2021 වසරේ සිරස සිඟිති අවුරුදු කුමරිය 3 වන ස්ථානය දිනා ගනිමින් රංගනයට ප්‍රවේශ වූ ඇය නමින් ඔනිලි සෙරන්‍යා ය. මේ දිනවල “මාස්ටර් සර්” ටෙලි නාට්‍යයේ සිතුකීට පණ පොවන ඇය මෙවර රසඳුනෙන් ඔබ හමුවන ළමා රංගන ශිල්පිනියයි.
ඔනිලි ඔයාට කොහොමද රංගනයට මඟ පෑදුණේ ?
මං සිඟිති අවුරුදු කුමරිය තුන්වන තැන දිනා ගත්තට පස්සේ ප්‍රදීප් මහේෂ් ලියනගේ මාමාගේ සිරස පුංචි පැංචි වැඩසටහනට සහභාගි වුණා. වයස අවුරුදු පහෙන් තමයි මම රංගනයට එක් වෙන්නෙ. ඊට පස්සේ හසින්ත වැල්ලවාය මාමා මාව නිපුණ මහර්ශි සහ ලක්ෂ්මන් පුෂ්පකුමාර මාමලාට හඳුන්වා දුන්නා. ඒ මාමලාගේ “සෙනෙහස පාමුල” ටෙලි නාට්‍ය තමයි මම රඟපාපු පළවෙනි ටෙලි නාට්‍යය. ඉන්පස්සේ “කේත, සෙනෙහස, ගගන පියවර, අළුපාට දේදුනු” කියන ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා.
මේ දවස්වල හිරු ටීවී එකේ රෑ නවයට විකාශය වෙන “මාස්ටර් සර්” ටෙලි නාට්‍යයේ රඟපානවා. ටෙලි නාට්‍යවලට අමතරව ධනුෂ්ක රත්නායක මාමගේ “තවත් කෙනෙක්” කියන කෙටි චිත්‍රපටයට සම්බන්ධ වුණා.
රඟපාන්න විතරද ඔනිලිට පුළුවන්? වෙන මොනවටද ඔයා දක්ෂ?
මට උඩරට පහතරට නර්තනය පුළුවන්. ඒ වගේම ස්විමින්, චෙස් ක්‍රීඩාවලට මං ගොඩක් ආසයි. ඒ ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔයා රඟපාන්න වැඩිපුරම ආස කරන චරිත මොනවද ?
එහෙම විශේෂ චරිතයක් නම් නෑ. මට කරන්න පුළුවන් මගේ වයසට ගැළපෙන ඕනෑම හොඳ චරිතයක් කරන්න මම කැමතියි.
ඉදිරියේදී අපට දකින්න පුළුවන් ඔලිනිගේ අලුත් නිර්මාණ මොනවද?
මේ වෙනකොට ටෙලි නාට්‍ය දෙකකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ නාට්‍යවලින් මාව දකින්න ලැබෙයි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහාය කොහොමද ?
ඒ මාමලා, නැන්දලා මට හරි ආදරෙයි. හැමෝම මගේ චරිතය හරියට කරන්න උදව් කරනවා . උපදෙස් දෙනවා. හැමෝම පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා.
ඔනිලිට රඟපානකොට මුහුණ දෙන්න වුණු අමතක නොවෙන සිදුවීම් එහෙම මතකද ?
අපොයි ඔව්. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ වෙළඳ දැන්වීමක මට තිබුණේ ලිස්සන බෝට්ටුවේ ඇවිත් වතුරේ ලිස්සලා යන්න. ඒ බෝට්ටුවේ මං තුන් සැරයක් විතර ගියා. මට හුස්ම ගන්නත් අමාරු වුණා. ඒ මාමලා මට කීවේ හිනාවෙලා ලිස්සන බෝට්ටුව දිගේ එන්න කියලා. ඒත් මං හිනා වුණේ නෑ. මට හිතුණේ මගේ දත් ටිකත් ගැලවෙයි කියලා. එදා නම් මං ගොඩක් බය වුණා.
මේ දවස්වල මං රඟපාන “මාස්ටර් සර්” ටෙලි නාට්‍යයේ මගේ තාත්තා හයියෙන් කෑ ගහනවා. ඒ සමහර අවස්ථාවලදී ඇත්තටම මම බය වෙනවා. ඒ වෙලාවට මට බයට හිතෙනවා. අම්මා ළඟට ඇවිත් මම ඇත්තටම අඬනවා . මං රඟපාපු කෙටි චිත්‍රපටයේ මට කරන්න තිබුණේ මානසික රෝගී දරුවෙක්ගේ චරිතයක්. ඒ චරිතෙට මං ආසයි. ඒ චරිතෙ නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.
ඔයා සම්බන්ධ වුණු වෙළඳ දැන්වීම් ගැනත් කියන්නකෝ?
AIA ඉන්ෂුවරන්ස්, කුමාරිකා හෙයා ඔයිල්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, pensala.com, සහ යුනිසෙෆ් ඩොකියුමන්‍ට්‍රි එකකට මං සම්බන්ධ වුණා.
රංගනය ගැන යම් හැදෑරීමක් කරලා තියෙනවද ?
ඔව්, මම ටිකක් රංගනය ගැන ඉගෙන ගෙන තියෙනවා. ඒත් වැඩිදුරට ඒ ගැන ඉගෙන ගන්න කාලයක් ලැබුණේ නෑ.
ඔයාගේ පෞද්ගලික තොරතුරු කියන්නකෝ?
මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා. එයාලා මගේ හැම වැඩකටම ලොකු සහයෝගයක් දෙනවා. මං ඉගෙන ගන්නේ කතළුව පී. වී. එස්. ද සිල්වා ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ. මං ඉන්නේ අහංගම. මගේ පාසලේ ගරු විදුහල්පතිනිය සුභාෂිණි මැඩම්, පංති භාර ගාමිණි සර් ඇතුළු ගුරු මණ්ඩලය, හසින්ත වෙල්ලාල මාමා, නිපුණ මහර්ෂි, නඳුන්, අමිල පාතගෙදර මාමලාව මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. ඒ හැමෝම මට හොඳ සහයෝගයක් දෙනවා.
ඔනිලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද ?
මගේ අනාගත බලාපොරොත්තු දවසින් දවස වෙනස් වෙනවා. මං කලින් කැමති වුණේ නැටුම් ගුරුවරියක් වෙන්න. දැන් කැමති ගුවන් නියමුවරියක් වෙන්න. ඉස්සරහට මේ බලාපොරොත්තුව වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.