දුරින් හිඳ සෙනෙහස බෙදාගෙන
මඳක් නැවතී හිනා දී යන
සිතත් නොතළා පෙමින් වෙළුණද
මතක් වෙන විට දුකක්මැයි නුඹ
මගේ යැයි සිතුවාට හැම විට
මගේ නොවනා බවම දැනුණම
සිතේ නුඹ හිටියාට මං ළඟ
හදේ ගින්දර නිවනු හැකි වෙද..?
කලක් යන විට කිසිත් නැති මට
නුඹත් හිමි නැති බව දැනෙන විට
දුකක් සැඟවී හද රිදෙවුවට
ඇවිත් යනවද වරක් දැකුමට..
ගායනය – සුනීර සුමංග
පද රචනය – චාමලී සමන්තිකා නවරත්න
සංගීතය – මාලක රත්නායක
අප නොසිතන අවස්ථාවල අපේ ජීවිතවලට සමහරු එනවා යනවා. ඒ එන යන අය අතරේ ඇතැමකු ජීවිත කාලෙටම ළඟ ඉන්න නතර වෙනවා. තනිකඩව ගෙවූ ජීවිතවලට සීමාවක් නැති වුණත් කෙනකු ඇවිත් නතර වෙලා ඒ හිත ඔහුගේම කර ගත්තට පස්සේ ආයේ තවත් කෙනකුට නතර වෙන්න ඉඩක් නැහැ. ජීවිතේ බැඳීම් කවදා කොහේදි ඇරඹුණාද කියන්න අපි දන්නෙත් නෑ. ඒත් අපේ හිත්වලට ආදරය කරන, තනි රකින හිත් අපට හමුවෙනවා. එහෙම හිතක් එක්ක බැඳිමෙන් මුළු ජීවිත ගමනම යන්න පුළුවන්.
ඒත් හැමෝටම එහෙම ආදරණීය හිත් හමු වන්නෙත් නෑ. හිත පිරෙන්න ආදරය කළත් දෙතැනක ඉඳලා හැමදාමත් හිත්වලින් පමණක් ආදරය කරන ආදරවන්තියෝ, ආදරවන්තයෝ අපට මේ සමාජයේදී අනන්තවත් හමු වනවා. සමහර වෙලාවට ඒ අයගේ කතා අහන කොට හිතෙනවා මේවා නිර්මාණද කියලත්. නවකතාවක, ගීතයක, කවියක, කෙටි කතාවක මෙවැනි ආදර කතා අනන්තවත් අපට හමු වනවා. සැබෑ ජීවිතයෙත් කිසිදා නොදුටු කිසිදා හමු නොවුණ, ඒත් මුළු හිතින්ම දෙදෙනා ආදරයෙන් බැඳුණු ආදර කතා මේ සමාජයේ අදත් තියෙනවා හෙටත් තියෙනවා.
“මට එයා හමු වුණේ අපි හමු නොවිය යුතු කාලයක කියලයි මට හිතෙන්නේ. ඒත් අපි හමු වුණා. මුලින් නම් අප අතර තිබුණේ නිකම්ම නිකම් දැන හඳුනා ගැනීමක් විතරයි. ඒත් දවසින් දවස ඒක ආදරයකට පෙරළුණා. එයාට හිතෙනවා ඇති මාව දැකගන්න. ඒත් එයා කවදාවත් මාව බලන්න එන එකක් නෑ. මටත් හිතෙනවා එයාව දකින්න. අපිට අපේ ම වෙන්න බැහැ. ඒත් මම එයාට හරි ආදරෙයි. ජීවිතේ කවදාම හරි දවසක මට එයාව දකින්න ලැබුණොත් ඇති. ඒක තමයි මගෙ ප්‍රාර්ථනය. ඒ දවස උදාවෙන තුරු මං බලාගෙන ඉන්නවා.”
මගේ යෙහෙළිය එහෙම කියන්නේ ඇස්වල ආදරේ කඳුළු පුරෝගෙන.
“මේ මොන විකාරයක්ද?” ඔබටත්, මටත් එහෙම හිතෙන්න පුළුවන්. අපට එහෙම හිතුණත් ආදරේ කරන හිත් එහෙම තමයි. අපේ ගීත ක්ෂේත්‍රයේ එහෙම ලියවුණ ආදර කතා කොතෙක් නම් තියෙනවද? මේ කතාවත් එහෙම එකක්. ඒ කතාව හැරුණ විට එවැනි කතාවක් පාදක කරගනිමින් ලියැවුණ ගීතයක් තමයි අද ‘ගීයක අරුම’ තුළින් කියන්නේ.
මේ ගීතය ගයන්නේ යොවුන් පරපුරේ ගායන ශිල්පී සුනීර සුමංග. ඒ පද පෙළ සංගීතවත් කරන්නේ සංගීතවේදි මාලක රත්නායක. ගීපද රචනා කරන්නේ නව පරපුරේ පද රචිකාවක වන චාමලී සමන්තිකා නවරත්න. වෘත්තියෙන් ගුරුවරියක වන ඇය තමා අතින් ලියවුණ ගීතය පිළිබඳ කියන්නේ මෙවැනි අදහසක්:
“මම මීට පෙරත් ගීත කිහිපයක්ම රචනා කර තිබෙනවා. ප්‍රේමය ගැන ගැන ලියවුණ මේ ගීතයට පාදක වුණ අත්දැකීම මගේ යෙහෙළියකගේ. ඔහු දැනට විදේශගතව ඉන්නේ. යෙහෙළිය ඉන්නේ මෙරට. ඒ දෙන්නාට කවදාවත් එක වහලක් යටට යන්නට බැහැ. ඒත් ඒ දෙන්නා අතර තියෙන්නේ පුදුමාකාර ආදරයක්. මගේ යෙහෙළිය කැමැතියි ඔහුව දවසක හමු වී ළඟින් ඉන්න. ඒත් ඒ හමුවීම තාවකාලිකයි. ඔවුන් වෙන් වෙන බව එයාලා දන්නවා. ඒක එහෙම වුණත් ඒ දෙන්නාගේ ආදරය නොවෙනස්. ඇගේ කතාව මට කිවුවාට පස්සේ තමයි මට මේ පද පෙළ ලියවුණේ.
‘මගේ යැයි සිතුවාට හැම විට
මගේ නොවනා බවම දැනුණම
සිතේ නුඹ හිටියාට මං ළඟ
හදේ ගින්දර නිවනු හැකි වෙද..?’
ආදරයෙන් බැඳුණට ජීවිතයේ කවදා හෝ දවසක තමන්ට තමනුත් අහිමි බව අපට දැනෙනවා. ඒ වගේ ඒ හිතත් මේ හිතත් ආදරයෙන් බැඳුණට ඔවුන්ට ඔවුන්ගේ වෙන්න බෑ. මේ සමාජය ඇතුළේ එහෙම වෙන්න ඉඩක් නැහැ. කොයි කවදා අහිමි වේ දැයි කියලා හිතාගන්න බැරිව ඉන්න ඇගේ හිතේ නැඟෙන සිතිවිලි තමයි මම මේ විදිහට ලිවුවේ.
‘කලක් යන විට කිසිත් නැති මට
නුඹත් හිමි නැති බව දැනෙන විට
දුකක් සැඟවී හද රිදෙවුවට
ඇවිත් යනවද වරක් දැකුමට…’
සුනීර සුමංගගේ කටහඬත්, මාලකගේ සංගීතයත් මේ ගීතයට හරි අපූරුවට ගැළපී තියෙනවා.
ගීපද රචිකා චාමලී පවසන්නේ එවැනි කතාවක්.