Home » මං තවමත් රංගනය හදාරනවා

මං තවමත් රංගනය හදාරනවා

සිළිඳු රන්වල

by thanushika
March 23, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

ජාතික රූපවාහිනියේ විකාශය වුණු වියළි ටෙලි නිර්මාණයේ කිරිනෝනිගේ භූමිකාවෙන් පුංචි තිරය මත අතිවිශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය කළ ඇය රංගනයට පිවිසෙන්නේ වේදිකාව ඔස්සේය. වේදිකාවෙන් බිහිවන කලා තරු පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද දීප්තිමත්ව බබළන බව අමුතුවෙන් කිව යුතු නොවේ. සිළිඳු රන්වල නම් ඇය ද කලාව උරුමය කරගත් පවුල් පසුබිමක හැදී වැඩී වේදිකාව මත දස්කම් පාන දක්ෂ රංගන ශිල්පිනියකි. 44 වැනි යෞවන සම්මාන උලෙළේ හයිනා Town වේදිකා නිර්මාණයේ සාරාගේ චරිතය උදෙසා හොඳම නිළිය ලෙස සම්මානිත වූ ඇය අද අප හා කතාබහට එක්වූවාය.

හයිනා Town කියන්නේ 2024 වසරේ ඔබ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ වේදිකා නිර්මාණය. කොහොමද එය නිර්මාණය වෙන්නේ?

හයිනා Town කියන්නේ 2024 වසරේ හොඳම අධ්‍යක්ෂ, හොඳම නිළිය, හොඳම නළුවා, හොඳම සහාය නිළිය, හොඳම වේෂ නිරූපණය, හොඳම ඇඳුම් නිර්මාණය ඇතුළු සම්මාන 6 සමඟින් කුසලතා සම්මාන 5ක් දිනාගත් වේදිකා නිර්මාණයක්. අවුරුදු දෙකකට ආසන්න කාලයක් අපි ගොඩක් කැපවීම් කළා. සජිනි හයිනා Town තිර පිටපත රචනා කරන්නේ දෙවැනි ලෝක යුද සමයේ ඇ‍ෙමරිකානු ජාතික ටෙනිසි විලියම්ස්ගේ සම්මානිත A Street Car named desire කියන බ්‍රෝඩ්වේ නාට්‍ය පාදක කරගෙන. සජිනියි මායි නිතර නිතර හමුවෙමින් කතාබහ කරමින් තිරපිටපත සකස් කළ අවස්ථා තිබුණා. ලංකාවට ගැළපෙන විදිහට, 2024 වසරට ගැළපෙන විදිහට වගේම අඟුලාන ප්‍රදේශයට ගැළපෙන විදිහට අපි ඒක ඩිවෙලොප් කළා කිවුවත් හරි. තිරපිටපතටත් කුසලතා සම්මානයක් ලැබීම ලොකු සතුටක්. හයිනා Town සයිකොලොජිකල් ට්‍රිලර් කියන ශානරයට අයත් නාට්‍යයක්. කැරැක්ටර් හඳුනාගෙන ස්ක්‍රිප්ට් එක ලියන්න තමයි ලොකු කාලයක් ගත වුණේ.

ඔබ එහි සාරා කියන අතිප්‍රබල චරිතය රඟදක්වනවා. කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?

