පොඩ්ඩන්ට නිර්මාණාත්මක සන්නිවේදනය, සංඥා භාෂාව රංග චිකිත්සාව, විශේෂ අධ්‍යාපනය ලබා දෙමින් සංඥා භාෂාවෙන් ළමා ගී ගයන්න උගන්වන කෙනෙක් තමයි ආචාර්ය සුලිෂා පෙරේරා කියන්නේ. මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේත් ඇය සංඥා භාෂාවෙන් ළමා ගී ගයන්න පුරුදු පුහුණු කරන වීඩියෝ සමාජ මාධ්‍යය තුළ වයිරල් වෙලා තියෙනවා. ඒ නිසාම ආචාර්ය සුලිෂා පෙරේරා ගැන දැන ගන්න කැමති ඔබ වෙනුවෙන් රසඳුන අපි ඇයව සම්බන්ධ කර ගත්තා.
මුලින්ම අපිට ඔබ ගැන විස්තර කළොත්?
මම වෘත්තීමය වශයෙන් ආබාධිතතා විශේෂඥවරියක්. ඒ කියන්නේ Disability Specialists. ඒක විස්තර කළොත් මගේ ආචාර්ය උපාධිය විශේෂ අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය. ඒ ඇතුළෙ යම් කිසි පුද්ගලයෙක් උපතේ සිට හෝ උපතින් පසුව ආබාධිත වෙනවා නම් ඒ පුද්ගලයාගේ විවිධ සංවර්ධන අවධීන්වල ඇතිවන කායික මානසික ගැටළුවලට තමයි මම සේවාව සපයන්නේ. ඊට අමතරව මම මනෝ චිකිත්සකවරියක්. මම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාර සේවාවේ හිටපු මනෝ චිකිත්සකවරියක්. ඒ එක්කම මම ආබාධිතතා විශේෂඥවරියක් විදිහට ශ්‍රී ලංකා යුධ හමුදාවේ මිහිඳු සෙත්මැදුර හි අත්තිඩිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනෝ චිකිත්සකවරියක් විදිහට සහ නර්තන හා රංගන චලන චිකිත්සකවරියක් විදියට ආබාධිත සොල්දාදුවන්ට සේවය සපයනවා. ඊට අමතරව ලංකාව පුරා තියෙන අභිමංසල වගේ ස්ථානවල ඉන්න විශේෂ අවශ්‍යතා සහිත අය වෙනුවෙන් සේවාවන් සපයනවා. ඒ නිසා මම වෛද්‍යවරියක් නෙවෙයි මනෝ චිකිත්සකවරියක් සහ ආබාධිතතා විශේෂඥවරියක්.
ඔබේ පාසල් කාලය ගැන සිහි කළොත්?
මම ගියේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයට. මම පාසල් වේදිකාවට කලින් රැජිනි සෙල්වනායගම් මහත්මිය ළඟ නර්තනය කරලා තිබ්බ නිසා පාසල් වේදිකාවටත් කලින් ටවර් හෝල් එකේ නර්තනය කරලා තිබ්බා. පාසල් වේදිකාවට එන්න ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. පාසලේ නර්තන ආචාර්යවරියගෙන් නර්තනය හැදෑරුවා. පාසල් කාලෙන් පස්සේ තමයි මම උසස් අධ්‍යාපනයට මනෝ විද්‍යාව ඉගෙන ගත්තේ. මගේ ප්‍රථම උපාධියට මනෝ විද්‍යාව සමාජ විද්‍යාව සහ ජනසන්නිවේදනය කියන විෂයන් ඉගෙන ගත්තා. ඊට අමතරව මගේ මාස්ටර් එක මනෝ විද්‍යාව හා උපදේශනය. මගේ ආචාර්ය උපාධිය තියෙන්නේ විශේෂ අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය. මගේ මේ ගමනට එක්තරා හේතුවක් තමයි මගේ අම්මාත් පිටකෝට්ටේ සෙවණ විශේෂ පාසලේ ගුරුවරියක්. අම්මා එහි උගන්වපු නිසා මට විශේෂ උනන්දුවක් තිබුණා එවැනි පුද්ගලයින් ගැන සහ ඒ විශේෂ ක්ෂේත්‍රයට යොමු වෙන්න.
මේ තරම් ඔබ කලාවට සමීප වුණේ කොහොමද?
