා. මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීම සහ ඒවා සංචාරක ගමනාන්ත බවට පත් කිරීම කෙරෙහි ඔවුන් අවධානය යොමු කර තියෙනවා. මේ හරහා මන්නාරම් දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රය දියුණු වන අතර, නව රැකියා අවස්ථා නිර්මාණය වෙනවා. ඒ හා සමානව, උතුරු පළාතේ අනෙකුත් දිස්ත්‍රික්කවල සංචාරක ස්ථාන සංවර්ධනය කර භාවිත කිරීමට අපි සැලසුම් කරනවා.
මේ අය වැයෙන් උතුරු පළාතට පෙර නොවූ විරූ ලෙස අරමුදල් වෙන් කිරීම ඔබ දකින්නේ කෙසේද?
පසුගිය වසර 30ක යුද්ධය හේතුවෙන් උතුරු පළාත විශාල වශයෙන් බලපෑමට ලක්ව ඇති අතර, ආර්ථික වශයෙන් සහ යටිතල පහසුකම් අතින් පසුගාමී වී තියෙනවා. ජනාධිපතිතුමා ඇතුළු හැමෝම මේක දන්නවා. එම නිසා, එම ජනතාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීම හදිසි අවශ්‍යතාවයක්ව පවතිනවා. මෙය සැලකිල්ලට ගනිමින්, උතුරු පළාතට ඉහළ මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර තියෙනවා. ඒ අතරින් මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 5,000ක්, ඓතිහාසික වැදගත්කමක් ඇති වට්ටුවාගල් නව පාලමක් ඉදිකිරීමේ මූලික අදියර සඳහා රුපියල් මිලියන 1,000ක් සහ අතීතයේ දේශපාලන අරමුණු සඳහා ගිනි තැබූ යාපනය පුස්තකාලය සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කළා.
ඊට අමතරව, ඉදිරි වසර 5 තුළ උතුරු පළාත පොල් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර හෙක්ටයාර 40,000ක පොල් වගාව සිදු කිරීමට සැලසුම් කර තියෙනවා. පළමු පියවර ලෙස මේ වසරේ හෙක්ටයාර 16ක පොල් වගාව සිදු කෙරෙනවා. මේ ව්‍යාපෘතිය යටතේ, පොල් බීජ පැළ, තාක්ෂණික උපදෙස් සහ ඉඩම් වගාව සඳහා පහසුකම් සලසනු ඇති අතර, පොල් වගාවන්ට බලපාන රෝග පාලනය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, අඩු ජලයෙන් ඉහළ අස්වැන්නක් නෙළා ගැනීම සඳහා වාරිමාර්ග යෝජනා ක්‍රමයක් ද ඇතුළත් වෙනවා.
උතුරු පළාත් ගුරු අධ්‍යාපන සමුපකාර සංගම් මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විශාල ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීම ගැන ඔබ අදහස් කරන්නේ කුමක්ද?
මෙයින් පෙනී යන්නේ ජනතාව සැම විටම ජාතික ජන බලවේගය සමඟ සිටින බවයි. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයට වඩා ජාතික ජන බලවේග පක්ෂයට මහජන සහයෝගය තවත් වැඩි වී තිබෙනවා. මෙයට හොඳ උදාහරණයක් වන්නේ: අපගේ සංගමයේ කොටසක් වන ගුරු සේවා සංගමය, අධ්‍යාපන සමුපකාර සංගම් මැතිවරණයේදී ශ්‍රී ලංකාව පුරා ආසන 384න් 370ක් දිනා ගැනීමයි. මෙය 96%ක සාර්ථකත්ව අනුපාතයක්. ඒ අනුව, උතුරු පළාතේ මන්ත්‍රීවරුන් 14න් 13කගේ බහුතර කැමැත්තෙන් පරිපාලන සභාවක් පිහිටුවා තිබෙනවා.
මේ සමුපකාර සමිතිය අතීතයේ පැවතියේ පොදු ගුරු පෙරමුණ යටතේ. ඔවුන් නියමිත වේලාවට මැතිවරණය පැවැත්වූයේ නැහැ. ඔවුන් අවුරුදු 3-4ක් ඇදගෙන ගියා. එහි රුපියල් බිලියන ගණනක වංචා සිදු වී තිබෙනවා. අපි මේ කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් යනවා.
ජාතික ජන බලවේගය රජය බලයට පත් වීමෙන් පසු ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් මොනවාද?
අපේ රජය බලයට පත් වීමෙන් පසු කෙටි කාලයක් තුළ මැතිවරණ ප්‍රකාශනය හරහා රටේ ජනතාවට දුන් පොරොන්දු රැසක් ඉටු කර තියෙනවා. පාසල් සිසුන්ට ඉගෙනුම් ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා අප රුපියල් හයදහසක් ලබා දී තිබෙනවා. මූල්‍ය ආධාර ලබන පවුල්වල සිසුන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට මෙම මූල්‍ය ආධාර දී තියනවා. ගොවීන් සඳහා පොහොර සහනාධාරය රුපියල් 10,000කින් වැඩි කර රුපියල් 25,000 දක්වා වැඩි කර තිබෙනවා. වී මිල දී ගැනීම සඳහා ගබඩා සකස් කර තියෙනවා.
ඒ සමඟම දූෂණ හා වංචාවලට සම්බන්ධ අයට එරෙහිව පියවර ගත යුතුයි. ජනතාව බලාපොරොත්තු වන්නේ ඔවුන්ට වහාම දඬුවම් ලැබෙනු ඇති බවයි. නමුත් අපි නීතිමය රෙගුලාසිවලට අනුකූලව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරනවා. එබැවින්, දූෂණ, වංචා සහ අසාධාරණ ඝාතනවලට සම්බන්ධ අය නිසැකවම නීතිය හමුවට පමුණුවනු ඇති. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අදියර වශයෙන් ආරම්භ කෙරෙමින් පවතිනවා. පසුගිය මාස කිහිපය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා.
අවසාන වශයෙන් ඔබ කියන්න කැමැති කුමක්ද?
ජනාධිපති බලය සහ පාර්ලිමේන්තු බලය යන දෙකම ජාතික ජන බලවේගයට අයත් වේ. එහෙත් ගම් මට්ටමින් සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන ආයතනවල අධිකාරිය අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඉදිරි මැතිවරණවලදී ජනතාව පළාත් පාලන ආයතනවල බලයත් අපට ලබා දිය යුතුයි.
පරිවර්තනය – වී.ආර්. වයලට්
ඡායාරූප – නිශ්ශංක විජේරත්න
lමර්ලින් මරික්කාර්