සාරා කියන්නේ ඉඩකඩම් හිමි, රදල පවුලකට අයත් කාන්තාවක්. ඇය විවාහ වෙන්න හිටිය කෙනා විවාහ ගිවිස ගැනීමටත් පස්සේ වෙඩින් එක ආසන්නයේ තියෙද්දී වෙඩි තියාගෙන මැරෙනවා. එතැන් පටන් සාරා කියන්නේ මානසික ව්‍යාකුලත්වයට පත්වුණු ඩිප්‍රෙෂන් රෝගියෙක්. ඊට පස්සේ හමුවෙන හැමෝගෙන්ම සාරා බලාපොරොත්තු වුණේ තමන් විවාහ වෙන්න හිටිය පුද්ගලයාව. ඒ අතරේ ඇය රැවටීම්වලට අහුවෙලා සියලු දේපළ නැති කරගන්නවා. අවසානයේ ඇයව මානසික ප්‍රතිකාර සඳහා යොමුකරන තත්ත්වයට පත්වෙනවා. මානසික ව්‍යාකූලත්වයට පත්වුණු චරිතයක් කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මං ගොඩක් ෆිල්ම්ස් බලලා, ඒ වගේ මානසික ආබාධ තියෙන අය මුණගැහිලා ඒ ගැන ගොඩක් අධ්‍යයනය කළා. මට මේ වගේ හෙවි කැරැක්ටර් එකක් ලැබුණු පළමු අවස්ථාව මේක. මං තාමත් අත්දැකීම් ලබමින් යන නිළියක් මිසක් පුහුණු නිළියක් නෙවෙයි. ඒ නිසා ඒ වගේ කැරැක්ටර් එකක් කරද්දි මං මුළු ඇඟෙන්ම ඒ චරිතයට ප්‍රවේශ වෙනවා. ඒක ශරීරයට ලොකු පීඩනයක්. ඒ මුළු කාලයම මං ඒ චරිතයේම ජීවත් වෙන නිසා මට දවස් දෙක තුනක් ගියා සාරාගෙන් මිදිලා සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න. ඇත්තටම සාරා මට ලොකු අභියෝගාත්මක චරිතයක් වුණා කිවුවත් හරි.

හයිනා Town සම්මාන රැසකින් පිදුම් ලැබූ වේදිකා නිර්මාණයක්. අන්තර්ජාතික සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තියේද?

දැනට යෞවන සම්මාන උලෙළ තත්ත්වයෙන් තියෙනවා. නමුත් අපේ අන්තිම ඉලක්කය වෙන්නේ රාජ්‍ය නාට්‍ය උලෙළටත් එහාට ගිහින් හයිනා Town තව තවත් වැඩිදියුණු කිරීම ඇක්ටින් පැත්තෙන් අනුශාංගික අංගයන් එකතු කරමින් දියුණු කරන විදිහ වැඩි ගැන කතා වෙමින් ඉන්නේ. ඉදිරි දර්ශනවලදී ප්‍රේක්ෂකයින්ට ඒ වෙනසත් දකින්න ලැබේවි.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

ඉදිරි කාලයේ වැඩිපුරම මියුසික් පැත්තට ෆෝකස් වෙන්න අදහසක් තියෙනවා. ගීත කිහිපයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම වාසව බදුගේගේ අලුත්ම සිනමා නිර්මාණය වන නීරා එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. කසුනි කාවින්දිව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඇය තමයි මාව මේ නිර්මාණයට යොමු කළේ. අපේ පරම්පරාවේම කෙනෙක් මං ගැන රෙකමන්ඩ් කළා කියන එකම මට ලොකු සතුටක්.

ඔබේ මවත් දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඔබ සම්මාන පිට සම්මාන ලබද්දි ඇගේ ප්‍රතිචාරය මොන වගේද?

මගෙ අම්මටත් දැන් මාව කලාවෙන් ගලවගන්න බැරුව ඉන්නේ. අධ්‍යාපන කටයුතුවලට බාධා කරගෙන මං කලා කටයුතුවල නියැළීම ඇයට ලොකු ගැටලුවක් වෙලා. අධ්‍යාපනයයි කලාවයි සමබරව කරගෙන යන්නෙ නැතුව අධ්‍යාපන කටයුතු අතපසු කරගෙන කලා කටයුතුවල නියැළෙන එක මගේ වැරැද්දක්. එහෙම නැත්නම් අම්මා මගේ කලා කටයුතුවලට උපරිම සහයෝගය දෙනවා. මේ ලෝකෙ නිහඬවම මං ගැන සතුටු වෙන එකම කෙනා මගේ අම්මා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division