මගේ ළමා කාලය නිසා තමයි වෘත්තිමය වශයෙන් සංඥා භාෂාව රංග චිකිත්සාව කියන පැත්තට අඩිතාලම වැටෙන්නේ. ඒකට හේතුව තමයි 1982දී නර්තනය ඉගෙන ගන්න යනවා සුදර්ශියේ රැජිනි සෙල්වනායගම් මහත්මිය ළඟට. ඒ කාලේ තමයි රූපවාහිනිය ආරම්භ කළේ. ඒ වෙද්දී ළමා රංගන ශිල්පීන්ගේ අවශ්‍යතාවක් ඇවිත් ශ්‍රීමති ලියනගේ මහත්මිය සහ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා පැමිණ රැජිනි සෙල්වනායගම් මහත්මියගෙන් ළමයි කිහිප දෙනෙක් තෝරා ගත්තා. එතැනදී මගේ දක්ෂතා දැකලා ආචාර්ය සාලමන් ෆොන්සේකා මහතා තමයි කියලා තියෙන්නේ මාව ළමා නාට්‍යවලට තෝරා ගන්න කියලා. මුලින්ම මම යන්නේ ජාතික රූපවාහිනියේ කතන්දර පිටුවේ ළමා රංගන ශිල්පිනියක් විදිහට. මා එක්ක එදා රංගනයෙන් දායක වුණේ නිමල් ජයසිංහ මහතා. රෙජිනෝල්ඩ් ජයමාන්න, විජේරත්න වරකාගොඩ, ශ්‍රීනාත් මද්දුමගේ, ප්‍රියන්ත සෙනවිරත්න වගේ විශාල පිරිසක් හිටියා. මමයි මගේ අක්කයි තමයි ගියේ. මගේ පළමුවැනි නාට්‍යය වුණේ පොසොන් උදාව නාට්‍යය. 1987 දී මම නැවත ප්‍රධාන චරිතයක් කළා. සෝමපාල මුදුන්කොත් මහතාගෙන් සහ හේමන්ත ඊරියගම මහතාගෙන් මම නාට්‍ය ඉගෙන ගෙන තියෙනවා. ඊට පස්සේ 1995 දී මම ආචාර්ය ජයලාල් රෝහණ මහතාගෙන් නාට්‍ය හා රංග කලාව සහ වේශ නිරූපණය ඉගෙන ගත්තා. හැබැයි දිගටම රංගනයට එන්න ලොකු ආසාවක් තිබ්බේ නැහැ. 1994 දී මම TVT ආයතනය හරහා කරපු සෙලාන් බැංකුවේ වෙෙළඳ දැන්වීමක් කළා. ඒක අධ්‍යක්ෂණය කළේ පරාක්‍රම නිරිඇල්ල සර්. එතැනින් පස්සේ වෙෙළඳ දැන්වීම් කිහිපයක හටියා. මම වේශ නිරුපණය ඉගෙන ගත් නිසා මට රවින්ද්‍ර ගුරුගේ මහතා TVT ආයතනයේ වැඩ කරන්න අවස්ථාව දුන්නා.
ඔබේ පවුලේ කවුද ඉන්නේ
මගේ අම්මා තාත්තා සහ මගේ අක්කා සහ මල්ලි මට ඉන්නේ. අක්කා මේ වෙද්දී ජර්මනියේ පදිංචි වෙලා ඉන්නේ. මල්ලි මේ වෙද්දී ලංකාවේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. මම මේ වෙද්දී විවාහකයි. දුවෙක් සහ පුතෙක් ඉන්නවා. දුව උසස් අධ්‍යාපනය හදාරනවා. පුතාත් උසස් අධ්‍යාපනයට සුදානම් වෙනවා.
සංඥා භාෂාවෙන් ළමා ගී ගයන්න පුරුදු කරන්න අරන් කොච්චර කාලයක් වෙනවද?
මගේ වෘත්තීය ජීවිතේට අවුරුදු 29ක් වෙනවා. මනෝ විද්‍යාව සහ මනෝ උපදේශනය සහ විශේෂ අධ්‍යාපන ගුරුවරියක් විදිහට පුරුදු පුහුණු වෙලා පාසල්වල ඉගැන්වීම් කළා. එතැනදී විශේෂත්වය වුණේ මම තෝරා ගත්තේ මනෝ විද්‍යාව සහ කලාව.
සමාජ මාධ්‍ය තුළ මේ දිනවල ඔබ හරි ජනප්‍රිය චරිතයක්, ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ යන වීඩියෝවලට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපේ රටේ මිනිසුන් සංඥා භාෂාව දැකලා තිබුණේ රූපවාහිනී නිව්ස් පරිවර්තනය හෝ දේශපාලන වේදිකාවල කතා පරිවර්තනයේ දී. නමුත් මම ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරද්දී සංඥා භාෂා නර්තන නිරුපණය භාවිත කළා. සංඥා භාෂාව භාවිතා කරද්දී ගත්තු වීඩියෝ තමයි මේ වෙද්දී වයිරල් වෙලා නරඹන්නේ. හැබැයි මුල් කාලේ මගේ වීඩියෝ ගැන ලොකු දැනුමක් නොතිබුණු නිසා සමාජ මාධ්‍ය වලදී හිතුවේ ටික් ටොක් වෙනුවෙන් කරන දෙයක් කියලා. දැන් මිනිස්සු දන්නවා සංඥා භාෂාව කියන දේ බිහිරි අයට පමණක් නෙවෙයි විවිධ සන්නිවේදන ගැටලු තියෙන අයටත් මේක භාවිත කරන්න පුළුවන් කියලා.